(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.29, ප.ව.2.45) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 6 වතාවක් ඝාතනයට ලක් කිරීමට උත්සාහ දරා තිබියදී ඉන් එක් අවස්ථාවක් වූ 2008 ඔක්තෝම්බර් මස 9 වෙනිදා බොරලැස්ගමුවේ දී ඔහුගේ රථයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට එවක රාජපක්ෂ රෙජීමය සම්බන්ධ බවට තොරතුරු පැතිර තිබියදී පසුගිය 25 වෙනිදා රාජපක්ෂලාගේ බලකොටුව වූ හම්බන්තොටදී ගිනි අවියක් අතැතිව ජනාධිපති වරයා වෙත කිට්ටු කළ නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයා යැයි කියාගන්නා හමුදා කෝප්‍රල් වරයා තවමත් අත් අඩංගුවට ගෙන නැති බවත් අඩුම ගණනේ ඔහුගේ ගිනි අවිය හෝ පොලිසිය භාරයට ගෙන නැති බවත් රහස් පොලිසිය ඔහුගෙන් කට උත්තරයක් පමණක් ලබාගෙන මුදා හැර ඇති බවත් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.එස්.පී රුවන් ගුණසේකර මහතා ලංකා ඊ නිව්ස් කළ විමසීමකදී මේ බව තහවුරු කෙළේය. ඔහු කීවේ 15 දෙනෙකුට වැඩි පිරිසකගෙන් මේ පිලිබඳ ප්‍රකාශ ලබාගෙන ඇති බවයි. ඔවුන් අතර පීඑස්ඩී නිලධාරීන්, එස්ටීඑෆ් නිලධාරීන් සහ හමුදා කෝප්‍රල් වරයා ඇසුරු කළ අය වෙති. නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගෙන හෝ ජනපති ආරක්ෂාව බිඳ වැටීම සම්බන්ධව ජනපති ආරක්ෂාව බාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් හෝ ලබාගෙන නැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා තහවුරු කෙළේය.
ගිනි අවියෙන් ජනාධිපති වරයාට වෙඩි තැබුවා නම් පමණක් ආරක්ෂක වළල්ල බින්ද පුද්ගලයා අත් අඩංගුවට ගන්නා නව සම්ප්‍රදායක් පොලිසීයේ තිබේදැයි නොදනී.
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇති තොරතුරු අනුව මෙය රාජපක්ෂවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනයට කළ උත්සාහයක් වැරදී යෑමක් බවට සැක සිතිය හැකි කරුණු රාශියකි. ඒවා මෙසේය.
ඝාතන තැත ගැන මහින්ද සැක කළ යුතු ඔහුගේ ප්‍රකාශය
1. හම්බන්තොටදී 25 දා සිදුවූ ඝාතන තැතට දින 3 කට පෙර එනම් 22 දා පරාජිත මහින්ද රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට ජනවාරි 8 දා පරාජය ගැන අපූරු ප්‍රකාශයක් කරයි. “පීඑස්ඩිය මගේ බෙල්ල කැපුවා. මගේ ආරක්ෂක නිලධාරියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මාව පාවා දුන්නා. ඔහු විතරක් නොවෙයි මගේ ටී ටේස්ටර් ත් මාව පාවා දුන්නා. ඒ බව හොඳින්ම තහවුරු වන්නේ එස්.එම්.වික්‍රමසිංහ දැන් මෛත්‍රීපාල ජනාධිපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වීමයි. “
මහින්ද රාජපක්ෂ මෙසේ කියන්නට ජනවාරි 8 දා ඔහුට බලය අහිමි වූයේ හමුදා කුමන්ත්‍රණයකින් නම් කම් නැත. නැතිනම් මෛත්‍රීපාල සිරිසේන සමග කළ ද්වන්ධ සටනකින් පරාජය වූවා නම් කම් නැත. ජනවාරි 8 දා ඔහු පරාජය වූයේ ඔහුව වසර දෙකකට කලින් කැඳවා ගත් ඡන්දයකින් මහජනතාව ඔහුට එරෙහිව ඡන්දය දුන් නිසාය. එලෙස තිබියදී ටී ටේස්ටර්ට හෝ ආරක්ෂක ප්‍රධානියාට ඔහුව පාවා දීමේ හැකියාවක් මතු වන්නේ නැත.
මේ කියන වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක කාරියෙහි වර 18 ක් සේවය කර තිබේ. ඉන් 9 ක්ම ඔහු ජනාධිපතිව සිටි කාලය වන අතර ඒ කාලය පුරාම ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විය. එපමණක් නොව ජනවාරි 8 දා ඔහු පැරදී මැදමූලනට හෙලිකොප්ටරයකින් පලා යද්දී ද ඔහුගේ ආරක්ෂකයා ලෙස මැදමූලනට ගිය එස්.එම්. වික්‍රමසිංහ. ඉන්පසුව ඔහු ජනෙල් වල වවුලකු මෙන් එල්ලී කෑ ගසද්දී පවා ඔහුගේ ආරක්ෂකයා ලෙස රාජකාරි කෙළේය. ඔහු මැදමූලනින් කොළඹ ආවේ සති 2 ක් ගත වීමෙන් ද පසුවය. ඒ පැමිණ ඔහු බලා සිටියේ නව ආණ්ඩුවෙන් යාපනයට මාරු වීමක් ලැබෙන තුරුය.
එසේ තිබියදී ජනාධිපති මෛත්‍රීට නාමල්ගේ ආරක්ෂකයෙකු ගිනි අවියක් සමග කිට්ටු කිරීමට දින 3 කට පෙර හදිසියේම මහින්ද රාජපක්ෂ විදේශ මාධ්‍යයකට වික්‍රමසිංහ තමන්ව පාවා දුන්නා යයි කියන්නේ ඇයි?
ඒ අන් කිසිවක් නිසා නොව දින 3 කට පසු මෛත්‍රී ජනාධිපති සම්බන්ධව යම් බිහිසුනු සිදුවීමක් සිදුවන බව දන්නා නිසා ඊට වගකිව යුතු වන මෛත්‍රීගේ ආරක්ෂක ප්‍රධානියා වන වික්‍රමසිංහ සහ තමන් අතර සම්බන්ධයක් නැති බව ලෝකයාට කලින් තියා තහවුරු කිරීමට ය. අනෙක් අතට තමන් විසින් මෛත්‍රී අසල පැල කර ඇති වික්‍රමසිංහ කෙරෙහි සැකයක් ඇති වීම වලක්වන්නට ය. මේ අනුව මහින්ද රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට කියන ‘ටී ටේස්ටර්‘ සම්බන්ධයෙන්ද සැලකිය යුතුය. එනම් මෛත්‍රී ජනාධිපතිවරයාට වස දීමේ සූදානමක් තිබෙන බව මෙයින් අනුමාන කළ හැකි නිසාය.
විශේෂඥ මත
2. දෙවැන්න නම් ජනාධිපති වරයාගේ ආරක්ෂාව බිඳ වැටීම සම්බන්ධයෙන් විශේෂඥ මත කිහිපයකි.
කිසියම් ප්‍රභූ පුද්ගලයෙකුගේ ආරක්ෂාවට සිටින පිරිස එම ප්‍රභූ පුද්ගලයා දරණ තනතුරින් ඉවත්ව ගිය පසු අලුතින් පත් වන අනුප්‍රාප්තික ප්‍රභූ පුද්ගලයා වෙනුවෙන්ද ආරක්ෂාවට තබා ගන්නා තියරියක් ලෝකයේ කොහේවත් නැත. මන්ද යත් පළමු ප්‍රභූගේ ආරක්ෂාවට සිටින පිරිස ඔහුට පක්ෂපාතී වනවා මිස දෙවැනි ප්‍රභූට පක්ෂපාතී වන්නේ නැති නිසා ය. නමුත් මහින්ද රාජපක්ෂගේ සිටි ජනාධිපති ආරක්ෂකයන්ට මෛත්‍රී ජනාධිපති වීමෙන් පසු කැමති කෙනෙකුට සිටින ලෙසත් කැමැති කෙනෙකුට ඉවත් යා හැකි බවත් පැවසීමෙන් පසු කොටසක් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව වෙනුවෙන්ද ක්‍රියා කරති. මෙය ලෝකයේ සිදුවන්නක් නොවේ.
3. ජනාධිපති ආරක්ෂක ප්‍රධානී ජ්‍යෙ.නි.පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ සම්බන්ධයෙන් පැන නගින විශේෂඥ ගැටලු මෙසේය. ඔහු මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරද්දී ආරක්ෂක වළලු 3 ක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී රාජපක්ෂ සිටින ස්ථානයේ සිට මීටර් 200 කටත් ඈතින් රාජකාරි කරන පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි පවා ඉවත් කර ඇත. එවැන්නක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කෙරෙහි පවත්වාගෙන නොගියේ ඇයි? පෙර කී සැකකාර කෝප්‍රල් වරයා හසුවන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මීටර් කිහිපයක් ලඟදීය.
4. ගිනි අවිය සහිත කෝප්‍රල් වරයා හසුවන්නේ එස්ටීඑෆ් නිලධාරීන්ට වන අතර ඒ වන විට ඔහු පීඑස්ඩී නිලධාරීන්ගේ ආරක්ෂක වළලු 2 ක් පසුකර පැමිණ සිට ඇත. එස්ටීඑෆ් නිලධාරීන් අල්ලා ගන්නා විට ඔහු ලඟ තිබූ චෙකෝස්ලෝවැකියාවේ නිපැයූ මිමි.9 යේ ස්වංක්‍රීය පිස්තෝලය සම්පූර්ණයෙන්ම උණ්ඩ වලින් පුරවා තිබූ අතර ඔහු සිටියේ ජනාධිපතිවරයාට වෙඩි වදින සීමාව තුල ඔහුට ඉතාමත් ලඟින් ය. අල්ලාගැනීමෙන් පසු වික්‍රමසිංහගේ පීඑස්ඩී නිලධාරීන්ට මේ පුද්ගලයා බාර දුන්නද වික්‍රමසිංහ ඔහුව නිදහස් කරන ලද්දේ කුමන විශ්වාසයක් නිසා ද? නාමල්ගේ ආරක්ෂකයෙක් යැයි කී පමණින් නාමල්ගෙන් ඒ පිලිබඳ සැක හැර දැනගත්තාද? මන්ද යත් නාමල් රාජපක්ෂ පසුව මාධ්‍යයකට කියා සිටියේ එම කෝප්‍රල් වරයා තමාගේ ආරක්ෂකයෙක් නොවන බවයි. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාවට නිල වශයෙන් සිටිය හැක්කේ එම්.එස්.ඩී නිලධාරීන් මිස හමුදා නිලධාරීන් තබා ගත නොහැකිය. එසේ තිබියදී වික්‍රමසිංහ මෙම කෝප්‍රල් වරයා නිදහස් කෙළේ කෙසේද? නිදහස් කිරීමෙන් පසු ඔහු යලිත් අල්ලා ගන්නේ එස්ටීඑෆ් නිලධාරීන් විසිනි.
5. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව පිලිබඳ දැන් ගැටළුවක් පැන නැගී ඇති නිසා විශේෂඥ මතය වන්නේ ඔහුගේ ආරක්ෂකයන් අලුතින් තෝරා ගත යුතු බවයි. තෝරා ගන්නවුන් සම්බන්ධයෙන් වෙන වෙනම බුද්ධි අංශ වාර්තා කැඳවා පක්ෂපාතීත්වය තහවුරු කරගැනීමෙන් පසුව බඳවා ගත යුතුවා මිස ‘කැමති කෙනෙක් ඉන්න කැමැති කෙනෙක් යන්න‘ නම් තියරියෙන් ඉදිරියට කටයුතු කිරීමෙන් වලකින ලෙසයි.
6. මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එස්.එම්.වික්‍රමසිංහ අතර මිත්‍රත්වයක් තිබෙනා බව සත්‍යයකි. එනම් එස්.එම්. වික්‍රමසිංහ යනු වරක් ගොවි රජා ලෙස පත් වූ පොලොන්නරුවේ ගොවි රජාගේ පුතෙකි. ඔහු අධ්‍යාපනය ලබන කාලයේදී පවා මෛත්‍රීපාල මහතා උදව් පදව් කර ඇත. වික්‍රමසිංහ සරසවි වරම් ලැබූ අවස්ථාවේදී ද උදව් කර ඇති අතර සරසවියෙන් පිටවූ පසු සිරිමා බණ්ඩාරනායක මැතිණිය සමග කතා කොට පොලිසියේ ඒ.එස්.පී වරයෙක් ලෙස රැකියාව අරන් දෙන්නේ ද මෛත්‍රීපාල මහතාම ය. නමුත් වසර 18 ක් මහින්දට සේවය කළ වික්‍රමසිංහ සම්බන්ධයෙන් මේ වන විට සැක පහළ වී අහවර ය. ඔහු විසින් තමා දැඩි ආරක්ෂාව ලබා දීමට බැඳී සිටින ප්‍රභූ වරයාගේ ආරක්ෂාව බිඳ දමා අහවරය. ඔහු ඊට වගකිව යුතුය.
එකම වරද දෙවතාවක් සිදුවීමට ඉඩ දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැති වුවද ඔහු පත්කර ගන්නා ලද ජනතාව කැමැති නැත. මන්දයත් රාජපක්ෂලා යනු තිරිසන් මිනීමරුවන් පිරිසක් බව මේ රටේ ජනතාව දන්නා නිසාත් රාජපක්ෂලාගේ පරාජය සම්බන්ධයෙන් ඔවුන් වැඩියෙන්ම වෛර කරන්නේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි නොව මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා කුමාරතුංග කෙරෙහි බවත් ජනතාව දන්නා නිසා ය.
-විශේෂ ලියුම් කරුවෙකු විසිනි-
---------------------------
by (2015-04-29 09:48:46)
Leave a Reply
It's high time Sarath Fonseka takes over or over look in to President's safety (security). MR or GR won't be able to bull shit the LEGEND.
-- by Hirantha Fonseka on 2015-04-29
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි