~

පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨා සහ කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීම පමා වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරදින්: නෑ ස්කොට්ලන්ඩ්යාඩ් වාර්තා ආවේ නෑ: ලබන මස වරදකරුවන් අධිකරණයට ගේනවා -නීතිපති දෙපාර්තමේන්තුව

(ලංකා ඊ නිව්ස් -2015.මැයි.25, ප.ව.3.35) හිටපු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ් රවිරාජ් මහතා ඝාතන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණ අවසන් කර ඇතත්, මෙම අපරාධයේ ප්‍රධානතම විත්තිකරුවන් දෙදෙනා වශයෙන් හඳුනාගෙන ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසකගේ ඇල් මැරුණු වැඩ කෙරුවාව නිසා බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ් රවිරාජ් මහතා ඝාතන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණ අවසන් කර සාක්ෂි සටහන් හා පරීක්ෂණවල ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ පිණිස යොමුකර දැනට  දීර්ඝ කාලයක් ගත වී ඇත.

මෙම විශේෂ පරීක්ෂණයේදී නාවික හමුදාවේ නිලධාරීන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක වළල්ලේ සහ හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ආරක්ෂාව භාර ප්‍රධානියා ලෙස සැළකෙන ආමි රොෂාන් හෙවත් සම්පත් මුණසිංහ ද ඒ අතර වෙයි.

මෙම අපරාධයේ ප්‍රධානතම විත්තිකරුවන් දෙදෙනා වශයෙන් හඳුනාගෙන ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අවසර ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කළේ නඩරාජ් රවිරාජ් ඝාතනයට උපදෙස් දී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවටත් අදාළ ඝාතනය සෘජු ලෙස මෙහෙයවා ඇත්තේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බවට සාක්ෂි රැසක් ලැබී තිබීම හේතුකොටගෙන බව අනාවරණය වෙයි.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂව සහ වසන්ත කරන්නාගොඩව අත් අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් වැඩිදුර උපදෙස් පතා ඇතත් ඊට ප්‍රතිචාර දැක්වීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ වනතෙක් සිදුනොකිරීම නිසා එම පරීක්ෂණ කටයුතුද හමස් පෙට්ටියට ඇද වැටෙමින් පවතින අතර ප්‍රධාන විත්තිකරුවන් ද නීතියේ රැහැනින් මිදී නිදහසේ සැරිසරමින් සිටිති.

මෙම කල් මැරීම සිදුකරන්නේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ගේ සමීප හිතවතුන් පිරිසක් වශයෙන් සැළකෙන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රධාන රජයේ නීතිඥවරුන් පිරිසක් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට තොරතුරු ලැබී තිබූ නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ප්‍රකාශකයෙකුගෙන් ලංකා ඊ නිව්ස් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙකී පරීක්ෂනය පිලිබඳ ලිපිගොනුව ශවීන්ද්‍ර ප්‍රනාන්දු භාරයේ තිබෙන්නක් නොවන බවත් ඔහු ඒ පිලිබඳ කටයුතු නොකරන බවත්ය. ශවීන්ද්‍ර ප්‍රනාන්දු මේ වන විට ෆීජි හි රැකියාව සඳහා පිටත්ව යෑමට දෙපාර්තමේන්තුවෙන් නිවාඩු අනුමත කරගෙන ඇතැයිද ප්‍රකාශකයා පැවසීය.

කෙසේ වෙතත් සිදුව ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ පමාව ගැන අදහස් දැක්වූ ප්‍රකාශකයා පවසා සිටියේ මෙම පරීක්ෂන සඳහා ස්කොට්ලන්ඩ්යාර්ඩ් පරීක්ෂකයන් මෙරටට පැමිණ සහාය දැක්වූ බවත් ඔවුන් යම් සාම්පල ප්‍රමාණයක් වැඩිදුර පරීක්ෂන සඳහා එංගලන්තයට රැගෙන ගොස් ඇති අතර තවත් සාම්පල ප්‍රමාණයක් ඉල්ලා ඇතැයිද ඒවායේ වාර්තා තවමත් ලැබී නොමැති වීමත් නීතිපති දෙපාර්තමේන්තු කටයුතු පමා වීමට එක් හේතුවක් බවයි. ඒ කෙසේ වෙතත් ලබන මාසය නිම වන්නට පෙර රවිරාජ් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ සහ නීතිමය කටයුතු නිමා කරමින් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට හැකිවෙතැයි නීතිපති දෙපාර්තමේන්තු ප්‍රකාශකයා අවධාරණය කෙළේය. 

---------------------------
by     (2015-05-25 10:25:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links