~

‘යුද බිමේ වෙඩි හඬවල් නැති වුනාට ඒ වෙඩි හඬම වෙන තැනකින් ඇහෙනවා‘ -එංගලන්තයට පැමිණි ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර කියයි

(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.01, ප.ව.11.00) එංගලන්තයේ  වෙසෙන ශ්‍රී ලාංකික කලා  හා මාධ්‍ය කරුවන් පිරිසක් එකතුව   උසස්  කලා හා  සංස්කෘතික රසයක්   ලබා දීම අරමුනු කොට ගොඩ නැගුණු  අගෝරා  සංස්කෘතික කවයේ තවත් රසවත් සොඳුරු සැඳෑවක් ලන්ඩන්  නගරයට නුදුරින් ඇති  Middlesex  Sudbury Town -  Vale Farm  හිදී පසුගිය ඉරුදින ගෙවී ගියේය.    එලෙස  රසබර සැඳෑවක් වූයේ තවත්  සොඳුරු  කලා ශිල්පියෙකු හා ගෙවුණු හෝරා කිහිපයක් නිසාවෙනි.  කොළඹ  සෞන්දර්ය හා ලලිත කලා විශ්ව විද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන චිත්‍ර හා මූර්ති ශිල්පි චන්ද්‍රගුප්ත  තේනුවර සමග චිත්‍රකලාව පිලිබඳව කෙරුණු අර්ථාන්විත කෙටි දේශනය පැමිනි සිටි  සැමදෙනෙකුගේම හදවත් සොඳුරු හැඟීම් ඇති කිරීමට සමත් වූයේය. 

චිත්‍රකලාව හා මූර්ති ශිල්පය පිලිබඳව   පර්යේෂනාත්මක කටයුත්තක්  වෙනුවෙන්  මේ දිනවල එක්සත් රාජධානියට පැමිණ සිටින චන්ද්‍රගුප්ත තේනුවර මහතා අගෝරා සංස්කෘතික කවයේ ආරාධනාවක් මත මෙම හමුවට පැමිණ සිටි අතර  චිත්‍රකලාව  පිලිබඳව ඔහුගේ විද්වත්  දැක්ම ඉතා සරල බසින් පැහදිලි කලේය.  

දෘශ්‍ය කලාව තුළ තේනුවරගේ භාවිතය හා කාලීනව පරීණාමය වූ ආකාරයත් ඒවායෙහි දේශපාලනික  ප්‍රකාශනය , කලා නිර්මාන බිහිවීමට හේතුවූ වස්තුබීජ හමුවූ ආකාරය වැනි මාතෘකා රැසක් ඔස්සේ දේශනයට සවන් දීමට පැමිනි සිටි පිරිසට අවස්ථාව  සැලසුනි.

වර්තමාන ලෝකයෙන් මනුෂ‍්‍යත්වය හා උතුම් ගුණ ධර්ම වියැකී යමින් තිබෙන මෙවැනි යුගයක කලා කරුවා සතුව ඉහල  කාර්යක් පැවරී  ඇතත් අද ඇතම් කලාකරුවන් කරනුයේ බලයේ සිටින පාලකයින් සතුටු කරන  යමක් කර මිල මුදල් හරි හම්බ කිරීම බව පැවසූ තේනුවර මහතා  පෑන හා පින්සලද මූර්තිය තුලින්ද යහපත් සමාජයක් ගොඩනැගීමේ මහඟු කාර්ය වෙනුවෙන් කැපවිය හැකි බවද  පෙන්වා දුන්නේය.   සැබෑ කලාකරුවාගේ අද දවසේ ඇති කාර්ය පිලිබඳව  ඔහු ඉතා සුපැහදිලි කතනයක් මෙහිදී ඉදිරිපත්කර සිටියේය. දේශපාලනයෙන් තොර කලාව පමණක් නොවෙයි, කිසිවක්ම  නැහැ.  යම් කලා නිර්මාණයක් හෝ වෙනත් ඕනැම දෙයක් දේශපාලනය හා සම්බන්ද   වෙලා  තියෙන්නෙ.  හැම මිනිසෙක් ම දේශපාලන සත්වයෙක්. හැම සමාජයක් ම දේශපාලනිකයි.  ඒ නිසා චිත්‍ර ශිල්පියකුට හෝ වෙනත් කිසිම කලාකරුවකුට මේකෙන් වියුක්ත වෙලා හුදකලා වෙලා ඉන්න බැහ. පාලක පංතියේ උවමනාවන් වෙනුවෙන් පෙනී  ඉන්න ගමන් එහෙම නැති බවක්  පෙන්වන්න කවුරු හරි කලා කරුවෙක් උත්සාහ ගන්නවනම් ඒක බොරුවක්.  කලාකරුවා  සිටිය යුත්තෙ  ජනතාව සමඟ කියන මතයේ  මම ඉන්නෙ.  

වර්තමානයෙහි කලා කටයුතු සම්බන්දව ඔහුගේ  භූමිකාව සම්බන්දව සිය අදහස් ප්‍රකාශ කරසිටි   ආචාර්ය තේනුවර මහතා දිගු කලක් තිස්සේ ස්වකීය මොස්කව් නුවර අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු 1997  පමන වෙද්දී තමන් ශ්‍රි ලංකාවට පැමිනෙන විට යුද්ධය  විසින් මිනිසුන්ගේ ජීවිත විනාශ කරමින් උතුරු - දකුණ  වෙනසකින් තොරව සමාජය පුරා බිය සංත්‍රාසය පැතිරෙමින් තිබූ බවද එහිදී  එම ජාතිවාදී යුද්ධයට විරෝධය පලකරමින්   චිත්‍රය හා මූර්තිය යෙදවූ බවද කියා සිටියේය. කොළඹ පමනක් නොව රටේ බොහෝ නගර හා ගම්වල යන එන මංමාවත්වල  බැරල් හරස් කරමින් මිනිසාගේ ගමන් බිමන් පරික්ෂාව මගින් බැරල් සංස්කෘතියක් ගොඩනැගුනු බව කියා සිටි ඔහු 1997 සිට 2005 දක්වා කාලය තුල  බැරල්වාදය නමින්  නවතම කලා මූර්තියක් ඉදිරිපත් කිරීමට සිදුවූ බවද කියා සිටියේය.   වර්තමාන සමාජයේ මිස්සු කලා කරුවො  හැටියට හඳුනගෙන ඉන්න ඇතම් අය පාලකයින්ගෙ ඕනෑ එපාකම් වෙනුවෙන්  මිල මුදලට යටවෙලා මායාව හරහා දේශපාලන අපරාධ හා  සමාජ ව්‍යසනයන් සඟවා තබන්න උත්සාහ ගනිමින් ඉන්නව.  ඒ තුලින් මිනිසාගේ මනස විකෘති කරන කලාවක් ගේන්න උත්සාහ ගන්නව.  මිනිස්සු  මෙන්න මේ මායාකාරී  සුන්දරත්වයෙන් මුලා වෙලා ඉන්නෙ. ඒ නිසා දැකිය යුතු බොහෝ දේවල් ඒ අයට පේන්නෙ නෑ.  ඒ  නොපෙනෙන යතාර්ථය  පෙන්නුම් කරන දේවල් අපි  ජනතාවාදී  කලා කරුවො හැටියට  කලයුතුව ඇතයිද ආචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර මහතා  සිය  දේශනයේදී වැඩිදුරටත් කියා සිටියේය. 
 
මුලින් ආරම්භකල බැරල්වාදය නම්වූ කලා නිර්මානය පසුව   නව බැරල්වාදය දක්වා පැමිණ තිබෙන බව සඳහන් කල ආචාර්ය තේනුවර  දැන් ගෙවි යනුයේ  පශ්චාත් බැරල්වාදි යුගයක් යයිද  කියා සිටි අතර  දැන් යුද්ධය අවසන්, නමුත් ඒ යුද්ධයේ ඡායාවන් තවමත් තිබෙනවා. ඒව සම්පූර්ණයෙන් ම ඉවත් වෙලා නැහැ. සැබෑ සාමයක් තවමත් ගොඩනැගිල නැහැ. සමාජයේ  බියවැද්දීම් ඒ විදියට ම සිදු වෙනවා. යුද බිමේ වෙඩි හඬවල් නැති වුනාට ඒ වෙඩි හඬ ම වෙනත් තැනකින් ඇහෙනවා.  මේ නිසා සමාජයේ ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනව.  ඒ නිසා මේ සියල්ල යම් දෘෂ්‍ය භාෂාවකට ගොඩනගල සාකච්ඡා  කිරීම කලා කරුවාගේ සමාජ යුතුකම වී ඇතයිද  සඳහන් කළේය. දේශනයෙන් අනතුරුව චිත්‍රකලාවේ න්‍යායික පසුබිම හා ලංකාවේ දෘශ්‍ය කලා භාවිතය, තාක්ෂණයේ දියුණුව  වැනි විවිධ මාතෘකා ඔස්සේ විසිරුණු ප්‍රශ්න සභාවෙන් නැගුණු අතර සියල්ල මූලික කොටගත් සාකච්චාවක්ද නිර්මාණය වුණි. 

 හැම තැනම පෙනෙන්නට තිබෙන ජනප්‍රිය කලාව ඇසුරු කොට සිදුකෙරෙන කලා කටයුතුවලට වඩා යම් ආකාරයක පර්යේශනාත්මක කලා කටයුතු කෙරෙහි නැඹුරුතාවයක්,  ආදරයක් දක්වන කලා රසිකයින් පිරිසක්  අගෝරා  සංස්කෘතික කවය සූදානම් කල මෙම  සම්මන්ත්‍රනයෙදී   හමුවීමට ලැබීම කෙරෙහි සිය   සතුට හා ප්‍රසාදය පලකර සිටින බවද විශේෂයෙන්ම විදෙස් රටකදී මෙවැනි පිරිසක් හමුවීම තමන් ඉතා අගය කරන බවද   ඔහු  සඳහන් කළේය. 

 

---------------------------
by   සටහන සහ සේයාරූ -ගාමිනී මුතුකුමාරණ   (2014-10-01 21:54:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

එදා වෙඩි හඩ අහුනෙ උතුරෙ, දෑන් මුලු රටෙම. ත්‍රස්තවාදෙට එල්ල උනු තුවක්කු දෑන් අපිටම එල්ල කරනව. මෙහෙමත් දෑහමි පලනයක්ක්. සුලු ජාතීන් බාරගන්න වෙන රටවල් ඉන්නව, අපිව බර ගන්නෙ කවුද????????????? තාම මුන් යුද්දෙ විකුනගෙන කනව, සිහල අපිට තෙරුවන් සරන පතමු.
-- by Sinhalaya on 2014-10-03

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links