ජවිපෙට ප්‍රශ්ණයක්..! අගෝස්තු 17 ජනවාරි 08 න් වෙනස් ද ? - සුනන්දගේ සටහන

(ලංකා ඊ නිව්ස්- 2015.අගෝ.07, පෙ.ව. 7.30) එලඹෙන අගොස්තු 17 වනදා පැවැත්වෙන මහා මැතිවරණයෙහි තීරනාත්මක ප්‍රශ්ණය කුමක්ද? මෙම මහා මැතිවරණය සහ ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණය අතර ඇති වෙනස කුමක් ද? ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයට අදාළ තර්ක මෙම මහා මැතිවරණයට අදාළ ද නැත්ද?

ජනවාරි 08 දා පැවැති ජනාධිපතිවරණය රාජපක්ෂ භීෂණය සහ දූෂණය පිටු දැකීම සහ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් පිහිටුවීම සඳහා වූ තීරනාත්මක අරගලයක් විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එම අරගලයේ මහා පොදු සාධකය විය. එම අරගලය පැවැතියේ සහමුලින්ම අසමාන තරඟකරුවන් දෙදෙනෙකු අතර ය. හිටපු ජනාධිපති රාජපක්ෂ සටන් වැදුණේ සමස්ත රාජ්‍ය ව්‍යුහයම සිය අණසක යටතේ තබා ගනිමින් එම බලය පාවිච්චි කරමිනි. ඔහු සතුවූ මර්දන බලය සහ මුල්‍ය බලය අසීමිත විය. 

ඔහුගේ ප්‍රතිවාදියා වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේ ප්‍රධාන වශයෙන් ම එක් සාධකයක් නිසා ය.  එනම් රාජපක්ෂ භීෂණය සහ දූෂණය පරදවා ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීමට  සියලු විපාක්ෂික බලවේග අතර ගොඩ නැගුනු පොදු එකඟතාවය නිසා ය. 

අගොස්තු 17වන දින පැවැත්වෙන මහා මැතිවරණය ඉන් වෙනස් වන්නේ ද? උත්තරය මූලික වශයෙන් ‘නැත‘ යනුය. මන්ද යත් අගොස්තු 17දා පැවැත්වෙන මහා මැතිවරණයෙන් බලයට පැමිණ යළි සිය ආධිපත්‍ය පිහිටුවීමට එම මහින්ද රාජපක්ෂම දැන් අපේක්ෂා කරන නිසා ය. වැරදීමකින් හෝ මහින්ද රාජපක්ෂ විධායක බලතල සහිත අගමැති බවට පත් වුව හොත් ජනවාරි 08 දා නිහඬ විප්ලවයෙන් මෙරට ජනතාව දිනා ගත් සියලු අයිතීන් ආපස්සට හරවනු ඇති බවට සැකයක් නැත. ඔහු අගමැති තරඟයට ගෙන ඒමට පිඹුරුපත් සැකසූ බොහෝ දේශපාලනඥයින් දුෂිතයින් හෝ වර්ගවාදී භීෂිතයින් ය. වීරවංශ සහ ප්‍රසන්න රණතුංග දූෂිතයින් බවට සාක්ෂි ගොඩ නැගෙමින් පවතින අතර දිනේශ් සහ ගම්මන්පිළ වර්ගවාදී භීෂකයෝ වෙති. ඩිලාන් පෙරේරා. අනුර ප්‍රියදර්ශන සහ ප්‍රේම ජයන්තටද එරෙහිවද දූෂණ චෝදනා නැගී තිබේ. මහින්දානන්ද සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යනු භීෂණයට සහ දූෂණයට නමක් ගත් තවත් එවැනි දෙදෙනෙකි. වාසුදේව යනු පකයෙකි. රාජපක්ෂගේ ඡන්ද සටනේ කප්පිත්තන් වන්නේ ඔවුන් හා එවැනි තවත් පිරිස් ය. 

මෙම දේශපාලනඥයින්ට අමතරව පසුගිය සමය පුරා මෙරට ජනයාගේ මානව හිමිකම් බිය ජනක ලෙස පාගා දමමින් සුදු වෑන් මර්දනය ගෙන ගිය ආරක්ෂක හමුදා සහ සමාන්තර හමුදා කල්ලි ද වෙති. එක් උදාහරණයක් නම් ත්‍රිකුනාමල නාවික හමුදා කඳවුරෙහි ‘පිට්ටු බම්බුව’ නම් නීති විරෝධී කඳවුරක කප්පම් ගැනීම පිනිස දෙමළ සහ මුස්ලිම් තරුණ පිරිස් රඳවා තබා ගත් බවට සාක්ෂි සහිතව ඔප්පු වී තිබීමයි. කිසිදු හේතුවක් නැතිව කොළඹින් පැහැර ගන්නා ලද එම පිරිස් කප්පම් ගැනීමෙන් පසුව ඝාතනය කර තිබේ. මෙම තිරශ්චීන අපරාධයට චෝදනා ලබා ඇත්තේ හිටපු නාවික හමුදාපතිගේ සමීපතමයින් ය. රහස් පොලීසියේ සොයා ගැනීම් මත මැත දී ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති පරිදි ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ඇත්තේ දෙමළ සමාන්තර හමුදාවක් විසින් වන අතර ඔහු බාර දී ඇත්තේ මින්නේරිය හමුදා කඳවුරට ය. කොළඹදී ඝාතනය කරන ලද දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මංත්‍රී රවිරාජ්ට වෙඩි තබා ඇත්තේ නාවික හමුදාවට අයත් ගිනි අවියකින් බව දැන් සොයා ගෙන තිබේ.
 
මෙම අපරාධයන් හුදෙක් දැන් ගෝඨාභය රාජපක්ෂ කියන පරිදි යම් යම් ආරක්ෂක හමුදා පිරිස් විසින් කරන ලද ඒවා නොව රාජපක්ෂ ආන්ඩුවේ දේශපාලන බලවතෙකුගේ අනුදැනුම යටතේ සිදු වූ බවට ඇඟිල්ල දිගුවෙමින් තිබේ. රාජපක්ෂ බලයට ගෙන ඒම මෙම සියලු අපරාධකරුවන්ගේ අපේක්ෂාව වනු ඇත.

ඝාතනයක් බව දැන් තහවුරු වී ඇති රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය තවත් එකකි. ඔහුගේ ඝාතකයින්ට මෙන්ම  එම ඝාතනය හදිසි අනතුරක් සේ හුවා දැක්වූ පොලිස් නිලධාරීන්ටද දැන් ඇති එකම පිහිට රාජපක්ෂ යළි බලයට ගෙන ඒම පමණ ය. මෙවැනි ඝාතන රාජපක්ෂ සමයේ තව කොතෙකුත් වන්නට ඇත් ද?

මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට දැරෙන ප්‍රයත්නය මෙම දෙපාර්ශවයේම අවශ්‍යතා මත සිදුවන එකකි. එබැවින් මහින්ද රාජපක්ෂ සහ මෙම කල්ලි (කල්පිතයක් ලෙස හෝ)  බලයට පත් වුව හොත් සිදුවනු ඇත්තේ කුමක්දැයි අලුතෙන් විග්‍රහ කර ගැනීමට අවශ්‍ය නැත. රාජපක්ෂවාදී දේශපාලනඥයකුගේම වචනයෙන් කියන්නේ නම් රාජපක්ෂ දූෂණ සහ භීෂණ සොයා බලා එම අපරාධයන්ට වගකිවයුතු පිරිස් නීතිය හමුවට ගෙන ඒමට දැරෙන උත්සාහයන් මරා දැමෙනු ඇත්තේ ප්‍රසිද්ධියේ ගල් ගැසීමෙනි. තම අතින් අල්ලා ගත් අධාරකරුවකුට පහර දීමට මිට මෙළවූ  රාජපක්ෂගේ භයංකර මුහුණ, ඔහු වැරදිමකින් හෝ බලයට පත්වුවහොත් ඇතිවන දේශපාලන තත්වයේ සංකේතයක් බව අප මතක තබා ගත යුතු ය. 

අගෝස්තු 17 වන දින එලඹෙන්නේ ජනවාරි 08 වන දින දිනා ගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන ඒමේ දෙවන පියවර මිස වෙනකක් නොවෙන්නේ එනිසා ය.

එසේ නමුත් ජනාධිපතිවරණ සටන සහ මහා මැතිවරණ සටන එකිනෙකට වෙනස් ය. මහා මැතිවරණයක දී විවිධ දේශපාලන පක්ෂ සිය අනන්‍යතාවය රැක ගැනීම සදහා තරඟ වදිති. දැන් ජනාධිපතිවරනයේ දී රාජපක්ෂට සහාය දැක් වූ පිරිස් මෙන්ම මෛත්‍රීපාල සිරිසේනට සහාය දැක් වූ පිරිස් ද බෙදී සිටිති. රාජපක්ෂට සහාය දැක්වූ යම් යම් පිරිස් නිල සහ නිල නොවන අන්දමින් ඔහුගෙන් බිඳී ගොස් ඇත්තේ එක්කෝ ජනවාරි 08 දා ඇති වූ යහපාලන වෙනසට සහාය දැක්වීමට ය. නැත්නම් රාජපක්ෂගෙන් කෑ බැට යලිත් කන්නට අවශ්‍ය නැති නිසා ය. එසේත් නැතිනම් ජනාධිපති සිරිසේනට ඇති පක්ෂපාතිත්වය නිසා ය. 

ජනවාරි 08 දා නිහඬ විප්ලවයට සහාය දැක් වූ පක්ෂ කිහිපයක් ද දුරස් වී සිටිති. දෙමළ ජාතික සන්ධානය ඉන් ප්‍රමුඛය. එය ස්වකීය බල පෙදෙස් වන උතුරු නැගෙනහිරදී වෙනම තරඟ කරන්නේ සිය දේශපාලන බලය රැක ගැනීම පිනිස ය. එයට ජාතික දේශපාලන දැක්මක් නැත. දෙමළ ජාතික සන්ධානය වෙනම තරඟ කිරීම නිසා රාජපක්ෂවාදී බලවේගයන්ට ලැබෙන අමතර වාසියක් ද නැත. 

දකුණේ දී ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙන්ව තරඟ කරති. ජෙනරල් සරත් පොන්සේකා නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැනටමත් මැතිවරන ව්‍යාපාරය තුළ දිය වී ගොසිනි. එය තවදුරටත්  සමස්ත මැතිවරණ ප්‍රතිපලයට බලපෑමක් කරන්නේ නැත. 

ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ භීෂණ සහ දූෂණ විරෝධී ව්‍යාපාරයේ පෙරමුණු සටන්කරුවකුව සිටි බැවින් ද  එය සතු පක්ෂ යාන්ත්‍රණය නිසා ද එලඹෙන මහා මැතිවරණයේ දී බලපෑමේ හැකියාවක් අල්ලා ගන්නට ඉඩ තිබේ. එය හොඳ දෙයකි. නමුත් එම හොඳ රඳා පවතිනු ඇත්තේ ජවිපෙ ලබා ගන්නා බලය විසින් රාජපක්ෂ දුර්වල කරන්නේ ද ශක්තිමක් කරන්නේ ද යන කරුණ උඩ ය. 

ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයට ජවිපෙ වෙනම තරඟ නොකළේ මන් ද?  එයට ඉන් ජය ගත නොහැකි බව දැන සිටි නිසා නොවේ. මන්ද යත් මෙම මැතිවරණයට එය තරඟ කරන්නේ ද ආන්ඩු බලයට ඒමට බැරි බව පිළිගනිමින් නිසා ය.  මෙම මහා මැතිවරණය ද ජනවාරි 08 දා සිදු වූ වෙනස ඉදිරියට ගෙන යැමේ තවත් පියවරක් වන නිසා  ජවිපෙ එක්කෝ ජනාධිපතිවරණයේ දී නැත්නම් මෙම මහා මැතිවරණයේ දී ගෙන ඇති ස්ථාවරයන්ගෙන් එකක් වැරදි ය. එදාත් අදත් සතුරා එකකි. එනම් රාජපක්ෂ භීෂණය සහ දූෂණය යි. 

මෙම අවස්ථාවේදී  මහා ජනයාගෙන් ජවිපෙ ඉල්ලා සිටින්නේ ආන්ඩු මට්ටුකරවන බලයක් තමන්ට ලබා දෙන ලෙස ය. කව්රුත් දන්නා බාසාවෙන් කියන්නේ නම් ආන්ඩුවේ රිමෝට් කොන්ට්‍රොල් එක තමන්ට දෙන ලෙසය. කෙටියෙන් තම පක්ෂයේ මංත්‍රීවරුන් ගණන ටිකක් වැඩි කර දෙන ලෙස ය‍.

මේ කියන රිමෝට් කොන්ට්‍රෝල් දේශපාලනය 2002 වසරට පෙර ජවිපෙ විසින් අත්හදා බලා අසාර්ථක වූ එකකි. එය චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමඟ ඇතිකර ගත් පරිවාස ආන්ඩුව අන්තිමේ දී එජාප ආන්ඩුවකට ඉඩ දී පරාජයට පත් විය. 2005 වර්ශයේ දී මංත්‍රී ආසන 42 ක් දිනා ගැනීමෙන් පසුව පවා ජවිපෙට සිය ප්‍රධාන හවුල්කරුවා වූ රාජපක්ෂගේ අඥාදායක ගමන නැවැත්වීමට නොහැකි විය. මෙම මැතිවරණයෙන් පසු ඊට වඩා දෙයක් කිරීමට ජවිපෙට හැකිවනු ඇතැයි කීමට ඇති සහතිකය කුමක් ද?

ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය චීනයෙහි මෙන් කොමියුනිස්ට් ධනවාදයක් අරමුණු කරයි. ජවිපෙ ආදර්ශයට ගන්නා රටවල් ලෙස එහි ප්‍රචාරක මාධ්‍යයන්ගෙන් දැක්වෙන්නේ පූටින්ගේ රුසියාව, චීනය, කොමේනිවරුන්ගේ ඉරානය සහ කියුබාව යනාදී රටවල් ය. මෙම කිසිදු රටක සැබෑ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ජනමාධ්‍ය නිදහසක් හෝ අන් සිවිල් දේශපාලන නිදහස් හෝ නැත. ඇමෙරිකාව ඇතුලු ධනවාදී රටවල් පට්ට ගසන නමුත් ජවිපෙ කිසි විටෙක එම රටවල පාලන ක්‍රම විවේචනය කර නැත. තව ද රුසියාව සහ යුක්රේනය අතර ගැටුමෙහි දී ජවිපෙ ඉන්නේ ආක්‍රමනික රුසියාව පැත්තේ ය. 

ජවිපෙට  අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු අධිරාජ්‍යවාදීන්ගේ උගුලකි. එජා සංවිධානය විසින් ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරිමට යම් යම් සීමා කිරිම් යටතේ වුව කරනු ලබන අරගලය ජවිපෙ සළකන්නේ අධිරාජ්‍යවාදී සැළසුම් ලෙස ය. ජවිපෙට මානව හිමිකම් දැක්මක් නැති බවට හොඳම නිදසුන නම් අතුරුදහන් කරවන ලද දහස් ගණනාවක් වූ සිය පාක්ෂිකයින්ට යුක්තිය ලබා දීමට කිසිදු මැදිහත්වීමක් නොකිරීම යි. ජවිපෙට රාජ්‍ය ආරක්ෂා කිරීම මානව හිමිකම් වලට වඩා වැදගත් ය. මේ අනුව බලන විට බලය ලැබුනහොත් ජවිපෙ වාම අඥාදායකත්වයක් ක්‍රියාත්මක කරනු ඇතැයි බියවීම අහේතුක නොවේ.
 
ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ජවිපෙ  අඩුම වශයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයවත් පිළිගන්නේ නැත. ජවිපෙ අත් එසවෙනු ඇත්තේ දෙමළ ජනතාවට ලැබී ඇති අවම විසඳුම වන 13 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ය‍. ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්ධයෙන් එහි ප්‍රතිපත්තිය වන්නේ සමාජවාදය යටතේ වාර්ගික වෙනස්කම් නැති වන්නේ ය යන අභූත මිථ්‍යාවකි.  

වත්මන් ලෝක යථාර්තයන්ට ගැලපෙන්නා වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මතවාදයක් කරා ගමන් කරමින් ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් ලබා දීම යන ප්‍රධාන දේශපාලන වෙනස්කම් වලින් තොරව ආන්ඩු මට්ටු කරවන සාධනීය බලවේගයක් බවට පත් වීමට ජවිපෙට හැකි වනු ඇතැයි සිතීම දුෂ්කරය. තව ද සිය දේශපාලනය මගින් රාජපක්ෂවාදී භීෂණ සහ දූෂණ බලවේග ජය නොගන්නා බව සහතික කිරීම ද ජවිපෙ දේශපාලන සුජාත බව සඳහා අත්‍යවශ්‍ය වනු ඇත. 

-සුනන්ද දේශප්‍රිය විසිනි-

---------------------------
by     (2015-08-07 02:37:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

How many colours in the list elephant, monkey, tongue and green?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more