~

ජාතික ලැයිස්තු බෝනස් ආසන 2 නිසා ජවිපෙ දේශපාලන මණ්ඩලය දෙකඩ බෙදේ: අවසාන තීරණය හෙට

(ලංකා ඊ නිව්ස් -2015.අගෝ.19, ප.ව.11.30)  ජාතික ලැයිස්තුවෙන් ලැබුනු බෝනස් ආසන දෙකට මැතිවරණයට තරඟ වැද පරාජය වූ සුනිල් හඳුන්නෙත්ති හා කේ. ඩී. ලාල්කාන්ත පත් කිරීමට යෝජනා වීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය මණ්ඩලය දෙකඩ වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 
 
මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කොට පරාජයට පත් වූ සුනිල් හඳුන්නෙත්ති සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කොට පරාජයට පත් වූ කේ. ඩී. ලාල්කාන්ත ජාතික ලැයිස්තුවෙන් පත් කළ යුතු බවට එක් කණ්ඩායමක් ප්‍රකාශ කරන අතර මැතිවරණයට පෙර ප්‍රසිද්ධ කරන ලද ජාතික ලැයිස්තුවේ ඉහළින්ම සිටි හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සමග වෙනත් නිර්පාක්ෂික නීතිවේදියෙකු හෝ සරසවි ආචාර්ය වරයෙකු හෝ පත් කළ යුතු යැයි තවත් කණ්ඩායමක් ප්‍රකාශ කර සිටිති.
 
මැතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ලෝකයේම හොඳම ජාතික ලැයිස්තුව ඇත්තේ තමන් වෙත බවයි. ඒ එසේ නම් යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවානම් හඳුන්නෙත්ති සහ ලාල්කාන්ත කෙතරම් හොඳ වුවද පත් කළ යුත්තේ පැරදුණු අපේක්ෂකයන් නොව ජාතික ලැයිස්තුවේ සිටින කලින් හොඳම යැයි පාරම් බෑ විද්වතුන්ගෙන් දෙදෙනෙකු යැයි එක් කණ්ඩායමක් ප්‍රකාශ කරති.

එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් ජාතික ලැයිස්තුවෙන් පැරදුනු අය පත් නොකරන බව නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කර තිබේ. එජනිස සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මතයද එයම බව පැවසේ. ප්‍රධාන පක්ෂ දෙක එවැනි සාධනීය ස්ථාවරයකට යද්දී ජනතා විමුක්ති පෙරමුණ පමණක් ප්‍රජාතන්ත්‍ර විරෝධීව මුරණ්ඩු ආකාරයෙන් ක්‍රියා කිරීමෙන් ජනතාව අතර අප්‍රසාදයට පත් විය හැකි යයි එම කණ්ඩායමේ අදහසයි.

අනෙක් පිරිස පවසන්නේ අදේශපාලනික පුද්ගලයන් කෙතරම් විද්වතුන් වුවද පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් ඵලක් නොවන බවයි. ජවිපෙ දුෂ්කර දේශපාලනයට හුරු වූ වෘත්තීය දේශපාලනඥයන් වූ ලාල්කාන්ත හඳුන්නෙත්ති වැනි පුද්ගලයන් මිස පැය 8 රාජකාරියට හුරු වූ රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට නුසුදුසු බව අනෙක් පිලේ මතයයි. ලංකා ඊ නිව්ස් මේ ගැන පාර්ලිමේන්තු සේවක මණ්ඩලයෙන් විමසූ විට කියා සිටියේ හඳුන්නෙත්ති සහ ලාල්කාන්ත දෙදෙනාම ඉතාමත්ම නම්‍යශීලීව සහයෝගයෙන් ක්‍රියා කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බවයි. 

කෙසේ වෙතත් නායක අනුර කුමාර දිසානායක සහ ලාල්කාන්ත අතර ඇති බල අරගලය මෙහිදීද ඉදිරියට පැමිණ ඇති අතර පරාජිත අය පත් කළ නොහැකි යයි කියන මතයට සහාය දක්වන අනුර දිසානායක එමගින් ලාල්කාන්ත කපා දැමීමට උත්සාහ කරන බවද තවත් පිරිසක් පවසති. 
 
ජවිපෙ මාධ්‍ය ලේකම් විජිත හේරත් මාධ්‍යයට පවසා තිබුනේ තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනා හෙට නම් කරන බවයි. 

---------------------------
by     (2015-08-19 21:46:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links