(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.07, ප.ව. 2.30) දැන් එක අරමුණක්, එක උපක්‍රමයක් සහ එක සැලසුමක් අනුව කතා කළ යුතු බවත් තම තමන්ගේ ප්‍රතිරූප ගොඩනැගීමට වෙනම කතා කිරීම නතර කළ යුතු බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය උෟව පළාත් සභා මැතිවරණයෙන් දී ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ උත්සවය අද පිටකෝට්ටේ, සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.
‘‘පසුගිය දා අවසන් වුණු උෟව පළාත් සභා මැතිවරණය මේ රටටත්, අපේ පක්‍ෂයටත් තීරණාත්මක මැතිවරණයක් බවට පත්වුණා. එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක කණ්ඩායමට හරීන් ප්‍රනාන්දු මහතා නායකත්වය ලබා දුන්නා. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂක කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයායි. එම තරගයෙන් ජනාධිපතිවරයා පරාජයට පත් වුණා.
උෟව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සමස්තයක් ලෙස ගත් කල උෟවේ ජනතාව විශේෂ පණිවුඩයක් ලබා දී තිබෙනවා. එම පණිවුඩය රාජපක්‍ෂ රෙජීමයත් ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත් කළ යුතු බව එම පණිවුඩයයි. දැන් රාජපක්‍ෂ රෙජීමය පන්නා දැමීමේ කටයුතු එක්සත් ජාතික පක්‍ෂයට බාර වී තිබෙනවා. ජනතාව ලබා දුන් එම වගකීම පිළිබඳ යුතුකම ඉටු කිරීමට අපට සිදුවී තිබෙනවා.
උෟව පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් එම කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා විශේෂ කැපවීමක් කළා. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී උෟව පළාත් සභා මැතිවරණයට නායකත්වය ලබාදීම වෙනුවෙන් අපි විශේෂයෙන්ම ස්තූති කරනවා. එමෙන්ම අපත් සමග කාලයක් පාර්ලිමේන්තුවේ සිටි රවී සමරවීර මහතාත් උෟව පළාත් සභාවට තේරී පත්වී තිබෙනවා. උෟව පළාත් සභා මැතිවරණයට තරඟ කළ සියලූම දෙනාටත්, ජයග්‍රහණය කළ සියලූ දෙනාටත් මම ඉතාමත් උණුසුම් ලෙස මගේ ස්තූතිය පුද කරනවා. එමෙන්ම මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් උදව් කළ පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙන්ම ජනතාවටත් මම ස්තූතිවන්ත වනවා.
උෟව පළාත් සභා මැතිවරණයේ දී අපට අපේ පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, සාමාජිකයින් ඇතුලූ සියලූ දෙනා උදව් කළා. එමෙන්ම වෙනත් දේශපාලන පක්‍ෂවල නායකයින් සහ සාමාජිකයින් ද උදව් කළා. අපි ඒ අයටත් විශේෂ ස්තූතිවන්ත වනවා. ඔවුන් සියලූ දෙනාගේම කැපවීම මත උෟවේ ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට අපට හැකියාව ලැබුණා.
උෟව පළාත් සභාවට තේරී පත්වූ සියලූම මන්ත්‍රීවරුන්ට උෟව පළාතේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ යුතුකමක් සහ වගකීමක් පැවරී තිබෙනවා. එමෙන්ම මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට නොහැකි වූ සියලූම අපේක්‍ෂකයින්ටත්, සංවිධායකයින්ටත් උෟවේ ජනතාවට සේවය කිරීමට විශේෂ වැඩ කොටසක් තිබෙන බව ද කිව යුතුයි.
සියලූ දෙනාම එක වේදිකාවකට ගෙන ඒම එහිදී මට තිබූ විශේෂ කාර්යයක් වුණා. ඉන් පසුව ඔවුන්ට අපේ පක්‍ෂයේ නිලතල ලබාදීමට කටයුතු කළා. එම වගකීම් සහ යුතුකම් මම ඉටු කළා. එමෙන්ම ඡන්ද දායකයින් ද එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ලබා දෙමින් ඔවුන්ගේ යුතුකම් ද ඉටු කොට තිබෙනවා.
ජනතාව ලබාදුන් ජන වරම අනුව කටයුතු කරමින් රාජපක්‍ෂ රෙජීමය පන්නා දැමීමට උෟව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ඇතුලූ සියලූම දෙනාට වගකීමක් පැවරී තිබෙනවා. අපට ඒ සඳහා එක අරමුණක්, එක උපක්‍රමයක් සහ එක සැලසුමක් තිබිය යුතුයි. තම තමන්ගේ ප්‍රතිරූප ගොඩනැගීමටවත්, වෙනම කතා කිරීමටවත් වුවමනාවක් නැහැ. එක්සත් ජාතික පක්‍ෂය දැන් එක හඬකින් කතා කළ යුතුව තිබෙන බව මනෝ ගනේෂන් මන්ත්‍රීතුමා ද පසුගිය දා ප්‍රකාශ කර තිබුණා. අපේ ජයග්‍රහණය තීරණය වන්නේ එවිටයි. එම වැඩ කටයුතු කිරීමට අපි දැන් සූදානම් විය යුතුයි.
එක්සත් ජාතික පක්‍ෂය මේ රටේ ආණ්ඩු විරෝධී ප්‍රධාන බලවේගයයි. උෟව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලවලින් එය පැහැදිලි වුණා. තනි පක්‍ෂයක් ලෙස 40% කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපට උෟව පළාත් සභා මැතිවරණයේ දී හැකියාව ලැබුණා. එහෙත් රාජපක්‍ෂ රෙජීමය පන්නා දැමීමට එක්සත් ජාතික පක්‍ෂය ඇතුලූ සමස්ත විපක්‍ෂයේ බලවේග සහ ආණ්ඩුව තුළ සිටින බලවේගත් එකතු කර ගත යුතුයි. දැනටමත් දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන රැසක් ඒ සඳහා එකඟත්වයකට පැමිණ ක්‍රියා කරමින් සිටිනවා. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පදනම් කොට ගෙන අපි එම කටයුතු සිදුකරමින් සිටිනවා.
එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම් මහතාට අපේ පක්‍ෂයේ ජනජය වැඩසටහන බාර දී තිබෙන්නේ ඉදිරි ජාතික මැතිවරණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පක්‍ෂය යළිත් ප්‍රතිසංවිධානය කරමින් එම කටයුතු සිදු කිරීම සඳහායි. නොවැම්බර් මාසය වන විට එම කටයුතු අවසන් කළ යුතුව තිබෙන අතර සමහර ආසන සංවිධායකවරුන් එම වැඩ කටයුතු සිදු කරන්නේ නැතිනම් ඔවුන්ගේ එම වගකීම් වෙනත් පිරිසකට ලබාදීමටත් කටයුතු කරනවා. එවැනි තද නීතියක් දැන් අපි පනවා තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයේ දී මුළු රටම එක මැතිවරණ කොට්ඨාශයක් බවට පත් වනවා. එම ජනාධිපතිවරණය වෙනුවෙන් වගකීම් බාර ගනිමින් ආසන සංවිධායකවරුන් ඇතුලූ සියලූ දෙනා පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ යුතුයි.
එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්දපොළ නියෝජිතයින් සියලූම දෙනා ලබන 24 වැනි දා කොළඹට කැඳවා පක්‍ෂය ජයග්‍රහණය කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේ පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් බාර ගෙන තිබෙනවා. එමෙන්ම අපේ පක්‍ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතාට එම වගකීම අපි බාර දී තිබෙනවා.
ඒ ආකාරයට අපි ඡන්දය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙනවා. අපි බිම් මට්ටම ශක්තිමත් කරන අතර තරුණ සහ කාන්තා සංවිධානත් ශක්තිමත් කළ යුතුයි. අපේ පක්‍ෂයේ පණිවුඩය අපි නිවැරදි ලෙස ගමට ගෙන යා යුතුයි. ආණ්ඩුව මුදල් වියදම් කොට මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සාහ ගන්නා විට අපි ගමින් ගමට ගොස් ජනතාව ආමන්ත්‍රණය කොට මැතිවරණය ජයග්‍රහණය කිරීමට ක්‍රියා කළ යුතුයි.
මේ රට සාටකයේ ජය භූමියක් බවට පත් කිරීමට අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ජනතාවගේ ජය භූමියක් බවට මේ රට පත් කළ යුතු බවක් ඔහු ප්‍රකාශ කරන්නේ නැහැ. දූෂකයින්ගේ ජය භූමියක් බවට මෙරට පත් කිරීම රෙජීමයේ අවශ්‍යතාවයයි. නැව් නොපැමිණෙන වරායයන් ගොඩනගමින්, ගුවන් යානා නොපැමිණෙන ගුවන් තොටුපොළවල් ඉදි කරමින්, ක්‍රීඩකයින් නැති ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකරමින්, විදුලි බලය නැති විදුලි බලාගාර ගොඩනගමින් මුදල් ගසාකන්නන්ගේ ජය භූමියක් බවටත්, මාර්ග ඉදිකරමින් කොමිස් කුට්ටි කඩා ගන්නන්ගේ ජය භූමියක් බවටත් මේ රට පත් කිරීමට රාජපක්‍ෂ රෙජීමය ක්‍රියා කරනවා. එමෙන්ම කොළඹන ගරය විකුණන අයගේත්, දූෂිතයන්ගේත්, භීෂකයන්ගේත්, ක්‍රිස් නොනිස්ට පහර දෙන අයගේත්, නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකරන අයගේත් ජය භූමියක් බවට පත් කිරීම රෙජීමයේ අරමුණයි. කුඩු කාරයන්ගේත්, කුඩු කාරයන් ආරක්‍ෂා කරන දේශපාලනඥයන්ගේත්, එතනෝල් ආනයනය කරන අයගේත් ජය භූමියක් බවට පත් කිරීම රෙජීමයේ අරමුණයි.
නමුත් එවැනි රටක් අපට අවශ්‍ය නැහැ. ජනතාව එවැනි රටක් බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ වගේම පවුල් පාලනයේත්, රෙජීමයේත් ජය භූමියක් බවට මේ රට පත් කිරීමට ජනතාවට කිසිඳු අවශ්‍යතාවක් නැහැ. ජනතාව පාගා දමමින් මුදල් උපයන අයගේ ජය භූමියක් බවට මේ රට පත් කිරීමටත් අවශ්‍යතාවක් නැහැ. දූෂණයෙන් හම්බ කරමින්, වරප්‍රසාද ලබමින්, භීෂණයෙන් බලවත් වූ 1% ක පුද්ගලයින්ගේ ජය භූමියක් බවට මේ රට පත් කිරීමටත් ජනතාවට අවශ්‍යතාවක් නැහැ.
රෙජීමයට අවශ්‍ය පරිදි සාටකයේ ජය භූමියක් බවට මේ රට පත් කිරීමට ඉඩ දිය යුතු නැහැ. සියලූ දෙනාම එකට එකතු කර ගනිමින් රෙජීමයේ එම අරමුණ පරාජය කිරීමට එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියා කරනවා. මේ රටේ ජනතාවට ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගිය යුතුයි. ඒ වගේම ජීවන මිල පහත දැමිය යුතුයි. ඒ වගේම ගොවිජනතාවගේ නිෂ්පාදනවලට නිසි මිලක් ලබාදිය යුතුයි. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමට අපට වගකීමක් තිබෙනවා. රැකියා ලක්‍ෂ 10 ක් බිහි කොට තරුණ තරුණියන්ට එම රැකියා ලබා දිය යුතුයි. එමෙන්ම මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ යුතුයි. රජයේ කාර්යාලවලින් මුදල් ගෙවීමකින් තොරව ජනතාවට තම කාර්යයන් ඉටු කිරීමට අවස්ථාව සැලසිය යුතුයි.
ජනතාවට ඇහුම්කන් දෙන මහජන නියෝජිත කණ්ඩායමක් අපට සිටිනවා. එසේ නම් මේ රට සාටකයේ හොරුන්ගේ ජය භූමියක් බවට පත් කරනවා වෙනුවට ශ්‍රී ලංකා භූමියේ ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කරන පාලන ක්‍රමයක් මෙන්ම, ජීවත් විය හැකි සමාජයක් ඇති කිරීම එකම විකල්පයයි. ඒ සඳහා එක්සත් ජාතික පක්‍ෂය ජනතාව අතරට ගොස් අපේ පක්‍ෂයේ පණිවුඩය එම ජනතාවට ලබාදිය යුතුව තිබෙනවා. ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් බිහි කිරීමට අපි අද සිටම ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා අපි සියලූ දෙනා එකතු වෙමින් රාජපක්‍ෂ රෙජීමය පන්නා දැමිය යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේශබන්දු කරු ජයසූරිය මහතා මෙසේ පැවසීය.
උෟව පළාතේ දී අපට මුහුණදීමට සිදු වුණේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට නොවෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැති දූෂිතම මැතිවරණවලින් එකක් ලෙස ඌව පළාත් සභා මැතිවරණය මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන විසින් ද හඳුන්වා තිබෙනවා. කිසිඳු සාධාරණත්වයක් උෟව පළාත් සභා මැතිවරණයේ දී අපි දුටුවේ නැහැ.
මැතිවරණ නීති පොතේ තිබෙන සියලූම නීතිරීති ආණ්ඩුව විසින් උල්ලංඝණය කළා. ආණ්ඩුවේ ඉහළම තැනේ සිට පහළම සාමාජිකයා දක්වාම එම මැතිවරණ නීති උල්ලංඝණය කළා.
සිල් රෙද්දේ සිට බෙදන්න පුලූවන් සෑම භාණ්ඩයක්ම බෙදා හරිමින් ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට කටයුතු කළා. අල්ලස් ලබා දෙමින්, භීෂණය පතුරුවමින්, පහර දෙමින්, වෙඩි තබමින් මැතිවරණයට බලපෑම් කළා. එවැනි පසුබිමක් තුළත් එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයින් ඉවසීමෙන් යුතුව කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියා කළා.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙමින් විශාල කැපවීමක් කොට ඌව පළාත් සභා මැතිවරණයට නායකත්වය ලබා දුන්නා. එමෙන්ම අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිට සාමාජිකයා දක්වාම පළාත් සභා මැතිවරණයේ දී ආදර්ශමත් ලෙස කටයුතු කළා. උෟව පළාත් සභා මැතිවරණ ජයග්‍රහණයට හේතු වූයේ එසේ කණ්ඩායමක් ලෙස සහෝදරත්වයෙන් කටයුතු කිරීමයි. ඒ වගේම මැතිවරණ නීතිවලට ගරු කිරීම පිළිබඳවත් ජනතාව එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ලබාදීමට එක් හේතුවක් වුණා.
පසුගිය උෟව පළාත් සභාව අක්‍රියව පැවැති පළාත් සභාවක් බවට පත්වි තිබුණා. අද එක්සත් ජාතික පක්‍ෂයට උෟව පළාත් සභාවට නව ජවයක් ලබාදීමට හොඳ කණ්ඩායමක් තේරී පත්වී සිටිනවා. පසුගිය පළාත් සභා කාලයේ උෟව පළාත් සභාවේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුවත් පෙන්වා දී තිබෙනවා. ජනතාවගේ මුදල් ආරක්‍ෂා කරමින් ඒවා වියදම් කිරීමට පළාත් සභාවට වගකීමක් තිබෙනවා.
පළාත් සභා රැස්වීම් පැවැත්වෙන දින දෙකෙහි අනිවාර්යෙන්ම එම රැස්වීම්වලට සහභාගි වී මහජනතාව වෙනුවෙන් සේවය කරන ලෙස අපි මේ සියලූම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මහජනතාව වෙනුවෙන් හඬක් නැගීමට එක්සත් ජාතික පක්‍ෂයට ජනතාව විසින්ම වගකීමක් බාර දී තිබෙනවා. එමෙන්ම ජාතික ප්‍රශ්නවලදීත් හඬක් නැගීමට පළාත් සභාවට හැකියාව තිබෙනවා.
ජනතා ප්‍රශ්නවලදීත්, ජාතික ප්‍රශ්නවලදීත් හඬක් නැගීමට පසුගිය උෟව පළාත් සභා මැතිවරණයේ දී විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් උත්සාහ කළත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඊට සහාය ලබා දුන්නේ නැහැ. එහෙත් නව ජන වරම සමග එම කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අපට හැකියාව තිබෙනවා. ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය ලැබීමට හැකි මන්ත්‍රීවරුන් පිරිසක් අපේ පක්‍ෂයෙන් තේරී පත්වී සිටිනවා.
තවත් දින කිහිපයක් ගත වනව විට මේ රට විශාල වෙනසකට මුල පුරන ජාතික මැතිවරණයකට මුහුණදීමට සිදුවනවා. ජයග්‍රහණය සඳහා එහිදී කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම අවශ්‍යයි. එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයන් වෙනුවෙන් සහ මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ඉල්ලා සිටින සියලූ දෙනා වෙනුවෙන් නව ආණ්ඩුවක් බිහි කිරීමට අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්, යුක්තිය සහ සාධාරණය රජය කරන සමාජයක් ඇති කොට දුගී දුප්පත්කම නැති කිරීමට අපි සියලූ දෙනාටම වගකීමක් තිබෙනවා යැයි ද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
---------------------------
by (2014-10-07 09:33:14)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි