~

චේ ගෙවාරා මොරගහහේනේ සිටැවූ මැහෝගනී ගස සහ අලූතින් ඇරඹෙන 'චේ උද්‍යානය'

(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.07, ප.ව.11.00) අර්නස්ටෝ චේ ගෙවාරා යනු ලෝකයේ තරුණයන් අතර සදාකාලික වීරයා යැයි කිසිවෙක් කීවොත් එය අතිශෝක්තියක් හෝ බොරුවක් නොවේ. ධනවාදී වේවා සමාජවාදී වේවා රටවල වෙසෙන විප්ලවවාදී හැඟීම් උත්කර්ෂයට නැංවෙන තරුණ අවධියේ ජනතාව අතර සදාකාලික නාමයක් වී ඇත. ලංකාවේ තරුණ පරම්පාරව අතර ද එය එසේමය.

නමුත් අර්නස්ටෝ චේ ගෙවාරා සියතින් සිටැවූ මැහෝගනී ගහක් ලංකාවේ ඇතැයි කීවොත් එය දන්නා පිරිස අල්පයක් විය යුතුය. 

විප්ලවයෙන් පසු 1959 දී කියුබාවේ කර්මාන්ත ඇමැතිව සිටි අර්නස්ටෝ චේ ගෙවාරා ලෝක සංචාරයක යෙදෙද්දී ශ්‍රී ලංකාවටද ගොඩ බැස්සේය. ඒ එවක ආණ්ඩුකාරයා වූ සර් ඔලිවර් ගුණතිලකගේ ආරාධනයෙන් 1959 අගෝස්තු 07 වෙනිදා ය. එහිදී හොරණ මොරගහහේන ප්‍රදේශයේ පිහිටි එවකට අක්කර 350 කින් පමණ සමන්විත වූ යහලකැලේ වත්ත නම් රබර් වතුයාය හිමි එච්.සී. පීරිස් වැවිලිකරුගේ රබර් කර්මාන්ත ශාලාව නැරඹීමටද චේ පැමිණියේය.  ගමන සිහි ගැන්වීම උදෙසා එච්.සී. පීරිස් වැවිලිකරුගේ උද්‍යානයේ චේ ගෙවාරා විසින් මැහෝගනී වෘක්ෂයක් රෝපනය කර තිබේ. අද වන විට එම වෘක්ෂයට වයස අවුරුදු 55 කි. 

සෑම වසරකම ඔක්තෝම්බර් මාසයේ 8 වෙනිදා චේ දිනය ලෙස නම් කරමින් සමරණ ශ්‍රී ලංකාවේ සමාජවාදී තරුණ සංගමය විසින් ඉහත කී චේ සිටැවූ මැහෝගනී වෘක්ෂය ඇතුලත් අක්කරයක පමණ භූමි භාගයක් 'චේ උද්‍යානය' නමින් වෙන් කර තරුණ පරම්පරාවට දායාද කිරීමේ උත්සවයක් ලබන 8 වෙනි බදාදා පැවැත්වීමට නියමිත ය.

එච්.සී.පීරිස් මහතා මේ වන විට මිය පරලොව ගොස් සිටියද ඔහුගේ පුත්‍රයා විසින් තමාට අයත් ඉඩම් වලින් එකී අක්කරයක භූමි භාගය 'චේ උද්‍යානය' ලෙස වෙන් කර දීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මොරගහහේන හන්දියේ සිට හොරණ පාරේ මීටර් 150 ක් පමණ දුරින් මෙම ඓතිහාසික වෘක්ෂය සහිත භූමිය පිහිටා තිබේ. 

සමාජවාදී තරුණ සංගමයේ මෙකී උත්සවයට ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය ඉන්දිරා ලෝපෙස් ප්‍රධාන අමුත්තිය ලෙසින් සහභාගී වන අතර ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද සහභාගී වීමට නියමිත ය. (මෙහි දැක්වෙන්නේ චේ ගෙවාරා මැහෝගනී ගස රෝපනය කරද්දී ගත් ඓතිහාසික සේයාරූ සහ රබර් කර්මාන්ත ශාලාව අබියසදී ගත් ඓතිහාසික සේයාරුවකි. මැහෝගනී ගසේ වත්මන් සේයාරුවක් ද වේ.)

---------------------------
by     (2014-10-07 17:52:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links