~

නිව්යෝර්ක් පුර ‘දැඩිතර සෝකමාලය‘ -යහපාලනලන්තේ කතා 2

(ලංකා ඊ නිව්ස් -2015.සැප්.23, ප.ව.11.00) 

අහෝ දුකකි.. ඉරකි... තිතකි...

මේ කළ අපරාධයට නම් යහපාලනලන්තේ උන්ට හෙණ හතක් ගහලාත් මදිය. වෙනදා මේ කාලය වන විට නිවියෝර්ක් නුවර වෙසෙන මිහින්ලන්ත දේශප්‍රේමීන් වන අප සිටියේ මහත් වූ ප්‍රීතියෙනි, උද්දාමයෙනි. මහා මණ්ඩලයේ සම්මන්ත්‍රණ ශාලාවට යන්න අවසර ලැබෙන්නේ එක රටකින් දහ දෙනෙකුට වඩා අඩු පිරිසකට වුනාට අපගේ මහ රජානෝ සිව් රඟ සෙන් පිරිවරා ගුවන් යානයක් පුරවාගෙන මෙහි පැමිණ ගොඩ බසින චිත්තාකර්ශනීය දර්ශනය බලන්නට මෙවරත් අපි පුල පුලා දෑස් දල්වාගෙන සිටියෙමු. ඒත් මෙවර ඒ කිසිදු විසිතුරක් නැත. යහපාලක තුමා හත් අට දෙනෙකු සමග පැමිණ තිබේ. 2006 සිට 2014 දක්වාම සෑම වසරක් පාසාම අපි අධිරාජ්‍යවාදී පර සුද්දන්ට අපේ අතීත ශ්‍රී විභූතිය කියා පෑවෙමු. මෙවර අප සිතා සිටියේ උගන්ඩාවේ ඉඩි අමීන් කළාක් මෙන් ඉල්ලන ගානක් දී සුද්දන් හතර දෙනෙකු ලවා අපේ මහ රජ තුමා දෝලාවෙන් නිව්යෝර්ක් නගරය වටා රවුමක් ගෙන යන්නට ය. ඒත් ජනවාරි 8 වෙනිදා යහපාලනලන්ත මෝඩ ජනතාව අපගේ ඒ සිහිනය සුනු විසුනු කළෝය. දැන් අපට පාරට බහින්නටවත් විදිහක් නැත. පර සුද්දන්ගේ පඩත්තල කඩොළු කතාත් ඇනුම්පදත් අසන්නට සිදුවෙලා ය. ජනාධිපති ඔබාමාට වත්කමක් නැති වුනාට අපේ මහ රජතුමාත් එතුමාගේ පිරිවර සේනාවත් වෙනුවෙන් තෙල් සල්ලි ආකර වල පීනන සුල්තාන්ලා නවාතැන් ගන්නා ඇස්ටෝරියා හෝටලයේ වෙනදා වෙන් කරන තට්ටුව මෙවර පාළුවට යනු ඇත. ඒ තට්ටුව මදි තරමට වෙන්කර ගන්නා ලද නගරයේ වෙනත් පළමු පෙළේ හෝටල් වල කාමරද පාළුවට යනු ඇත. වෙනදා උජාරුවෙන් අපේ අය වෙනුවෙන් පාරවල් අරක් ගත් ලිමෝසීන් රථ හැට හැත්තෑවක් ගරාජ් වල සුසුම් ලමින් පාර්ක් කර තිබෙනු ඇත. කවුරු ගන්නද? 

වෙනදා මේ කාලයට නිව්යෝර්ක් නුවර සාප්පු සංකීර්ණ වල මිලදී ගත් බඩු මුට්ටු අතින්  කටින් එල්ලා ගෙන යන එන සාඩම්බර මිහින්ලන්තවාසීන්ගේ මනස්කාන්ත දර්ශනය අනේ කවදා ආයේ දැක ගන්නද? සාප්පු අයිතිකාරයෝ මැසිවිලි නගනු ඇත. උන් මීට පසුව කඩ සාප්පු වසා දැමීමටත් බැරි නැත. වෙන අවුරුදු වල මිහින්ලන්තෙන් එන අපේ කට්ටියගේ චිත්ත ප්‍රීතිය උදෙසා 42 වන වීදියේ ඇඟේ නූල් පොටක් වත් නැතිව ඇඹරි ඇඹරි නටන නංගිලාට මේ පාර හරි පාලුවක් දැනේවි. ඒ දුකට එයාලා හරියට නටන එකකුත් නැතිවේවි.  

මහ රජ තුමා බිසවුන්නාන්සේ සහ පුත් කුමාරවරු නිරන්තරයෙන් ටී වී වලින් ඉන්ටර් නෙට් වලින් දැක බලා ගත්තත් උන්නාන්සේලාට ආවතේව කරන මාලිගාවේ මුළුතැන්ගෙයි උයන පිහන, ලූණු සුද්ද කරන, වතුපිටි වල මල්පාත්ති වලට වතුර දමන, වත්තේ හරක් දිගේලි කරන, පොල් කඩන භවතුන් දැක බලා ගන්නට ලැබෙන එකම අවස්ථාව යහපාලනය විසින් අපට අහිමි කර තිබේ. ඔවුන් සමග එක් වී හෝටල් කාමරයක මිනී බාර් එකක් හිස් කර සින්දුවක් කියා පොඩ්ඩක් නටා බ්ලූ ෆ්ලිම් එකකුත් බලා ආතල් එකක් ගන්නට අපට තිබූ අවස්ථාවද අහිමි කර තිබේ. මෙය කොතරම් අසාධාරණයක් ද ?  

අවුරුද්දේ දවස් තුන්සිය හැට පහම නිව්යෝර්ක් නුවර පදිංචිව සිටියත් රජතුමා නවාතැන් ගන්නා හෝටලයේ සතියක් හමාරක් නවාතැන් ගැනීමට ලැබීමේ මහඟු අවස්ථාව අපට අහිමි කෙළේ ඇයි? ගෙවල් දොරවල් වසා දමා රජතුමා සමග එන අපේ හිතවතෙකු සමග සතියක් හමාරක් ඒ හෝටලයේ ගත කිරීම ගැන ඉරිසියාවක් වත් හිතිලාද? 

වෙනදාට බිසොවුන් වහන්සේගේ ආවතේවයට සැදී පැහැදී සිටින අපේ බිරින්දෑවරුන් පවා මේ දිනවල සිටින්නේ මහත් විස්සෝපයෙනි. මිහින්ලන්තයේ වෙසෙන ඥාතීන්ගේ දරුවන් ලොකු ඉස්කෝලෙකට දම්මවා ගන්නට ලොකු මහත් වෙච්චි දරුවන්ට ලොකු තැනකින් රස්සාවක් ඉල්ලා ගන්නට, නෑනාගේ මස්සිනාගේ ස්ථාන මාරුව නැතිනම් ප්‍රමෝෂන් එක හදවා ගන්නට, පුල පුලා බලා සිටි අපගේ ඇත්තන්ට ඇත්තියන්ට දැන් ඉතින් කාගේ පිහිටක් ද? ඇමරිකානු සමාජයේ ධනවතුන් වංශවතුන් යන එන සාප්පු වලට බිසොවුන් වහන්සේත් ඇගේ සත්කාර කණ්ඩායමත් එක්කරගෙන යන්නට ආයේ ලැබෙන්නේ කවදාද? එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රජතුමාටත් බිසොවුන් වහන්සේටත් වාහන සහ ආරක්ෂාව දී තිබියදීත් හදිස්සියේ වුවමනාවක් වුනෝතින් යයි කියා  ස්ටෑන්ඩ් බයි හිටුවා තිබෙන ලිමොසින් වලට ලැබෙන දෛනික කුලිය ආයේ ඉතින් කවදා ලබා ගන්නද? ජැන්ඩියට හැඳ පැළැඳගෙන රජ තුමා එක්ක මිහින්ලන්ත වාසීන්ගේ සුහද හමුවට යන්නට ආයේ ලැබෙන්නේ කවදාද? රජතුමායි පුත් කුමාරවරුයි සමග මීට පෙර ගමන් වල ආ ගිය නිරූපිකාවන් ගැන සමහර කඩප්පුලියන් අතන මෙතන අරක මේක කියද්දී ඉස්සර අපේ රජවරුන්ට පන්සියයක් අන්තහ්පුර බිසෝවරු සිටි බව මතක් කර දුන්නේ අපියි. ඒ නිසා සතුරු හමුදා සුනු විසුනු කර රට එක් සේසත් කළ අපේ විරෝධාර රජතුමා අග බිසොවුන් වහන්සේට අමතරව රිදී දෝලි යකඩ දෝලි පරිහරනය කළාට වරදක් නැතැයි කියා තර්ක කෙළේ අපියි. එහෙව් අපිට යහපාලක තුමා මෙහෙම කෙළේ ඇයි..? 

මහා මණ්ඩල ශාලාවේ හැම රටවලම හැම දෙනාම පිරී ඉන්නේ ජනාධිපති ඔබාමාගේ කතාවට පමණය. අනෙක් කතා යද්දී එහෙමට සෙනගක් නැත. ඒ නිසා අපේ රජතුමා සභාව අමතන වෙලාවට ශාලාව පුරවන්නට එම්බසියේ ඈයෝ වෙන රටවලින් ණයට ඉල්ලාගෙන එන පාස් වලින් සභා ශාලාවට ගිහිල්ලා ස්වාසිලන්තයේ හරි මයික්‍රොනීසියයාවේ හරි ඉබාටුවේ හරි කාගේ හෝ පුටුවක වාඩි වෙලා අපේ රජතුමාගේ කතාවට අප්පුඩි ගහපු අපට මෙහෙම කරපු එක හරිද කියලා යහපාලනතුමා තමන්ගෙන්ම අහලා බැලුවානම් වඩා හොඳය. 

අනික අපේ රජතුමාගේ කතාව මිහින්ලන්ත ජනතාවට පෙන්වන කොට, කතාකරන රජතුමායි ඔබාමාගේ කතාවට සවන් දීලා අප්පුඩි ගහන රාජ්‍ය නායකයොයි පූට්ටු කරලා මාට්ටු කරලා නිව්ස් හදල මීඩියා මැජික් පෙන්වන්න අපේ මීඩියා කාරයන්ට යලි කවදා අවස්ථාවක් උදා වෙයිද? 

කොහොම නමුත් මෙවර මහා මණ්ඩල වැඩේ නම් අපේ නම්බුවට කොහොමටවත් ගැලපෙන එකක් නෑ. යහපාලන තුමා කෝඩු කාරයා නිසා මේවා ගැන දැනුමක් තේරුමක් බරක් පතලක් නැතුව ඇති. ලබන ගමන වෙනකොටවත් එතුමාට රටේ නම්බුව, කීර්තිය, විභූතිය ගැන කල්පනාවට ආවොත් නම් ඉතින් අපිට ගොඩ ගියහැකි. 

-යහපාලනලන්තයේ ලංකා ඊ නිව්ස් හි පදිංචි ඊ.කේ.අයියා නිව්යෝර්ක් නගරයේ සිට රචනා කරන ලදී ( සියළු හිමිකම් අයියලා සතුය)-

 

* එක්දහස් හත්සිය ගණන් වල දකුණු පළාතේ ජීවත් වූ ගජමන් නෝනා කිවිඳිය තමා විඳින දුක කියා එකල හම්බන්තොට පලාතේ සිටි යටත් විජිත දේපොල බාර නිලධාරියා වූ සර් ජෝන් ඩොයිලිට යැවූ කාව්‍යය “දැඩිතර සෝකමාලය“ නම් වේ  

---------------------------
by     (2015-09-23 22:43:02)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links