~

රජාගේ පදවි ප්‍රාප්තිය සහ මෝඩ වඳුරන්ගේ ඇඩ්වර්ටයිසින් පාත්තිය..! -විමල්ගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් -2016.ජන.12, ප.ව.11.50) ජනාධිපති පදවිය අහෝසි කිරීමට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 8 දේදුනු විප්ලවයේ වර්ෂ පූර්ණය ජනාධිපති ‘පදවි ප්‍රාප්තියක‘ වර්ෂ පූර්ණය ලෙස නම් කරමින් සැමරීම ගැන දේදුනු විප්ලවයට දායකවූ සිවිල් සහ වෘත්තීය සංවිධාන හතලිස් හතේ සහ දායක වූ යහපාලනප්‍රේමී ජනතාවගේ අති මහත් පිළිකුලට පාත්‍ර වී තිබේ.

සිරිසේන මහතා කැබිනට්ටුවේදී තමා මෙම ‘පදවි ප්‍රාප්තිය‘ කියන වචනයට පවා අකමැති යයි කීවද ඔහුගේ ලේකම් වරුන් සහ ඔහුගේ සට්ටැඹියන් විසින් ‘පදවි ප්‍රාප්තිය‘ නමින් ජනවාරි 8 වෙනිදා උත්සව පවත්වද්දී ඊට ඉඩ දී කරබා ගෙන සිටියේ ය. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට්ටුවට කියා ඇත්තේ බොරුවකි. නැතිනම් ඔහුගේ ලේකම්ලා සහ සට්ටැඹියන් ඔහුට අකීකරු පුද්ගලයන් විය යුතුය. 

ජනවාරි 8 දේදුනු විප්ලවයට දායක වූ ජනතාව විරුද්ධ වූයේ පෙර සිටි මහින්ද රාජපක්ෂ විසින් මේ ආකාරයට මහජන මුදල් කාබාසිනියා කරමින් පුහු පදවි ප්‍රාප්ති උත්සව පැවැත්වීම ගැනය. ඊට විරුද්ධව තමන් විසින් පත් කර ගත් පුද්ගලයාද  ඒ ක්‍රියාවම සිදුකිරීම පිලිකුල් සහගත වනවා පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන මහතාගේම වචනයෙන් කියනවා නම් මඩු වලිගයෙන් තමාටම තලා ගැනීමට සිදුවෙනවා ය. 

පදවි ප්‍රාප්තියේ දැන්වීම් පාත්තිය

වඩාත් පිළිකුල් දනවන කාරණය වී ඇත්තේ පසුගිය වසරේ ජනවාරි 8 දිව්රුම් දීමේ උත්සවයට වියදම් වූයේ මහජන මුදල් රුපියල් 6000 ක් යැයි පාරම් බා වසරක් ගිය තැන මහජන මුදල් කෝටි ගණනක් වියදම් කර උත්සව පැවැත්වීම සහ දැන්වීම් පළ කරවා ගැනීම ය.

ජනවාරි 8 වෙනිදා රටේ සියලුම ජාතික පුවත්පත් වල රජයේ ආයතන වල මහජන මුදල් වියදම් කරමින් දැන්වීම් අතිරේක පළ කරවා ගෙන තිබිණ. මෙම දැන්වීම් අතිරේක වලට දැන්වීම් සපයන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේම සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක විසින් රජයේ ආයතන වෙත චක්‍රලේඛයක් යවා තිබිණ. ( සේයාරුවක දැක්වේ) මේ මගින් හෙලිකරන්නේ ජනාධිපති මෛත්‍රීපාල මහතා තමා ‘පදවි ප්‍රාප්තිය‘ කියන වචනයටත් අකමැති යැයි කැබිනට් මණ්ඩලයට කීවද අනෙක් අතින් තම ලේකම් වරයා ලවා රජයේ ආයතන වෙත දැන්වීම් පළ කරන්නැයි නියෝග කර ඇති බවයි. මෙලෙස දැන්වීම් පළ කළ ආයතන අතර ජනාධිපති වරයාගේම යටතේ ඇති ආයතන රාශියකි. 

මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට පිළිකුල් යැයි කියන ‘පදවි ප්‍රාප්තිය‘ වෙනුවෙන් පසුගිය ජනවාරි 8 දා රජයේ දිණමින පුවත්පතේ සම්පූර්ණ පිටුවේ රජයේ දැන්වීම් 21 කි, ලංකාදීපයේ 13 කි, දිවයිනේ 22 කි, ඩේලි නිව්ස් හි 21 කි. තවත් මෙහි සඳහන් නොවන සිංහල දෙමළ ඉංග්‍රීසි පුවත්පත් සෑම එකකම දැන්වීම් පළ කර තිබිණ. මෙකී සම්පූර්ණ පිටුවේ දැන්වීමක් සාමාන්‍යයෙන් රු. ලක්ෂ 4-5 ක් පමණ වේ. ඒ අනුව මෙහි ගණනින් සඳහන් කර ඇති දැන්වීම් වලට පමණක් වියදම රු. කෝටි 4 ක් පමණ වේ. මේ සම්පූර්ණ පිටුවේ දැන්වීම් පමණි. පිටු භාගයේ දැන්වීම්ද රාශියක්ම තිබිණ. ඒ අනුව මල ඉලව් පදවි ප්‍රාප්තිය වෙනුවෙන් මහජනතාවගේ මුදලින් කෝටි කීයක් වියදම් කළාදැයි මහජනතාවට හෙලිකළ යුතුය. මේ දැන්වීම් පාත්තිය කෙතරම් විහිළුවක් වී ද යත් ගාලතැන්නේ භද්‍රකාලි කෝවිලේ රත්තරං පෙරවා ගත් දූෂිත කපුවාද සම්පූර්ණ පිටුවේ පදවි ප්‍රාප්ති දැන්වීමක් පළ කර තිබිණ. 

මේවා කොස් ඇට දෙල් ඇට නොවේ. ගෙඩි රුපියල්ම ය. තම දරුවන්ට කන්න බොන්න දෙන්න විදිහක් නැතැයි කියමින් දරුවන් පොලිසියට බාර දෙන, දරුවන් ගඟට විසිකරන අහී දුප්පත් ජනතාවක් සිටින රටක නායකයා වූවා කියා ඒ වෙනුවෙන් පුහු ප්‍රචාර ලබා ගැනීමට, ඒ අහී දුප්පත් ජනතාවට යහපතක් කිරීමට තිබෙන මුදල් මෙලෙස වියදම් කර ගැනීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා ලැජ්ජා විය යුතුය. ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුය.  කැමැතිනම් මඩු වලිගයෙන් තලා ගත්තාට ද කම් නැත. 

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කුහක ප්‍රාප්තිය

දැන්වීම් සෙල්ලම පමණක් නොවේ. මහජන මුදලින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අපූරු පදවි ප්‍රාප්ති උත්සවයක් ද පැවැත්වීය. පසුගිය වසරේ ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ තැබූ සිවිල් සහ වෘත්තීය සංවිධාන 47 එකදු නියෝජිතයෙකුට හෝ ආරාධනා පතක් හෝ යවා නොතිබූ එය ‘කුහක උත්සවයකි.‘

එදා රාජපක්ෂ ආන්ඩුවේ සිටිමින් ඔය කියන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීම ‘රාජපක්ෂ මහත්ත‍යෝ තමුන්නාන්සේ පරදවනවා පරදවනවාමයි‘ යනුවෙන් තිර ලෙසම පළමුවරට හඬ නගා කී අතුරලියේ රතන හිමියන් මෙදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පදවි ප්‍රාප්ති උත්සවයේ සිව් වන පේලියේ කොනක අසුන්ගන්වා සිටියදී පළමු පේලියේ සිටියේ එදා පැත්ත පලාතක නොසිටි බුද්ධදාස විතානාරච්චිලා ය. මේ කුහකකම දරා ගැනීමට නොහැකි වූ රතන හිමි උත්සවය හමාර වන්නට පෙර හෙමින් සීරුවේ යන්නට ගියේ ය. එලෙස ඇමැතිවරුද රාශියක් බැන බැන යන්නට ගිය බව මේ ලියුම්කරු හොඳින් දනී 

එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්නට ගමින් ගම ගීත ගයමින් ගොස් රාජපක්ෂ මැරයන්ගෙන් ගුටි කෑ ලක්ෂ්මන් විජේසේකරලාට ආරාධනාවක් හෝ නොතිබූ නමුත් එදා පැත්ත පලාතක නොසිටි කමල් අද්දරආරච්චිලා වේදිකාවේ බැරි මර ගාතේ ගීත ගයමින් සිටියෝ ය.

පයිත්තියං සමරු කලාපය

“එකම දැයක් මහ බලයක්“ - ජනාධිපති පදවි ප්‍රාප්තිය - ප්‍රථම වර්ෂ පූර්ණය මැයෙන්  උත්සවය වෙනුවෙන් අපූරු සමරු කලාපයක් ද මුද්‍රණය කර තිබිණ. ඇමැතිවරුන් අතරින් ඊට ලිපි සපයා තිබුනේ චම්පික සහ රාජිත පමණි. අඩුම ගණනේ තමන්ට ජනවාරි 8 වෙනිදා බහුතර ඡන්දය දුන් යූඇන්පී කාරයන් වෙනුවෙන් එකදු යූ ඇන් පී ඇමැතිවරයෙකුගේ ලිපියක් තිබුනේ නැත. එසේ වී නමුත් අපූරු ලිපියක් පළ කර තිබිණ. ඒ නම් ජනවාරි 8 දා රාජපක්ෂට කඩේ ගියා පමණක් නොව යහපාලන ආණ්ඩුව දූෂන විමර්ශනයට පිහිටැවූ FCID ය අහෝසි කරන්නැයි ඉල්ලා නඩු පැවරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ද ලිපියක් පළ කර තිබීමයි.. 

මෙවන් පයිත්තියං සමරු කලාපයක් සංස්කරණය කළේ කව්දැයි එහි සඳහන් කර තිබීමෙන් බූරුවන් කව්දැයි සොයා ගැනීම පහසු වීය. ඒ අතර ප්‍රධානියා වී තිබුනේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතානය. මොහු කලිසම් අඳිනුයේ බිජ්ජට ඇට මැස්සන් විදීමෙන් බේරීමට මිස ලජ්ජාවකට නම් නොවන බව ඔප්පු කර තිබුනේ ඔහුගේ සම සංස්කාරකවරයෙක් ලෙස රාජපක්ෂ රෙජීමය බලයට ගෙන ඒමට ජනවාරි 8 වෙනිදාත් වලි කෑ වසන්ත ප්‍රිය රාමනායක නමැති බොහොඬා පත් කරගෙන සිටීමෙනි. 

හොරුන්ගේ මුදලින් නිදහස් චතුරස්‍රයේ සංදර්ශන

මෙකී උත්සවයට පසුව තවත් සංදර්ශනයක් නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණ. අඳෝමැයි එහි ප්‍රධාන සම්පත් දායකයා වී තිබුනේ රාජපක්ෂලා සමග ඩීල් දැමූ, කොටස් වෙළඳ පොල හරහා මහජන මුදල් හොරා කෑ ප්‍රධාන පුද්ගලයෙක් වන එල්ඕඑල්සී යේ ඉෂාර නානායක්කාර ය. මොහු කොටස් වෙළඳපොලේ සිදුකරන ලද ගසා කෑම් සම්බන්ධයෙන්  මේ වන විටත් FCID යේ පරීක්ෂණයක් පැවැත්වේ. එවන් පුද්ගලයෙකුගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ පදවි ප්‍රාප්ති සංදර්ශනයක මෛත්‍රීපාල සිරිසේන මහතා හිඳ ගෙන සිටියේ ඇඳුම් ඇඳගෙනදැයි යන්න ගැටළුවකි. එම සංදර්ශනයට දෙදහසකට පමණ ඇරයුම් කර, දෙදහසකට පමණ ආසන පහසුකම් සපයා තිබුනද පැමිණ සිටියේ 400-500 ක් පමණ පිරිසක් වීමෙන් තේරුම් ගත හැක්කේ සිරිසේන මහතාට එවැනි උත්සවයකට සහභාගී වීමට ලැජ්ජාවක් නොතිබුනද ආරාධිතයන්ගෙන් බහුතරයකට එවැනි ලජ්ජාවක් තිබූ බව විය හැකිය.

මෝඩ වඳුරන් විසින් රජාට ඇන්දවීම

අවසාන වශයෙන් කිව යුත්තේ යහපාලන වෙනස හදන්නට ආ නිහතමානී මෛත්‍රීපාල සිරිසේනව වසරක් ගත වෙද්දී මෝඩ වඳුරන් රැලක් විසින් ‘පදවි ප්‍රාප්තියක්‘ හදා රජාට අන්දා තිබෙන බවයි. ඒ බව වැඩි දුරටත් තහවුරු වන්නේ මොවුන් විසින් පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයෙනි. මහින්ද රාජපක්ෂ රජාට අන්දා විනාශය කරා ගෙන ගිය ඒ පිරිසම මෛත්‍රීවද එමගින් රජාට අන්දා තිබිණ. පරලෝකප්‍රාප්ත රජවරු මෛත්‍රීට ‘මූ අපේ එකෙක්‘ යයි පවසන ඒ ගොබ්බ මියුසික් වීඩියෝව ලත් තැන ලොප් කර ගත්තද, ජනාධිපති ලේකම් එය ‘අපේ එකක් නොවේ‘ යයි කීවද එය නිර්මාණය කෙළේ මෛත්‍රීපාල සිරිසේන විසින්ම අද ලං කරගෙන සිටින මෝඩ වඳුරන් පිරිස විසින්ම ය. 

ශිරාල් ලක්තිලක, කරුණාරත්න පරණවිතාන, වසන්ත ප්‍රිය රාමනායක, චමුදිත සමරවික්‍රම, ඒ.බී ලලිත් සිල්වා ආදී ඩලස්ගේ මාධ්‍ය කණ්ඩායමේ හිඳිමින් එදා මහින්ද රාජපක්ෂ විනාශය කරා ගෙන ගිය මෝඩ වඳුරන් අද මෛත්‍රීපාල සිරිසේනව ද රජාට අන්දා විනාශය කරා ගෙන යමින් සිටී. මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉතා කැමැත්තෙන් ලං කරගෙන සිටින ඔවුන් සමග ස්වයං විනාශය කරා ගමන් අරඹා තිබේ.
 
මේ මෝඩ වඳුරන්ට එදා සියළු මාධ්‍ය තමන් අත තබාගෙන රාජපක්ෂගේ ප්‍රතිරූපය හදන්නට නොහැකි විය. ඒ ප්‍රතිරූප බිඳ රාජපක්ෂ පරාජය වන බවට ජනමතයක් හැදුවේ රටේ විකල්ප මාධ්‍ය සොච්චමය. එසේ නොකෙළේ  නම් මෛත්‍රීපාල සිරිසේන පවා විපක්ෂයට නොපැමිණෙනු ඇත. එබැවින් මේ මෝඩ වඳුරන් ලං කර ගැනීමෙන් තමාට ලඟා වූයේ විනාශය නොවේදැයි තේරුම් යන විට මෛත්‍රීපාල සිරිසේන මහතා ආපසු හැරිය නොහැකි දුරක් ගමන් කර තිබෙනු නොඅනුමානය. ඊට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතාට එක් දෙයක් මතක් කරමු. ඔබ ඔය යන විනාශය කරා ගමනේදී මතක ඇතිව අර කී මඩු වලිගයත් රැගෙන යන්න.. සියල්ල වැටහුනු පසුව ඔබටම ඔබගේ පස්ස පැත්ත තලා ගැනීමට එය මහත් සේ උපකාරී වනවා ඇත.

-විමල් ධීරසේකර විසිනි-

 

---------------------------
by     (2016-01-15 12:39:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

It's sad to see that our country is going in the wrong direction. Also, I was having issues access Lankaenews.com today. Do you have a good technical team to manage the site security?
-- by Wajira Ranasinghe on 2016-01-14

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links