~

සිරිසේනගෙන් ‘ගං මුගටි‘ කතාවක්..! ‘වෙබ් අඩවි කියන්නේ කැලෑ පත්තර., මම නං ඕවා බලන්නේ නෑ..!! කැලෑ පත්තර බලනවාට වඩා වෙන වැඩ තියෙනවා..!!!‘ -මුල අමතක ජනාධිපති සිරිසේන බීබීසියට කියයි

(ලංකා ඊ නිව්ස් -2016.ජන.23, ප.ව.5.45-දෙවන සංස්කරණය ප.ව.7.45) වෙබ් අඩවි සිදු කරන්නේ නිදහස් සමාජයක පවතින නිදහස අශීලාචාර ලෙස භාවිත කිරීම බවත් වෙබ් අඩවි යනු කැලෑ පත්තර බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත. “මම නං ඕවා බලන්නේ නෑ. ඕවා කැලෑ පත්තර. කැලෑ පත්තර බලනවාට වඩා අපට වැඩ තියෙනවා“ යි ද ඔහු වැඩි දුරටත් පවසා තිබේ. පසුගිය ජනවාරි 8 වෙනිදා ඔහුගේ ජයග්‍රහණය උදෙසා සම්මත මාධ්‍ය එකක් හෝ පෙනී නොසිටි අවස්ථාවකදී වෙබ් අඩවි පමණක් ඔහුට සහාය දීම වසරකට පසු අමතක කර ඇති සිරිසේනගේ ප්‍රකාශය මුල අමතක, හීනමානයෙන් පෙලෙන උද්දච්ඡ දුර්ජනයෙකුගේ ප්‍රකාශයක් බව අපගේ මතයයි. ඇමරිකාවේ නිව්ස් වීක් වැනි ප්‍රකට මුද්‍රිත මාධ්‍ය ඒ හැර පියා වෙබ් මාධ්‍යය පමණක් තෝරා ගනිද්දී සිරිසේන ජනාධිපතිවරයා වෙබ් මාධ්‍යය ‘කැලෑ පත්තර‘ යයි පැවසීම ඔහු තවමත් පොලොන්නරුවේ ‘ගං මුගටියෙකුගේ‘ මානසිකත්වයේ සිටින්නෙක් බවද කිව යුතුය. ඔහුගේ වත්මන් ක්‍රියාකලාපය විවේචනය කරන්නේද වෙබ් අඩවි පමණක් වන නිසා සිරිසේන ජනාධිපතිවරයා පරල වී තිබේ. 

කෙසේ වෙතත් බීබීසීය සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු බොරු කන්දක් කියයි. එම සම්පූර්ණ සාකච්ඡාව පහත දැක්වේ..

“තම පවුල රාජ්‍ය පාලනයට සහභාගී කර ගැනීමේ වුවමනාවක් පැවතියේ නම් පසුගිය වසරේ පැවති මහ මැතිවරණය සඳහා තම දරුවන්ගෙන් එක් අයකු හෝ ඉදිරිපත් කළ හැකිව තිබූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කරයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

ඔහු එහිදී සඳහන් කර සිටියේ තමා සිය පුතු එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ සමුළුවට කැඳවා ගෙන ගියේ ඔහු රජ කර වීමේ බලාපොරොත්තුවෙන් නොවන බවයි.

පියකු තුළ තම පුතුන් කෙරෙහි කෙතරම් ආදරයක් පවතිනවාදැයි දන්නේ පුතුන් සිටින පියවරුන් මිස පුතුන් නොමැති පියවරුන් නොවන බවත් එය රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රශ්නයක් නොව මනුෂ්‍යත්වයේ අශීලාචාර බව පිළිබඳ ගැටලුවක් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

ගෙවුණු වසරක කාලය ඇතුළත තමන් ඥාති සංග්‍රහයේ නොයෙදුණු බව ආදර්ශයෙන් ම පෙන්වා දී ඇති බව ද ජනාධිපති සිරිසේන අවධාරණය කළේ ය.

ආදර්ශය

'ආයතනයක සහෝදරයෙක් සිටි පමණින් එය පවුල් පාලනයක් වෙන්නෙ නෑ. ඒ ආයතනයත් යම් අමාත්‍යංශයකට අයිතියි. එය අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශයේ පාලනයට යටත්. මගේ සහෝදරයෙක් මං ඇමතිවරයෙක් කරලා නෑ. රාජ්‍ය පාලනය පවුලක් විසින් හසුරුවන්නේ නම් එය වැරදියි. එහෙමනම් කියුබාවේ ෆිදෙල් කස්ත්‍රෝ, රාවුල් කස්ත්‍රෝ ඇතුළු පිරිසටත් චෝදනා එල්ල කළ යුතුයි'යැයි ජනාධිපතිවරයා පවසා සිටියේ ය.

මහින්ද රාජපක්ෂ පාලනයේ මුල් වසර ඇතුළත ද මේ අයුරින් ම ඥාති සංග්‍රහ ලක්ෂණ ඉස්මතු වීම හේතුවෙන් බියට පත් ජනතාව වත්මන් පාලනය පිළිබඳ ද සැක සංකා මතු කිරීම හා විවේචන ගෙන හැර දැක්වීමට පෙළැඹීම පිළිබඳ බීබීසීය විමසා සිටි අවස්ථාවේ දී ජනාධිපති සිරිසේන පවසා සිටියේ ජනතාව තුළ මේ සම්බන්ධයෙන් කිසිදු බියක් නැති බවත්මේ කරන්නේ කුමක්දැයි ඔවුන් දන්නා බවත්ය.

මෙවැනි කතා පතුරුවන්නේ තමන් සමඟ සිටින දේශපාලන විරුද්ධවාදීන් බව ඔහු පවසා සිටියේ ය.
'කලින් පාලනය මොන විදියටද කෙරුණේ. ඒ සඳහා පවුලේ අය සම්බන්ධ වුණේ කොහොමද කියලා හැම කෙනෙක්ම දන්නවා. ඒ සඳහා උදාහරණ ඕනෑතරම් දෙන්න පුළුවන්'

පැවති පාලනය

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව පළුදු කරමින් දැනට ක්‍රියාත්මක ''සිංහ ලේ'' ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ 'අප කතා කළ යුත්තේ වටිනාකමක් ඇති දේ ගැන පමණක් බවයි.'

තමා මේ රටේ මහජන ඡන්දයෙන් පත් වූ රාජ්‍ය නායකයා ලෙස කතා කළ යුත්තේ රටට වැඩක් හා වටිනාකමක් ඇති දේ ගැන මිස වටිනාකමක් නැති අයහපත් දේ ගැන නොවන බව ද ජනාධිපති සිරිසේන එහිදී කියා සිටියේ ය.

එනමුදු මේ තත්ත්වය ජාතීන් අතර සංහිඳියාව සම්බන්ධයෙන් වන ගැටලුවක් නොවේදැයි බීබීසීය විමසා සිටි අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ මේ ව්‍යාපාර පිළිබඳ සත්‍ය තත්ත්වය සමාජයේ සිටින උගතුන් හා බුද්ධිමතුන් අවබෝධ කොට ගෙන ඇති බවයි. 'අවශ්‍ය දේ මොනවාද අනවශ්‍ය දේ මොනවාද කියා සමාජය තුළ සිටින ප්‍රබුද්ධ කොටස් පැහැදිලිව තේරුම් ගන්නවා. ඒ නිසා මේ හිස් දේ පස්සෙන් යාමට අපට වුවමනාවක් නෑ' යි ජනාධිපතිවරයා පවසා සිටියේ ය.

සිංහ ලේ

වෙබ් අඩවි සිදු කරන්නේ නිදහස් සමාජයක පවතින නිදහස අශීලාචාර ලෙස භාවිත කිරීම බව, බීබීසීය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය. එවැනි වෙබ් අඩවිවල ඇති දේ විශ්වාස කරනවානම් නරේන්ද්‍ර මෝදි වැනි නායකයන් 'ගෙදර ගොස් බොහෝ කල්' ජනාධිපතිවරයා පැවසීය.

'අන්තර්ජාලය හා එහි තාක්ෂණය නිර්මාණය කර දුන්නේ මානව සමාජයේ යහපැවැත්මට මිස අශිලාචාර දේ සිදු කරන්න නෙමේ. මේ තාක්ෂණය මානව සමාජයේ අයහපතට පාවිච්චි කිරීම නිසා සිදුව ඇති හානිය අපමණයි. වෙබ් අඩවි දිහා බලා ගෙන රාජ්‍ය පාලනය කරන්න බෑ. හොඳම දේ ඒවා නොබලා තමන් කරන වැඩ ටික කරන එකයි. මම නං ඕවා බලන්නේ නෑ. ඕවා කැලෑ පත්තර. කැලෑ පත්තර බලනවාට වඩා අපට වැඩ තියෙනවා' ඔහු කියා සිටියේ ය.

පෙර ජනපතිවරුන් සිදු කළ දේ අවඥාවෙන් හා සමච්චලයෙන් බැහැර කළ ඔබ ම දැන් ඒවා සිදු කරමින් සිටිනවා නේදැයි බීබීසීය විමසූ විට ජනාධිපතිවරයා පවසා සිටියේ තමා ජනාධිපති පදවියට පත්ව වසරක් ගෙවීම නිමිත්තෙන් නිම කළ,ආන්දෝලනයකට ලක් වූ ගීතය පිළිබඳ වගකීම එම ගීතය මාධ්‍යයට නිකුත් කළ අය ම දැරිය යුතු බවයි.

එම ගීතය මාධ්‍යයට දීම පිළිබඳ තමා නොදන්නා බවත් එයට තමා ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ජනාධිපති සිරිසේන 'වගකීමෙන් යුතුව' පවසා සිටියේ ය.

වර්ෂ පූර්ණ ගීතය

තමන් රජකුට සමාන කොට එළි දක්වා ඇති ගීතය තමා නොබැලූ බවත් එය 'නිල ගීතයක්' ලෙසට රජය කිසිදු නිවේදනයක් නිකුත් කොට නැති බවත් ජනාධිපති සිරිසේන පවසා සිටියේ ය.

වර්ෂ පූර්ණය වෙනුවෙන් රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ඒ සඳහා 'රජයේ මුදල් වැය නොකළ' බව ය.

'මගේ වර්ෂ පූර්ණය වෙනුවෙන් රජයේ මුදල් වැය කළේ නෑ. පුවත්පත්වල ආණ්ඩුවේ මුදලින් දැන්වීම් දැම්මා නම් ඒ දාපු අය හා ආයතන ඒවාට වගකිව යුතුයි. අපි පැහැදිලිව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා මෙවන් දේ සඳහා රජයේ මුදල් වැය කරන්න එපා කියා' ජනාධිපතිවරයා සඳහන් කළේය.

එවැනිචෝදනා කරන පිරිස්, පෙර යුගයේ පදවි ප්‍රාප්ති උත්සව සඳහා රජයේ මුදල් යොදා ගත්තේ කෙලෙසින්ද කියා සිතිය යුතු යැයි ද ඔහු පවසා සිටියේය.

තම වර්ෂ පූර්ණය වෙනුවෙන් පැවැති උත්සව සඳහා රජයේ මුදල් වැය නොකළ බව ද ඒ සඳහා යොදා ගත්තේ පරිත්‍යාගශීලීන් ගෙන් ලත් 'ආධාර පමණක්' බව ද ජනාධිපතිවරයා පැවසීය. එක්වරම 'කටුව සියයට සියයක් ආපසු නොකැරකෙන' බව ද ලොව කිසිදු රටක එලෙස සිදු වී නොමැති බව ද ජනාධිපතිවරයා පවසා සිටියේ ය. එය සිදු වන්නේ පියවරෙන් පියවර බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නේද, නොඑසේනම් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ දැයි අවසාන තීන්දුවකට එළැඹි නොමැති බව පවසන ජනාධිපතිවරයා, එය තීන්දු කෙරෙන්නේ ජනතා අදහස් අනුව බව පවසයි.

පදවිප්‍රාප්තියෙන් වසරක් ගෙවුනත්, 'ඇඟට දැනෙන කිසිවක්' සිදු වී නොමැති බවට ජනතාව නගන චෝදනාවට ප්‍රතිචාරය පළ කරන ජනපතිවරයා කියා සිටියේ වසරක ඇතුලත එවැනි වෙනසක් කළ කිසිදු රටක් නැති බවයි.

එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාවට කිසිදු සතුරු රාජ්‍යයක් නොමැති තත්වයට පත්කරගැනීමට හැකිවීම නව ආණ්ඩුව ලැබූ විශාලතම ජයග්‍රහණය බවයි, ජනපතිවරයා පවසන්නේ.

ජාතික ගැටලුව

"අද අපිට ලෝකේ කිසිම සතුරෙක් නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලුම රාජ්‍යයන්හි ආශීර්වාදය සහ මිත්‍රත්වය අපි ගොඩනගාගෙන තිබෙනවා," ඔහු පැවසීය.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ව්‍යායාමය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා, "මේ පිළිබඳව සංවාදයක් තියෙනවා. රටේ කොටසක් කියනවා තියන ව්‍යවස්ථාවේ වෙනස් කිරීම් කරපුවහම ඇති කියල. ඒ වගේම තවත් පිරිසක් දරන මතය තමයි අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරමු කියන එක," පැවසීය.

ව්‍යවස්ථා සම්පාදනයේදී සිය පෞද්ගලික මතය ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් ඔහු සඳහන් කළේය.
නව ව්‍යවස්ථාවකින් තොරව ජාතික ගැටලුවට විසඳුමක් ලබා දිය හැකිදැයි විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයා අවධාරණය කළේ ඒ සියල්ල සම්බන්ධයෙන් රට තුල සංවාදයක පවතිනු විනා කිසිවක් සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් නොමැති බවයි. එමෙන්ම ව්‍යවස්ථාවකින් පමණක් ජාතික ගැටලුවට විසඳුම් දිය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

තනි පුද්ගලයකුගේ මතය මත පදනම් වී රට පාලනය කිරීම සිය ප්‍රතිපත්තිය නොවන බව අවධාරණය කරන ජනාධිපතිවරයා, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය විග්‍රහ කළේ 'රාජාණ්ඩුවක්' පිහිටුවීමක් ලෙසින්.

(ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේ ඉතිරි කොටස සෙනසුරාදා.)

 

---------------------------
by     (2016-01-23 18:17:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Abolish the presidency as soon as you can!!! We didn't appoint this fucker to rule the country!
-- by James on 2016-01-24

James is quite correct.
-- by Sisira on 2016-01-26

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links