(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.22, ප.ව.8.00) ආචාර්ය දියොන්ගු බඩතුරුගේ නිහාල්සිංහ හෙවත් ඩී.බී. නිහාල්සිංහ නමැති සිනමාවේදියා අධ්‍යක්ෂවරයා නිෂ්පාදකයා කැමරා ශිල්පියා සංස්කරණ ශිල්පියා සේම රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදකයා ඊයේ (21) අභාවප්‍රාප්ත විය. 1939 මැයි 27 වෙනිදා ලංකාවේ අනගි පුවත් පත් කතුවරයා වූ ඩී.බී ධනපාල මහතාගේ පුතෙකු ලෙස උපත ලද නිහාල්සිංහ මිය යන විට වයස අවුරුදු 76 ක් විය. ‘රජ දැක්මට අවසරයි‘ යන ප්‍රචාරක තේමාව යටතේ සිය ප්‍රථම සිනමා නිර්මාණය වූ ‘වැලිකතර‘ නිර්මාණය කළ හේ එය ලංකාවේ ප්‍රථම සිනමාස්කෝප් නිර්මාණය ලෙස එළිදැක්වීය. ඒ වන විට එය දකුණු ආසියාවේ දෙවන සිනමාස්කෝප් නිර්මාණය විය. මහාචාර්ය සිරි ගුණසිංහගේ ‘සත් සමුදුරේ‘ කැමරා ශිල්පියා මෙන්ම සංස්කරණ ශිල්පියා වූයේ ද ඔහුය. 16 වන දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී රජත මයුර සම්මානයෙන් අනෝජා වීරසිංහ පිදුම් ලැබූ ‘මල්දෙනියෙ සිමියොන්‘ චිත්‍රපටය ද, රිදී නිම්නය, කෙළිමඩල චිත්‍රපටද පසු කලෙක ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලදී.
ඔහු ලංකාවේ ප්‍රථම රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදනය කරන පුද්ගලික සමාගම ‘ටෙලි සිනේ‘ ආයතනය පිහිටුවීය. එමගින් නිර්මාණය කරන ලද ‘දිමුතු මුතු‘ ලංකාවේ ප්‍රථම ටෙලි නාටකය පමණක් නොව දකුණු ආසියාවේ ප්‍රථම වර්ණ ටෙලි නාටක මාලාව විය. මැලේසියානු රූපවාහිනියේ ගෞරව තනතුරක් දැරූ ඔහු ඕස්ට්‍රේලියාවෙන් තම ආචාර්ය උපාධිය ලබා ගත්තේය. 1915 දී ඇමරිකාවේ පිහිටුවන ලද සිනමා සහ ටෙලිවිෂන් ඉංජිනේරු සමාජයේ (Society of Motion picture and Television Engineers USA) සාමාජිකයෙක් ද වූ ඩී.බී.නිහාල්සිංහ එම සංගමයේ සාමාජිකත්වය හිමි ලංකාවේ එකම පුද්ගලයා ද විය. සිනමාව සම්බන්ධයෙන් ලෝකයේ පැරණිතම සංවිධානය ද එයයි. ඔහු වියට්නාම් යුද්ධයේ වාර්තාකරුවෙකු ලෙස සිනමා කැමරාවත් සමග සහභාගී වූවෙකි.
ලංකාවේ චිත්‍රපට සංස්ථාව පිහිටුවීමේ දී එහි ප්‍රථම සාමාන්‍යාධිකාරී වරයා වූයේද නිහාල්සිංහයන්ය. එය ඔහු ගත් මෝඩ තීන්දුවක් ලෙස සැලකිය හැකිය. සිනමා පටයක් අධ්‍යක්ෂණය කිරීමට පෙර අධ්‍යක්ෂ වරයෙක් ලෙස බලපත්‍රයක් ගත යුතු යැයි අමු නිලධාරීවාදී තීන්දුවක් ගත්තේද ඔහු විසිනි. එම මුග්ධ තීන්දුව නිසාම සුගතපාල ද සිල්වා වැනි අති දක්ෂ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ වරයෙකුගේ සිනමා නිර්මාණයක් දැක බලා ගැනීමට ශ්‍රී ලංකා වාසීන්ට නොහැකි විය. මන්ද යත් එම නිලධාරීවාදී තීන්දුවට එරෙහි වූ සුගතපාල ද සිල්වා සිනමා අධ්‍යක්ෂණයට අවස්ථාවක් ලැබී තිබියදී පවා ‘රාජ්‍ය බලපත්‍ර‘ ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ය. නිහාල්සිංහ මහතා පසු යුගය ගත කෙළේ සිනමාවේදියෙකුට වඩා ව්‍යාපාරිකයෙකු ලෙස වීම ද අවාසනාවකි. ඔහුගේ පියා ඩී.බී. ධනපාලයන් පුවත්පත් කතුවරයෙකු ලෙස මේ රටේ ජනතාවට කළ සේවය තරම් සේවයක් ඩී.බී. නිහාල්සිංහයන් අතින් ඉටු වුනාදැයි ප්‍රශ්නයකි.
මෑත කාලයේ සිංහල සිනමාවේ යුග පුරුෂයන් රැසක් නික්ම ගියේ නැවත පුරවාලිය නොහැකි මහා හිඩැසක් සිනමා ක්ෂේත්‍රය මතු නොව සමස්ත සමාජය තුළ ශේෂ කරමිනි. මහාචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් ජීවිතයෙන් සමුගත් බව අසන්නට ලැබුණු මොහොතේ ඒ හිදැස තව තවත් පුළුල් වන බව ද, එවන් ප්‍රතිභාපූර්ණ, දක්ෂ, සොඳුරු මිනිසුන් නැවත හමුනොවන බවට ද දැනුණු හැඟුමින් මම මහත් සංවේගයට පත් විමි.
ඩී.බී. නිහාල්සිංහ සිංහල සිනමාවේ දැවැන්තයකු වන්නේ ඒ කෙරෙහි පැවති මහත් ඇල්මෙන්, නොසිඳෙන පිපාසයකින් දෙස් විදෙස් සිනමාවත්, සිනමාව ආශ්‍රිත නව තාක්ෂණයත් හඹා ගිය හෙයිනැයි මම සිතමි. ස්වඅධ්‍යයනය, පරිකල්පනය, සතතාභ්‍යාසය ඔහුගේ ප්‍රතිභාව දියුණු තියුණු කළේය.
ලාංකේය කලා ක්ෂේත්‍රයට නවීන තාක්ෂණය එබිකම් කරන විට ම, එම දැනුම හඹා ගොස් ඒ හරහා තම නිර්මාණ වපසරිය පුළුල් කරගැනීමේ අපූර්ව හැකියාවක් නිහාල්සිංහයන් සතු විය. මෙරට ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය ලෙස 1971 වසරේ “වැලිකතර” චිත්‍රපටය නිර්මාණය වන්නේ එලෙසිනි. චිත්‍රපට ඩිජිටල්කරණය පිළිබඳ අවධානය යොමුකළ ලාංකේය සිනමාකරුවන් අතර ඩී.බී. නිහාල්සිංහ ද පුරෝගාමී වන්නේය.
ආධාරකයක් මත සවි කළ කැමරාව වෙනුවට මුලින්ම කැමරාව අතට ගෙන චිත්‍රපටයක් රූගත කිරීම සිදු වන්නේ “වැලිකතර” චිත්‍රපටයෙනි. හස්තගත කැමරාව භාවිතයෙන් මුලූමනින් චිත්‍රපටයක් රූගත කිරීම පහසු කටයුත්තක් නොවේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ද, කැමරා අධ්‍යක්ෂවරයා ද වශයෙන් කටයුතු කරමින් නිහාල්සිංහයන් මේ අසීරු අභියෝගාත්මක කාර්යය ජයගන්නේ වියට්නාම් යුද බිමේ සජීවීව යුද්ධය රූපගත කිරීමෙන් ලද අත්දැකීමෙන් ද විය යුතු ය.
ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් විට ඒ පිළිබඳ අවධානය යොමු කරන ඔහු “ටෙලිසිනේ” ආයතනය ආරම්භ කළේය. ටෙලි නාට්‍ය කලාව හා රූපවාහිනිය ආශ්‍රිත වෙළඳ දැන්වීම් ප්‍රචාරණයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට නිහාල්සිංහයන්ට හැකිවන්නේ ද නව ප්‍රවණතාවන් පිළිබඳ මනා අවබෝධයෙන් කටයුතු කිරීමේ ඔහු සතු සහජ හැකියාව නිසා බව එනයින්ම පැහැදිලි ය. ඔහු විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු ටෙලි නාට්‍යය වන “දිමුතු මුතු” ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ පෙරමඟ ලකුණු කළේය.
ඩී.බී. නිහාල්සිංහයන් හුදෙක් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු පමණක් ම නොවේ. ඔහු දක්ෂ කැමරා අධ්‍යක්ෂවරයෙකි. සංස්කරණ ශිල්පියෙකි. සිරි ගුණසිංහයන්ගේ “සත් සමුදුර” චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ද, සංස්කරණ ශිල්පියා ද වන්නේ නිහාල්සිංහයන් ය. 1968 වසරේ හොඳම සංස්කරණ ශිල්පියා ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලබන්නේ ද එම චිත්‍රපටය වෙනුවෙනි.
චිත්‍රපට හා රූපවාහිනිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාචාර්යවරයා ලෙස තම දැනුම, ආකල්ප, කුසලතා ලාංකේය සමාජය සමඟ බෙදාහදා ගනිමින් නව පරපුරට මඟ ලකුණක් වූ ආචාර්යවරයෙකි. සිනමා විචාරකයෙකි. 1972 වසරේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කළ පසු එහි ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් ද ඩී.බී. නිහාල්සිංහයන් කටයුතු කළේ ය.
ඩී.බී. නිහාල්සිංහ නම් වූ සිංහල සිනමාවේ යුග පුරුෂයා, අපූර්ව කලාකරුවා, ලේඛකයා, සොඳුරු මිනිසා ලාංකේය භුමිය මත කොතරම් පරිපූර්ණව සිය මෙහෙවර ඉටුකළේ ද යත් ඔහුගේ නික්ම යාමෙන් හිස් වන ඉඩ පිරවීම පහසු නොවේ.
ඔහු ගේ වියෝ වීමෙන් වේදනාවට පත් දයාබර බිරිඳ කළ්‍යාණි නිහාල්සිංහ මහත්මිය, පුතණුවන් ඇතුළු පවුලේ සැමට, ඥාති හිත මිත්‍රාදීන්ට මාගේත් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, ඩී.බී. නිහාල්සිංහ නම් අග්‍රගණ්‍ය කලාකරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
2016 අප්‍රේල් 22
---------------------------
by (2016-04-22 14:46:50)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි