~

රාජිත ධීවර ඇමැති කාලයේ සියයට 2000 ක ‘පවර් ඒෂියා‘ ගැහිල්ලක්: FCID ය මෙතෙක් විභාග නොකෙළේ ඇයි?

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.13, ප.ව‍‍‍.11.50) කවුරුත් දන්නා පරිදි වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී ආවේ එම ආණ්ඩුව දූෂිත යැයි චෝදනා කරමිනි. රාජපක්ෂලා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය බැල්ලක මෙන් මහ රෑ, හඳපානේ තනියම නඩු අසා එළවා දමද්දී ඒ නඩුව ඇසූ විනිසුරෙක් ලෙස රාජිත සේනාරත්න ද සිටියා වුව රාජපක්ෂ ආණ්ඩුව දූෂිත යැයි කියා එය හැරදා රාජිත එද්දී යහපාලනප්‍රේමී ජනතාව ඔහුව පිළිගත්තේය. පිළිගත්තා පමණක් නොව පසුව පැවැති මහ මැතිවරණයෙන් දිස්ත්‍රික්කයේ පළමුවැන්නා ලෙස ඔසවාද තැබුවේය. එසේ ඔසවා තැබුවේ රාජිත දූෂිතයෙක් නොවේ යැයි සිතාගෙන ය.

නමුත් මේ වන විට පසුගිය රාජපක්ෂ රෙජීමයේ වනචර දශකයේදී සිදුකරන ලද මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් සෙවීමට පත් කරන ලද පොලිසියේ විශේෂ මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (FCID යට) කරන ලද පැමිණිලි අනුව රාජිත සේනාරත්න ඇමැතිධූරය දැරූ යුගයේ ධීවර සහ ජලජ සම්පත් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ බරපතල මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් පැමිණිලිද තිබේ. ( වාසනාවකට පොදු අපේක්ෂකයා සහ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ඇමැතිධූර හෙබැවූ සෞඛ්‍ය සහ වාරිමාර්ග අමාත්‍යාංශ වල දූෂණ ගැන කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නැත. FCID යට පමණක් නොව දූෂණයට එරෙහි මාධ්‍යයක් වූ ‘ලංකා ඊ නිව්ස්‘ වෙතද එවැනි පැමිණිල්ලක් ලැබී නැත.) පුදුමයකට මෙන් රාජිත සේනාරත්න ඇමැතිධූරය දරද්දී ධීවර සහ ජලජ සම්පත් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ දූෂණ ගැන කරන ලද පහත පැමිණිල්ල මෙතෙක් විභාගයට ගෙන නැත.

මෙය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ජනතාව තැබූ විශ්වාසය පළුදු කිරීමකි. ජනතාව සිතන්නේ මහින්දානන්දලාගේ වීරවංශලාගේ දූෂණ ගැන සෙවූවද පැත්ත මාරු කළ නිසා රාජිත ඇමැතිවරයා ගැන පරීක්ෂණ කරන්නේ නැතැයි කියා ය.  ‘FCID ය අපෙන් පලිගන්නවා පලිගන්නවා‘ යැයි රාජපක්ෂලා කියන අවලාදයද සත්‍යයක් යයි එවිට ජනතාව සිතනු ඇත. මෙය රාජිත ඇමැතිවරයාගේ කීර්තිය පළුදු කිරීමක් වන අතර යහපාලන ආණ්ඩුවේ නමේද ගූ ගෑවෙන්නකි. එබැවින්  රාජිත සේනාරත්න ඇමැතිවරයාට එරෙහිව තිබෙන බරපතල මූල්‍ය දූෂණ ගැන පැමිණිලි විභාග කර රාජිත සේනාරත්න මහතාට නිර්දෝෂී වීමට අවස්ථාව සලසා දිය යුතුය. ඔහු නිර්දෝෂී නොවේ නම් තරාතිරම නොබලා දඬුවම් දිය යුතුය.  

රාජිත සේනාරත්න ඇමැතිවරයා ධීවර ඇමැති ධූරය දැරූ යුගයේ සිදුවූ බරපතල දූෂණයක් ගැන FCID යට කරන ලද පැමිණිල්ලක තතු මෙසේය. මෙම දූෂණය සිදුකර ඇත්තේ රාජපක්ෂ රෙජීමයේ අවසාන කාලයේදී ය. එනම් ‘යන යකා කොරහත් බිඳගෙන යන්නට‘ තටමන කාලයේදී ය. මෙය පොඩි පහේ දූෂනයක් නොවේ. සියයට 2000 ක ගැහිල්ලකි. මිලියන 9 ක වැඩේට මිලියන 177 ක් අනුමත කරවාගෙන ගැහූ, හෙණ ගහන ගැහිල්ලකි. 

දූෂන චෝදනාව සැකැවින් මෙසේය:

ධීවර සහ ජලජ සම්පත් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රවර්ධන කිරීමේ හා අධීක්ෂණය කිරීමේ ඒකකය (PIMU) නමින් ඒකකයක් තිබේ. එම ඒකකය මගින් සිලාවතුර (මන්නාරම් දිස්ත්‍රික්කය) ගුරුනගර් (යාපනය දිස්ත්‍රික්කය) සහ ගන්දර (මාතර දිස්ත්‍රික්කය) යන ප්‍රදේශ වල ධීවර වරායන්හි පහසුකම් අධ්‍යයනය සහ මූලික සැලසුම් කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කෙළේය.

මෙකී ව්‍යාපෘතිය ඉටු කිරීමට බාර දුන්නේ ‘පවර් ඒෂියා‘ (Power Asia) නමැති සමාගමකට ය. ‘පවර් ඒෂියා‘ සමාගම ඒ සඳහා අය විය යුතු මුදල ලෙස දැක්වූයේ රුපියල් මිලියන 177 කි. එසේ වී නමුත් මෙවැනි අධ්‍යයන කටයුත්තක් සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට දිවයිනේ දැනට ස්ථාපිත කීර්තිමත්ම ආයතනයක් වුව අය කරන්නේ රු.මිලියන 9 කටත් අඩු මුදලකි. ඒ අනුව ධීවර සහ ජලජ සම්පත් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රවර්ධන කිරීමේ හා අධීක්ෂණය කිරීමේ ඒකකය විසින් මෙකී ව්‍යාපෘතිය ඉටු කිරීමට ගෙවන ලද මුදල සාමාන්‍යයට වඩා සියයට 2000 කින් වැඩි මුදලකි. මෙය පැහැදිලිවම මහජන මුදල් සාවද්‍ය පරිහරණයකි. දූෂනයකි. හෙණ ගහන ගැහිල්ලකි. 

මෙහි අපූරුව නම් ඉහත කී ධීවර අමාත්‍යාංශයේ ඒකකය මෙම ව්‍යාපෘතිය පවර් ඒෂියා වෙත බාර දීමට තීන්දු කරන කාලය මසකටත් අඩු කාලයක් වීමය. ‘පවර් ඒෂියා‘ සමාගමේ කෙටි කාලීන ව්‍යාපාරික ඉතිහාසය තුල මෙවැනි වටිනාකම් සහිත එකදු කාර්යයක් හෝ ඊට පෙර සිදුකර නොමැති අතර එම ආයතනය සතුව මෙවැනි ඉංජිනේරු අධ්‍යයනයක් සඳහා පළපුරුද්දක් හෝ පෙර අත්දැකීම්ද නැත. 

නමුත් මෙම ව්‍යාපෘතිය ‘පවර් ඒෂියා‘ සමාගමටම දිය යුතුයැයි කියා බල කරමින් මැදිහත් වූයේ ධීවර අමාත්‍යාංශයේ අභ්‍යන්තර සැපයුම් විශේෂඥයෙක් වූ ලක්ෂ්මන් රත්නායක නමැත්තෙකි. ඔහු එවක ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාගේ අතිජාත ගජයෙකු වූයේ මන්දැයි නොදනිමු. 

මෙම මුදල අනුමත කිරීමත් සමග කඩිනමින්ම මුළු මුදල වූ රු.මිලියන 177 න් රු.මිලියන 46 ක් අදාල ‘පවර් ඒෂියා‘ සමාගම වෙත ගෙවා තිබේ. ඉතිරි මුදල කඩා ගැනීමට පෙර ආණ්ඩු මාරුව සිදුව ඇත.

රජයේ භාණ්ඩාගාරයෙන් මෙම මුදල් අනුමත වීමට පෙර මූලික ගෙවීම් පවා කරන ලද නිසා කළමැටිය බේරුවල ප්‍රදේශයන්හි ඒ වන විට පවත්වාගෙන ගිය ධීවර වරාය ව්‍යාපෘතීන්ට මුදල් හිඟවී ඒවා අකර්මන්‍ය ද විය. 

මෙකී ‘පවර් ඒෂියා‘ ආයතනය විසින් සිලාවතුර, ගුරුනගර්, ගන්දර ධීවර වරායන් ගොඩ නැගීමට යන වියදම් ලෙස දක්වා තිබූ ගණන් හිලව්ද පුදුම එළවන සුළුය. ඔවුන් දක්වා තිබුනේ එක් ධීවර වරායක් සඳහා රු.මිලියන 6000 ක් ලෙස තුනට රු.මිලියන 18,000 ක් වියදම් වන බවකි.  නමුත් දැනටමත් ස්ථාපනය කෙරෙමින් පවතින කැළණිය ධීවර වරාය සඳහා වැයවන මුදල රු. මිලියන 900 කි. ඒ අනුව පවර් එ්ෂියා හුවා දක්වන ගණන් සියයට 700 ක් වැඩි මුදලකි. 

මෙම දූෂනය සම්බන්ධයෙන් FCID ය වෙත පැමිණිලි කරන ලද නමුත් අද දක්වා ඒවා විභාගයට ගෙන නැත. කිසියම් දේශපාලන බලධාරියෙක් මෙය යට ගන්න යැයි බලපෑම් කරනවා විය හැකි වුවද පසුගිය සිකුරාදා නීතිය හා සාමය පිලිබඳ ඇමැති සාගල රත්නායක මහතා FCID යේ සහ CID යේ ලොක්කන් කැඳවා නියෝග කෙළේ දැනට ලැබී තිබෙන කිසිදු පැමිණිල්ලක් ගැන පරීක්ෂණ පැවැත්වීම් නතර නොකරන ලෙසය. කිසිදු ෆයිලයක් කවුරු කීවත් වසා නොදමන ලෙසය.  

ඒ අනුව ඉහත කී බරපතල දූෂනය ගැන පරීක්ෂණ පවත්වා සායම බේරා ගැනීම යහපාලන ආණ්ඩුවේත් එහි සෞඛ්‍ය ඇමැති රාජිත ඇමැතිවරයාගේත් දේශපාලන සෞඛ්‍යයට හිතකරය.

---------------------------
by     (2016-06-13 23:44:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

ඔය ගාන කොහොම වුනත් මහින්දගෙ කට් එක අයින් වුනාම රාජිතට ලොකු ගාණක් ලැබෙන්න නැතුව ඇති...
-- by සුපුන් on 2016-06-14

මෙන්න තවත් ගැහිල්ලක්, සාදර අනුග්‍රහය පර්සි මහේන්ද්‍ර මැදමුලන....!
-- by Manjula on 2016-06-14

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links