~

‘අද සිට මගේ නායකයා රනිල්‘ -සරත් ෆොන්සේකා: ‘හමුදා දෙක මුණ ගැහුනා, දැන් එක්වී පහර දෙනවා‘ -රනිල් (Photo)

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයන් එජාප යාවජීව සාමාජිකත්වය ලබා ගනී

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.30, ප.ව‍‍‍‍‍‍.7.00) අද සිට තමන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා නොවන බවත් අද සිට තමන්ගේ නායකයා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් තම පක්ෂ නායකත්වය අතහැර එක්සත් ජාතික පක්ෂයට බැඳෙමින් ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසීය. 

අද දහවල් සිරිකොත දී පැවැති උත්සවයකදී එජාප යාවජීව සාමාජිකත්වය ලබා ගත් ෆොන්සේකා මහතා සහ පිරිස එජාප නායකයන් විසින් උත්සවාකාරයෙන් පිළිගන්නා ලදී

එහිදී කතා කළ ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසිරුවා නොමැති බවයි. ඔහු ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයන් අද එජාපය සමග එකතු වුනේ තාවකාලික වාසියකට නොවන බවත් අද සිට මුළු දේශපාලන අනාගතයම එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන බවටත් සරත් ෆොන්සේකා මහතා එහිදී ප්‍රතිඥාවක් ද දුන්නේය. තමන්ට 2010 දී දේශපාලනයට ඒමට අත දුන්නේ ද එජාපය බවත් හේ පැවසීය. 

මෙහිදී කතා කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ‘හමුදා දෙක මුණ ගැසුණා. දැන් අප එකට ගමන් කරනවා. ඉස්සර අප වෙනම ගිහින් එකතු වී පහර දුන්නා. දැන් අප එකට එක්වී පහර දෙනවා‘ යනුවෙනි. අගමැතිවරයාගේ සම්පූර්ණ කතාව පහත දැක්වේ. 

‘‘එක්සත් ජාතික පක්‍ෂය යනු ඉදිරියට යන පක්‍ෂයක්. ඒ ඉදිරියට යන පක්‍ෂයට ඉදිරියට යන නායකයෙකුත්, ඔහුගේ කණ්ඩාමත් අද එකතු වුණා. ඒ පසුගිය ත්‍රස්තවාදී යුද්ධයේ දී බය නැතිව ඉදිරියට ගිය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතායි. ඔහු කිසි විටෙක පසුබට වුණේ නැහැ. පසුපසට පියවර තැබුවේ නැහැ. හැම විටම ඉදිරියට ගියා. ඔහු එතැනිනුත් නැවතුණේ නැහැ. උතුරේ යුද්ධය ජයගත්ත ද සාමය සහ සංහිදියාව අවශ්‍ය බව එතුමා පසුව තේරුම් ගත්තා. ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් ලෙස ෆොන්සේකා මහතා ඉදිරිපත් වූයේ එම සංහිදියාව මෙරට ස්ථාපිත කිරීම සඳහායි. එතුමා සටන් කළ ප්‍රදේශවල ජනතාව එහිදී එතුමාට ඡන්දය ලබා දුන්නා. නමුත් අවාසනාවකට එතුමා ජනාධිපති ධූරයට පත් වුණේ නැහැ. 

එකල ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අභියෝග කළ හැකි එකම විකල්පය සරත් ෆොන්සේකා බවට අප සියලූ දෙනා ඒකමතිකව තීරණය කළා. එම නිසා එක්සත් ජාතික පක්‍ෂය වශයෙන් අපේ පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකර ෆොන්සේකා මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළා. එතුමා ඡන්ද ව්‍යාපාරයේ දී මුහුණදුන් කරදර පිළිබඳව මෙහිදී කතා කරන්නේ නැහැ. 

30 වසරක යුද්ධය ෆොන්සේකා මහතා ජයග්‍රහණය කළත් පසුව ඔහුට විශාල දුකක් විදින්නට සිදුවුණා. යුද්ධය දිනූ අය ආරක්‍ෂා කරන්නේ නැතැයි ඇතැමුන් අපට චෝදනා කරනවා. එම චෝදනා කරන අය යුද්ධය දිනූ සෙන්පතියා ආරක්‍ෂා කළේ වැලිකඩ හිර ගෙදර සිරගත කරමිනුයි. ම්ලේච්ඡ අන්දමින් ඇද ගෙන ගොස් එලෙස සිරගත කළා. ඔවුන් රණවිරුවන්ට සැලකුවේ ඒ අයුරිනුයි.

කොපමණ දුක් කරදර විදින්නට සිදු වුණත් ෆොන්සේකා මහතා කිසි විටෙක තම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. හිර ගෙදර ජීවිතයෙන් එළියට පැමිණි පසු ඔහු දේශපාලන පක්ෂයක් නිර්මාණය කර නැවත ඉදිරියට යන අවස්ථාවේදී ද ඔහුගේ සහයෝගය විවිධාකාරයෙන් මට නිරතුරුවම  ලැබුණා. 

ඊළඟ ජනාධිපතිවරණයේදී ද යළිත් පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි අපි 2014 දී තීරණය කළා. ඒ සඳහා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා ගත්තා. පසුව අප සියලූම දෙනාටම එකම වේදිකාවකට පැමිණ ඒ සටන ජයග්‍රහණය දක්වා මෙහෙයවීමට හැකියාව ලැබුණා. 

ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරග කළේ ඔහුගේ පක්‍ෂයෙනුයි. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව අප මුල සිටම කල්පනා කළා. ඔහුගේ අදහස් පාර්ලිමේන්තුවට අවශ්‍යයි. එම නිසා ඔහු පාර්ලිමේන්තුවට ගෙන ඒම අපට සතුටක් බව කිව යුතුයි. ඉන් නොනැවතී එක්සත් ජාතික පක්‍ෂයේ 70 වැනි සංවත්සරය සමරන මේ වසරේ දී අප පක්‍ෂයට එකතු වන ලෙස සරත් ෆොන්සේකා මහතාට මා ආරාධනා කළා. එය අපේ පක්‍ෂයේ ඒකමතික තීරණයක් බව කිව යුතුයි. එම ආරාධනය පිළිගැනීම පිළිබඳව සරත් ෆොන්සේකා මහතාටත්, ඔහුගේ පක්‍ෂයේ සාමාජිකයන්ටත් ස්තූතිය පළ කරනවා. 

එමෙන්ම ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරු පැමිණ සිටිනවා. ඔවුන්ට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට දිස්ත්‍රික් සංවිධාන, ප්‍රාදේශීය සංවිධාන ලබාදීමට සාකච්ඡා කොට ඒ වැඩ කටයුතු සිදු කරනවා. 

දැන් අපි එක ගමනක් යමු. හමුදා දෙක මුණ ගැසුණා. දැන් අප එකට ගමන් කරනවා. ඉස්සර අප වෙනම ගිහින් එකතු වී පහර දුන්නා. දැන් අප එකට එක්වී පහර දෙනවා. දැන් අපට ජය ගැනීමට ලොකු යුද්ධයක් තිබෙනවා. ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ලබා දුන්නේ ඇයි? ජනතාව අලූත් ලෝකයක්, අලූත් රටක් බලාපොරොත්තු වෙනවා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අප සමග එකතු වූයේ ඒ අලූත් රට නිර්මාණය කිරීමට බව අවධාරණය කළ යුතුයි. 

අඩු ආදායම් ලබන, රැකියා නැති තරුණ තරුණියන් හොඳ රැකියා බලාපොරොත්තු වෙනවා. මෙය විශාල යුද්ධයක්. අප රැකියා ලක්‍ෂ 10 ක් බිහි කළ යුතුයි. එමෙන්ම මෙරට ග්‍රාමීය ආර්ථිකය කඩා වැටිලා. එය ගොඩනැංවීම තවත් යුද්ධයක්. මෙරට අධ්‍යාපන ක්‍රමය බිඳ වැටිලා. අධ්‍යාපන ක්‍රමය ගොඩනැගිය යුතුව තිබෙනවා. සියලූ දෙනාගේම බලාපොරොත්තුව හොඳ ජීවිතයක් ගත කිරීමයි. හොඳ ආදායම් මාර්ගයක් සලසා ගෙන නිවසක් මිලදී ගැනීමයි. විවාහ වී දරුවන් හදා වඩා ගැනීමයි. මධ්‍යම පන්තියේ ජීවිතයක් ගත කිරීමයි. ගොවි, ධීවර රැකියා දියුණු කර ගැනීමයි. මේවා පැවසීම පහසු කරුණක්... නමුත් අප සියලූ දේ යථාර්තයක් කරගත යුතුයි. අපේ සිහින යථාර්තයක් කරමින් යන ගමනේ දී මෙවැනි දක්‍ෂ නායකයින් අපට අවශ්‍යයි. අප සියලූ දෙනා එක් වී එක ගමනක් යමු. අපේ අරමුණ දූෂණය තුරන්කොට යහපාලනය ශක්තිමත් කිරීමයි. 

දුප්පත්කමට විරුද්ධ සටනක් අප අරඹා තිබෙනවා. ලංකාව නැවත ලෝකයේ ප්‍රබල බලවත් රටක් බවට පත් කිරීම අපේ අරමුණයි. අප පක්‍ෂයේ නිර්මාතෘ ඩී.එස්. සේනානායක මහතාගේ බලාපොරොත්තුව වූයේත් එයයි. එම බලාපොරොත්තුව ඉටු කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. එම බලාපොරොත්තුව ඉටු කිරීම සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයත් අප සමග එකතු වී සිටිනවා. 

මෙරට ජනතාව බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව ගොඩනැංවීම අපගේ ප්‍රධානතම කාර්යභාරයයි. සරත් ෆොන්සේකා මහතාගේ එකතු වීම තුළින් එක්සත් ජාතික පක්‍ෂය තවත් ශක්තිමත් වූ බව මගේ හැඟීමයි.  

---------------------------
by     (2016-06-30 13:39:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links