~

‘මහින්ද අයියා‘ වයස 43 දී ගිය පාද යාත්‍රාව සහ ‘කඩප්පුලි මරා‘ වයස 73 දී යන පාද(ඩ) යාත්‍රාව - විසල්ගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් -2016.ජූලි.27, ප.ව.10.35) ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන සම්බන්ධයෙන් විවිධාකාරයේ දැන්වීම් ප්‍රාදේශීය මට්ටමෙන් දැන් කල එලි බැස තිබේ. සමහර ප්‍රදේශ වල සමහරු මහින්ද සමග නැගිටින්න ලෑස්ති වන අතරේ තවත් සමහරෙක් ආණ්ඩු පෙරලන්න කතා කරනු දැකිය හැකිය. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වල යෙදෙන්න, සාමූහිකව විරෝධයේ යෙදෙන්න ඕනෑම කෙනෙකුට ඇති අයිතිය මේ අයටද ඇත. ඒ අයිතියට, දේශපාලණිකව හෝ වක්‍ර‍ව අධිකරණ ක්‍රියා මාර්ග වලින් සිදු කරන බාධා කිරීම් නොකළ යුතු බව අපගේ ස්ථාවරයයි. කෙසේ වෙතත් පා ගමන සහ එහි සංවිධායකයින් ගේ හාස්‍ය ජනක මෙන්ම ප්‍ර‍තිගාමී ප්‍රවේශය ගැන විමසා බැලිය යුතුව ඇත.

ඒකාබද්ධයේ උපාය බ්ලාස්

මේ පා ගමන ආණ්ඩුව පෙරලීමේ පලමු පියවර ලෙස සහ එජාප රජයට එරෙහි ගෙන යන ශ්‍රීලනිප ඇතුළු පක්ෂ වල සාමූහික ව්‍යාපාරයක් බවට අදහසක් ඇති කිරීමට ඩලස් ඇතුළු නඩය ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමට ජනාධිපතිවරයා සමත් වී ඇත. තමන් කිසි ලෙසකවත් පා ගමනට සහායක් දෙන්නේ නැති බවත් ශ්‍රීලනිප මන්ත්‍රී වරුන්ට සහභාගි වන ලෙස නොදැන්වූ බවත් පුවත් පත් වල තිබූ ව්‍යාජ තොරතුරු ප්‍ර‍තික්ෂේප කරමින් නිවේදනයක් මගින් ජනාධීපති වරයා කියා සිටියේය. රජයෙන් ශ්‍රීලනිපය වෙන් කර විපක්ෂයේ ස්ථානගත කිරීමටත් ඒ හරහා පා ගමනට විශාල සහභාගිත්වයක් මෙන්ම ග්‍රාමීය මට්ටමේ පාක්ෂිකයින්ගේ සහයෝගය ලබා ගැනීමටත් කළ මේ කූඨ උපාය නිවැරදි ලෙස හඳුනා ගැනීමට ජනාධිපතිවරයා සමත් වී ඇත. එසේම අගමැති වරයා සහ ජනාධිපතිවරයා අතර නැති ගැටුමක් නිර්මාණය කිරීමට කළ උත්සාහයත් ජනාධිපතිවරයා හඳුනා ගෙන ඇත. ඩලස් ගේ ලයින් එකේම ගොස් පා ගමන එජාප විරෝධී එකක් ලෙස හඳුන්වා ආණ්ඩුවේ වරප්‍ර‍සාද ලබන අතරේ රාජපක්ෂ තුරුලේද නැලවීමට ඇමති ඩිලාන්, දයාසිරි වැනි දෙපත් නයින් ගේ ඩබල් ගේම් එකද ජනාධිපතිවරයාගේ නව ප්‍රවේශය හරහා බ්ලාස් වී ඇත. දැන් කාරණය පැහැදිලිය. මේ පා ගමන රජයට එරෙහි එනම් එජාප සහ ශ්‍රීලනිප හවුල් රජයට එරෙහි ප්‍ර‍ධාන පක්ෂ වලින් පරිබාහිර එකක්ය. එය හුදු එජාප විරෝධයට එහා ගිය ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රී ට එරෙහි ව්‍යාපාරයක් ලෙස නිවැරදිව අර්ථගත කර ඇත.  

ඒකාබද්ධ විපක්ෂයේ යටි අරමුණ වූයේ ශ්‍රීලනිපය නොනිල ලෙස පා ගමනේ කොටස් කරුවෙක් කර ගැනීමය. ඩිලාන් ලා වැනි ඩබල් ගේම් කාරයින් ගේ ආශිර්වාදය ලබා ගෙන එය පූර්ණ එජාප විරෝධී උද්ඝෝෂණයක් ලෙස ඔසවා තබා රට පුරා දැවැන්ත එජාප විරෝධයක් ඇති බව ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වීමටය. එමගින් එජාපය නොමැතිව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රීලනිප රජයක් පිහිටු වා ගැනීම සාදාරණීකරණය කිරීමටත් එමගින් බලපෑමක් ඇති කිරීමටත්ය. තමන්ට එල්ල වී ඇති චෝදනා වලින් ගැලවීමට ඇති අවසන් උපාය ලෙස මෙය රාජපක්ෂ ප්‍ර‍මුඛ හොරු නඩය අදහස් කලාට සැකයක් නැත. නමුත් මෙම උපාය කල් ඇතිව වටහා ගැනීමට ආණ්ඩුව සමත් වූ අතර පා ගමනට පෙරම හවුල් රජය ඉදිරි වසර 5 ත් ක්‍රියාත්මක වන බව දෙපක්ෂයේ ලේකම් වරුන් හරහා ප්‍ර‍කාශයට පත් කිරීමට කටයුතු කළේය.  දේශපාලන චෙස් පෙතේ ඉතා හොඳ ඇදීමක් වූ එය ඒකාබද්ධ විපක්ෂයේ මූලික උපාය නිශ්ක්‍රීය කිරීමට සමත් විය. ලේකම් වරුන් ගේ ප්‍ර‍කාශයත් සමගම ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමට තිබූ අවසන් අවස්ථාවත් නැති වූ බව හීනෙන් පවා හිර ගෙදර කූරු පෙනෙන කුමාර වෙල්ගම ප්‍ර‍කාශ කෙළේ මේ නිසා ඇති වූ හිතේ අමාරුවටය. දැන් පා ගමන නිශ්චිත උපායක කොටසක් ලෙස නොව බැඳ ගත්ත බෙරේ ගහගෙන යෑමක් ලෙස කරගෙන යෑම දක්වා රාජපක්ෂ නඩය පල්ලම් බැස ඇත. 

ඩලස් ගේ මිලියන බයිලාව

කවදත් බොරු බයිලා වලට හපන් ඩලස් මේ දිනවල මාධ්‍ය ඉදිරියට ඇවිත් කියන්නේ ජනතාව මිලියනයක් තමන් පා ගමන සමග කොළඹ ට රැගෙන එන බවයි. ලංකාවේ සමස්ත ජනගහනයද මිලියන විස්සකි. ඩලස් ගේ ගණන් අනුව මුළු රටේම උතුරු නැගෙනහිර ඇතුළුව දරුවා ගේ සිට මහල්ලා දක්වා සෑම මිනිසුන් විස්සකින් එකෙක් පා ගමනට එක් වන්නේය. නැතිනම් සමස්තයක් ලෙස ජනගහනයෙන් 5% ක් පා ගමනට එන්න නියමිතය. මෙවැනි ජනතාවක් පැමිණය හොත් එක පේලියට දහ දෙනා ලෙස පා ගමනට එක් වූවොත්, වෙනත් සංදර්ශන ඇතුලත් නොකර ගත්තද එය කි.මි. 90 ක් තරම්වත් දිගු විය යුතුය. එනම් පා ගමන මුල පෑලියගොඩ පාලම අසලට එන විට කෙලවර තිබිය යුත්තේ පේරාදෙණියේය. මෙවැනි ජනතාවකට ප්‍ර‍වාහන පහසුකම් දීමට අවම වශයෙන් බස් විසි පන් දහසක් වත් අවශ්‍ය වන අතර එය සමස්ත රටේ පෞද්ගලික බස් ප්‍ර‍මාණය ඉක්මවනවා ඇත. එවන් බස් ප්‍ර‍මාණයක් කොළඹට ඒමට උත්සාහ කළහොත් එය කි.මී. 200 ක පමණ දිග වාහන පෝලිමක් වනු ඇත. සාමාන්‍ය ලෙස එකෙකුට බත් එකයි, වතුර බෝතලයයි දුන්නත් එයට මිලියන 200 ක මුදලක් අවශ්‍ය වන අතර එම මුදල නම් රාජපක්ෂලා ලඟ සිල්ලරට තිබිය හැකිය. මේවාට හිනා විය යුත්තේ මොකෙන්දැයි හිතා ගත නොහැක.

අහෝ මහින්ද..!

තමන් පා ගමනට එක් වන බව මහින්ද ද මාධ්‍යයට ප්‍ර‍කාශ කර තිබුණි. එදා පාද යාත්‍රාව මගින් එවකට තිබූ එජාප රජයට දැඩි බලපෑමක් කිරීමේ ඉතිහාසයකට මහින්ද උරුම කම් කියයි. එවකට ඔහු හතලිස් තුන් වන තරුණ වියේ සිටි ජවාධිසම්පන්න රැඩිකල් මෙන්ම වාමවාදී දේශපාලඥයෙකි. දකුණේ තරුණයින් අතුරුදහන් කිරීමට එරෙහිව ජිනීවා හරහා මැදිහත් වූ මානව හිමිකම් ක්‍රියාධරයෙකි. මුල්කිරිගල අතුරු මැතිවරණයේදී භීෂණයට එරෙහිව සටන් කළ සටන්කාමියෙකි. ජනාධිපති තනතුරක් නොව ඇමති කමක් හෝ නොකළ දූෂණයට ගොදුරු නොවූ චරිතයකි. විපක්ෂයේ දේශපාලනඥයින්, වාම ක්‍රියාධරයින්, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති නායකයින් අතර ‘මහින්ද අයියා‘ යැයි ජනප්‍රියව සිටි චරිතයකි. ඔහු ගේ සටන්කාමී මැදිහත් වීම එවකට විපක්ෂයට නැවුම් ආශ්වාදයක් විය. ඔහු සමග සිටි අනෙක් අය අතර බාහු, සිරිතුංග, වාසු වැනි වමේ සටන්කරුවන් ද අනුර බණ්ඩාරනායක වැනි කෘතහස්ත දේශපාලඥයින්ද, රාජිත, දේව බණ්ඩාර වැනි සටන් කරුවන් ද විය. 

එහෙත් අඳෝමැයි, අද සිටින්නේ ඒ මහින්ද නොවේ. මේ ඉන්නේ හැත්තෑ තුන් වියට පැමිණි, මහළු, දුර්වල, වේලකට පෙති අල්ලක් බොන, ඩයි පප්පෙකි. දෙවරක් ජනතාව විසින් පරාජය කරන ලද හිටපු ජනාධිපතිවරයෙකි. ලංකා ඉතිහාසයේ වඩාත් දූෂණ චෝදනා වලට ලක් වූ, බිරිඳ, දරුවන් සහ සහෝදරවරුන්ට එකවිට චෝදනා එල්ල වී පවුල පිටින් අවමානයට ලක් වූ, යුද අපරාධ, දේශපාලන ඝාතන, මානව හිමිකම් නැති කිරීමේ චෝදනාවට ලක් වූ මහින්ද කෙනෙකි.  කරන ලද අපරාධ වලට එක පිට එක පවුල් පිටින් නඩු වැටුනු මහින්ද කෙනෙකි.  මානව හිමිකම් කෙලෙසීම නිසා ජ්‍යාත්‍යන්තර වශයෙන් අපවාදයට ලක් වූ, ඉඩි අමීන් පන්නයේ ඒකාධිපතියෙකි. ජාතිවාදියෙක් ලෙස නාමකරණයට ලක් වී සුළු ජාතික ප්‍ර‍ජාව ගෙන් කොන් වූ කඩප්පුලියෙකි. 

ඔහු සමග එදා සිට බාහු වැනි සටන්කාමී තරුණ ප්‍ර‍ගතිශීලීන් වෙනුවට අද සිටින්නේ නීලකාස හොරු රෑනකි. පරාජිත එක පිට එක නඩු වැටුනු දූෂිතයින් රෑනකි. එකෙක් ලංගමය ඉහගෙන කා හෙට අනිද්දා හිරේ වැටීමට නියමිතය. තව එකෙක් හොරා බව කියන්නේ උගේ බිරිඳමය. එකෙකුට අල්ලස් කොමිසමෙන් එන්න කී විට නයි කනවා ය. පා ගමනේ ඌ යා යුත්තේ නයෙක් කර ලා ගෙනය. තව එකෙක් හොර අත්සන් කාරයෙකි. එකෙකුට පාස් පෝට් දෙක ගානේය. ගෑණි සමග එකතු වී ඉඩම් ගොඩ කර විකුණූ එවුන්ද සිටිති. නුවර සිට කොළඹටම නඩුවක් නැති එකෙක් සොයා ගන්න ලේසි නැත. මේ වගේ රෑනකට කළ හැකි දෙයක් නැත. කිරීමට නියමිත කාර්ය භාරයක් ද නැත. 

හිටපු රාජ්‍ය නායකයෙකු ලෙසත් දශක පහක ඉතිහාසයක් ඇති දේශපාලනඥයෙකු ලෙසත් ඔහු රඟ දැක් වූ භූමිකාව ඉතිහාසයේ විනිශ්චයට යා යුතු කාලයක, වයස හැත්තෑ තුනේ දී තම ඝාතන හොරකම් සහ හොර සහචරයන් වෙනුවෙන් වෙහෙසකර, අප්‍ර‍සන්න පා ගමනක් යෑමට සිදු වීම එක්තරා ආකාරයකට මහින්ද ගේ පුද්ගලික ඛේදවාචකයකි.  

මේ වන විට රට ශිෂ්ඨ සම්පන්න රටක් බවට පත් වීමේ දිශාන්තයට වැටී තිබේ. දූෂණය අවම කර ගැනීමට අවශ්‍ය ආයතන පද්ධතිය ඇති කර ගනිමින් සිටින අතරේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ද තහවුරු කර තිබේ. වෙන කවරදාටවත් වැඩිය ජනමාධ්‍ය නිදහස ඇති කර තිබේ. ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා මහ පරිමාන දූෂණ වලට ඇති ඉඩ කඩ අහුරා ඇත. ජාති වාදය, ප්‍රාදේශීය වාදය ආණ්ඩුවේ ප්‍ර‍තිපත්තිය කර ගෙන නැත. යා යුතු ගමන නිම කර නැතත්, අඩු පාඩු සහිත වූවත්  අවශ්‍ය ආරම්භය ගෙන ඇත. පෞද්ගලික අපේක්ෂාවන්ට එහා ගිය සංවර්ධන සහ ව්‍යවස්ථාමය ප්‍ර‍තිසංස්කරණ ගැන තම කැප වීම නායක දෙපොලම පෙන්වා ඇත. 

මේ ගමන නැවත ආපස්සට හැරවීමට ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් කැමති වන්නේ නැත. කාලකණ්නි හොරු රැලකට එයට ඉඩ දිය යුතුද නැත. කළ යුතු වන්නේ සිදු වෙමින් පවතින ප්‍ර‍තිසංස්කරණ සම්බන්ධයෙන් විවේචණාත්මක සහ ප්‍ර‍තිපත්තිමය වශයෙන් මැදිහත් වීමකි. එය කළ හැකි වන්නේ සහ එයට සදාචාරාත්මක අයිතිය ඇත්තේ ඉදිරිගාමී, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පුරවැසි කණ්ඩායම් වලට මිස ජාතිවාදී, දූෂිතයින්ට නොවේ.

-විසල් කරුණාරත්න විසිනි- 

---------------------------
by     (2016-07-27 18:11:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

කාලකෙට පස්සෙ කමෝන් විසල් කමෝන්.... වලත්ත හැත්ත ඉවරම කරන්න විසල් අපිත් එක්ක ඉන්න
-- by Ravindra on 2016-07-27

හොඳ ලිපියක් විසල් කරුණාරත්න. අපේ රට ශිෂ්ඨ සම්පන්න රටක් බවට පත් කර ගැනීම වෙනුවෙන් ලංකා ඊ නිව්ස් වැනි පුරෝගාමී මාධ්‍ය හා ඉදිරිගාමී, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පුරවැසි කණ්ඩායම් මේ මොහොතේ අත් හළ නොහැකි මැදිහත් වීමක් කළ යුතුව ඇත. ඒ වෙනුවෙන් ඔබගේ බුද්ධිය හා පෑන වැඩි වැඩියෙන් මෙහෙයවන මෙන් ඉල්ලමි.
-- by බඹරවාන on 2016-07-28

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links