නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නගේ සටහන
(ලංකා ඊ නිව්ස් -2016.ජූලි.29, ප.ව.9.30) පාද(ඩ) යාත්‍රාව ආරම්භ විය. ආරම්භක දිනයේදී හාරදහසක් පමණ වූ පිරිස දෙවන දිනයේදී දෙදහසකට මඳක් වැඩි ගණනකට අඩු වී තිබේ. බයියන්ගේ උනන්දුව හීන කළ එක් හේතුවක් නම් නායකයන් ටික දුරක් පයින් ගොස් පසුව වාහන වල නැගී ගමන් කිරීමයි. පාද(ඩ) යාත්‍රාව ආරම්භ කළේම රෝගියෙකු ගෙන ඒම සඳහා පැමිණි ගිලන් රථයකට පහර දෙමිනි. ඊට නායකත්වය දුන්නේ විමල් වීරවංශ මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, නාමල් රාජපක‍්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදීහු වෙති. මේ සියළු දෙනා හොරකම් දූෂණ සහ මුදල් අවභාවිතා කිරීම් කූඨ ලේඛන තැනීම් ගැන චෝදනා ලැබුවෝ වෙති.
මහින්ද රාජපක‍්ෂ මාවනැල්ලේදී පළමු දිනය හමාර කරමින් කීවේ කුමක්ද? පාද(ඩ) යාත්‍රාව දෙන පණිවිඩය ආණ්ඩුව තේරුම් ගත යුතු බවය. එහි කියැවුණේ විදේශීය කුමන්ත්‍රණ ගැනය. දේශපාලන පළිගැනීම් ගැනය. ජපානයේදී ටයිම්ස් පුවත් පතට මහින්ද රාජපක‍්ෂ කීවේ දේශපාලන පලිගැනීම් ඇත්තේ තම පවුලට පමණක් බවය. එසේ නම් ඔහු සමග මේ පාද යාත්‍රාවේ මුලින්ම ගමන් කරන විමල් වීරවංශ මහින්දානන්ද අළුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදීහූ රටේ නීතියට කොටු වී සිටීම යනු දේශපාලන පලිගැනීම් නොවේ. රටේ ජනතාව මහින්ද ජපානයේදී සිට දුන් ඒ පණිවිඩය ජනතාව පළමුව තේරුම් ගත යුතුය. එනම් මහින්ද රාජපක‍්ෂ හැර පාද යාත්‍රාවේ යන බහුතරය නීතිය විසින් සොයමින් සිටින, එසේම ඇප දී මුදා හැර නඩු විභාග වෙමින් තිබෙන, අධී චෝදනා පත්‍ර භාර දී තිබෙන පල් හොරුන් බවය.
පාද(ඩ) යාත්‍රාව ආරම්භ කළේ ගිලන් රථයකට පහර දෙමිනි. ලෝක නීතිය අනුව ගිලන් රථයක් නතර කර පරීක‍්ෂා කිරීමට පොලිසියකට හෝ අවසරයක් නැත. මාර්ගයේ ගමන් කරමින් තිබෙන ගිලන් රථයක් නතර කිරීමේ අවසරය ඇත්තේ රතු කුරුස සේවයට සහ ශාන්ත ගිලන් රථ සේවයට පමණකි. මේවා මහින්ද සහ පාදඩ පිරිස නොදන්නවා විය යුතුය. සුදු කොඩි දමාගෙන පැමිණි ගිලන් රථයකට වෙඩි තැබුවා කියා සිවිල් යුද්ධය අතර මහින්දලා ජාත්‍යන්තර ලෙඩක් දා ගත්තේය. පේරාදෙණීයේදී ගිලන් රථයකට පහර දීම හරහා රට තේරුම් ගත යුතු පණිවිඩය කුමක්ද? බලය පාවිච්චි කිරීමේදී පමණක් නොව, බලය අල්ලා ගැනීමට කරන සටන් අතර පවා, රාජපක‍්ෂලා රටේ නීතිය මානව හිමිකම්, ජනතා අයිතීන් සත පහකට මායිම් නොකරන අලුගුත්තේරුවන් පිරිසක් බවය.
සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොත් සහෘදයන් පාද(ඩ) යාත්‍රාවට එරෙහිව දුන් ප්‍රචාරය ගැන රාජ්‍ය මාධ්‍ය ලජ්ජා විය යුතුව ඇත. වසීම් තාජුදීන්, ප්‍රගීත් එක්නැලිගොඩ, රවිරාජ්, ලසන්ත වික්‍රමතුංග පාද යාත්‍රාවට එක් වීමට අතර මග රැඳී සිටිතියි මුහුණු පොත් සහෘදයන් සටහන් කර තිබිණ. තවත් කවුදෝ පාද(ඩ) යාත්‍රාව යන ගමන් රතු පස්වලටත් ගිහින් යන්න යයි කියා තිබිණ. ඉඹුල්ගොඩදී රිය අනතුරක් නිර්මාණය කර මරා දැමූ සිසුන් දෙදෙනාද පාද(ඩ) යාත්‍රාව එන තෙක් බලා සිටිතියි තවත් කෙනෙකු ලියා තිබිණ. මේ එකකට හෝ දෙන්න උත්තරයක් රාජපක‍්ෂලාට නැත. මහින්ද කීවේ තම පණිවිඩය ආණ්ඩුව තේරුම් ගත යුතු බවය. මහින්ද ආරම්භ කළ පා ගමන් විකාරය සහ එහි අරුත ගිලන් රථ සිද්ධිය හරහා ජනතාව තේරුම් ගත්හ. මේ ටික මතක හිටින්නට රටට කියන්නට රාජ්‍ය මාධ්‍ය ක්‍රියා කළ යුතු වේ.
පාද(ඩ) යාත්‍රාව ආරම්භයේ විමල් වීරවංශට නරක පණිවිඩයක් නිකුත් විය. ඒ ඔහු අල්ලස් කොමිසමට එරෙහිව ගොනු කළ මානව හිමිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධීකරණය නිශ්ප්‍රභ කළේය. වැට් බදු නතර කරන ලෙස වීරවංශ කළ ඉල්ලීමට ඉඩ ලැබිණ. එදා වීරවංශ කතා කළේ මොහාන් පීරිස් නඩු ඇසුවා කියා හිතාගෙනය. ශිරාණී බණ්ඩාරනායක මැතිනිය දිවි නැගුම පනත ගැන දුන් නියෝගය නිසා ඇය තනතුරෙන් දොට්ට දැමිණ. ඒ නඩුව ඇසූ එක් විනිශ්චයකාරයෙකු විමල් විරවංශ විය. වැට් බදු ගැසට් පත්‍රය ගැන දුන් තීන්දුවට ආණ්ඩුව හිස නැමීය. විමල් වීරවංශ ගොනු කළ මානව හිමිකම් නඩු තීන්දු දෙක හරහා රටේ අධිකරණය ස්වාධීන බව සහ අපක‍්ෂපාත බව ගැන නිකුත්වූ පණිවිඩය තේරුම් ගත යුත්තේ රටේ ජනතාව නොවේ. මහින්ද චින්තනය දිනවීමට පාද(ඩ) යාත්‍රා යන ගිලන් රථ වලට පහර දෙන මහින්ද චින්තන බයියන්ය.
පාද(ඩ) යාත්‍රාව සම්බන්ධව අධීකරණය දුන් තීන්දු හරහාද මහින්ද චින්තකයන්ට ලැබෙන පණිවිඩය ප්‍රබල එකකි. මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයෙන් මහින්ද කල්ලිය පමණක් නොව එක්සත් ජාතික පක‍්ෂයටද වැට බැඳ තිබිණ. මාවනැල්ල කෑගල්ල අධිකරණ නිකුත් කළ නියෝග ඊට වෙනස්ය. ගම්පහ රතුපස්වල මිය ගිය අය අණුස්මරණයට දුන් තීන්දුවද හාත්පසින්ම වෙනස්ය. එහිදී කියා ඇත්තේ පාද(ඩ) යාත්‍රාවට ඉඩ දී අණුස්මරණය කල් දැමිය යුතු බවකි. ආණ්ඩුව අධිකරණය පාවිච්චි කළා නම් තත්වය එසේ නොවනු ඇත. ත්‍රිකුණාමලේ කුමාරපුරම්හි මනුෂ්‍ය ඝාතන නඩුවේ සැකකාර යුද හමුදා කෝප්‍රල්වරු හය දෙනා නිදොස් කොට නිදහස් විය. ඒ හරහා ලැබෙන පණිවිඩය නීතිය ක්‍රියාත්මක වෙනවා මිස රණවිරු දඩයමක් සිදු නොවන බව ය. මේ සියළු තත්වයන් අතරේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතියට දුන් පණිවිඩයේ හරය තවම සමාජ ගතවී නැත. තම පාර්ලිමේන්තු දිවියට දින දස දහසක් පිරූ ජූලි 25 දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා රටට දුන් පණිවිඩය කුමක්ද? රාජපක‍්ෂ සහෝදර සමාගම අමාත්‍යාංශ තම පවුල අතර බෙදාගත් ආකාරයයි. ජාතිය ගැන රට ගැන කතා කරන රාජපක‍්ෂලා මොරගහකන්ද ව්‍යාපෘතියට කටුව ගැසූ හැටිය. වියලි කලාපය බත් කන්දක් කළ හැකි මේ වාරි වික්‍රමය හමස් පෙට්ටියට ගිය හැටිය.
ජූලි මස 28 වෙනිදා පාද(ඩ) යාත්‍රාව ආරම්භ කළේ රටටම අණ ඛෙර ගසමිනි. ඒ දවසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටට දුන් පණිවිඩය ආරාධනාවකි. එයින් කියැවුණේ පාද(ඩ) යාත්‍රාව අවසන් වන දිනට පසුවදා කැළනි පුද බිමට පැමිණ තමා සමග එක්ව ආගමික වතාවත් වලට සහභාගී වන ලෙසය. ඒ පණිවිඩය තුල වෛරයක් නැත. ඇත්තේ ආගමික කල්පනාවකි. දුර දැක්මකි. සන්හිඳියාවකි. පුළුල් කල්පනාවකි. රටට අවශ්‍ය පාද(ඩ) යාත්‍රා නොවේ. යහ පාලනයකි. පුළුල් දැක්මකි.
---------------------------
by (2016-07-29 18:49:46)
Leave a Reply
Very good article !
-- by Max Madugalle on 2016-08-03
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි