~

කුඹුක් වැවේ රත්නායක විදුහල්පති ගේ පංචතන්ත්‍ර පාඩම

(ලංකා ඊ නිව්ස් - 2017.ජන.05, ප.ව.11.20) කුඹුක් වැව ගම්මානය තිබුණේ කලා ඔය අසබඩයි. කුඹුක්වැව ගමට යන්ඩ පාරවල් දෙකක් තිබුනා. එකක්  මුසල්පිටිය ගම හරහා වැටී තිබුණ නල්ලච්චිය පාරේ ගොස් රේල් පාරේ දකුණට හැරී හැතැප්මයක් විතර ඉස්සරහට යන විට මහරත්මල් ගහ හමුවෙනවා. එතැනින් වමට තියෙන අඩිපාර දිගේ යන්ඩ පුලුවන්. අනික් පාර වැටී තිබුනේ කෙළින්ම නල්ලච්චිය පැත්තට ගොස් සර්ප වෙද මහත්තයාගේ නිවෙස අසලින් වමට ඇති බොරලු පාරයි. 

නමුත් හැමෝම ලේසියට ගියේ මහරත්මල් ගහ  ලගින් වැටී තිබුනු අඩිපාරේයි.
  
මේ මහ රත්මල් ගහ මිනිස්සු සංහිඳක් ලෙස සැළකුවා. එහි පාමුල ලී කණු දෙකක් තිබුණා. එම කණු දෙක යා කර කිරිවැල් හත් අට පොටක් ඇද ඇති අතර, පාරේ යන එන අය අයියනායක දෙයියන්ට බාර හාර පිණිස කොළ අතු එම වැල්වල එල්ලනවා. අයියනායක දෙවියන්ට කල්ලකාරි කිව්වාට පස්සේ තමයි කැළෑ පාර දිගේ ගමන් කළේ. මේ අඩිපාර වැටී තිබුනේ හොලී මූකළාන මැද්දෙන්.  ඒ අඩි පාරේ හැතැප්ම එකහමාරක් පමණ ගිය විට මහ කුඹුක් වැව ගම හමුවෙනවා.

හතර වටින්ම මහ වනයෙන් වට වූ කුඹුක් වැව මේ මහ වනය මැද තිබුණු හුදෙකලා ගමකි. අලි, වළස්සු මෙන්ම, කුළු මීහරකුන් ද බහුල මේ මහා වනය අන්දර, එරමිණියා, කරඹ, තිඩොල් වැනි කටු හැමර වලින් ගහනයි.

අඩි පාර අවසන් වන්නේ කුඹුක්වැව ඉස්කෝලෙන්. එහි ඇත්තේ එකම ගොඩනැගිල්ලක්. පුටු කබල් තිහ හතලිහක් තිබුණත්, මෙහි අකුරු කළේ ළමයින් දහ පහළොස් දෙනෙක්. ඔවුන් සියලු දෙනාම නාවර පෙරාගත් ළමයි ගොමස්කඩ බදු දුර්වර්ණ වී ගිය ඇඳුම් ලිපට දැම්මත් පිච්චෙන්නේ නැහැ. එහි සිටි එකම ගුරුවරයා විදුහල්පති යූ.බී. රත්නායක හෙවත් උක්කු බණ්ඩා රත්නායක මහතායි. 

කටපුරා බුලත් විටක් කා, හීං අඩියක් ද ගසා ගුප්ත සිනාමුසු මුහුණකින් නල්ලච්චියේ සිට කබල් හම්බර් බයිසිකලයෙන් පාසලට එන රත්නායක මහතා සමහර විට පාසලට එන්නේ පාසල ඇරෙන්නට ඔන්න මෙන්න තිබියදීයි. 

ඔහුගේ බයිසිකලයේ හැඬලයේ පැත්තක පං මල්ලක් එල්ලෙයි. එහි වූයේ ඔහුගේ රාජකාරී අඩුම කුඩුමයි. ඒ හැර සමහර විට වතුර බෝතලයක් ද, ගල් අරක්කු කාලක් ද විය. නල්ලච්චියේ ඉඳන් කුඹුක් වැවට එන බොරළු පාරත් වැටී තිබුණේ මහා වනය මැදින්. මුලින්ම ලඳු කැලයෙන් පටන් ගන්නා වනය ටිකෙන් ටික දැවැන්ත ගහකොළෙන් පිරුණු මහ වනයක් වෙයි. 

කුඹුක් වැව ගමේ නමට හේතු පාදක වූ, කුඩා ඔළගං වැවට වතුර බීමට යන අලි රංචු ඇතැම්විට මද්දහනේ පවා පාර හරහා මාරු වෙති. එවැනි අවස්ථාවල රාජකාරිය පැත්තකට දමා රත්නායක විදුහල්පති කරන්නේ බයිසිකලය කැලයට විසිකර දමා පණ කෙන්ද රැක ගැනීමට අසළ තිබෙන බුරුත ගහකට හෝ කෝං ගහකට හෝ බඩ ගෑමයි. ඇතැම් විට අලින්ගෙන් පණ බේරා ගැනීමට පැය ගණනක් බෝක්කුවක් යටට රිංගා සිටීමට ද ඔහුට සිදුවිය. 

එහෙත් කිසිම අවස්ථාවක රත්නායක විදුහල්පතිතුමා මේ දුෂ්කර පාසලෙන් වෙනත් පාසලකට ස්ථාන මාරුවීමක් නොඉල්ලීය. එයට හේතුව වූයේ, කුඹුක් වැව ගම්මානයේ විසූ අහිංසක මිනිසුන් තුළ රත්නායක මහතාට ඉහළ පිළිගැනීමක් තිබූ නිසා ප්‍රභූවරයෙක් ලෙස ජීවත්වීමට හැකි වීමයි. වනයෙන් වට වු මේ කුඩා ගමේ ඔවුන් දැන සිටි එකම උගතා රත්නායක මහතා පමණි. 

කුඹුක්වැව පාසලේ ප්‍රධාන බිත්තියේ වූ කළු ලෑල්ලේ රටහුනු කැබැල්ලකින් “රටල” යනුවෙන් රවුම් අකුරින් විශාලව ලියා තිබු මේ වචනය මාස ගණනාවක් තිස්සේ දිස්වේ. එය කවදා, කුමන පාඩමක් සදහා ලියන ලද දැයි කිව නොහැකිය. ළමයින්ට පමණක් නොව, අඩිපාර දිගේ පාසල් වත්ත හරහා හේන්වලට යන ගොවීන්ට ද මෙම වචනය දැක්කත් දැන් ඔවුන් ඉන්නේ එය නොපෙණෙන ගානටය. රටල වචනය පමණක් නොව, දැන් රටල ද ඔවුන්ට අරහං වී ඇත.
 
පාසල් ගොඩනැගිල්ල තුළ සිටි ළමයි හත් අට දෙනා, තමන්  අත වූ  කබල් පං මලු වල දමාගෙන තියෙන පාඩම් පොත් එළියට ගෙන කියවති. එහෙත් ඒවා තේරුම් කර දීමට හෝ  කියා දීමට කෙනෙක් පාසලේ නැත. රත්නායක මහතා “මගේ රාජ්‍යයේ” වැඩ කරන්නේ තමන්ට ඇවැසි පරිදිය. ඔහුට කුඹුක් වැව, මායා රංජන්ගේ “මගේ රාජ්‍යය‍ මෙනි.”

කුඹුක් වැව ගමෙහි වාසය කළෝ සිංහල මිනිසුන් නොව, දකුණු ඉන්දීය සම්භවයක් ඇති තෙළිගු භාෂාව කතා කරන අහිගුණ්ටික මිනිසුන්ය. ජීවත්වීම සඳහා මේ මිනිසුන්ගේ ප්‍රධාන ආදායම නයි හා රිළවුන් නටවා කීයක් හෝ එකතු කර ගැනීමයි. එමෙන්ම අත බලා සාස්තර කීමට  අමතරව හේන් ගොවිතැන ද ඔවුහු කළහ. පවුල් කිහිපයක් පමණක් එළු ගාල් පවත්වා ගෙන ගියහ. 

නවරියං එවැන්නෙකි. සිංහල බෞද්ධයින් පිරිසක් එළුවන් දෙන්නෙක් හොරකම් කිරීමට ගොස් නවරියං මරා දැමීය. රත්නායක විදුහල්පතිතුමා යටතේ තවත් ගුරුවරයෙක් අනුරාධපුර අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයෙන් එවනු ලැබීය. චිත්‍ර කර්මයේ හසළ දැනුමක් තිබූ හේරත් මහතාට කාල්මාර්ක්ස්ගේ මුහුණට සමාන මුහුණක් තිබුණි. නිතරම බුලත් හපන ඔහුගේ මුහුණ පුරා තිබූ දිග රැවුල නිසා තවුසෙකුගේ පෙනුම දිස් විය.   

වාමාංශික අදහස්වලින් මනස පුරවා ගත්, හෙතෙම කියුබානු විප්ලවය, රුසියන් විප්ලවය ගැන නිතර කතා කළේය. විප්ලවය ගැන මෙලෝ හසරක් නොදන්නා කුඹුක් වැවේ අහිගුණ්ටික මිනිසුන් කියුබාව හෝ රුසියාව යනු කන දෙයක්දැයි නොදත්තාහ. 

ඔවුන්ගේ ලෝකය වූයේ හතර වටින්ම මහ වනයෙන් වට වූ කුඹුක් වැව ගමයි. කුඹුක් වැවේ තිබූ පස කිරිමැටි සහිත පසකි. මූර්ති කලාවට ඉතාම යෝග්‍ය වූ, මෙම කිරි මැටි කපාගෙන එන හේරත් පදමට සකස් කරගත් මැටි වලින්  මූර්ති අඹයි. ඔහු විසින් අඹන ලද මූර්තිවලින් වැඩි හරියක් වූයේ අර්ධ නග්න නාරි රූපයි. ඔහුගේ නාරි රූපවල විශේෂත්වය වූයේ, විශාල පියයුරු, පුළුල් උකුල්, වටකුරු තට්ටම් හා විශාල කළවා යි. විදුහල්පති කාමරයට යාබද කාමරයේ විසූ හේරත් මහතා නිදාගත් බූරු ඇඳ වටා මෙම නාරි රූප ගොඩ ගසා තිබුණි. 

හේරත් මහතාගේ මෙම වැඩ රත්නායක මහතාට අල්ලන්නේ නැත. සමාජවාදය ගැන කතා කරන හේරත් මහතා, රත්නායක මහතාට අනුව, චේගුවේරා කාරයෙකි. 

කුඹුක්වැවේ මිනිස්සු සමග විසුව ද, රත්නායක මහතා උග්‍ර යූඇන්පී කාරයෙකි. පංච තන්ත්‍රය තම ආත්ම ගත කෘතිය ලෙස සැළකූ ඔහු රාජ්‍ය පාලකයා ජනතාව පාලනය කිරීම සඳහා යොදාගන්නා ක්‍රම පහක් ගැන කියයි. සාම, දාන, දණ්ඩි, භේද, ලබ්ධිකරණ යනු ඒ පාලන ක්‍රම පහයි. 

කෙසේ වුව ද, බොහෝ සවස් යාමයන්හි දී මේ ධනවාදයත් සමාජවාදයත් ගැටෙන්නේ හේරත් මහතාත්, රත්නායක මහතාත්, හොඳින් සප්පායම් වන විටයි. එවිට ඔවුන් දෙදෙනාගේ දේශපාලන විග්‍රහයන් රුසියානු ඇමරිකානු සීතල යුද්ධය නොව, උණුසුම් ද්වන්ධ සටනක් වෙයි.

එහෙත් අවසානයේ සියල්ල සාමයෙන් කෙළවර වන්නේ බිම එළාගත් පැදුරු කබල් දෙකක් මත දෙදෙනාම සැතපීමෙනි. මේ අහිංසක ගුරුවරුන් දෙදෙනොම මහමෙරක් තරම් දැනුමක් ඇතියවුන් වූව ද , ඔවුන් මහ වනයේ පාසැලක සිරකරුවන් බවට පත්කිරීමෙන් ඔවුන්ගේ දැනුම හා හැකියාවන් ද, වනය තුළ වියැකී ගියේය. 

මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ කුඹුක් වැව කුඹුරු යායක් වූ අතර, එහි වූ පාසල ද ජනතාව ද කුඩා ගම පදිංචි කරනු ලැබීය. එහි පිහිටුවන ලද නව පාසලේ ද විදුහල්පති වූයේ ද, රත්නායක මහතායි. 

මේ පාසලේ ගුරුවරයෙක් ලෙස මම වසර පහකට ආසන්න කාලයක් සේවය කළෙමි. පාසල වෙනස් වුව ද නොවෙනස් වූ එකම පුද්ගලයා රත්නායක මහතා විය.
 
“මලේ..... මම අඩියක් ගහන්න යනවා. උඹ ඉස්කෝලේ බලා ගනිං.....” යැයි කියන හෙතෙම අසළ වූ අරක්කු තිප්පොලකට ගොස් රහමෙර පානය කරයි. අරක්කු බිවූ පසු ඔහු පාසල පැත්ත පළාතේ වත් එන්නේ නැත. ඒ රාජකාරිය දේවකාරියට වඩා උතුම්කොට සැළකූ නිසා විය හැකිය.

කුඹුක් වැව පහළ කුඩා ගමට යාමට පෙර හේරත් මහතා අතුරුදන් විය. ඔහු මොන දිබ්බාගයක අතුරුදන් වූවා දැයි, කිසිවෙකුත් දැන සිටියේ නැත. 

හේරත් සර්ගේ අතුරුදන් වීම ගැන රත්නායක මහතා කිව්වේ “සියල්ල පංච තන්ත්‍රය අනුව සිදු වූ බවයි” සාම, දාන, දණ්ඩි, භේද, ලබ්ධිකරණ මේවායින් කුමන උපක්රමයක් භාවිත කළා දැයි දන්නේ නැත. පිළිතුර රත්නායක මහතාගේ මුහුණපුරා පැවති සිනාවයි.  පසුව හේරත් මහතා වයඹ පළාතේ පාසලක ස්ථාන මාරුවීමක් ලැබ සේවය කරන බව, ආරංචි විය.

දිනක් කුඩා ගමෙහි පාසල ඉදිරිපිට පදිංචි ඩිංගිරි බණ්ඩා පැමිණ රත්නායක මහතාට පස් පඩව්වේ බැණ අඬ ගසයි. නමුත්, රත්නායක මහතා “මී බීපු හොල්මනක් මෙන්” නෑසුකංව සිටී. 

 “ඇයි ඒ ඩිංගිරි බණ්ඩා කෑ ගහන්නේ....”  මා ඇසූ විට රත්නායක මහතා දුන්නේ මෙවැනි පිළතුරකි. “ඕකට පිස්සු. ඒකයි. පිස්සෙක් එක්ක මොනවද කතා කරන්නේ”.
 
දින කිහිපයකට පසු ඩිංගිරි බණ්ඩා පැමිණ රත්නායක මහතාගෙන් සමාව ගත්තේය. ඔහුගේ අතක් කැඩී ඇත. ඇඟ පුරාම දම්පාට ජැම්සන් වයලට් ගැල්වූ තුවාලය.
 
“මොකද සර්... ඩිංගිරි බණ්ඩට තඩි බෑව ද.... ?“ මම ඇසීමි. “අපෝ... නෑ... මම ඔය අඩ දබරවලට යන්නේ නෑනේ...”

“එහෙනම් මිනිහාට මොකද තුවාල...?”

“මං දන්නෑ.... ඕකා බීලා එනකොට රෑ කොහේ හරි වැටෙන්න ඇති”. පසුව මම ඩිංගිරි බණ්ඩාගෙන්  තුවාල වූයේ කෙසේ දැයි ඇසීය.

“අනේ සර්... ඊයේ රෑ එනකොට මග රැකලා කවුදෝ මට ගැහුවනේ... ගහ ගහ  කිව්වේ  රත්නායක මහත්තයාගෙන් සමාව ගණ්ඩ කියලා. ඒකයි මං මේ ආවේ”

මම ඒ ගැන රත්නායක මහතාගෙන්  පසුව ඇසීමි..

“ඒක තමයි මලේ... පංච තන්ත්‍රය කියන්නේ” සාම, දාන, දණ්ඩි, භේද, ලබ්ධිකරණ සාමයෙන් පාලනය කරන්න බැරිනම් දඩුවම් දීලත් පාලනය කරන්න වෙනවා. දේශපාලනය කරනවා නම් පංච තන්ත්‍රය ඉගෙන ගන්න ඕනා. පංච තන්ත්‍රය නොකියවූ මිනිහෙකුට හොඳ පාලකයෙක් වෙන්න බෑ”

“මං පංච තන්ත්‍රය අනුව, අවශ්‍ය පරිදි කටයුතු කළා”

නමුත්, ඩිංගිරි බණ්ඩාට පහර දුන්නේ කවුදැයි තවමත් ඔහු නොදනී. රත්නායක මහතා විශ්‍රාම සුවයෙන් පසුවේ. අර පරණ හම්බර් බයිසිකලය තවමත් ඔහු සතුව ඇත. 

හවස් ජාමයේ හන්දියට බයිසිකලයෙන් එන රත්නායක මහතාගේ පං මල්ල තවමත් එහෙමයි. ඔහුගේ මුව පුරා තවමත් අර කී “මෝනාලිසාගේ තේරුම් ගත නොහැකි ගුප්ත සිනාව ” ඇත.

මැත කාලෙක මම මෙම පංචතන්ත්‍ර පාඩම මහාචාර්ය කාලෝ පොන්සේකා මහතාට පැවසුවෙමි. 

“ඇත්තම තමයි... ඒක මරු කතාව... එහෙම බලන කොට පංච තන්ත්‍රය හරියටම පාලනය සඳහා යොදා ගෙන තියෙන්නේ මහින්ද රාජපක්ෂනේ...”

“ඇයි සර්... එහෙම කිව්වේ..?”

“සාම, දාන, දණ්ඩි, භේද, ලබ්ධිකරණ ඔක්කොම මහින්දගේ පාලනයේ තිබ්බනේ...“ මහාචාර්යවරයා මහ හඩින් සිනාසෙමින් කීය.

-ධර්ම වන්නිනායක විසිනි-

---------------------------
by     (2017-01-05 18:19:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Carlo Fonseka is a foolish donkey. but he can't make all sri lankans as fools.
-- by nimal on 2017-01-06

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links