~

විනිසුරුවරුන්ගේ සංගමය අසත්‍ය කියා මහජනයා නොමග යවලා..! නීතියටත් විරුද්ධයි..! -ජනපතිට යැවූ ලිපිය ගැන හිටපු සභාපති විනිසුරුගෙන් පිළිතුරු

රාමනාදන් කන්නන් මරාගෙන කන්න හැදීම

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.18, පෙ.ව‍.9.15) පෞද්ගලික නීතීඥ වෘත්තියේ යෙදී සිටි  රාමනාදන්  කන්නන්  මහතා ඍජුව මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම වැරදි යැයි අධිකරණ සේවා සංගමයේ ලේකම් වරයා විසින් පසුගිය 6 වෙනිදා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය අසත්‍ය කරුණු වලින් සමන්විත මහජනතාව නොමග යවන ලිපියක් පමණක් නොව අධිකරණ සේවා කොමිසමේ පූර්ව අනුමැතියකින් තොරව එවැනි ලිපියක් නිකුත් කිරීමෙන් අධිකරණ සේවා සංගමය නීති විරෝධීව කටයුතු කර ඇතැයි අධිකරණ සේවා සංගමයේ හිටපු සභාපති විනිසුරුවරයෙකු ලංකා ඊ නිව්ස් වෙත දීර්ඝ ලිපියක් මගින් කරුණු හෙළිකර තිබේ. හිටපු සභාපති විනිසුරුවරයා තම අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටින බැවින් අප එය හෙළි නොකරන බවද කරුණාවෙන් පවසමු. 

එම ලිපියේ සඳහන් කරුණු වල අනුපිළිවෙල අනුව සංක්ෂිප්ත සිංහල අනුවාදය මෙසේය.

1)  ප්‍රථමයෙන්ම අධිකරණ සේවා සංගමය ( මීට අයත් වන්නේ දිසා විනිසුරුවරුන් සහ ඊට පහළ මහේස්ත්‍රාත් විනිසුරුවරුන්ය.) පමණක් නොව අගවිනිසුරුවරයා පවා ලිපියක් නිකුත් කරන්නේ නම් ඒ සඳහා අධිකරණ සේවා කොමිසමේ අවසරයක් ලබා ගත යුතුය. ඉහත ලිපිය මාධ්‍ය වෙත නිකුත් කළ අධිකරණ සේවා සංගමයේ ලේකම්, ගල්කිස්ස මහේස්ත්‍රාත් එම්.එම්.එම්.මිහාල් මහතා එවැනි අවසරයක් අධිකරණ සේවා කොමිසමෙන් ලබා ගෙන නැති අතර එය සම්පූර්ණ වශයෙන්ම නීති විරෝධී ක්‍රියාවකි.

2)  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ  විධායක සභාවේදී රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන්නැයි නීතිඥ සංගමයේ විධායක සභාවේදී යෝජනා සම්මත වීමක් වූයේ නැතැයි නීතිඥ සංගමයේ ලේකම් අමල් රන්දෙනිය මහතා කරන ලද ප්‍රකාශය මෙලෙස මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමේ දී අදාල වන්නක් නොවේ. 

මෙවැනි පත් කිරීමක් සම්බන්ධයෙන් නීත්‍යාණුකූල ක්‍රියා පිළිවෙත මෙසේය. 

3) හිඟයක් පවතින අවස්ථාවකදී නීතීඥ වෘත්තියේ යෙදී සිටි නීතිඥයෙකු විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සාමාන්‍ය දෙයකි. එහිදී සලකන්නේ ඔහු වසර 14 ක් නීතිඥ වෘත්තියේ නිකැලල්ව යෙදී සිටියාද යන්නය. එවැන්නෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ කළ යුත්තේ නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ නීතිපතිවරයා පමණි. එවිට ජනාධිපතිවරයා කළ යුත්තේ එම දෙදෙනා නිර්දේශ කරන නම් අගවිනිසුරුවරයාට ඉදිපත් කර සුදුසුදැයි සලකා බැලීමය. අගවිනිසුරුවරයා තම තීරණය ජනාධිපතිවරයාට දිය යුත්තේ තමා සභාපතිවරයා වන අධිකරණ සේවා කොමිසමේ විනිසුරුවරුන් තිදෙනාගේම අනුමැතිය මතය. අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එකී පුද්ගලයා මහාධිකරණ විනිසුරුධූරයට පත් කරනු ඇත.  

4) උතුරු නැගෙනහිරට මහාධිකරණ විනිසුරුවරුන් 6 දෙනෙකුගේ අඩුවක් පැවතින. ඒ සඳහා නීතිපතිවරයා විසින් දිසා විනිසුරුවරුන්  6 දෙනෙකු නම් කර යවන ලද අතර ඉන් 5 දෙනෙකු තෝරා ගනී. ඉතිරි පුද්ගලයා පත් නොකෙරෙන්නේ සුදුසුකම් ඌනතාවයක් මතය. ඒ අනුව දෙමළ භාෂාව කතා කරන මහාධිකරණ විනිසුරුවරයෙකුගේ පුරප්පාඩුවක් ඇති වේ. ඒ සඳහා විනිසුරු ශ්‍රේණියෙන් ගැනීමට පුද්ගලයෙක් නොමැති වන අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු පත් කිරීමට පවතින යථාර්ථය විසින් බල කෙරී ඇත.   

එවිට ඒ සඳහා රාමනාදන් කන්නන් නීතිඥ මහතාගේ නම නීතිඥ සංගමයේ සභාපති අලගරත්නම් මහතා සහ නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර තිබේ. අලගරත්නම් මහතාට එම තීන්දුව ගැනීමට නීතිඥ සංගමයේ විධායක සභාව විසින් යෝජනාවක් සම්මත විය යුතු යැයි නීතියේ සඳහන් නොවේ. එවැනි සම්ප්‍රදායක්ද නැත. 

මෙහිදී අලගරත්නම් මහතා ක්‍රියා කර ඇත්තේ ඉතාමත් සාධාරණ ලෙස ය. නීතිඥ සංගමයට රාමනාදන් කන්නන් මහතාගේ නම යෝජනා කරන්නේ ඔහු සාමාන්‍යයෙන් වෘත්තියේ යෙදෙන මඩකලපුවේ නීතිඥ සංගමයේ ලේකම් වරයා විසිනි. සත්‍ය වශයෙන්ම මෙහිදී නම් දෙකක් යෝජනා කර තිබේ. එක් අයෙක් මුස්ලිම් නීතිඥයෙකි. අවාසනාවකට ඔහු වරක් මුස්ලිම් කොන්ග්‍රසයෙන් ඡන්දය ඉල්ලා තිබීම නිසා නුසුදුසු විය. ඉතිරි වූයේ රාමනාදන් කන්නන් මහතා ය.  

ඒ අනුව එම අමල් රන්දෙනිය ලේකම් වරයා විනිසුරු සේවා සංගමයට කීවා යැයි කියන ප්‍රකාශය මෙම පත් කිරීම නීත්‍යාණුකූල නොවේ යැයි කීමට අදාල වන්නක් නොවේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෝ අධිකරණ අමාත්‍යවරයා  විසින්  මෙම පත්  කිරීම සම්බන්ධයෙන්  කිසිදු ඉල්ලීමක්  සිදු කර නැතැයි අධිකරන සේවා සංගමේ තිබෙන ප්‍රකාශයද අසත්‍යයක් මෙන්ම විකාරයකි. මන්ද යත් අධිකරණ ඇමැතිවරයාගේ ඉල්ලීමක් අදාල නොවන නිසාත් නීතිඥ සංගමයේ සභාපතිවරයා රාමනාදන් කන්නන් මහතාගේ නම යෝජනා කර තිබෙන නිසාත්ය. 

5) නීතිඥ වරයෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට අවශ්‍ය වන්නේ වසර 14 ක නිකැලල් සේවා කාලයක් වන අතර රාමනාදන් කන්නන් මහතා වසර 18 ක නිකැලල් සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. ඔහු මාතලේ වතු සම්භවයකින් පැවත එන්නෙක් වන අතර පියා වෘත්තීය සංගම් නායකයෙකි. අසීරුතා මත අධ්‍යාපන ලැබූවෙක් වන අතර කිසිදු කළු පැල්ලමක් නැති නීතිඥවරයෙකි.

6) රාමනාදන් කන්නන් මහතා 2004  වර්ෂයේ  හෝ ඉන්පසු  අවස්ථාවක මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීමක් ඉල්ලා සම්මුඛ පරීක්ෂණයකට  පෙනී සිට එයින් අසමත් වූවා යැයි කීම ද සම්පූර්ණ මුසාවකි. ඔහු ඒ වකවානුවේ සේවය කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ ය. නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින නීතිඥයෙකු මහේස්ත්‍රාත් සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවසරය ඉල්ලා තිබිය යුතුය. එවැන්නක් නැත. සත්‍ය වශයෙන්ම ඔහු මහේස්ත්‍රාත් විභාගයට වාඩි වී හෝ සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වී හෝ නැත. 

7) රාමනාදන් කන්නන් මහතාගේ නම කිසියම් දේශපාලන පක්ෂයක් විසින් කරන ලද යෝජනාවකැයි අදාල පක්ෂයක නම සඳහන් නොකරමින් අධිකරණ සේවා සංගමය විසින් නගන ලද චෝදනාව එවැනි සංගමයක වෘත්තීය ගරුත්වයට පවා අගෞරවයකි. නම සඳහන් නොකර කරන්නේ අවලාදයන්ය. විනිසුරුවරුන් අවලාද නැගීම නොකළ යුතුය. කෙසේ වෙතත් ඔවුන් අඟවන දේශපාලන පක්ෂය දෙමළ ජාතික සන්ධානය යැයි පෙනී යන බැවින් මා එම සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගෙන්ද, සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන්ද පුද්ගලිකවම විමසා සිටි අතර ඔවුන් දෙදෙනා රාමනාදන් කන්නන් කෙනෙකු ගැන දන්නේ වත් නැත. ඊට හේතු වන්නේ රාමනාදන් කන්නන් මහතා වතු සම්භවයකින් පැවත ඒමත් දෙමළ ජාතික සන්ධානය එවැනි අය ඉලක්ක නොකරන නිසාත් ය. 

8) වවුනියාව දිසා විනිසුරුවරයා ලෙස සේවය කරන ඩී.එල්.ඒ. මනාෆ් මහතා  මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු  ලෙස පත් නොකර රාමනාදන් කන්නන් නීතිඥවරයා පත් කිරීම වරදක් සේ අධිකරණ සේවා සංගමය දැකීමද පදනම් විරහිතය. මන්ද යත් මනාෆ් මහතා පත් කර නැත්තේ ඔහු විසින් කරන ලද පෙර වරදක් නිසාය. ඔහු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති අතර එසේ කර ඇත්තේ අධිකරණ සේවා කොමිසමේ නිසි අවසරයක් නොමැතිව ය. එපමණක් නොව ඔහු එම සරසවියේ කවුන්සිල සාමාජිකයෙකුව සිටිමින් එහි සේවකයෙකු අස් කිරීම සඳහා තමා විසින්ම අධිකරණයේ නඩුවක් අසා තීන්දුවක් දී සේවකයා අස්කර තිබේ. එය බරපතල විෂමාචාරයකි. ඒ අනුව මනාෆ් මහතා පත් නොකිරීම නීත්‍යාණුකූලය. 

9) නීතිඥ වෘත්තියෙන් අයෙකු මහාධිකරණයට පත් කිරීම නිසා පහල අයට අසාධාරණයක් වුනා යැයි කීම පිළිගත නොහැකිය. දෙමළ භාෂාව කතා කරන දිසා විනිසුරුවරයෙක් පහලින්  සොයා ගත නොහැකි අවස්ථාවක පමණක් මෙවැන්නක් සිදුකිරීම අලුත් දෙයක් නොවන බැවිනි. අතීතයේ මෙවැනි දෑ විශාල වශයෙන් සිදුකෙරුණද පසුගිය වසර 2 ක කාලය තුල පත් කරන ලද මහාධිකරණ විනිසුරුවරුන් 23 කගෙන් 21 ක්ම පත් කර ඇත්තේ සාමාන්‍ය ලෙස දිසා විනිසුරුවරුන්ගෙනි. එක් අයෙකු නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කර ඇති අතර මෙවැනි පුද්ගලික නීතිඥ සේවයෙන් පත් කර ඇත්තේ එක් අයෙකු පමණි. ඒ රාමනාදන් කන්නන්ය. 

10) කන්නන් මහතා තමන් නීතිඥ වෘත්තියේ යෙදෙමින් සිටි මඩකලපුවටම විනිසුරුවරයෙකු ලෙස පත් කළා යැයි කීමද මුසාවකි. ඔහුව පත් කර ඇත්තේ යාපනයට ය. 

11) අධිකරණ සේවා සංගමයේ ලිපියේ සඳහන් පරිදි මෙම  පත්වීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි, අධිකරණ ක්ෂේත්‍රයේ යහ පැවැත්මට  සම්පුර්ණයෙන්ම  අහිතකර  සහ අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි ලෙස බලපෑම් කරන්නකැයි කිව නොහැක්කේ ජනාධිපතිවරයා මෙහිදී කවරාකාරයෙන් වත් සම්මත ක්‍රමවේදයට පිටුපා ක්‍රියා කර නොමැති නිසාය. 

නීතිඥ සංගම් සභාපතිවරයාගෙන්ද නීතිපතිවරයාගෙන්ද අනුමැතිය ලැබෙන රාමනාදන් කන්නන්ගේ නම ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කර තිබෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ දී ය. අගවිනිසුරුවරයා විසින් එය අධිකරණ සේවා කොමිසමේ විනිසුරුවරුන් තිදෙනා වෙත ඉදිරිපත් කර අනුමැතිය ගෙන ඇත්තේ ජනවාරි 5 වෙනිදා ය. ඉන්පසුව අගවිනිසුරුවරයා යලිත් වතාවක් නීතිපතිවරයාගෙන් අනුමැතිය ලබාගෙන තිබේ. ඉන්පසුව අගවිනිසුරුවරයා රාමනාදන් කන්නන්ගේ නමට ‘එකඟයි‘ කියා ජනාධිපතිවරයා වෙත යවා තිබේ. ඉන්පසුව ජනාධිපතිවරයා විසින් පත්වීම අගවිනිසුරුවරයා වෙත එවා තිබේ. මහාධිකරණ විනිසුරුවරුන් දිව්රුම් දෙන්නේ අගවිනිසුරුවරයා ඉදිරියේ ය. ඒ අනුව ඉතාමත් නීත්‍යාණුකූල ලෙස රාමනාදන් කන්නන් මහතා අගවිනිසුරු වරයා ඉදිරියේ දිව්රුම් දී තිබේ.

12) මාද සභාපති ධූරය දැරූ අධිකරණ සේවා සංගමය ජනාධිපතිට හෝ මාධ්‍යයට හෝ ලිපියකින් කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා අධිකරණ සේවා කොමිසමේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය. එය අගවිනිසුරුවරයාටද පොදුය. අධිකරණ සේවා සංගමයේ ලේකම්, ගල්කිස්ස මහේස්ත්‍රාත් එම්.එම්.එම්.මිහාල් මහතා ජනාධිපතිවරයාට සහ මාධ්‍යයට විවර කළ ඉහත කී ලිපිය සඳහා එවැනි අවසරයක් අධිකරණ සේවා කොමිසමෙන් ලබා ගෙන නැති බව මා විසින් කරන ලද පරීක්ෂනයේදී හෙළිවිය. ඒ අනුව අධිකරණ සේවා සංගමය කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි.

අධිකරණ සේවා සංගමය වැනි ගෞරවනීය සංවිධානයක් මෙවැනි අමනොඥ ලිපියක් ලියන ලද්දේ හුදු දේශපාලන වුවමනාවකටයැයි හෝ ජාතිවාදී හැඟීමකින් යැයි චෝදනා කිරීමට ද මම හදිසි නොවෙමි. 


අත්සන් කෙළේ

හිටපු සභාපති - අධිකරණ සේවා සංගමය

(විශ්‍රාමික විනිසුරු)

---------------------------
by     (2017-02-18 15:01:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

These are the people sitting on the bench and make judgement with people's life and death?????
-- by Ram on 2017-02-18

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links