~

කලුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ නොකී කතාව...!

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.28, ප.ව‍‍.11.30) බන්ධනාගාරය පිළිබඳ හෝ ආයතනය හා සබැඳි කාරණා පිළිබඳ ලිවීමේ කිසිදු අදහසක් අප තුළ කිසිදා ඇති නොවූ නමුත්, වළක්වාගත හැකිව සහ වළක්වාගත යුතුව තිබූ කලුතර බන්ධනාගාර බස්රථයට ප්‍රහාරයක් එල්ලවී 7 දෙනෙකු ඝාතනය වීමේ ඛේදවාචකය වළක්වා ගැනීමට අසමත් වූ පිරිස්වල නොසැලකිල්ල පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අටියෙන් සිදුවීමට අදාළ පරීක්ෂණයට බලපෑමක් විය හැකි සාධක පිළිබඳ සඳහනකින් තොරව හා නීතියට අගතියකින් තොරව මෙසේ ලියමු.

මීට ප්‍රථම මෙකී ‘සමයං‘ නමැති පාතාල සාමාජිකයා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී සිදුවූ අතර, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී කාන්තාවක ද වෙඩි ප්‍රහාරයකට ලක් කරවමින් මෙම සැකකරුවම ඉලක්ක කරගත් ප්‍රහාරයක් ලෙස පූර්ව ඝාතන තැත් දෙකක් සිදුව තිබිණ.
 
මෙම පූර්ව සිදුවීම් සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර අධිකාරීවරයා සහ ප්‍රධාන ජේලර්වරයා දැනුවත්ව සිටියදී එය නොසලකා හරිමින් පොලිස් ආරක්ෂාව අවශ්‍ය මෙබඳු අවස්ථාවකදී එය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම පැහැර හැරීම, මෙම සැකකරුවන් ප්‍රවාහනයේදී ඔවුනට පොලිස් ආරක්ෂාවක් නොමැති බව දැන දැනම තම නිලධාරීන් අවදානම් සහගත ලෙස රාජකාරියේ යෙදවීම සහ යොදවන ලද සන්නද්ධ නිලධාරීන් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් හා ඔවුන්ට දෙන ලද උපදෙස් සම්බන්ධයෙන් නිසි අයුරින් ක්‍රියාත්මක වී ඇත් ද යන්න ප්‍රශ්ණ සහගතය.
 
මීට පෙර සේවයේ සිටි ප්‍රධාන ජේලර්වරයා විසින් මෙවැනි සැකකරුවන් ප්‍රවාහණය (ආරක්ෂණය) කිරීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගය වූයේ නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සහ නිල ඇඳුම් රහිත (සිවිල්) පොලිස් නිලධාරීන්ගේ ලෙස දෙපිරිසකගේ ආරක්ෂාව යටතේ අධිවේගී මාර්ගය වෙත සැකකරුවන් ප්‍රවාහනය කිරීමයි. එම ක්‍රියාපිළිවෙත මෙහිදී අනුගමනය නොකළේ මන්ද ?
 
එසේම මෙම සැකකරු ප්‍රවාහනය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් (ක්‍රියාකාරී) හෝ බන්ධනාගාර කොමසාරිස් (ජනරාල්) මගින් අදාළ දිනට පෙර දින දුරකථන පණිවුඩයක් මගින් හෝ ලිඛිතව උපදෙස් ලබා ගත්තේ ද යන්න ප්‍රශ්ණගත අනෙක් කරුණයි. එය නීතියට අනුව කළ යුතුය.

අනෙක් කාරණය නම් බන්ධනාගාරය තුළ පවතින විශේෂ අධිකරණය මෙබඳු සැකකරුවන් පිළිබඳ අධිකරණ කටයුතු කිරීම සඳහා භාවිතා නොකරන්නේ මන්ද යන්නයි.
 
මෙවැනි ප්‍රසිද්ධ සහ මරණීය තර්ජනයන් සහිත පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත වන්නේ, මොවුන් පිළිබඳව ගරු අධිකරණය දැනුම්වත් කිරීම සහ බන්ධනාගාර මූලස්ථානය හා අමාත්‍යාංශය දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා ගැනීමයි. ඒ අනුව ප්‍රමාණවත් පරිදි අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබා ගැනීමයි. පොලිස් ආරක්ෂාව ලබා නොදෙන්නේ නම් ගරු අධිකරණය දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා ගැනීමයි.
 
මීට පෙර මෙවැනි වූ සැකකරුවන් හෝ සිරකරුවන් ආරක්ෂණය කිරීමේදී බාහිර පුද්ගලයින්ට නොදැනෙන පරිදි සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  පරිපාලන (ක්‍රියාකාරී) විසින් අනපේක්ෂිත පරිදි කිසිවෙකුට හෝ නොදැනෙන පරිදි මෙබඳු පුද්ගලයින් ප්‍රවාහනය කිරීම. එනම් කිසිවෙක් අපේක්ෂා නොකරන වේලාවන්හීදී සැකකරුවන් අහඹු ලෙස ප්‍රවාහනය කිරීමයි. මෙය දීර්ඝ කාලයක පටන් ඉතා රහසිගතව සහ සාර්ථකව සිදු කරන ලද ක්‍රියාවකි. උදාහරණයක් ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට තංගල්ල අධිකරණය දක්වා ‘වම්බොට්ටා‘ නම් පාතාල සාමාජිකයා ගෙන යෑමට ක්‍රියා කළ ආකාරය ගෙන දැක්විය හැකිය. එසේම ‘ප්‍රින්ස් කොලම්‘ නම් පාතාල සාමාජිකයා ද මෙම ආකාරයටම ආරක්ෂණය කරනු ලැබිණ.
 
පොලිසියේ වගකිවයුතු උසස් නිලධාරීන් හා අධිකරණයේ විනිසුරුවරුන් සමග ඍජුවම මෙබඳු පුද්ගලයින්ගේ ආරක්ෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමට කටයුතු කළ යුතු නමුත් යම් ඉහළ නිලධාරීන් සිය ඉංග්‍රීසි භාෂා නිපුණත්වයේ ඇති නොහැකියාව නිසා එයට මැලිකමක් දක්වයි. මෙම කරුණු කාරණා හේතුවෙන් අවසානයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ දරුපවුල් සහිත අහිංසක නිලධාරීන්ටය. ඔවුන්ගේ වියෝවෙන් එම පවුල්වල ඇතිවන හිඩැස වන්දියක් ලබාදීමෙන් මැකීමට නොහැකි මුත් මෙබඳු සිද්ධීන් යළි සිදු නොවීමට කටයුතු කළ හැකිය. 

ඉදිරියේදී මෙබඳු සිදුවීම් සිදු නොවීමට නම්,

1. මෙබඳු සැකකරුවන් ප්‍රවාහණය (ආරක්ෂණය) හා රඳවා තැබීම රහසිගතව අහඹු ලෙස සිදු කළ යුතුය.
2. අධිකරණයේ විනිසුරුවරුන් හා සාකච්ඡා කොට, අදාළ නඩුව කැඳවනු ලබන්නේ නඩු දින දීර්ඝ කිරීම සඳහා පමණක් නම් අවශ්‍ය තීන්දු තීරණ ගැනීම බන්ධනාගාරය තුළ පිහිටා ඇති අධිකරණයේදී සිදු කළ යුතුය.
3. නඩු විභාග කිරීම් සිදු කරන්නේ නම් නියමිත දින සහ වේලාවන් තීන්දු කර උපරිම ආරක්ෂාව යටතේ චූදිතයින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

මෙවැනි සැකකරුවන් ප්‍රවාහණයේදී හැකිතාක් දුරට සැකකරුවන් සම්බන්ධයෙන් නිතර කටයුතු නොකරන බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක ඒකකයේ නිලධාරීන් යෙදවීමෙන් වඩාත් ඵලදායී ලෙස ආරක්ෂාවක් ලබා ගැනීමට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි.
 
බන්ධනාගාර නිලධාරීන් යනු යුද්ධ කිරීමට සූදානම් (Combat Ready) පිරිසක් නොවන බව ප්‍රථමයෙන්ම අවබෝධ කරගත යුතු අතර, නීතිය කෙසේ පැවතියද දෙපාර්තමේන්තුව තුළ පවතින යතාර්ථය නම් ඔවුනට අද අවි පුහුණුවක් ලබා දුනහොත් යළි අවි පුහුණුවක් කවදා ලබා දෙනු ඇත්දැයි යන්න පිළිබඳ නිශ්චිතව කිව නොහැකි බවය.‍

සිරකරු ප්‍රවාහනයට ලබා දිය යුතු පහසුකම්

1. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අප නිලධාරීන් සිරකරු ප්‍රවාහන (ආරක්ෂණ) සේවයේ යෙදෙන්නේ බොඩි ආමර් ලෙස ව්‍යවහරයේ හඳුන්වන වෙඩි නොවදින ආරක්ෂිත කබා (Body Armor) හෝ වෙඩි නොවදින හෙල්මට් ද රහිතවය. එම අයිතම නඩත්තු කරන සහ භාවිතා කරන ආකාරය අනුව සෑහෙන කලක් භාවිත කළ හැකිය. එනමුත් එම පහසුකම් දිවි හිමියෙන් රාජකාරියේ යෙදෙන නිලධාරීන් වෙත ලබා නොදෙන්නේ ඇයි ද යන්න පැණයකි.
 
2. සිරකරුවන් ප්‍රවාහනයට ලබා දී ඇත්තේ කම්බි දැල් ගසන ලද ලේලන්ඩ් වර්ගයේ බස් රථය. දිනපතා ලේලන්ඩ් බස් රථවල ගමන් කරන මහජනයාට නම් ඒවායේ ආරක්ෂාව පිලිබඳ අමුතුවෙන් කියා දිය යුතු නැත. එහෙයින් සිරකරු ප්‍රවාහණය සඳහා ලොව බන්ධනාගාර ක්ෂේත්‍රයේ සම්මත (Armoured Vehicle) ලබා දීමට රජය විසින් පියවර ගත යුතුය. කම්බි ගසන ලද ලේලන්ඩ් බස් රථ වට කර ඇති තහඩු හතරේ ආරක්ෂාවෙන් බැහැරව වෘත්තිමය සන්නාහ සන්නද්ධ වෙඩි නොවදින වීදුරු සහිත වාහන ලබා ගැනීමට වහා කටයුතු කළ යුතුය. එය රාජකාරියේ යෙදෙන නිලධාරීන්ගේ පමණක් නොව රැඳවියන්ගේ ද අයිතියකි.
 
3. අවසානවශයෙන් සඳහන් කරනුයේ සිරකරුවන් හෝ සැකකරුවන් ඝාතනය වීම සුළුපටු දෙයක් ලෙස සැළකිය නොහැක්කේ හේතු කිහිපයක් නිසා බවය. ඒ එම ක්‍රියාවන් නීති විරෝධී මනුෂ්‍ය ඝාතනයක් නිසාත්, එමගින් යුක්තිය පසිඳලීමට බාධා වීම නිසාත් සහ සාක්ෂි විනාශ කිරීම තුළ තවත් අපරාධකාරයින් පිරිසක් නීතියෙන් ගැලවීමට අවස්ථාව උදාවන නිසාත්ය.
 
එහෙයින් මෙය හුදෙක් සැකකරුවන්/සිරකරුවන් හෝ නිලධාරීන් හට පමණක් බලපාන කාරණයක් ලෙස පටු ලෙස නොදැකීමට ජනතාව වගබලාගත යුතුය. මන්ද යත් මේ එක් සිරකරුවෙකුගේ ඝාතනයෙන් ගැලවී යන්නේ සමාජයට පිළිලයක්ව තවත් ජීවිත රැසක් බිලිගන්නා පාතාලයෙක් නිසාය. එසේ ගැලවී යන අපරාධකරුවන්ගේ අනාගත බිල්ලක් ලෙස ඔබ හෝ ඔබේ ආදරණීයෙක් බිලිවිය හැකිය.


-කණගාටුවට පත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක්-

---------------------------
by     (2017-02-28 19:21:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links