(ලංකා ඊ නිව්ස් -2014.සැප්.07, ප.ව.11.30) ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයැවූ හැත්තෑ එකේ කැරැල්ලෙන් බිහිවූ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශිෂ්ඨ ඝනයේ විකල්ප බුද්ධිමතෙක් වූ සරත් ප්‍රනාන්දු ඊයේ රාත්‍රී වැළැඳුනු හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.
හැත්තෑ එකේ කැරැල්ලේදී කුරුණෑගල ප්‍රදේශයේ නායකයා වූ සරත් ප්‍රනාන්දු වාමාංශික පවුලකින් පැවැත එන්නෙකි. ඔහුගේ පියා පළාතේ සිටි සමසමාජ නායකයෙක් වූ අතර දේශීය වෛද්‍යවරයෙක්ද විය. විමල් ප්‍රනාන්දු, සරත් ප්‍රනාන්දු, පැටි්‍රක් ප්‍රනාන්දු යන පුතුන් තිදෙනාම 71 කැරැල්ලට සම්බන්ධ වූයේ සරසවි සිසුන් ලෙසය. දරුවන් කැරැල්ලට සම්බන්ධ වීම නිසා පියාට හිමිව තිබූ සියළු දේපොල ගිනි තබා විනාශ කළෙන් පසුව ඔවුන් කුරුණෑගල අත්හැර දා මොරටුව ප්‍රදේශයේ පදිංචි වූහ.
වසර ගණනක සිරගත ජීවිතයකින් පසුව විමල් ප්‍රනාන්දු 'පෙරදිග සුළං' නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළ අතර පැටි්‍රක් ප්‍රනාන්දු 'ජනතා සංගමය' නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කෙළේය. සරත් ප්‍රනාන්දු ලංකාවේ ගොවි ජනතාව වෙනුවෙන් ස්වේච්ඡා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එය නමින් මොන්ලාර් MONLAR හෙවත් ජාතික ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විය. අයියා සහ මල්ලී ආරම්භ කළ 'පෙරදිග සුළං' සහ 'ජනතා සංගමය' අතර මගදී දියවී ගියද සරත් ප්‍රනාන්දු ආරම්භ කළ ස්වේච්ඡා ව්‍යාපාරය අද දක්වාම පවත්වාගෙන යන්නකි
ආසියාතික ගොවියාගේ දුගී කම ඉවත් කළ හැක්කේ කෙසේද යන්න ගැන ඔහු විසින් ඉදිරිපත් කරන ලද විකල්ප මත සම්බන්ධයෙන් ලෝකයේ විශේෂ අවධානය යොමු වීම නිසා මොන්ලාර් සංවිධානයට එදා සිට අද දක්වාම විශාල මෙහෙයක් සිදු කිරීමට හැකිවිය. ආහාර සුරක්ෂිතාවය වැඩි දියුණු කිරීම, පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනය ආදිය සම්බන්ධයෙන් ඔහු ලෝකයට ඉදිරිපත් කළ විකල්ප මත වලට ජාත්‍යන්තරයේ වැදගත් අවධානයක් යොමු වූයෙන් ආසියා අපි්‍රකා වන පර්යේෂන ආයතනයේ සභාපතිවරයා ලෙස ද සරත් ප්‍රනාන්දුව තෝරාගත්තේය.
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය ඇතුළු රටේ සියළු ගැටළුකාරී අවස්ථාවන්හිදී වාමාංශික බුද්ධිමතෙකු ලෙස පෙනී සිටි සරත් ප්‍රනාන්දු මුළු ජීවිත කාලය පුරාම අල්පේච්ඡ ජීවිතයක් ගත කළ අයෙකි. පසුගිය කාලයේ තමන් ආරම්භ කරන ලද මොන්ලාර් සංවිධානයෙන් විශ්‍රාම ලබා කුරුණෑගල ගම් පියසට වී නිදහසේ කාලය ගත කළ අතර ඊයේ රාත්‍රියේ හදිසියේ අප අතරින් වෙන්විය. ගොවි ජනතාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ සරත් ප්‍රනාන්දු දිවියෙන් සමුගන්නා විට හැත්තෑ වැනි වියේ පසුවිය.
---------------------------
by (2014-09-08 00:40:44)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි