~

‘ගන්සයිඩ්‘ භූගත සිරමැදිරි වල රඳවා කප්පම් අරන් පසුව මරා සිරුරු අතුරුදහන් කළ හැටි..! රණවිරුවා සහ යුද අපරාධකරුවා හඳුනාගන්න..! කප්පම් සඳහා සිසුන් ඝාතනය කළ නාවික හමුදා ඝාතක කල්ලිය ගැන මෙතෙක් හෙළි නොවූ කතාව..!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.05, පෙ.ව‍‍‍.11.00) යුද්ධයක ඇත්තේ එකම එක ධර්මතාවයකි. එනම් තමා ඉදිරියේ සිටිනා සතුරා නසා දැමීම හෝ  එය කළ නොහැකි වුවහොත් සතුරාගේ ප්‍රහාරයට ලක්වී මිය යාම පමණි. සතුරා නැසුවහොත් තමා දිනුම්ය. රණවිරුවෙකු ලෙස සම්මානයට පාත්‍ර වන්නේය. නැතහොත් තමන්ට ජාතික කොඩියකින් වැසූ මිනී පෙට්ටියක් හිමි කර දී සතුරා ජය ගන්නවා ඇත. මෙම ක්‍රියාවලියේදී කෙතරම් ඝාතනය කළද, ඝාතනය වුවද ඒවා අපරාධ ඝනයට සැලකෙන්නේ නැත. එසේ වී නමුත් යුද බිම පසෙක තිබියදී යුද්දයට මුවා වී අහිංසක මිනිසුන් ඝාතනය කරන්නේ නම් ඒවා පැහැදිලිවම අපරාධයන්ය. ඒවා සිදුකළ පුද්ගලයන් කිසිසේත්ම රණවිරුවන් නොවන අතර ඔවුන් සැලකෙන්නේ යුද අපරාධකරුවන් ලෙසය. ඕනෑම රටක යුද්ධයක් පැවතියේ නම් එහිදී රණවිරුවන් මෙන්ම යුද අපරාධකරුවන්ද සිටීම සාමාන්‍යයක් මිස සියළු දෙනාම රණවිරුවන් වන්නේ හෝ සියළු දෙනාම යුද අපරාධකරුවන් වන්නේ හෝ නැත. 

සැබැවින්ම ඕනෑම යුද්දයක යුද අපරාධ කළවුන් සිටින්නේ ඉතාමත් සුළුතරයකි. එම සුළු කණ්ඩායම තෝරා බේරා දඬුවම් නොකළහොත් සමස්ථ රණවිරුන්ටම වදින්නේ යුද අපරාධකරුවන්ගේ ලේබලයයි. එනිසා ඕනෑම ශිෂ්ඨාචාරගත රටක් යුද්දයකදී හමුවන ‘යුද අපරාධකරුවාට‘ දඬුවම් දීමට පැකිලෙන්නේ නැත. එහෙත් යුද අපරාධකරුවෙක් අධිකරණයකට පැමිණ වූ විට කිසියම් පාලකයෙකු ඒ අපරාධකරුට ‘රණවිරු‘ ලේබලය අලවා “රණවිරුවන් වෙනුවට මං විදුලි පුටුවට යනවා“ යි හෝ “මෙන්න රණවිරුවන් අධිකරණයට ‘දක්කා ගෙන‘ යනවෝ“ යි හෝ  තප්පුලන්නේ නම් හේ මෝඩ පිස්සෙකි. අමන තකතීරුවෙකි. එවන් පාලකයන් රටවල් ඇදගෙන ගොස් නතර කරන්නේ ඊලඟ තවත් යුද්දයක පාමුල බව ලෝක ඉතිහාසය අපට කියා දී ඇත්තේ ය. 

ශ්‍රී ලංකාවේ දශක 3 ක් පුරා පැවැති යුද්ධයේ දී රණවිරුවන් යුද බිමේ සටන් කරද්දී එම යුද්දයට මුවා වී, උසස් පෙළ සමත්ව සරසවි වරම් ලබා එහි යාමට බලා සිටි පාසැල් දරුවන් සහ පුද්ගලයන් 11 ක් පැහැරගෙන ගොස් කප්පම් රැගෙන ඝාතනය කර දැමූ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අපරාධකරුවන් පිරිසක් වසර ගණනාවකට පසුව හෙළිදරව් වී තිබේ. පසුගියදා ජනාධිපති වරයාද ඉදිරිපත් වී බේරා ගන්නට උත්සාහ කෙළේ මේ තිරශ්චීන අපරාධකරුවන් පිරිසය. 

රණවිරුවා කව්ද? අපරාධකරුවා කව්ද? හඳුනාගන්න

මේ  සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මෙතෙක් කිසිදු මාධ්‍යයකින් හෙලිදරව් නොවූ අතර ජඩමාධ්‍ය ඒවා වසන් කිරීමට ද තැත් කරති . එම සියළු තොරතුරු හෙළිදරව් කිරීම මේ ලිපියේ අරමුණය. එවිට ජනතාවට ‘රණවිරුවා‘ කව්ද? ‘අපරාධකරුවා‘ කව්ද යන්න ගැන අවබෝධයක් ලබා ගත හැකිය. අපරාධකරුවන්ට ‘රණවිරු‘ ලේබලය අලවන්න තටමන අමන පාලකයන් කුමන වර්ගයේ සත්ව කොට්ඨාශයක්දැයි අවබෝධයක් ද ලබා ගත හැකිය. 

මේ පාසැල් දරුවන් සහ පුද්ගලයන් 11 දෙනා සිංහල දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් වෙති. පැහැරගෙන ඇත්තේ 2008-2009 කාලයේදී කොළඹ, වත්තල, කොටහේන, දෙහිවල, කටුනායක ආදී ප්‍රදේශ වලින් වන අතර ඔවුන්ගෙන් සමහරුන් නැගෙනහිර පළාතේ පදිංචි කරුවන් වෙති. මේ දරුවන් ධනවතුන්ගේ දරුවන් වීමද වැදගත් ය. ඒ අයගේ නම් සහ ලිපියනයන් මෙසේය.

1. කස්තුරි ආරච්චිලාගේ ජෝන් රිට් හෙවත් ජෝන්  -අංක 38/28, රත්නම් පාර, කොටහේන, කොළඹ 13.
2. රජිව් නාගනාදන් හෙවත් මල්ලි  -අංක 87, සපත්තු පාර, කොටහේන, කොළඹ 13.
3. ප්‍රදීප් විශ්වනාදන්  -අංක 1/6/220, වාසල පාර, කොටහේන කොළඹ 13.
4. තිලකේෂ්වරන් රාමලිංගම් -අංක ඒ/එෆ්/12, බ්ලූමැන්ඩල් මහල් නිවාස, කොළඹ 13.
5. මොහොමඩ් සාජිත් -අංක 40, ක්ලිප්ටන් පාර, දෙමටගොඩ, කොළඹ 08.
6. ජමාල්ඩීන් ඩිලාන් -අංක 75/12, මාලිගාකන්ද පාර, මරදාන, කොළඹ 10.
7. අමනන් ලියෝන් -නැගෙනහිර අරිප්පු, අරිප්පු.
8. රොෂාන් ලියෝන් -නැගෙනහිර අරිප්පු, අරිප්පු.
9. ඇන්ටනි කස්තුරි ආරච්චි -අංක 38/28, රත්නම් පාර, කොටහේන, කොළඹ 13.
10. ත්‍යාගරාජා ජෙගන්  -අංක 42, ලිංගනගර්, ත්‍රිකුණාමලය.
11. මොහොමඩ් අලි අන්වර් හෙවත් හාජියාර් -ප්‍රනාන්දු පාර, කරගම්පිටිය, දෙහිවල.

මේ පුද්ගලයන් ශ්‍රී ලංකා නාවුක හමුදාවේ නාවුක නෞකා පරාක්‍රම ආයතනයේ විශේෂ රාජකාරි වලට අනුයුක්තව සිටි හිටපු ලුතිනන් කොමාන්ඩර් සම්පත් චන්දන හෙට්ටිආරච්චි සහ එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ලුතිනන් කොමාන්ඩර් දොන් නිලන්ත සම්පත් මුණසිංහ (නේවි සම්පත්) යටතේ සිටි ආවේශන කණ්ඩායමේ නිලධාරීන් විසින් විවිධ ක්‍රමෝපායයන් භාවිත කර පැහැර ගෙන ඇති බව මේ වන විට සොයා ගෙන තිබේ.

ලුතිනන් කොමාන්ඩර් සම්පත් මුණසිංහගේ (නේවි සම්පත්) උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා තටාකාංගන ආයතනයේ බුද්ධි නිලධාරියා වශයෙන් කටයුතු කළ එවකට ලුතිනන් කොමාන්ඩර්, වර්තමානයේ කොමාන්ඩර් ධූරයට උසස් වීම් ලබා සිටින රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ විසින් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයට අයත් ‘ගන්සයිඩ්‘ නමින් හඳුන්වනු ලබන භූගත සිර මැදිරිවල මේ පිරිස කප්පම් ලබා ගෙන මරා දමන තුරු රහසිගතව රඳවා තබාගෙන හිඳ ඇති බවටද සාක්කි ඉදිරිපත්ව තිබේ.  එහිදී මේ පිරිසට කෘෘර ලෙස වධ දී ඇති බවද හෙළි වී ඇත. 

අලි අන්වර් හෙවත් හාජියාර් සහ රජීව් නාගනාදන් ඇතුළු පිරිස පැහැර ගෙන ඝාතනය

ඉහත 11 වැනියා ලෙස නම් සඳහන් දෙහිවල කරගම්පිටිය පාරේ පදිංචිව සිටි මොහොමඩ් අලි අන්වර් හෙවත් හාජියාර් නමැත්තා නාවික හමුදාවේ ඔත්තු කරුවෙක් ලෙස ක්‍රියා කර ඇති අතර සමහර  පුද්ගලයන් පැහැරගැනීම සඳහා අදාල ස්ථාන වෙත ගෙන්වා ගෙන ඇත්තේ ඔහු ලවාය. පසුව ඔහුවද පැහැරගෙන ගොස්  ඝාතනය කර තිබේ. ඉහත කප්පම් ලබා ගෙන මරා දැමූ කොටහේනේ පදිංචිව සිටි රජිව් නාගනාදන් ඇතුළු කොටහේනේ පදිංචි 5 දෙනාම පැහැර ගෙන ඇත්තේ හාජියාර් ලවා ය.  

සම්පත් මුණසිංහ විසින් අලි අන්වර් හෙවත් හාජියාර්ට උපදෙස් දෙමින් 2008 සැප්තැම්බර් මස 17 වෙනිදා රජීව් නාගනාදන්, ප්‍රදිප් විශ්වනාදන් ඇතුළු කොටහේනේ 5 දෙනෙකු දෙහිවල ප්‍රනාන්දු මාවතට ගෙන්වා ගෙන තිබේ. ඉන්පසු ලුතිනන් කොමාන්ඩර් සම්පත් චන්දන හෙට්ටිආරච්චි ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් නාගනාදන් ඇතුළු පිරිස ගිනි අවි පෙන්වා බිය ගන්වා  පැහැර ගෙන ඇත. පැහැරගෙන ගොස් පෙර කී ‘ගන්සයිඩ්‘ භූ ගත සිරමැදිරි වල රඳවා තබා ඇත. එම පැහැර ගැනීම කළ කණ්ඩායමට නාවික සෙබල කුමාර කෝට්ටෙගොඩ, චන්ද්‍රකුමාර, කිත්සිරි සහ සුළු නිලධාරී හෙට්ටිආරච්චි යන අය සහභාගී වී තිබේ. පැහැර ගැනීමෙන් පසු රජීව් නාගනාදන් ඇතුළු පිරිස නොමරා නිදහස් කිරීමට නම් රුපියල් කෝටියක කප්පම් මුදලක් ගෙවන ලෙස රජිව් නාගනාදන්ගේ පියා වූ ගෝවින්ද සාමි නාගනාදන්ගෙන් දුරකථන මගින් ඉල්ලා ඇත. එම මුදල ලබා ගැනීමෙන් පසු පිරිස නිදහස් කරනවා වෙනුවට මරා දමා සිරුරු පලා ඈත මුහුදේ ගිල්වා විනාශ කර තිබේ. 

මේ පැහැර ගැනීම සිදුකර මඳ කලකට පසුව එනම් 2009 පෙබරවාරියේදී අලි අන්වර් හෙවත් හාජියාර්ද පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබේ. අලි අන්වර්ගේ සොයුරා වූ සිරාජ් අලි විසින් තම සොයුරාගේ අතුරුදහන් වීම ගැන දෙහිවල පොලිසියට පැමිණිලි කර තිබිණ. අලි අන්වර් පැහැර ගෙන ඇත්තේ ද සම්පත් මුණසිංහගේ නියෝග මත ලුතිනන් කොමාන්ඩර් සම්පත් චන්දන හෙට්ටිආරච්චි සහ ලුතිනන් කොමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ දෙදෙනා විසින් මෙහෙය වූ කණ්ඩායමක් විසිනි. ඒ කණ්ඩායමට සුළු නිලධාරී මෙන්ඩිස්, බලනැවි ගාමිණී, බලනැවි සංජීව, බලනැවි කෝට්ටෙගේ, බලනැවි කිත්සිරි, බලනැවි චන්ද්‍රකුමාර යන අය සම්බන්ධ වී තිබේ. අලි අන්වර් පැහැරගෙන විත් චෛත්‍ය පාරේ පිහිටි ‘පිට්ටු බම්බුව‘ නමැති ස්ථානයට රැගෙන විත් පහර දී තිබේ. 

රජීව් නාගනාදන්ගේ පැහැර ගැනීම සහ අලි අන්වර්ගේ පැහැර ගැනීම ගැන අලුත්ගෙදර උපුල් බණ්ඩාර නමැති නාවික හමුදා නිලධාරියෙක් සාක්ෂි කියයි.   

රජීව් නාගනාදන් පරිහරණය කළ අංක KC 5559 දරණ කළු පැහැති ඉන්ඩිගෝ වර්ගයේ කාරයද ලුතිනන් කොමාන්ඩර් සම්පත් මුණසිංහගේ උපදෙස් මත කොල්ල කා වත්මන් කොමාන්ඩර් සුමිත් රණසිංහ සමග සිටි සුළු නිලධාරී මෙන්ඩිස් ඇතුළු කණ්ඩායමකට බාර දුන්නේ යයිද අලුත්ගෙදර උපුල් බණ්ඩාර නමැති නාවික හමුදා නිලධාරියා සාක්කි කියයි.

තවත් සාක්කිකරුවන්ගෙන් හෙළි වූ ඝාතන

නැගෙනහිර අරිප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි සුසෙයිපුල්ලේ අමලන් ලියෝන් සහ රොෂාන් ලියෝන් තාවකාලිකව කොළඹ රාමනාදන් මහල්හි නැවතී සිට ඇත. රාමනාදන් මහල් නිවාසයට කඩා වැදී ලියෝන් සොයුරන්ට ගිනි අවි පෙන්වා බිය ගන්වා ඔවුන්ගේ දේපොල කොල්ල කා ඇති අතර පසුව ඔවුන්ව පැහැරගෙන ගොස් චෛත්‍ය පාරේ මොවුන් පවත්වාගෙන ගිය ‘පිට්ටු බම්බුව‘ නමැති වධකාගාරයට දමා තිබේ. එම පැහැර ගැනීම කර ඇත්තේ ද ලුතිනන් කොමාන්ඩර් සම්පත් චන්දන හෙට්ටිආරච්චි බව කේ.පී.එල්.පී වික්‍රමසූරිය නමැති නාවික සෙබලා සාක්කි කියයි. ඔහුද හෙට්ටිආරච්චිගේ පැහැර ගැනීමේ කණ්ඩායමේ එදා හිඳ තිබේ.

වික්‍රමසූරියගේ සාක්කි වලින් හෙළිවන තවත් පැහැර ගැනීමක් වන්නේ කොටහේන රත්නම් පාරේ විසූ කස්තුරි ආරච්චිගේ ඇන්ටනි නමැති සිංහල තරුණයාව පැහැර ගැනීමයි. ලුතිනන් කොමාන්ඩර් සම්පත් චන්දන හෙට්ටිආරච්චි  ඇතුළු පිරිස විසින් ඇන්ටනිව පැහැර ගැනීමෙන් පසු ඔහුවද චෛත්‍ය පාරේ ‘පිට්ටු බම්බුව‘ නමැති වධකාගාරයට ගෙනැවිත් රඳවා ගෙන හිඳ, පසුව ත්‍රිකුණාමලයේ ‘ගන්සයිඩ්‘ භූ ගත සිරමැදිරි වලට දමා තිබේ. වික්‍රමසූරියගේ සාක්කියෙන් කියැවෙන්නේ වත්මන් කොමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ ඇතුළු විශේෂ බුද්ධි අංශ සාමාජිකයන් ද ඇන්ටනිගේ පැහැර ගැනීමට සහ ඝාතනයට වගකිව යුතු බවයි. 

මේ අතර ඉහත ලැයිස්තුවේ 10 වෙනියට නම සඳහන් ත්‍යාගරාජා ජෙගන් සිසුවා පැහැරගෙන සිසුවා නොමරා නිදහස් කිරීමට නම් ලක්ෂ 5 ක් දෙන්නැයි ඔහුගේ මවගෙන් සහ සොයුරියගෙන් දුරකථන මගින් කප්පම් ඉල්ලා තිබේ. එය සිදුකර තිබෙන්නේ ද කොමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ ඇතුළු විශේෂ බුද්ධි අංශ සාමාජිකයන් ය.  මේ සම්බන්ධයෙන් ත්‍යාගරාජා පරමේෂ්වරී වන මව සහ ත්‍යාගරාජා ජෙයා යන සොයුරිය විසින් සාක්කි කියයි. දුරකථන විශ්ලේෂන අනුව එම සාක්ෂි සත්‍ය බව තහවුරු වී තිබේ. 

නාවික හමුදා අපරාධකරුවන් සමග වාස් ගුණවර්ධනත් සම්බන්ධව හිඳලා

කප්පම් සඳහා සියාම් නමැති බම්බලපිටියේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස්  ඝාතනය කිරීම නිසා දැනට මරණ දඬුවම් හිමි වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද මෙම නාවික හමුදා මිනීමරු කල්ලිය සමග සම්බන්ධතා පවත්වා තිබූ බවද පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. ඒ අනුව 2009 වසරේ දී කෑගල්ලේ හෙට්ටිමුල්ලේ පදිංචිකරුවෙකු වූ ගනේරාලලාගේ ශාන්ත සමරවික්‍රම සහ ඉබ්බාගමුවේ පදිංචිව සිටි ප්‍රදීප් නමැති සිංහල පුද්ගලයන් දෙදෙනාවද කප්පම් සඳහා පැහැරගෙන ගොස් තිබේ. එම පැහැර ගැනීම කර ඇත්තේ ඍජුවම වාස් ගුණවර්ධන විසින් වන අතර ඔවුන්වද කප්පම් ලබා ගන්නා තුරු රඳවා ගෙන හිඳ ඇත්තේ පෙර කී කොමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ ඇතුළු විශේෂ බුද්ධි අංශ සාමාජිකයන්ගේ භාරයේ තිබූ ත්‍රිමලයේ ‘ගන්සයිඩ්‘ භූ ගත සිර මැදිරිවල ය. එම දෙදෙනාවද කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කර සිරුරු පළා ඈත මුහුදේ ගිල්වා අතුරුදහන් කර තිබේ.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන, හිටපු පාදඩ අගවිනිසුරු සරත් එන් සිල්වා, ශවීන්ද්‍ර සිල්වා සහ හොරෙන් හොරෙන් උදව් කරන විජේදාස රාජපක්ෂ ආදීන් තැත් කෙළේ මෙම ඝාතන වැල සිදුකළ ඉහත කී මිනීමරුවන් බේරා ගැනීමට ය. ජනාධිපති මෛත්‍රීපාලද ඒ සඳහා සැදී පැහැදී සිටියේ ය. මේ අපරාධකරුවන්ට ‘රණවිරු‘ ලේබලය අලවා ජනතාව මුලා කිරීමට මේ තක්කඩියන් පිරිස නොගත් උත්සාහයක් නැත.

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ගරුක නිලධාරීන්ගේ තීක්ෂණ විමර්ශන අනුව මේ ඝාතන සිදුකළ අපරාධකරුවන් හෙළිදරව් කෙරෙන සාක්කි කරුවන් 34 දෙනෙකු සොයා ගන්නා ලදී. බිඳලිය නොහැකි විද්‍යාත්මක සාක්ෂි ද, පරිවේශනීය සාක්ෂිද සමග  අපරාධකරුවන්ගෙන් ප්‍රධාන දෙදෙනෙකු පෙරේදා(02) රාත්‍රී අත් අඩංගුවට ගෙන 03 දා අධිකරණයට ඉදිරිපත් කරන ලදුව දැන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. ඊට පෙර අත් අඩංගුවට ගත් ධම්මික අනිල් මාපා නමැති ලුතිනන් කොමාන්ඩර් වරයාද මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ. 

අත් අඩංගුවට ගත් නවතම නාවික හමුදා අපරාධකරුවන් දෙදෙනා නම්..

ගිරිඋල්ල, මාහරගම, තලගහමුල වත්තේ පදිංචි කොමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ නමැති  එවකට ශ්‍රී ලංකා නාවික නෞකා තටාකාංගන ආයතනයේ බුද්ධි නිලධාරියා වශයෙන් කටයුතු කළ නිලධාරියා සහ කහටගස්දිගිලියේ පළුකෙටුවැවෙහි පදිංචි තිලකරත්න ලක්ෂ්මන් උදයකුමාර නමැති සාමාන්‍ය නැවියා ය. 

මේ අයට එරෙහිව ඉහත කී පුද්ගලයන් 11 දෙනා පැහැර ගෙන යාම, නීති විරෝධීව රඳවා තබා ගැනීම, මරණ තර්ජන කර බිය ගැන්වීම, කොල්ල කෑම, කප්පම් ගැනීම,  කෘෘර වධ හිංසනයට පත් කිරීම, ඝාතනය කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, ආදී දණ්ඩ නීති සංග්‍රහයේ ද, තුවක්කු පනතේද, කෘෘර අමානුෂික වධ දීමට එරෙහි පනතේද වගන්ති යටතේ අධිකරණය විසින් නීත්‍යාණුකූලව කටයුතු කරමින් පවතී.

සැබෑ රණවිරුවන්ට පැන්ෂන් ගිය ග්‍රාමසේවකලාගේ ආරක්ෂාවක් අවශ්‍ය නැත. 

පාලකයන් විසින් ‘මට කොන්ද තිබෙනවා‘ යයිද ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය කීවත් මං රණවිරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්න ඉඩ දෙන්නේ නැත‘යිද ‘රණවිරුවන්ගේ එකම ආරක්ෂකයා මම‘යි කියමින් පරාජිත මෝඩ ඒකාධිපතියාට ඇඳ තප්පුලන්නේ සැබෑ රණවිරුවන් ආරක්ෂා කිරීමට නොව මෙවැනි තිරශ්චීන අපරාධ සිදුකළ ‘අපරාධකරුවන් ‘බේරා ගැනීමට බව ජනතාවත් රණවිරුවනුත් තේරුම් ගත යුතුය. සැබෑ රණ විරුවෙකුගේ ආරක්ෂාවට කොහේවත් යන පැන්ෂන් ගිය ග්‍රාම සේවකලා අවශ්‍ය නැත. රණවිරුවෙකු වන්නේම තමාගේ මෙන්ම අනෙකාගේ ආරක්ෂාව වෙනුවෙන් දිවි දෙවෙනි කොට  සටන් කිරීමට උදාර හදවතක් තිබෙන වීර පුද්ගලයන් මිස දිව දෙකේ හාල්පාරුවන් නොවන බැවින් රණවිරුවන් ආරක්ෂා විය යුත්තේ තම නමින් පෙනී සිටින අපරාධකරුවන්ගෙන් සහ එම අපරාධකරුවන් ආරක්ෂා කරන්නට තටමන අවස්ථාවාදීන්ගෙන් ය.  

-විමල් ධීරසේකර විසිනි- 

---------------------------
by     (2017-03-05 06:16:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links