~

රණවිරුවන් දඩයම් කරන්නේ කවුද? -හිටපු එස්ටීඑෆ් කොමඩාන්, ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති නිමල් ලෙව්කේ අසයි

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.05, පෙ.ව‍‍‍.11.00) දශක තුනක් තිස්සේ පැවැති කුරිරු යුද්ධයෙන් ශ්‍රී ලාංකික වාසීන් වන අප  ඉගෙනගත් පාඩම් රාශියක් ඇත. මෙම වකවානුවේ  කුරිරු යුද්ධයෙන් රට ගලවාගැනීමට ත්‍රිවිධ  හමුදාව, ‍පොලීසිය හා විශේෂ කාර්ය බළකාය විසින් ඉතා කැපවීමකින් යුතුව තමන් හට පවරන ලද රාජකාරිය සාර්ථකව ඉටු කළහ. කුරිරු ගරිල්ලා යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂක හමුදාවන්ගේ සහ ‍පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් ආබාධිතවීමට මෙන්ම  ජීවිත ගණනාවක් පරිත්‍යාග කරන්නටද  සිදුවිය.

ඇතැම් දේශපාලකයන් විසින්, යුදමය කාලයේදී ක්‍රියාන්විතයන්ට සහභාගී වූ මෙම දක්ෂ නිලධාරීන් “රණවිරුවන්” ලෙස හඳුන්වා එම ජයග්‍රහණයන් තමන්ගේ දේශපාලන ගමන ශක්තිමත් කරගැනීමට කටයුතු කරන ලදී.

මෙම වකවානුවේදී සිදු වූ ප්‍රධාන තැනක් ගත් මනුෂ්‍ය ඝාතන ලෙස රගර් ක්‍රීඩක තාජුඩීන්  ඝාතනය, මාධ්‍යවේදී එක්නැලිගොඩ සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම දේශපාලනඥයකු  වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයන් සැලකිය හැක.

ඉහත සිද්ධීන් පිළිබඳව වසර ගණනාවක් තිස්සේ විමර්ශන කටයුතු කළද, මේ වන තුරු අද දක්වා කිසිවෙකුට නඩු පවරා නොමැත. යුද්ධයෙන් රට බේරා ගත්තා යැයි ප්‍රකාශ කරණ දක්ෂ යැයි කියාගත් නායකත්වයක් යටතේ පාලනය  වූ රාජ්‍යයක මෙම ක්‍රියාකාරී   සිවිල් පුරවැසියන් මේ අයුරින් සාහසිකව ඝාතනය වීමට හේතුව කුමක්ද?  කවුරුන් විසින් එය කුමන ආකාරයෙන් කරන ලද්දක්ද? යන්න මේ වනතෙක් ස්ථීරවම සොයාගත නොහැකි වී ඇත.

ඉතා දක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයක් තිබුණු වකවානුවක මෙවැනි ඝාතන සිදුවූයේ කෙසේද? ඒවාට සාර්ථක විමර්ශන සිදුනොවුණේ කුමන හේතුවක් නිසාද?

ආරක්ෂක අමාත්‍යාංශය  යටතේ එවකට තිබුණු ‍පොලීසියට මෙම විමර්ශන  අවසන් කරන්නට නොහැකි වූයේ කුමන හේතුවක් නිසාද? ‍පොලීසිය  අනෙකුත් සියලු අපරාධ  සාර්ථකව විමර්ශනය කරන්නේනම් මෙම අපරාධ එකතැන ඇන හිටියේ මන්දැයි ප්‍රහේලිකාවකි.

නව රජය බලයට පත්වීමට පෙර දෙන ලද විශේෂ ‍පොරොන්දුවක් වූයේ මෙම අපරාධ වලට වගකිවයුත්තන් අනිවාර්යෙන්ම නීතිය හමුවට පමුණුවණ බවයි. එපරිදි මෙම විමර්ශන දියත්කර යම්කිසි දුරකට ගෙන යනවිට එයට නොයෙකුත් බාධාවන් පැමිණෙන බව ඉතා පැහැදිලිව දක්නට ඇත.

මෙම ඝාතන පිළිබඳ සිදු කරමින් පවතින විමර්ශන කටයුතුවලදී මේ දක්වා අනාවරණය වී ඇති කරුණු අනුව  එයට වගකිව යුතුයැයි සැකකරනුයේ, හමුදා බුද්ධි අංශවලට සම්බන්ධ යැයි කියනු ලබන හමුදා නිලධාරින් කණ්ඩායමකි.

තවදුරටත් මෙම විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරමින් පැවතීම සහ චූදිතයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති හේතුව මත, මේ වන විට ඔවුන්ගේ අභිප්‍රාය වන “රණවිරුවන් දඩයම් කරනවා” යැයි යන මතයක් රට තුළ ගොඩ නගමින් එය ඉමහත් ආන්දෝලනයක් බවට පත්කර රට තුළ  ව්‍යාකූල වූ තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා රණවිරුවන් ලෙස හඳුනා ගනිමින් ක්‍රියා කරනු ලබන කොටසක් විසින් ගෙන යන  ක්‍රියා මාර්ගයන්, තවමත් ඉතිරිව සිටින අන්තවාදීන්ගේ දේශයට අහිතකර වූ මතවාදයන් ඉදිරියට ගෙන යාම සඳහා ශක්තියක් ගෙන දීමට හේතු වී ඇත.

කිසියම් වූ වරදකට යම් අයෙකු අත්අඩංගුවට ගන්නේ නම් ඒ පිළිබඳව යම් ප්‍රමාණාත්මක පිළිගත හැකි සාක්ෂි තිබිය යුතුවේ. එසේ නොමැතිව කිසිදු අපරාධයකට හෝ චෝදනාවක් වෙනුවෙන් එයට කිසිසේත්ම සම්බන්ධයක් නොමැති අයකු අත්අඩංගුවට ගැනීමට හෝ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමක් කළ නොහැකි බව ඉතා පැහැදිලිය. එසේ අත්අඩංගුවට ගැනීම සහ රිමාන්ඩ්  බන්ධනාගාර ගත කිරීම සඳහා විමර්ශනයේ කරුණුූ අධිකරණයට වාර්තා කළ යුතුව ඇත.

එබැවින් රණවිරුවන් අනිසිලෙස දඩයම් කර ඔවුන්ට නීතියෙන් දඬුවම් ලබා දුන්නේ කවුරුන්ද, ඔවුන්ට මෙම චෝදනා එල්ල වූයේ මෙම ක්‍රියාදාමය නිසාමද, එම ක්‍රියාදාමය රණවිරුවන්ගේ අභිමතය පරිදි සිදු වූ දෙයක්ද, එසේ නොමැතිනම් රණවිරු නාමයට මුවාවී ඇතැම් බලධාරීන්ගේ නීති විරෝධී  ක්‍රියාවන් ඉෂ්ට කර ගැනීම සඳහා යම් හස්තයක් රණවිරුවන්ව දඩයම් කළේද, දඩයම්  කර තිබේද යන්න, විමර්ශනයේදී අනාවරණය වන පසුබිම් කරුණු පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත්ය.

මෙම විමර්ශනයන් මෙහෙයවන කිසිදු නිලධාරියකු සාක්ෂි  නොමැතිව සැකකරුවකු අත්අඩංගුවට ගැනීම හෝ වෙනත් නඩු කටයුත්තකට ඉදිරිපත් කරනු නොලැබේ. එයට හේතුව ඔවුන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ලෙස  සිදු වූවක්නම් එම ක්‍රියාදාමයට සම්බන්ධ වු ‍පොලිස් නිලධාරීන් හට නීතියෙන් ගැලවීමට ඉඩක් නොලැබීමය.

තවද ආරක්ෂක හමුදා සමග ඉතා සමීපව දශක ගණනාවක් එකට රාජකාරී කළ මෙම විමර්ශන නිලධාරීන් කිසිදු විටෙකත් පවතින නීති රෙගුලාසීන්ට පටහැනිව  මෙහෙයුම්  සඳහා ක්‍රියාකාරී වූ නිලධාරීන් හට අභූත බොරු චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු නොකරයි.  එහෙත් මෙම  රණවිරුවන් යැයි කියා ගනිමින්  අන් අයෙකුගේ අවශ්‍යතාවය මත අමානුෂික  ඝාතනවලට සම්බන්ධ වූ සන්නද්ධ හමුදා නිලධාරීන් සමස්තයක් වශයෙන් විමර්ශන  නිලධාරීන් අපකීර්තියට ලක්වන ආකාරයට කටයුතු කිරීම කනගාටුවට කරුණකි.

විශේෂයෙන්ම කිව යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය ‍පොලිස්පති, අධ්‍යක්ෂක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සහ මෙම විමර්ශනයන්ට සෘජුවම  සම්බන්ධවන  ‍‍‍ජ්‍යෙෂ්ඨ  ‍පොලිස් අධීකාරීවරුන් ඔවුන්ගේ ‍පොලිස් ජීවිතයේ මූලාරම්භයේදී. විශේෂ කාර්ය බළකායට  අනුයුක්තව උප ‍පොලිස් පරීක්ෂකවරු ලෙස තමන්ට පැවරෙන රාජකාරිය යුද පිටියේදී මෙන්ම වෙනත් ඕනෑම රාජකාරියකදී ඉතා විනයගරුකව ඉටු කළ අය මෙන්ම  දරුණු යුද්ධයේදී තුවාල ලැබූ අයද වෙති.

කැපවීම හා අධිෂ්ඨානපූර්වක තම වගකීම් ඉෂ්ට කිරීම ඉතා ඉහළ මට්ටමක පවතින ඔවුන් කිසිදු විටෙක හමුදාවේ සගයන්ට අසාධාරණයක් වන ලෙස ක්‍රියා නොකරන නිලධාරීන් බව කිසිදු පැකිලීමකින් තොරව ප්‍රකාශ කළ හැක.

කිසිදු චූදිත නිලධාරියකුට නඩු පැවරීමේදී. ප්‍රධානතම කරුණු වන අපරාධයට හේතුව, චෝදනාව, ඇසෙන් දුටු සාක්ෂි, සෘජු සාක්ෂි,  ලිඛිත සාක්ෂි, සාක්ෂිකරුවන්ගෙන් ලැබෙන සාක්ෂි,  පරිවේෂණ සාක්ෂි සහ තාක්ෂණය  ඔස්සේ ලබා ගත  හැකි සාක්ෂි වැනි අවශ්‍යම කාරණා නොමැතිව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැක. අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කොට නඩු පැවරීමට හෝ නඩුවක් ගෙනයාම  කළ නොහැක. එයට හේතුව ඔවුන් උසාවියේදී දිවුරා සාක්ෂි දෙන අතර සත්‍යයෙන් තොර සාක්ෂි ලබා දුනහොත් ඔවුන්ට අත්වෙන ඉරණම පුහුණුව ලැබූ ‍පොලිස් නිලධාරීන් ලෙස ඉතා හොඳින් දන්නා බැවිනි.

විශේෂ කාර්ය බළකායේදී විනය උගත් කිසිදු නිලධාරියකු එවැනි පහත්  ක්‍රියාවන් කිසිදු දිනෙක සිදු නොකරනු ඇත. මක්නිසාද කිවහොත්  ඔවුන් තම සහෝදර හමුදා නිලධාරීන් සමග යුදබිමේදී  කළ ක්‍රියාන්විතයන් සහ එහිදී පැවැති සහෝදරත්වය සමග වූ බැඳීම  පිළිබඳව මතකයන් සදාතනිකව ඔවුන්ගේ හදවතෙහි  සැමදා තැන්පත්ව ඇති බැවිනි.

නොයෙකුත් දේශපාලනික වාසි අපේක්ෂාවෙන් රණවිරුවන් දඩයම් කරනවා කියමින් ආන්දෝලනයක් ඇති කරන අයට කිවයුත්තේ, මෙම ඝාතන වලට සැකපිට අත්අඩංගුවට පත්වී ඇති නිලධාරින් සහ එම ඝාතනයන්ට ලක්වූ පුද්ගලයන් අතර කිසිදු සබඳතාවක් හෝ අමනාපකමක් නොතිබූ බව විමර්ශනවලදී පැහැදිලිව  පෙනී ගොස් ඇති බැවින්  රණවිරුවන් දඩම් කර ඇත්තේ කවුරුන්ද යන්න මෙහිදී පැහැදිලි වන බවය.

මෙරට අපේ කාලයේ ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙස සඳහන් කළ හැක්කේ කුරිරු  ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමයි. එහිදී ඇතැම්  දේශපාලනික නායකයන්ගේ  සහ අපගේ නිලධාරින්ගේ ඉතා සාර්ථක සැලසුම්  ඔස්සේ උපරිම  කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස තම අත්දැකීම තුළින් ජීවිත පරදුවට තබා අප රට ත්‍රස්තවාදයෙන් මුදවා ගන්නා ලදී. මෙම  ක්‍රියාදාමයේ කැපකිරීම් සම්භාරය පිළිබඳව දන්නේ දින ගණන් වනාන්තර වල කුරිරු ත්‍රස්තවාදීන් ලුහුබැඳ ගිය අප පමණක්මය.

අපගේ අවසාන ඉලක්කය වූයේ අප ජීවිතවල හොඳම කාලය යුද්ධය වෙනුවෙන්ම වැයකොට හෝ අපගේ මතු පරම්පරාවට මෙවැනි කුරිරු ත්‍රස්තවාදයකට මුහුණ නොදීමට වග බලා ගැනීමයි. මේ සඳහා අප කිසිදු ප්‍රතිලාභයක් බලා‍පොරොත්තු නොවූ අතර සිය කැමැත්තෙන්ම රටේ එවකට පැවැති තත්ත්වය හඳුනාගෙන අප විසින්  කළ හැකි උපරිමය කිරීම සඳහා ඉදිරිපත් වූයෙමු.

මෙම තත්ත්වය අවධාරණය කරන විට පෙනී යන විශේෂත්වය නම්. මෙම වකවානුවේදී හමුදාවන් හා මහජනයා කරන ලද පරිත්‍යාගයන් තුළින් ලබාගත්  නිදහස  මහජනයා  ජීවත් කරවීම සඳහා අධිෂ්ඨාන පූර්වකව පාලකයන් හට කළ හැකිනම් එම අගනා මෙහෙවර මහජනයා තුළ නොමැකෙන සිහිවටනයක් වනු ඇත.

ඉහත කර්තව්‍යට ප්‍රධානම සාධකය වනුයේ නිසි ස්ථානයට සුදුස්සන් යොදවා ගැනීමයි. මෙහි හොඳම නිදර්ශකයට යුද්ධය ගත හැකි අතර තම වගකීම රටත් ජාතියත් වෙනුවෙන් කැප කළ හැකිනම් රටේ ඉදිරි ගමනේ සාර්ථක ප්‍රතිඵල බලා‍පොරොත්තු  විය හැක.

කරුණු එසේ හෙයින්, වසර ගණනක් කුරිරු යුද්ධයේ පෙරමුණේ සිටි ප්‍රධාන නිලධාරියකු ලෙස, දේශපාලනික වාසි තකා “රණවිරු දඩයම” යැයි ගෙන යන ව්‍යාපාරයෙන් මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ , මෙම හමුදා නිලධාරින්  පෙළඹ වූ අමානුෂික මනසකින් යුතු පුද්ගලයන් වහාම ඉදිරියට පැමිණ රණවිරුවන්ගේ ඇගයීම ගැන කතා කිරීම නවතා,  මෙම අහිංසක හමුදා නිලධාරීන්  බිලිබෑම් නවතා,  පිටුපසට වී මේ ගෙන යන අශීලාචාර ක්‍රියාදාමයෙන් ඉවත්වන ලෙසය.

අවසාන වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉතා සත්භාවයෙන් මෙරට ඒකරාශීකොට,  සියලු ජාතීන්ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා මේ  අවස්ථාවේදී ජාතීන් ආගම් භේදවලින් මිදී සහයෝගය දෙන්නේ නම් සියලුම පුරවැසියන් හට කළ හැකි උතුම්ම පරිත්‍යාගය එය වනු ඇත.

නිමල් ලෙව්කේ විසිනි

‍-පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු සේනා විධායක, විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති, වත්මන් ජනාධිපති ආරක්ෂක උපදේශක -

---------------------------
by     (2017-03-05 16:49:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Why all are highly worried about on the incidents at war time..... NO country is worried about who were killed and how they were killed and why they were killed at Iraq, Afghanistan and Libya...... Then why we dig cemeteries again and again????? Further no one is talking on the thousands of innocent Sinhalese people killed by terrorist (JVP too involved in killings).....
-- by Gobbaya on 2017-03-06

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links