~

සීනි කන්ටේනර් සමග කොකේන් කිලෝ ගණන් ගෙන්වූ මහ මොළ කාරයා හසුවුනත් පොලිස්පති සහ මත්ද්‍රව්‍ය නාශක ලොක්කා එකතු වී ලිස්සා යවයි..! මත්ද්‍රව්‍ය නාශක ලොක්කා තට්ටු 4 ක හෝටලයක් විවෘත කරයි..!!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.13, පෙ.ව‍‍.8.05) පසුගිය අවුරුද්දේ ජුලි 22 දා සිට නොවැම්බර් 24 දා දක්වා අවස්ථා 3 ක දී ම හසුවු බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ සීනි කන්ටේනර් තුල සඟවා කෝටි ගණනක් වටිනා කොකේන් කිලෝ සිය ගණනින් ලංකාවට ගෙන්වීමේ මහ මොළ කාරයෙක් පොලිස්පති පූජිත ජයසුන්දර සහ මත්ද්‍රව්‍ය නාශක අංශය බාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාගේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් අනුව අත් අඩංගුවට නොගෙන ලිස්සා යවා තිබෙන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

2016 ජුනි මාසයේ 14 දා සිට 2016 දෙසැම්බර් 9 වෙනිදා වන විට ලංකාවේ දී මහා පරිමාන කොකේන් තොග අවස්ථා 5 කදී අල්ලාගෙන තිබේ.

ජුනි 14 දා සීනි කන්ටේනර් වල තිබී විශේෂ කාර්ය බලකාය විසින් කොකේන් කිලෝ 85 ක් ද,
ජුලි 22 දා සීනි කන්ටේනර් වල තිබී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කොකේන් කිලෝ 301 ක්ද, 
නොවැ. 10 දා පෙතියාගොඩ සීනි කන්ටේනර් වල තිබී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කොකේන් කිලෝ 32 ක් ද,
නොවැ. 24 දා ඔරුගොඩවත්තේ සීනි කන්ටේනර් වල තිබී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කොකේන් කිලෝ 200 ක්ද,
දෙසැ. 09 දා තේක්ක කන්ටේනර් වල තිබී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කොකේන් කිලෝ 800 ක්ද,

ලෙස මෙම කොකේන් තොග අල්ලා ගෙන තිබිණ. 

මෙයින් මත්ද්‍රව්‍ය නාශයක අංශය විසින් සීනි සමග කොකේන් අවස්ථා 3 ක දී අල්ලාගෙන තිබිණ. අනෙක් අවස්ථාව අල්ලාගෙන තිබුනේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනි. 

මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අල්ලා ගන්නා ලද සීනි සමග කොකේන් ගෙන්වූ අවස්ථා 3 ගැන එහි සිටින අවංක නිලධාරීහු හෙමින් සීරුවේ පරීක්ෂා කරමින් සිටියහ. ඔවුන්ගේ මූලික සැකය යොමු වූ කරුණු කිහිපයකි. ජුලි 22 දා ප්‍රථම හසුවීම සිදුවෙද්දීත් නොවැ 24 දක්වාම සීනි සමග කොකේන් එව්වේ ඇයි? ලංකාවේ විශාල කොකේන් අලෙවියක් නැති නමුත් මහා පරිමානයෙන් ලංකාවටම මේවා එව්වේ ඇයි? නිසැකවම මෙම තොග බලාපොරොත්තුව මෙහි පුද්ගලයෙක් සිටිනු ඇත.

මේ පිලිබඳ පරීක්ෂණ කර ගෙන යද්දී දුරකථන ඇමැතුම් අනුව එක් පුද්ගලයෙකු කෙරෙහි පොලිස් උකුසු ඇස යොමු විය. ඔහු දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකි. ඔහුට පොලිසියේ ඉහල නිලධාරියෙකුගේ ඥාතීත්වයක්ද තිබේ. කෙසේ වෙතත් අවසානයේදී මේ පුද්ගලයාට නීතියේ රැහැනින් පලා යාමට සියලුම අවස්ථාව සලසා දුන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා දෙදෙනා විසිනි. 

මේ සම්බන්ධයෙන් විශාල තොරතුරු සමුදායක් ලංකා ඊ නිව්ස් සතුව පවතින අතර අප අභ්‍යන්තර තොරතුරු සේවය මේ වන විට ඒවායේ සත්‍ය අසත්‍යතාවයන් කිරා මැන බලමින් යලි යලිත් තහවුරු කර ගනිමින් සිටී. ඒ අනුව කවුරුන් වසන් කරන්නට තැත් කළද සියළුම අපරාධකාරී පුද්ගලයන් ගේ තරාතිරම නොබලා නම් ගම් සහිතව මතුවට හෙළිදරව් කරන්නෙමු.

පූජිතගේ සහ කමල් සිල්වාගේ මත්ද්‍රව්‍ය සම්බන්ධකම්..

කමල් සිල්වා සහ පූජිත ජයසුන්දර යනු කාලයක සිටම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග අත යට ගනුදෙනු තියාගෙන සිටින ජරා නිලධාරීන් දෙදෙනෙකි. පූජිත ජයසුන්දර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ අවශ්‍යතාවය අනුව තමන්ගේම පොලිස් නිලධාරියෙකු වූ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ද සම්බන්ධ වූ පුද්ගලයෙකි. ( ඒ සම්බන්ධ සියළු තොරතුරු මතු ලිපියකින් හෙළිදරව් කරන්නෙමු. )

කමල් සිල්වා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග තිබෙන සම්බන්ධය ගැන එක් කරුණක් පමණක් දැනට හෙළිදරව් කරන්නෙමු..

පොලිස් නිලධාරියෙකුට තට්ටු 4 ක හෝටලයක් හැදිය හැකිද?

කමල් සිල්වා විසින් පසුගිය 11 වෙනි සෙනසුරාදා තට්ටු 4 කින් යුත් නවීන හෝටලයක් ඇලකන්ද පාරේ රහසිගතවම විවෘත කළේය. මෙම හෝටලය විවෘත කිරීමට පොලිසියේ ‘පෙත්තප්පුවා‘ ලෙස හඳුන්වන එක් මාධ්‍ය ප්‍රකාශකයෙක් වන නීතිඥ අජිත් රෝහණද රහසේම සහභාගී විය. රජයේ වැටුපක් ලබන කමල් සිල්වා ඇලකන්ද පාරේ, තට්ටු 4 ක හෝටලයක් හැදුවේ කෙසේද? මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් ලැබෙන මුදල් වලින් හැදූ මේ හෝටලයේ සුපර්වයිසර් වරයා වන්නේ ද තවත් මත්ද්‍රව්‍ය නාශක අංශයේම නිලධාරියෙකි. ඒ එස්.අයි මහින්ද නමැති කමල් සිල්වාගේ අංක එකේ සට්ටැඹියා ය. කමල් සිල්වා ඔහුටද හෝටලය අසලින් ඉඩමක් ගෙන නිවසක් හදා දී තිබෙන්නේ තමන්ගේ හෝටලයේ වැඩ කටයුතු ටික බලා කියා ගැනීමට ය. 

කොහොමද ලංකාවේ මත්ද්‍රව්‍ය නාශක ලොක්කන්ගේ තරම..?

මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරමින් සිටියදී කමල් සිල්වා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කෙරිණ. පොලිසියේ චක්‍රලේඛයක් අනුව උසස් වීමක් ලැබීමෙන් පසුව තමන් සේවය කරමින් සිටි අංශයෙන් වෙනත් අංශයකට මාරු කළ යුතුය. නමුත් ඒ නීතිය කමල් සිල්වාට වලංගු කෙළේ නැත්තේ පොලිස්පති පූජිත ජයසුන්දර විසිනි. ඒ අන් කිසිවකට නොව මේ මත්ද්‍රව්‍ය නාශක අංශය යනු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් කෝටි ගණන් මුදල් ලබා ගත හැකි මසුරං ආකරයක් බැවිනි. මෙහි ඇති අපූරුම තත්ත්වය නම් කලින් අධ්‍යක්ෂව සිටි කමල් සිල්වා එහිම නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ පසු කවුරුන් හෝ කෙනෙකු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂක ලෙස පත් කළ යුතු වුවද පොලිස්පති පූජිත සහ කමල් එකතු වී එයටද වැඩ බැලීමට පමණක් නිලධාරියෙකු පත් කර කමල් සිල්වා විසින්ම තනතුරු දෙකේම රාජකාරි කිරීමයි. පූජිත ජයසුන්දරද කලක් මත්ද්‍රව්‍ය නාශක අංශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියේ ය. එකල ඔහු ප්‍රසිද්ධියේම කීවේ කමල් සිල්වා දූෂිතයෙකු බවත් ඉවත් කළ යුතු බවත්ය. නමුත් පූජිත පොලිස්පති වීමෙන් පසු දෙදෙනා එකතු වී ‘මසුරං ආකරය හැරීම‘ ආරම්භ කිරීමත් සමග දැන් ඒ පරණ කතා නැත. 

පොලිසිය බාරව සිටින ඇමැතිට ‘පොලිස් සෙල්ලං‘ ගැන අවබෝධයක් නැත. ඔහුට අවබෝධයක් තිබෙන්නේ වෙන වෙන ‘සෙල්ලං‘ ගැනය. එම අමාත්‍යාංශය බාර ලේකම් වරයාද දූෂණය ඉදිරියේ ඇස් කන් පියාගෙන හිඳ පළපුරුදු අයෙකි. ඔහු රේගු අධ්‍යක්ෂ වරයාව සිටියදී නාමල්ගේ දුරකථන ඇමැතුම් වලට පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් පිටින් එළියට යැවූ නෝන්ජලයෙකි. එවන් නිලධාරියෙකු පොලිසිය බාර ලේකම් වරයා වීමත්, පොලිස් කොමිසම සිටින තැන සොයා ගැනීමට අංජනම් දේවියටවත් නොහැකි වීමත් පූජිත සහ කමල් වැනි පොලිසියේ තෙම්පරාදු දූෂිතයන්ට හොඳ තෝතැන්නක් වී ඇත. 

මොවුන් දෙදෙනා එකතුව ලිස්සා යැවූ සීනි කන්ටේනර් තුල කොකේන් කිලෝ සිය ගණන් ගෙන්වූ මහ මොළකාරයාට ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයෙන් ලිස්සා යෑම අසීරුය. ඔහුගේ ඥාති ඉහළ පොලිස් නිලධාරියා ගැනද අපි බලාගන්නෙමු. මහ මොළ කරුවාට මේ කොකේන් ප්‍රතිඅපනයනය කිරීමට සහාය වූ ද්විත්ව පුරවැසි පුද්ගලයා ගැනද අපි පරීක්ෂාවෙන් සිටින්නෙමු.. ඉදිරියේදී ඒ සියල්ල ජනතාවට හෙළිදරව් කරන්නෙමු..

-ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ මාණ්ඩලිකයෙකු විසිනි-

---------------------------
by     (2017-03-13 16:27:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Thank of bringing this vital new to public. Dirty Journalists in Sri Lanka don't bother exposing these criminals .
-- by Oba on 2017-03-13

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links