~

සයිටම් විරෝධීන්ගේ බළලා මල්ලෙන් එළියට..! ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වැරදිම කොණින් අල්ලති

විමල් ධීරසේකරගේ සටහනක්

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.09, ප.ව‍‍‍.6.50) සයිටම් විරෝධී වෛද්‍ය සංගම් වල සහ ශිෂ්‍ය සංගම් වල බළලා මල්ලෙන් එළියට පැන තිබේ.  තමන්ගේ අරගලය හුදෙක් පුද්ගලික වෛද්‍ය සිසුවන්ගේ අධ්‍යාපන ප්‍රමිතිය ගැන හෝ රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා නොව වසර 5 ක ජනවරමක් ලබා ආණ්ඩු කරන යහපාලන ආණ්ඩුව පෙරලා දැමීමේ කුමන්ත්‍රණයක් බව හෙළි කෙරෙන නිවේදන කිහිපයක් නිකුත් කර තිබේ.

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දු වලට යටත්ව ආණ්ඩුව ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් ජවිපෙට සම්බන්ධ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද නිවේදනයක් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණ තීන්දුවට විරුද්ධව අල්ලස් කොමිසම වැනි අධිකරණ බලයක් නැති ආයතනයකට පැමිණිලි කිරීමට තරම් ගොබ්බයෙක් වූ එම සංගමයේ ලේකම් ජොස්තර ජයන්ත බණ්ඩාර නමැත්තාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

“අප සංගමය සටන ඇරඹුවේ සයිටම් ආයතනය ප‍්‍රමිතිගත කිරීමට නොව එම ආයතය අහෝසි කිරීමේ අරමුණිනි. එනිසා ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති සයිටම් වෛද්‍ය උපාධි කඩය ප‍්‍රමිතිගත කිරීමේ යෝජනා දැඩිව ප‍්‍රතික්ෂේප කරන සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අරගලය අඛන්ඩව ඉදිරියට ගෙන යන්නෙමු“

මීට සමාන නිවේදනයක් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නොමේරූ සිසුවාද නිකුත් කර තිබිණ. නින්ද යෑමට ආච්චි අම්මාට කියා සුරංගනා කතා අසා ගත් පුරුද්දට දැන් අවදි වී සිටීමටත් පෙරටුගාමී හෝ ජවිපෙ සීයලාට කියා කතා අසා ගැනීමට සිදුව තිබෙන නොදරු සිසු නායකයන් පමණක් නොව හෙට අනිද්දාට අනෙකුත් අන්තවාදීන්ද මෙවැනිම නිවේදන නිකුත් කරනු නිසැකය. 

මෙයින් ගම්‍ය වන්නේ මොවුන් මෙතෙක් කී ‘ඉහළ ප්‍රමිතිය‘ පිළිබඳ කතා සියල්ල බොරු බවයි.  රජයේ සාධාරණ යෝජනා පමණක් නොව අභියාචනාධිකරණ තීන්දුවකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් හෝ මෙම සයිටම් විරෝධීන් සෑහීමකට පත් නොවන බවත් ඔවුන්ගේ අරගලය සාධාරණ හේතු මත නොව බහුතර ජනතා බලයෙන් පිහිටුවා ගන්නා ලද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් බලහත්කාරයෙන් පෙරලා දැමීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බවත් මෙයින් තහවුරු වනු ඇත.

එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට ඒකාධිපතිවාදය තුල පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය තුලද ඉඩක් නැති බව මේ අන්තවාදී පිරිස නුදුරේදීම වටහා ගනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වැරදි කොණින් අල්ලා ගතහොත් සිදුවන දේ...

සමාජයක් දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කිසියම් අන්තවාදීන් පිරිසක් වැරදි කොණින් අල්ලා ගතහොත් සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලී යාම මිස ප්‍රජාතන්ත්‍රවාදය තුලින් බහුතර ජනතාවකට දිනා ගත හැකි අයිතිවාසිකම් දිනා ගැනීම නොවේ. මෙය අප 1971 දී 1988-89 දී පමණක් නොව දෙමළ අරගලයේදී ද අත් විඳ තිබේ. 1971 දී කුඩා කල්ලියක් විප්ලවයක් කිරීමට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව භාවිතයට  ගත් හදිසි නීතිය 2015 ජනවාරි 8 වන දා දක්වාම පැවතිණ. ඉන්පසුව තවත් කල්ලියක් දෙමළ අයිතිවාසිකම් දිනා ගැනීමට යයි යුද්ධ කිරීමට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු යොදා ගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත මර්දනකාරී නීති, එස්ටීඑෆ් වැනි අලුත් මර්දනකාරී ආයතන, අදටත් තිබේ. වැරදි කොණින් අල්ලාගත් පෙර කී කිසිදු අරගලයකින් අවසානයේදී බහුතර ජනතාව දිනා ගත් සත පහක අයිතිවාසිකමක් නැත. දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදයක්ද නැත. සිදුවූයේ ජනතා ආශිර්වාදයෙන්ම භාවිතයට ගත් ප්‍රජාතන්ත්‍රවාදයේ හැකිලීම් ඉතිරි වීම පමණි. 

මීට හොඳම උදාහරණයක් පසුගිය කාලයේදීම නිරීක්ෂණය කළ හැකි විය. ජනවාරි 8 දා යහපාලනය බලයට පත්වීමෙන් පසු පැවැති ප්‍රථම සිසු උද්ඝෝෂනයේදී පොලිසිය සිසුන්ට බැටන් ප්‍රහාරයක් එල්ල කිරීම අති මහත් ආන්දෝලනයකට ලක්විය. එම සේයාරූ වලට ජාතික මෙන්ම ජාත්‍යන්තර දැවැන්ත ප්‍රචාරයක් ලැබිණ. දැවැන්ත සමාජ විරෝධයක් නැගිණ. පොලිස් නිලධාරීන් පිරිසකට රැකියාවද අහිමි විය. නමුත් අන්තවාදී පක්ෂ විසින් සිසුන් දිනපතා උද්ඝෝෂණ වලට දැක්කවීමේ අද වන විට ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? සිසුන් දිනපතා පොලිස් ප්‍රහාරයන්ට ලක් වුවද ඒවා දැන් කම්මලේ බල්ලාට හෙණ ගහනවා සේය. කිසිදු මාධ්‍යයක් ඒවාට කිසිදු ප්‍රචාරයක් දෙන්නේ නැත. ඔවුන්ම පසුදා පොලිස් ප්‍රහාර හෙළා දැක මාධ්‍ය හමු පැවැත්වුවද ඒවාටත් මාධ්‍ය හෝ ජනතාව හෝ කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.  තම තමන්ගේ මාධ්‍ය කිහිපයක් ඒවා ප්‍රචාරය කළ ද කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක් එම ප්‍රහාරයන් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වයි. එපමණක් නොව දිනපතා පැවැත්වෙන සිසු උද්ඝෝෂණ කෙරෙහි ජනතාව දැන් දක්වන්නේ වෛරී සහගත ආකල්පයකි. හෙට අනිද්දා සිසුවෙකු පොලිස් පහරකින් මිය ගියද ජනතාව ‘හොඳ වැ‍ඩේ‘ යයි කියන ගානට මේ උද්ඝෝෂණ වැටී තිබේ. 

දොස්තරලාගේ වර්ජනයද එවැන්නකි. රටක් වසංගත උණ කිහිපයකින් වෙලී යද්දී දොස්තරලා කළ වර්ජනය ඔවුන් ජයග්‍රහණයක් යයි සිතුවද අති බහුතර ජනතාවක් එ් පිළිබඳ දක්වන්නේ වෛරී සහගත ආකල්පයකි. පාදෙනියලාගේ දෙකයි පනහේ අවස්ථාවාදී වර්ජන නිසා මෙතෙක් කල් දොස්තර වරුන් කෙරෙහි තිබූ ගෞරවනීය සමාජ ආකල්පය දැන් අංශක 180 කින් ආපිට හැරී ඇත. එය නොතේරෙන්නේ ඔවුන්ට පමණි. සමාජ කෝපය උතුරා යන තුරු ඔවුන් බලා සිටිනුවා විය යුතුය. නමුත් සමාජ කෝපයක් උතුරා ගිය කලෙක එය යලි පිරියම් කිරීම ඉතාමත් අසීරු බව නොමේරූ අවස්ථාවාදීන්ට නොතේරේ.

සමාජයක් දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කිසියම් අන්තවාදීන් පිරිසක් වැරදි කොණින් අල්ලා ගතහොත් සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලී යාම මිස අන් කිසිවක් නොවේ යයි අත්දැකීම් මතින් අප කියන්නේ එබැවිනි. නොමේරූ සිසුන් මේ තත්ත්වයන් තේරුම් නොගත්තද, මුහුකුරා ගිය දේශපාලන නායකයන් මේ බව තේරුම් ගෙන තම අරගල හුදු අවස්ථාවාදීව නොව වෙනස් යුගයක වෙනස් අපේක්ෂාවන් සහිත ජනතාවගේ යථාර්තය පසක් කරමින් ගෙන ගියේ නැතිනම් අවසානය විනාශයකි.

ජනතාව යනු තම තමන්ගේ පක්ෂ හෝ සංගම් සාමාජිකත්වය නොවන බව හොඳින් සිහි තබා නොගත හොත් ජාතික හෝ ජාත්‍යන්තර හෝ කිසිදු සහායක් නොමැති කල්ලි දෙක තුනෙක අවස්ථාවාදී අරගල ඛේදවාචකයකින් කෙළවර වීම වැළැක්වීම සක්කරයාටවත් නොහැකිය. පසුව හඬා වැලපීම පලක් නොවනු ඇත. ඉතිරි වන්නේ ඔවුනොවුන්ගේ පක්ෂ කැලැන්ඩර වලට තවත් ‘විරු‘ සමරු දිනයක් එකතුවීම පමණය.

-විමල් ධීරසේකර විසිනි-  

පසු සටහන: මෙම ලිපිය අවසන් කරද්දී පාදෙනියලාගේ GMOA ද රජයේ යෝජනාවලිය ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ වී තිබිණ.

---------------------------
by     (2017-04-11 04:59:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ඉතිරි වන්නේ ඔවුනොවුන්ගේ පක්ෂ කැලැන්ඩර වලට තවත් ‘විරු‘ සමරු දිනයක් එකතුවීම පමණය. Wow I like it
-- by Ravindra on 2017-04-10

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links