~

බයියන් බයියන් එක්වීමක් සහ ටොයියන් ‍ටොයියන් එක්වීමක් මිස බයියන් සහ ටොයියන් කිසිදා එක්වීමක් නැත..! ජනමත විමසුමක් දිණන බව පෙන්වූ මැයි දින රැළිවලින් කියැවෙන දේශපාලනය

විමල් ධීරසේකරගේ විග්‍රහයක්

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.03, පෙ.ව‍.8.40) එක් මැයි දිනයක් නිමා විය. මෙම මැයි දිනය ආණ්ඩු කරන එජාපය එතරම් තීරණාත්මක ලෙස ගණන් නොගත් නමුත් ආණ්ඩු කරන මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය තීරණාත්මක ලෙස බාර ගෙන තිබිණ. ඒ බව පෙනී ගියේ මැයි දිනයට පෙර පක්ෂයේ සංවිධායක වරුන්ගේ විශාල වෙනස් කම් රැසක් සිදු කිරීම අනුව ය. ඉන් ප්‍රධාන වූයේ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙකු ලෙසද කටයුතු කළ ජ්‍යෙෂ්ඨයෙකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ආසන සංවිධායක ධූරය ඉවත් කර අලුත් අයෙකුට බාර දීමයි. ඒ ඔහු දිගින් දිගටම ශ්‍රීලනිපයේ මධ්‍යමකාරක සභාවේ තීන්දු වලට පිටුපා කිණිතුල්ලෙකු සේ ක්‍රියා කිරීම නිසා ය. ඒ අතර ලොහාන් රත්වත්තේ වැනි මැක්කෝ ද වූහ.  

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප නායකයාට මෙවැනි තීන්දු රැසක් ගැනීමට හේතු කාරණා වූයේ ශ්‍රීලනිපය දෙකඩ කඩා අලුතින් පොහොට්ටුවක් හදාගෙන ඉදිරියට එන රාජපක්ෂලාගේ තර්ජනය හේතුවෙනි. ඒ අනුව මෙම මැයි දිනයේ සටන පැවතියේ මෛත්‍රී සහ රාජපක්ෂලා අතර ය. එනම් වැඩියෙන් සෙනග ප්‍රදර්ශනය කරමින් බලය පෙන්වීමේ සටන ය. රාජපක්ෂලාට ඒ සඳහා අභියෝගයක් ලබා දී තිබුනේ ගෝල්ෆේස් පිට්ටනිය ලබා දීමෙන් හැකිනම් පුරවපල්ලා කියා ය. රාජපක්ෂලා ගේ ප්‍රධාන සංවිධායකයා වූ බැසිල් රාජපක්ෂ මෙම අභියෝගය බාර ගෙන තිබූ අතර ඔහු එක් අතෙකින් සෙනග ගෙන්වීම සංවිධානය කරන අතරේ ගෝල්ෆේස් පිටියේ වේදිකාව ඉදිකෙළේ ගෝල්ෆේස් පිටියෙන් බාගයකට මඳක් අඩුවෙන් ඉදිරියට වන්නට ය. ඒ අනුව අභියෝගයෙන් බාගයක්ම බැසිල් කපටි කමින් මුලා කෙළේය.

මැයි රැළිවලට ගෙනා පිරිස ගණනින්

කෙසේ වෙතත් ඊයේ(02) සවස් වන විට මැයි දින වලට සෙනග පැමිණි ගණන් හිලව් වල අවසන් ප්‍රතිඵලය රාජ්‍ය බුද්ධි අංශ විසින් බලධාරීන් වෙත ලබා දී තිබිණ. ඒ අනුව

රාජපක්ෂලා ගේ පොහොට්ටු කණ්ඩායම - 90,000 ත් ලක්ෂයත් අතර පිරිසක් ගෝල්ෆේස් පිට්ටනියට ගෙන්වා තිබිණි.

එක්සත් ජාතික පක්ෂය 70,000 ත් 80,000 ත් අතර පිරිසක් කැම්බල් පිටියට ගෙන්වා තිබිණි

මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය 50,000 ත් 60,000 ත් අතර පිරිසක් ගැටඹේට ගෙන්වා තිබිණි.

ජවිපෙ 20,000 ත් 25,000 ත් අතර පිරිසක් බීආර්සී පිටියට ගෙන්වා තිබිණි. 

මේ ප්‍රතිඵල අනුව වැඩිම සෙනගක් ගෙන්වා තිබුනේ බැසිල් රාජපක්ෂගේ සංවිධායකත්වයෙන් යුතු පොහොට්ටු කණ්ඩායමයි. 

මේ සමග රාජපක්ෂ චෞරයන් පිරිස නව ජවයකින් ජීවය ලද්දාක් සේ කතා කරනු, හැසිරෙනු මැයි රැලි වේදිකාවේ සිටම දකින්නට ලැබේ. ඔවුන් සිතන්නේ දැන් ආණ්ඩුව පෙරළිය හැකිය කියා ය. 

නමුත් අපගේ ගණන් තැබීම් අනුව පසුගිය ජනාධිපතිවරණය ආරම්භ කළ අනුරාධපුර රැස්වීමට මහින්ද රාජපක්ෂ මීට වඩා සෙනග ගෙන්වා තිබිණ. එය ගණනින් ලක්ෂ එක හමාරකට ආසන්න විය. නමුත් ජනාධිපතිවරණය ජය ගත්තේ මෛත්‍රීපාල සිරිසේන නමැති පොදු අපේක්ෂකයා ය. රාජපක්ෂ සහ ඔහුගේ න්‍යායාචාරීන් ගණිතයේ දක්ෂයන් වූයේ නම් ජය ගත හැකිය කියා වසර 2 කට පෙර ඡන්දය පවත්වා ඇන ගන්නේ නැත. අද දිනයේ ද මේ න්‍යායාචාරීන්ගේ ගණිතය දොස් සහිත ය.

මහින්දගේ ලක්ෂයට වඩා වටින මෛත්‍රීගේ හැට දහස 

මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේ දී ලැබූ ඡන්ද ලක්ෂ 58 න් ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දීම ලක්ෂ 10 ක් නැති කර ගෙන තිබිණ. එහිදී ඔවුන් ලැබුවේ ලක්ෂ 48 කි. ඒ අනුව ඔවුන්ට ඒ 48 න් ලක්ෂයක් ගෙන්වීම එතරම් ප්‍රාතිහාර්යයක් නොවිය යුතුය. මන්ද යත් යහපාලන ආණ්ඩුව රාජපක්ෂ යුගයේ මෙන් විරුද්ධවාදීන්ට බස් දුනහොත් බලපත්‍ර කැන්සල් කිරීම වැනි තර්ජන කිසිවක් නොකළ බැවිනි. 

බැසිල් රාජපක්ෂ විසින් ලක්ෂයක් ගෙන්වීම ප්‍රාතිහාර්යයක් නොවන අනෙක් කාරණාව නම් ඒ කිසිවෙකු අතර ජනවාරි 8 වෙනිදා යහපාලන පැත්තේ සිටි කිසිවෙකු නොසිටීමයි.  

මෛත්‍රීගේ පැත්තෙන් බැලුවහොත් 2015 ජනවාරි 8 වෙනිදා ඔහුට මුළු ශ්‍රිලනිපයෙන්ම ඡන්ද 60,000 ක් වත් ලැබුනා යැයි කීම පවා විශ්වාස කළ නොහැකිය. පක්ෂ නායකත්වය ඔහුට දුන් දිනයේ සිටම එහි කකුළින් අදිමින් බොරු වළවල් වල දමමින් සිටියදී මෛත්‍රී විසින් 60,000 ක් හෝ රාජපක්ෂලාගෙන් ගලවා නිවැරදි දිශාවේ යන ශ්‍රීලනිපයක් කරා ගෙන්වා ගැනීම ඔහුගේ දක්ෂ කමක් සහ ජයග්‍රහණයක් සේ සැලකිය යුතුය. මන්ද යත් ඔහු ආරම්භ කළේ බින්දුවේ සිට බැවිනි. රාජපක්ෂලා සමග සිටි රාශියක් මෛත්‍රී සමග පැමිණ තිබුණා විනා මෛත්‍රී සමග සිටි කිසිවෙකුත් රාජපක්ෂලා සමග ගෝල්ෆේස් ගියේ නැත. (මෛත්‍රී එළැවූවන් මිස)

මේ දෙපාර්ශවයේ සෙනග වල ගණන් හිලව් වලට වඩා සැලකිය යුත්තේ රටක් පාලනය කිරීමට නම් 2015 ජනවාරි 8 දා ජනතාව විසින් පරාජය කරන ලද රාජපක්ෂලාගේ දර්ශනයෙන් එහා ගිය නව දියුණු දර්ශනයක් කරා ගොස් ඇත්තේ කුමන පාර්ශවය ද යන්නයි.. මැයි දිනයේ කතා අතර දී සහ සම්මත කර ගත් මැයි දින යෝජනා වලදී දකින්නට ලැබුණේ රාජපක්ෂලා කිසිදු වෙනසකට භාජනය වී නොමැති බවයි. අඩුම ගණනේ තමන් පරාජය වුනේ ඇයිදැයි යන්න ගැන පවා ඔවුන්ට කිසිදු තක්සේරුවක් නැත. එසේ වී නම් තමන් විසින් ඉන්දියාවේ ෂන්ග්‍රිලා සමාගමට විකිණූ ගොඩනැගිල්ල ඉදිරියෙන් තබා ගෙන, තමන් විසින්ම චීනයට සින්නක්කර විකිණූ (වත්මන් ආණ්ඩුව විසින් සින්නකර කතාව අහෝසි කරන ලද) පෝර්ට් සිටිය වම් පසින් තබාගෙන යහපාලන ආණ්ඩුව රට විදේශ වලට විකුණනවා යැයි බෑඟිරි කෙප්ප කෙලින්නේ නැත.

රාජපක්ෂලාගේ වෙනස් නොවන වනචර සංස්කෘතිය 

එපමණක් නොව රාජපක්ෂලා විසින් පසුගිය වනචර දශකය පුරා උත්කර්ෂයට පත් කළ වනචර සංස්කෘතිය මැයි දිනයේ ද ඔවුන්ගේ කණ්ඩායම් උතුරා ගලා හැලුවෝ ය. ඊට හොඳම උදාහරණය වූයේ සමාජ ජාලා හරහා ගලා ගිය වීඩියෝවයි. වාහන තදබදයකදී රාජපක්ෂලාගේ බසයකින් බැස ගත් බීමත් වනචාරියෙක් මග නවතා ඇති කාරයක් මතට නැගීමට තැත් කරන වීඩියෝවයි. එපමණක් නොව ගෝල් ෆේස් සෙනගින් අමන්දානන්දයට පත් රාජපක්ෂගේ බයියන් විසින් සමාජ ජාලා පුරා ඊයේ දිනයේ පතුරුවන ලද කුණු හරුප කන්ද ද රාජපක්ෂලාගේ වෙනස් නොවන පාදඩ සංස්කෘතිය විදහා දැක්වීය. කුණුහරුප කරුවන්ට සමාජ ජාලා වල කිසිදු ඉඩක් නොදෙන ලෙස මෙය කියවන අයගෙන් ඉල්ලා සිටිමු.

රාජපක්ෂලා එසේ වී නමුදු මෛත්‍රී විසින් ශ්‍රීලනිපය කැඳවා ගෙන යන නව සංස්කෘතිය ගැටඹේ මැයි රැළියේදී ඉතා පැහැදිලිව දකින්නට ලැබිණ. වේදිකාවට එද්දී කපාපු පණුවෙකු සේ දඟලන නාකි මහින්ද රාජපක්ෂ වෙනුවට මෛත්‍රීගෙන් දකින්නට ලැබුනේ නිවුනු තාපසයෙකුගේ ආගමනයකි. ඔහු පැමිණ පළමුවෙන්ම ජනතාව ආමන්ත්‍රණය කෙළේද ‘තෙරුවන් සරණයි‘ කියා ය. රටක් වැනසූ, පක්ෂයත් වැනසූ රාජපක්ෂලාගේ ශ්‍රීලනිපය යලි ශිෂ්ඨාචාරගත මාවතකට ගත යුතු බව මෛත්‍රී සහ ඔහු සමග සිටින ශ්‍රීලනිප නායකයන් තේරුම් ගෙන තිබෙනු නිසැක ය. එසේ නොවුන හොත් ශ්‍රීලනිපය යලි බලයක් ගත්තද එය රට විනාශ කරනවා හැර අනෙකක් සිදුවන්නේ නැත. එසේ රටකට අනාගතයක් කරා ගමන්කළ නොහැකිය. එය මෛත්‍රීගේ කතාවේ දී ඉතා පැහැදිලිව ඔහු කියා සිටියේ තමන්ගේ මෙන්ම ශ්‍රීලනිපයේ දර්ශනය විය යුත්තේ ජාතිකත්වය සමග බැඳුනු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය බවයි. එය අගය කළ යුතුය. මැයි රැළියට පැමිණියේ රාජපක්ෂලාට වඩා අඩු ගණනක් වුවද ශිෂ්ඨාචාර ගත ශ්‍රී ලංකා කාරයන්ගෙන් බහුතරයක් මෛත්‍රී සමග හිට ගන්නා බව නම් ස්ථිර ය.

බයියන් සහ ටොයියන් එකතු වේද?

ගෝල්ෆේස් පිට්ටනියට ගෙන්වූ ලක්ෂය අනුව දැන් ආන්ඩුව වැට්ටවීමට හැකි යයි රාජපක්ෂලා සිතන්නේ නම් එයද ගණිතය නොදන්නා කමේ සිතුවිල්ලකි. මන්ද යත් රාජපක්ෂලා පරාජය කළේ මෛත්‍රී සමග එජාපය ටීඑන්ඒ ඇතුළු විශාල සන්ධානයක් බැවිනි. ඒ අනුව එජාපය කැම්බල් පිටියට ගෙන්වූ 80,000 ත් මෛත්‍රී ගැටඹේට ගෙන් වූ 60,000 ත් පමණක් ගණන් කළද එය 1,40,000 කි. උතුරේ ටීඑන්ඒ වෙනමත් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන වෙන වෙනමත් මැයි දින පැවැත්වීය. ඒ නම් බැසිල් බ්ලාස් බවයි.

නමුත් රාජපක්ෂගේ සාටකය අස්සේ හිඳිමින් මෛත්‍රීගේ සරම අස්සේ ද ලගින ඩිලාන් ජෝන් වැනි නූගතුන් පිරිසක් වෙනත් ගණන් හැදීමක් හදනු දක්නට ලැබිණ. එනම් ගෝල්ෆේස් ආවේත් ගැටඹේට ගියේත් ශ්‍රී ලංකා කාරයන්ම බැවින් ඒ දෙක එකතු වුවහොත් එජාපය පරාජය කළ හැකිය කියා ය. ප්‍රශ්නය වන්නේ එසේ එකතු නොවන්නේ ඇයි ද යන්න ගැන ඔවුන්ට දේශපාලන කියැවීමක් නැති කමයි. දේශපාලන දහරාවන් එකතු වන්නේ නායකයන්ගේ පුද්ගලික ඕනෑ එපා කම් මත නොව ජනතාවගේ අවශ්‍යතා මත බව තේරුම් ගත යුතුය. ඩිලාන්ට හෝ ජෝන්ට හෝ එවැනි ඕනෑ කමක් තිබුනද ජනතාවට එවැනි ඕනෑ කමක් නැත. ජනතාව රාජපක්ෂලාගේ  වනචර පාලනය පමණක් නොව මෘග ‍චෞර වනචර වාදය ද පරාජය කර තිබේ. බයියන් සහ ටොයියන් සේ දෙකඩ වෙන් වූයේ ඒ ජනතා අභිලාෂයන් බව තේරුම් ගත යුතුය. කෙටියෙන් කියන්නේ නම් අනාගතයේ වුව ටොයියන් ටොයියන්ගේ එකතු වීමක් සහ බයියන් බයියන්ගේ එකතු වීමක් මිස ටොයියන්ගේ සහ බයියන්ගේ එකතු වීමක් සිදුවිය නොහැකිම ය. ඒ අනුව රාජපක්ෂලා ලක්ෂයක් නොව දෙකක් පිට්ටනි වලට ගෙන්වූවත් තීරණාත්මක අවස්ථාවකදී ඔවුන්ට ජය ගත නොහැකි ය. මන්ද යත් රටේ වත්මන් දේශපාලන සංස්කෘතික අවධිවීම තුල වර්ධනය වන්නේ ටොයියන් මිස බයියන් නොවන බැවිනි. 

වත්මන් පාලකයන්ගේ විවිධ දුර්වලතා නිසා ටොයියෙකු කලකිරීමට ලක් වුවද ඔහු කෙදිනකවත් බයියෙකු නොවන බවට කැට තබා කිව හැක්කේ ජනවාරි 8 යහපාලනය වෙනුවෙන් හිට ගත් එකෙකු හෝ මෙතෙක් මුන්ට වඩා  රාජපක්ෂලා හොඳයි කියා රාජපක්ෂලා සමග හිටගෙන නැති බැවිනි. 

එජාපයේ ගණන් හැදීම

එජාපය මෙම තත්ත්වය ගණන් හදන ආකාරය තවම කිසිවෙකුගේ ප්‍රකාශයකින් හෙළි වී නැතත් පවතින තත්ත්වය අනුව නම් එජාප නායකයන් තිගැස්සීමකට නොව මනා ශාන්ත දාන්ත තත්ත්වයකට පත් විය යුතුය. මන්ද යත් පෙරේදා මැයි දිනය විසින් ශ්‍රීලනිපය ස්ථිර ලෙසම දෙකඩ වෙන් වී ඇති බව තහවුරු වී ඇති නිසා ය. පක්ෂ දේශපාලනය අනුව බලන්නේ නම් එය එජාපයේ ස්ථාවරත්වය තහවුරු කර තිබෙන්නකි. අප එ් ගැන වැඩි දුර කතා කරන්නට නොයන්නේ සම්මුති ආණ්ඩුවක් තුල ගැටුම් ඇති වන ආකාරයේ කෙළ බිඳක් හෝ නොහෙලමින් එජාපය මෙතෙක් කටයුතු කර ඇති මහත්මා ආකාරය අනුව අපද ඒ ගැන වැඩිදුර කතා කිරීම අශිෂ්ඨ කාරණයක් වන නිසා ය.

කෙසේ වෙතත් එකක් කිව යුතුය. එදා මෛත්‍රී ශ්‍රීලනිපයෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා වී සිරිකොතට ආ දා එජාප නායකයා අපූරු කතාවක් කීවේ ය. එනම් අද ශ්‍රීලනිපයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනත් දීමට සිදුව ඇත්තේ ද එජාපයට බවයි. ගැටඹේ දෙස බලා ඒ ගැන ඔහුට අද සතුටු විය හැකිය. 

අනුරගේ තාර සහ අඟුරු

මැයි රැළි වලදී නායක කාරකාදීන් මහජනතාවට කරන ලද ප්‍රකාශ අනුව වැදගත් ප්‍රකාශයන් කෙළේ එජාප නායක අගමැති රනිල් ය. ඔහු රටේ ආර්ථිකය මෙතෙක් නැංවූ ආකාරයත් ඉදිරියේදී කරන්නට සිටින කාරියනුත් ගැන ජනතාව දැනුවත් කෙළේය. අවැදගත්ම ප්‍රකාශයන් කෙළේ අවාසනාවකට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ය. ඔහුගේ දේශපාලන තත්ත්ව විග්‍රහය රටේ ජනතාවට තබා ජවිපෙ පාක්ෂිකයාට වුව වැදගත් වූවා දැයි සැක සහිත ය. රටේ දේශපාලන තත්ත්ව විග්‍රහයේ යෙදෙමින් ඔහු කීවේ රනිල් අගමැති කරන්නට මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ නැතැයිද ඔහු අගමැති වූයේ තෙල් හිඳින කොට තාර හැදෙනවා වැනි ආකාරයට යැයි කියා ය. ප්‍රශ්නය වන්නේ රටේ අගමැති තේරීමට මහජනතාව කවදාකවත් ඡන්දයක් නොදෙන බව අනුර දිසානායක නොදන්නවාද යන්නයි. ලංකාවේ අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසය දිනාගන්නා පුද්ගලයාද නොව ජනාධිපතිවරයා වැඩි විශ්වාසය තබන පුද්ගලයා විසින් බව දැන් වියපත් දේශපාලකයෙකු වන අනුර කුමාර දැන සිටිය යුතුය. අනෙක් අතට තෙල් හිඳින කොට තාර හැදෙනවා සේ අගමැතිකම හැදුනා නම් ඔහු දරණ විපක්ෂයේ සංවිධායක කම තාර වලටත් පසුව හැදෙන අඟුරු කෑල්ලක් විය යුතුය. 

මේ අතර ජනවාරි 8 යහපාලනප්‍රේමී ජනතාවට සැනසුම් සුසුම් හෙළිය හැකි ප්‍රකාශක් කෙළේ රාජිත සේනාරත්න විසින් බව නොකියාම නොහැකිය. මේ වසර සංවර්ධනයේ වසර පමණක් නොව රාජපක්ෂලාට දඬුවම් දෙන වසර විය යුතු යැයි කී ඔහු එසේ නොකර ලබන මැයි දිනය පවත්වන්නේ නැතැයි ද ශපථ කළේය. සත්‍ය වශයෙන්ම ජනවාරි 8 ජනතාව දැන් වසර 2 හමාරක් තිස්සේම බලාපොරොත්තු වන්නේ එයයි. එය කල් මැරීම තරම් සිය දිවි නසා ගැනීමක් යහපාලන ආණ්ඩුවට නැත. එබැවින් කල් නොමරා කළ යුත්තේ විශේෂ අධිකරණයක් පිහිටුවා වනචර දශකයේ ඝාතකයන්ට සහ දූෂිතයන්ට හැකි ඉක්මනින් දඬුවම් දීමය. මෙම විශේෂ අධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නායකයන්ට නොයෙක් වර ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විවිධ පොරොන්දු දුන් නමුදු ඒ එකක්වත් ඉටු කර නැත. 

මහපාරේ විනිසුරන් සහ අලුගෝසුවන්ද විය හැකි ටොයියන්

ගෝල්ෆේස් මැයි දිනයේ දී මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයක්ද විශේෂයෙන් සලකා බැලිය යුතුය. ඔහුගේ ගොබ්බ ප්‍රකාශ රැසක් අතර ඔහු එකක් කීය. එනම් නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් මේ ලක්ෂයක ජනතාවත් සමග පාරට බසින බවත් ජනාධිපති මන්දිරය වටලා හෝ එය නවත්වන බවයි. ඔහුගේ ලක්ෂය අපට ප්‍රශ්නයක් නැත. මන්ද යත් ඔහුට ලක්ෂ 58 ක් දෙද්දී, විධායක ජනාධිපති ධූරයක් නැති, ඒකීය රටක සුළු ජාතීන්ට දේශපාලන බලයක් බෙදා හැරෙන, සියළු ආගම්වලට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ රැකවරණය සහතික කෙරෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන්නැයි කියා ලක්ෂ 62 ක ජනතාවක් ඡන්දය දී ඇති බැවිනි. මහජන වරමට අවහිර කරමින් රාජපක්ෂලා ඔවුන්ගේ ලක්ෂයත් සමග පාරට බහින්නේ නම් ජනවාරි 9 වෙනිදා යහපාලනප්‍රේමී ජනතාවට රාජපක්ෂලාගෙන් ගත නොහැකි වූ වාඩුව ඒ පාරේ දීම ගත හැකිය. එවිට ඇත්තටම රාජපක්ෂලාට එරෙහිව නඩු අසමින් කාලය කා දැමීමට සිදුවන්නේ නැති බවද අනතුරු අඟවා තැබිය යුතුය. ජනතාව යනු බයියන් පමණක් නොවන බවත් ටොයියන් මහ පාරේ විනිසුරුවරුන් පමණක් නොව අලුගෝසුවන්ද වනු ඇති බවත් චෞරයන් සහ මිනීමරුවන් එදිනට තේරුම් ගනු නිසැක ය. 

ගණිතය නොදන්නා පරාජිත මෝඩයන්ගේ තර්ජන වලට නොසැලී යහපාලන නායකයන් කළ යුත්තේ වහ වහා ජනවාරි 8 බලවේග එක්සත් කරමින් ජයග්‍රාහී ජනමත විචාරණයකට යොමු වී නව ව්‍යවස්ථාවක් ජයග්‍රහණය කර රාජපක්ෂලා දේශපාලනයෙන් පර සක්වල ගසා පළාත් පාලන ඡන්ද පැවැත්වීම ය. 

-විමල් ධීරසේකර විසිනි-  

---------------------------
by     (2017-05-03 05:07:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

Real True Wimal.
-- by Bandula on 2017-05-03

"....................නව ව්‍යවස්ථාවක් ගෙන එන්නැයි කියා ලක්ෂ 62 ක ජනතාවක් ඡන්දය දී ඇති බැවිනි" මෙම ප්‍රකාශය නිවැරිදි නොවේ. බොහොමයකට අවශ්‍ය වූයේ දුර්දාන්ත පාළනය එළවා දැමීම මිස ව්‍යවස්ථා වෙනස් කිරීම් නොවේ
-- by B S Perera on 2017-05-03

ඉතිහාසයේ අප දන්නා කාරණයක් නම් ලාබ ප්‍රයෝජන ලබා ගැනීම සදහා වැඩි ජනකාවක් බලය ඇති පක්ෂයේ රැස්වීම් වලට පැමිණෙන බව . එමනිසා, දී ඇති සන්ක්‍යා ලේකන නිවැරදි නම් ඒකාබද්ධ විපක්ෂය මෙතරම් ජනතාවක් ගෙන්වා හෝ පෙන්වීම රජයට ඇති මහජන අප්‍රසාදයේ තරම පෙන්විමක්ය
-- by Indrajith on 2017-05-03

ධීරසේකර සහෝ... යකෙක් මචං උඹනං.. ඉඳා උඹට උම්ම... එකක්.. ============================================= කාලයකින් පැවත්වුනු තීරනාත්මක (2017) මැයි දිනයක් සමාප්ත විය. දැන් අැත්තේ එකී සමස්ත රැලිවල බර කිරා මැන සංක්ෂිප්ත වාර්තාව ගෙන හැර දැක්වීමය. සත්යය වශයෙන්ම එවැන්නක් සිදු කල හැක්කේ එම රැලි පෙලහරේ කෑමොර ගහමින් කකුල් කෙඩෙත්තු හදාගෙන පාරේ ගිය පෙරහැර කරුවන්ට නොව. නිවී සැනසිල්ලේ හොඳ සිහියෙන් මුත් අපක්ෂපාතික විනයකින් යුතුව ඒ සියල්ල දෙස සංසුන්ව චිචක්ෂනශීලීව බලා සිටි සබුද්ධික මිනිසුන් හට පමනි. නමුත් අප කිසිවෙකු මහන්සි නොකල අපේ සහෝදර විමල් ධීරදසේකර සොහොයුරා ඉතා කදිමට තමන්ගේ විචක්ෂනශීලී බව සමස්ත රට වැසියා හමුවේත්... කිසිදු පාක්ෂිකත්වයකින් තොරව සියළුම පක්ෂ නායකයින් සහ ඒ අනුගාමිකයින් හමුවේත්... නීරීක්ෂනයෙකින් පසු සිදු කල යුතු විචාරය නිවැරදිවම සිදු කර අැත. අායි මේ හට්ටියට කාටවත් ලුණු අැඹුල් බිඳුවක්වත් දැමීමට අවශ්යය නොවනා අාකාරයට ව්යංජනය ලිපෙන් බිමට බා අැත. දැන් ඉතින් ඉතිරිව අැත්තේ සෝභිත මාහියන්ගේ දේදුනු ප්රජාවටත්... යහපාලකයින් හටත්... යමපාලකයින් හටත්... කරිය තමන්ට අැවැසි පැතිවලින් බෙදාගෙන කන එක පමනි. බොහෝමත්ම ස්තූතියී ධීරසේකර සහෝ... ඔබ තුමා මේ පාර මැයි රැලි සමාලෝචනය නම් දීල තියෙනවා අායි නෑ බදාගෙන ඉඹින්න වටිනා තරමටම...යකෙක් මචං උඹනං.. ඉඳා උඹට උම්ම... එකක් ---------------------------------- අාපුදෙංකෝ බලන්න වටලන්න අපිව අරුං... ඒක නෙමේ දැං.. දැං.. ලැබෙන අාරංචිවල හැටියටනම් පුදුම විදියේ සල්ලි කන්දරාවක් බෙදල තියෙනවලු ගෝල් ෆේස් එකට ගෙන්වපු බොහෝමයක් මිනිස්සුන්ට. හැබැයි රැලිය ඉවර වෙන තුරුම ඉන්න ඕනලු ගාස්තුව ලැබෙන්න නම්. ඒකයි ඒ අාපු අහිංසක මිනිස්සු විජලනය වෙලා මියෑදෙන කම්ම රැලියට වෙලා ලගින්න සිදු වෙලා තියෙන්නේ... පව් අහිංසක මිනිස්සු නැති බැරි කම හින්දනේ ඔවැනි මෝඩ කම් කරන්නේ. හැබැයි චන්දයක් තිබ්බොත් ඒ මිනිස්සුන්ගේ කතිරෙත් සෝභිත හිමියන්ගේ ගොඩටයි 2020 දි. සෝභිතාවතාර 2017/05/03
-- by sobithawathara on 2017-05-03

Rajitha wani naw pathi pal horun ilaga mayi dinayata pera melowin thuran kirimata pela gasamu....Naw pathi pal hora dathaa apayata yawamu
-- by kumag on 2017-05-03

හෙට හවස් වෙන කොට ලංකාවේ සෞඛ්‍ය ඇමති රාජිත නාරත්න සිංගප්පුරුවේ මිළ අධිකම රෝහලකදී මිය යයි කියලා නිවුස් එකක් අවොත් අපිට මොනවා හිතේවිද නේ..
-- by kumaguna on 2017-05-03

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links