~

ගෝල්ෆේස් සෙනග දැක නිරුවත් වුණු ආචාර්ය නිර්මාල්..!

විසල් කරුණාරත්නගේ සටහනක්

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.04, ප.ව.11.55) ‘ජනවරම‘, ‘ජනමතය‘ සහ ‘සෙනඟ‘ යන පදයන් එකිනෙකට වෙනත් අර්ථයන් සහිත දේශපාලන සාහිත්‍යයේ සහ දේශපාලන ව්‍යාවහාරයේ පරිහරණය කරයි. දේශපාලන විද්‍යාව සම්බන්ධව ප්‍රමාණිකයින් මෙම සංකල්ප තම විචාරයන් සඳහා විවිධ දේශපාලන මතිමතාර්ථයන් වෙනුවෙන් යොදා ගත්තද මෙම පද වල අති විෂයානුබද්ධ නිර්වචනයන් ගැන එක මතයක සිටිය යුතුය. එසේ නොමැතිව භාෂාව මාධ්‍ය කරගෙන අර්ථ සහිත විවරණයක් කළ නොහැකි වනවා පමණක් නොව කියවන්නා පත් වන්නේ මහත් අවුලකටය. නිශ්චිත නිර්වචනයන් නොතකා හැර පාරිභාෂිත පදයන් යමෙක් ලියන්න හෝ කියන්න උත්සාහ ගන්නේ නම් ඔහු එක්කෝ මෝඩයෙකු විය යුතුය නැතිනම් මනස වියවුල් වූ අයෙකු විය යුතුය.

ගෝල්ෆේස් පිට්ටනියට මහින්ද ප්‍රමුඛ නඩය විසින් සංවිධානාත්මකව සහ අධික පිරිවැයක් සහිතව ගෙන එන ලද සෙනඟ දැක ආශ්චර්යයට, අමන්දානන්දයට සහ දේශපාලන සුරතාන්තයට පත් වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ‘තවදුරටත් යහපාලන ආණ්ඩුවට පැවතීමට දකුණේ දේශපාලන සුජාත භාවයක් නොමැති බව‘ සමාජ ජාල මාධ්‍ය හරහා කියා සිටී. 

චිර ප්‍රසිද්ධ ආචාර්ය වරයෙක්, දේශපාලන විචාරකයෙක් පමණක් නොව ඉතිහාසඥයෙක් වන දේවසිරිගේ මෙම ප්‍රකාශය කෙටියෙන් හෝ විමසා බැලිය යුතු තරමේ එකකි. මේ විදග්ධයාට ඉහත කී ලෙස නිර්වචන පැටලැවීමක් සිදු විය නොහැකි බවට අප තුල පූර්ව නිගමනයක් ඇති බව පළමුව කිව යුතුය. ඔහුට ජනවරම සහ ජනමතය සංකල්පයන් ගැන ආචාර්ය මට්ටමේ නිබන්ධනයක් මේ දැනුත් කළ හැකි බවට අපට සැකයක් නැත. 

මෙම ආණ්ඩුව බලයට පත් වූයේ මැතිවරණ දෙකක් හරහාය. මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය පමණක් නොව තුනෙන් දෙකකට ආසන්න බලයක් එය අභ්‍යාස කරයි. පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගන්නේ නිශ්චිත කාලයකට එනම් වසර 5 කට බව අපගේ දැනීමයි. ආණ්ඩුවට සුජාත භාවය ලැබෙන්නේ ඒ හරහාය. මේ වන විට ආණ්ඩුවේ පැවැත්මට තර්ජනයක් එනම් පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමක් හෝ විශාල ජන නැගීටීමක්, ජනතා වීදි බැසීමක් අපට නම් දැන ගන්නට නැත. මැයි දිනයට සාපේක්ෂව සැලකිය යුතු සෙනඟක් ගෙන්වීමට සංවිධානාත්මකව බැසිල් ප්‍රමුඛ පිරිස සමත් වීමක් හැර වෙනත් දෙයක් සිදු වී නැත.

එසේ නම් අප විදග්ධයා(?) ආණ්ඩුවේ පැවැත්ම අහිමි වීමක් ගැන, සුජාත භාවයක් නැතැයි කියන්නේ ඇයි.? මැයි දෙවෙනිදාට  එලි වන්නට පෙර ෆේස් බුක් සටහනක් යොදන්නට තරම් හදිසි වන්නේ ඇයි.? ඔහුට ජනවරම සංකල්පය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්ථයන් ගැන පැටලවීමක් සිදු වී ඇති බව  අපට පිළිගත නොහැකිය. 

නමුත් සෙනග දැකීම තුලින් අප විදග්ධයා ගේ අභිප්‍රාය එනම් ‘නියත ලෙස රාජපක්ෂලා නැවත බලයට පත් විය යුතුය’ යන්නට උත්ප්‍රේරකයක් ලැබී ඇති අතර එයින් ඇති වූ ආනන්දයෙන් මත්ව ඔහු මෙම සටහන තැබූ බව මෙයින් පෙනී යයි. මීට පෙරද අප විදග්ධයා විසින් ‘ගෝඨා බලයට පත් වී සිංහල-බෞද්ධ පාලනයක් එහි තාර්කික අවසානයක් කරා ගෙන යා යුතුය‘ යන වාසගම ලියා තිබුනේය. 

කාරණය පැහැදිලිය. ඔහුට රාජපක්ෂ පාලනයක් අවශ්‍යය. ඔහුට මහින්ද හෝ ගෝඨා මේ රටේ ජනාධිපති විය යුතුය. ගෙවා අවසන් කළ අනීතික, ජාතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, මානව විරෝධී පාලනයක් නැවත මේ රටේ ස්ථාපිත විය යුතුය. එම රජය මගින් සුළුතරයේ අයිතීන් අහිමි කරමින් බහුතරය වරප්‍රසාද සහිතව පාලනයක් ගෙන ගිය යුතුය. සිංහල බෞද්ධ නාමයෙන් ලෝකයෙන් වෙන් වූ මූලධාර්මික අන්තවාදී රජයක් බිහි විය යුතුය. අවසන් කළ දශකයේ වාගේ හමුදා වන්දනාව නැවත ස්ථාපිත විය යුතුය. විශේෂ වරප්‍රසාදිත කොටසක් ලෙස හමුදාවට සැලකිය යුතුය. වැඩ වර්ජන, උද්ඝෝෂණ වලට රතු පස් වල ප්‍රතිකාරය දිය යුතුය. තොරතුරු දැන ගැනීම, මාධ්‍ය නිදහස අවසන් කළ යුතුය. සිවිල් තනතුරු වලට සහ රාජතාන්ත්‍රික තනතුරු හමුදා වේ වුන්ට වෙන් කළ යුතුය. විදුහල්පති වරුන්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට හමුදා නිළ නාමයන් සහ නිළ ඇඳුම් දිය යුතුය. නායකත්ව පුහුණු විශ්ව විද්‍යාල වලට පමණක් නොව සියළු ආයතන වලට දිය යුතුය. අයිසින් තවරා, විකාර න්‍යායයන් පටලවා යටපත් කරන්න හැදුවත් නිර්මාල් රංජිත් පෙනී සිටින නෛසර්ගික ‘පරමාදර්ශී රාජ්‍යය‘ මෙවැනි එකකි. පණ්ඩිත වචන සෙට් එක හැරුණු කොට නිර්මාල්ද ඥානසාර, විමල්, රාවණා බලය වැනි අන්තවාදීන් ගෙන් වෙනස් වන්නේ නැත. 

දෘඪ ට්‍රොට්ස්කිවාදී ඉතිහාසයක් තිබූ නලීන් ද සිල්වා පසුකාලීනව අන්ත ජාතිවාදියෙකු වූ ආකාරය අපි අත්දැක ඇත්තෙමු. නිර්මාල්ද එළි පෙහෙලි කරමින් සිටින්නේ නලින් ද සිල්වා ගිය මාර්ගයම බව අපට දැන්නම් සැකයක් නැත. හෙට අනිද්දාට ඔහු ගෝඨා රජ කිරීමට ගොඩ නගා ඇති ‘විපත් මග‘ සංවිධානයේ ප්‍රධාන න්‍යායාචාරියා නොවුනහොත් පමණක් පුදුම විය යුතුය.

-විසල් කරුණාරත්න විසිනි- 

---------------------------
by     (2017-05-04 19:11:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links