~

කවියක් කළ මාරුවක් ද? අමාරුවට ගෙතූ කතාවක්ද ?

(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.15, පෙ.ව‍‍‍‍.11.25) තම මුහුණු පොතට ලියූ කවියක් නිසා කුලියාපිටිය මැදි මහ විදුහලේ තරුණ ගුරුවරයෙකු විදුහල් පතිවරයා විසින් මාරු කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් කළ ප්‍රකාශයකට ජාතික පුවත්පත් කීපයකම ලොකු ඉඩක් ලබා දී තිබුනි. එම පුවත මුහුණු පොතේ පළ වූයේ අදාල කව් පෙළද සමගය. මා කවි පෙළක් බව සඳහන් කරන්නේ වෙන්වෙන්ව ඇති කවි හය හතක්ම එහි තිබූ බැවිනි. එහෙත් මුල් ගුරුතුමා කෝප කිරීමට තරම්  හේතු වූ කවිය කුමක් දැයි එම පැදි පෙළෙන් මට සොයා ගැනීම අපහසු විය. කෙසේ වෙතත් ජෝෂප් ස්ටාලින් මහතාට ද බොරුවක් කීමට අවශ්‍යතාවයක් නැතැයි උපකල්පනය කරමු. ඔහු අසාධාරණයට ලක්වෙන ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති නායකයෙකි. 

එසේනම් කවිකාර තරුණ ගුරුවරුයා මාරු කිරීමට තරම්  මුල් ගුරු තුමාට දරුණු සිතක් පහළ වූයේ ඇයි. ඒ අනුව මගේ විමර්ශණයට ලක් වූ කරුණු කාරණා මෙසේය.

හෙල කවි සම්ප්‍රදාය තුල වස් කවි යනුවෙන් හැඳින්වෙන කාව්‍ය කරණයක් ද තිබේ. වස් කවි කියන්නේ අනෙකෙකුට හදි කරන්නටය. ආර්ය මහා සංඝරත්නයෙන් පැවත එන බැදිගම සුභූති හිමියෝ වස්කවි කීමෙහි රුසියෙකි. තම කුඹුරෙහි ගොයම් කෑමට පුරුදු ව සිටි ගෝනෙකු ට අවසන් ගමන් යාමට සිදු වූයේ උන් වහන්සේ කී මේ වස් කවිය නිසාය.

“එන කොට හම්බාව වගේ
යනකොට ගෝනියක් වගේ 
කෑවට ඌ ගොයම් මගේ 
හතරට බඩ පැළයි උගේ“ 

ප්‍රාර්ථනාව පරිද්දෙන් ම වැඩේ සිද්ද විය.

සමහර වස් කවි තමන්ටම පළදෙයි. ඊට අදාල ඝණ, තිති, මාත්‍රා, මුහුර්ථ, අක්ෂර ආදී වස් කවි නීති රීති නිවැරදි නොවූ කල්හී කවිය ලියූ තැනැත්තා වෙතම එහි අනිටු පළ විපාක ආපසු එන්නේය. ගුත්තිල කාව්‍යය රචනා කළ  වෑත්තෑවේ  හිමියන්ට රට හැර යාමට පවා සිදු වූයේ “සිය පින් සිරින් සරු, දෙතිස් ළකුණින් විසිතුරු“,  යනුවෙන් ගුත්තිලය වායු ඝණයෙන් පටන් ගත් නිසාය. වායු ඝණය කවියට නරකය.

ද්විපද බන්ධනයද වස් කවියට අදාල තවත් නීතියකි. එක්තරා පන්සලක  දායක සභාවේ සභාපති තුමා එම පන්සලේ ඇති බෝධියේ මුලක් පොරවකින් කපා දැමුවේ එය යන එන අයට හිරිහැරක්  වූ නිසාය. මේ මහා පාප කර්මය දුටු විහාර වාසි නාහිමියෝ කෝපයට පත්ව මෙසේ ද්විපද බන්ධන වස් කවියක් කීහ.

“බෝ මුල ඇදී ආවේ මිදුලෙන් උඩට
මූ බොල ඒක කැපුවේ තක්කඩි කමට“

(බෝ මුල පද  පෙරළිය මූ බොල) 

කවිය කියා අවසන් වෙත්ම සභාපති තුමා සිහිසුන්ව කැපූ බෝ මුල මතම ඇද වැටුනේය. නා හිමියෝ පිරිත් පැන් ටිකක් ඉස සභාපති තුමාගේ සිහි එළවූවා  පමණක් නොව දායක සභාවෙන්  ද එළවා දැමීය. මා මේ අකාරයට විශ්ලේෂණයක යෙදුනේ තරුණ ගුරුතුමාගේ කවෙහි ඔහු නොදනුවත්වම කිසියම් දොසක්වත් පිහිටියාදැයි  සැකහැර දැන ගැනීමටය. මන්ද නොදනුවත්ම සිදුවෙන එවැනි වැරැදි වලින් තමන්ටම වරදින නිසාය.

එහෙත් එවන් කිසිම දොසක් මේ තරුණ ගුරුතුමාගේ  එකම පදයකවත් දකින්නට නොලබුනි. ‍අනෙක් අතට චන්දස් අලංකාර කිසිවක් නැති නිසඳැසැක මොන වස් දොස්ද? දිගෙන් දිගටම මේ පිළිබඳව සොයා බැලූ මට අවසානයේ දී මුල් ගුරු තුමා විසින් තරුණ ගුරුතුමා මාරු කිරීමට බල පෑ හේතුව අනාවරණය කරගැනීමට හැකිවිය.

ඇත්තටම  මුල් ගුරු තුමාගේ කෝපයට හේතු වී ඇත්තේ මේ නිසඳැස් පැළැල්ලේ එකම කවියක්වත් නොවේ. මුල් ගුරුතුමා ලබා දෙන කාල සටහන් අනුව මේ තරුණයා වැඩ නොකිරීම ය. කිහිප වතාවක් අවවාද කිරීමෙන් පළක් නොවූ තැන මුල් ගුරුතුමා ඉහළ බලධාරීන්ට ඒ ගැන කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු තරුණයා මාරු කර තිබිණ.

ආර් ජී ධර්මදාස

---------------------------
by     (2017-06-16 23:24:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links