~

මොණර කොළ වලට ඝණ ගෙඩි කෙළ ගනිද්දී ඉපැරණි දඹුලු උරුමයට අබ සරණයි.! සාක්කි සහිත හෙළිදරව්ව..!!

බහිරවයා ලියයි

(ලංකා ඊ නිව්ස් -2017.ජූලි.03, ප.ව.11.30) ලෝක උරුමයක් ලෙසින් පූජිත රංගිරි දඹුලු රජමහා විහාරයේ පුරාවස්තු සංරක්ෂණය කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විහාර පාර්ශවය අතර  මතුවී ඇති ගැටලුව ගැන ලංකා ඊ-නිව්ස් කල දීර්ඝ විමර්ෂණයකින් මෙතෙක් රටට රහසක්ව තිබු රංගිරි දඹුලු විහාර පාර්ශවය සම්බන්ධව රස රහස් රැසක් හෙළිවේ. මාධ්‍ය පසුගිය සතිය පුරා තළු මරමින් ප්‍රදර්ශනය කල නාටකයට පසුබිම් වූ කාරණාව වර්තමාන විහාරාධිපති සහ පෙර වැඩ වැසූ විහාරාධිපති අතර විහාරයේ අදායම් බෙදාගැනීම මුලික කරගත් ගැටුමක් බවට කරුණු හෙළිවේ. වර්තමාන විහාරාධිපති ගොඩගම ශ්‍රී මංගල හිමියන් 2016 වසරේදී රංගිරි  දඹුලු විහාරයේ විහාරාධිපති තනතුරට පත්වීමෙන් පසුව 1996 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා එම විහාරයේ භාරකාරීත්වය දැරූ ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් එම විහාරයට පැමිණෙන සංචාරකයන් වෙත ඇතුළුවීමේ ටිකට් පත් අලෙවිකර එකතුකරගත් රුපියල් කෝටි 730-1095 අතර මුදලක් ගසා කා ඇතැයි කියමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට 21/02/2017 දින ලිඛිතව ඉල්ලීමක් කර ඇත. මේ ඉල්ලීමට මුලික වූ නිමිත්ත වන්නේ ඇති පුජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහනායක ස්වාමින්වහන්සේ 2016 වසරේදී අපවත් වීමෙන් පසු විහාරාධිපති තනතුරට පත්වූ ගොඩගම ශ්‍රී මංගල හිමිට එවකට භාරකාර ධූරය හෙබවූ රංගිරි දඹුලු පාර්ශව මහනායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල විසින් දැක්වූ කුඩම්මාගේ සැලකිල්ලයි. ඉනාමළුවේ හිමිගේ අති’රමණීය’ පැටිකිරිය මීට කලින් ලිපියකින්ද අප විසින් හෙළි කර ඇති අතර මංගල හිමියන් ඇමැතිට යැවූ ලිපිය මෙහි පහත දැක්වේ 

මංගල හිමි වමාරා කයි

ඉනාමළුවේ හිමි ගෙන් පලිගැනීමට අමාත්‍යවරයා හමුවේ සියලු ආදායම් පිළිබඳව ලිඛිතවම වමාරා ඇති මංගල හිමි ඉන් නොනැවතී ඒ ගැන පරීක්ෂණයක්ද සිදුකරන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. නමුත් අද මාධ්‍ය පාළුගෙවල් වල වලං බිඳින මංගල හිමි ඒ බව අමතක කර ඇත. පසුව ඉනාමළුවේ හිමි  භාරකාර ධුරයෙන් 2016-06-25 දින ඉවත්වූ පසු අඹගස්වැවේ රාහුල හිමි 2016-06-26 වන දින එම ධුරයට පත්වන අතර පසුව මංගල හිමියන්ටද අච්චුගැසූ මොනරුන්ගේ සුවඳ දැනීමට පටන් ගත්තේ ය. ඒ මොනරුන්ගේ සුවඳ නිසා අද “මුසාවාදා වේර මනී” සිල් පදය  කියන හැම විටම money සමග අකිල විරාජ්ගේ මුහුණ ඇස් ඉදිරිපිට මැවී පෙනීමට පටන්ගෙන ඇත. 

27.02.2017 දින ලංකාදීප පුවත් පතේ රංගිරි දඹුලු විහාරයේ මුදල් අවභාවිතාවක් සම්බන්ධව පලව තිබූ වාර්තාවක් සම්බන්ධව අමාත්‍යංශ ලේකම්වරයා විහාර දේපල සහ අදායම් පිළිබඳ සොයාබැලීමට ව්‍යවස්‌ථාපිත බලය ඇති බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගෙන් කරුණු විමසීමක් සිදුකර ඇති අතර එයට පිළිතුරු ලෙස ඔහු විසින් 02-03-2017 දින අරුම පුදුම පන්නයේ වාර්තාවක් සපයා ඇත. එම වාර්තාව සපයා ඇත්තේ විහාර පාර්ශවය මගින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට සපයන අදායම් පිළිබඳ දත්ත ඇසුරින් වන අතර බැලූ බැල්මටම විසුළු සහගත එම දත්ත පිළිබඳව කිසිදු විධිමත් විමර්ශනයක් කර නොමැත. එම වාර්තාවට අනුව විදේශිකයන්ට ඇතුළුවීමේ පත්‍ර අලෙවි කිරීමෙන් ලද අදායම් ශීර්ෂය යටතේ 2015 වසර සඳහා සටහන්ව ඇත්තේ රු.2,971,000.00 පමණි. විදේශිකයන්ට පමණක් අලෙවි කරන එම ටිකට් පතක් වෙනුවෙන් රු.1500 මුදලක් අයකරන අතර ඒ අනුව සමස්ථ වසර තුල පැමිණ ඇති සංචාරකයින් ගණන  1981 කි. එනම් දිනකට අසන්න වශයෙන් 6 දෙනෙකි. දඹුල්ල විහාරය විවෘතව තබන ඕනෑම දවසක අවමය 2500-3000 අතර විදේශිකයන් එහි පැමිණෙන අතර විදේශකයන් පැමිණීම වැඩි කාලවලදී එය පහසුවෙන් 4000-5000 පමණ අගයක් ගන්නා බව විහාරයේ ටිකට් පත් අලෙවි කරන කවුන්ටරයේ සිට පියගැටපෙළ මැද සිට විදේශිකයන්ට කලිසම් ටී-ෂර්ට් අලෙවි කිරීමෙන් විශාල අදායමක් ලබන  වෙළඳ මහත්මයෙකු අප සමග පැවසීය. (බෞද්ධ කොමසාරිස්ගේ අරුම පුදුම වාර්තාවද පහත දැක්වේ)

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දූෂණයට දුන් අනුබලය.

දඹුලු විහාර පාර්ශවය ලබාදුන් අදායම් වාර්තා පිළිබඳව හරි හැටි සොයා නොබැලීම මගින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කර ඇත්තේ ඇති විශාල වරදකි. නමුත් හැබෑවට සිදුවී ඇත්තේ බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ ඉහල සිට පහලටම ඉනාමළුවේ හිමිගේ ඔඩොක්කුවේ හිඳිමින් දෙන දෙයක් කා වෙනදෙයක් බලාගෙන සිටින නිලධාරී පැලැන්තියක් බිහිවී තිබීමය. එම වාර්තාව පිළිබඳව කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඇති අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍යංශය විහාර පාර්ශවය මගින් ලබාදී ඇති අදායම් සම්බන්ධ ගිණුම් වාර්තාවල සංචාරකයින් වෙත ටිකට් පත් අලෙවිකිරීමෙන් ලද අදායම් කොටසේ විශාල පරස්පරතා නිරීක්ෂණය වී ඇත. ඒ අනුව අධ්‍යාපන අමත්‍යංශ ලේකම්වරයා  විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙත මෙම මුදල් අක්‍රමිකතාවය ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වා යවා ඇත. ඊට සමගාමීව මේ කරුණ පිළිබඳව විශේෂ පොලිස් විමර්ශනයක්ද ඉල්ලා සිටීමටත් අමාත්‍යංශ බලධාරීන්ගේ  අවධානය යොමුව ඇති බවද අමාත්‍යංශ අභ්‍යන්තර තොරතුරු මගින් වාර්තා වේ.

පසුගිය පෙරවාරි මාසයේ අධ්‍යාපන අමාත්‍යවරයා දඹුල්ල විහාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී මෙම පුරා වස්තු වලට සිදුව ඇති හානිය සම්බන්ධව විහාර භාරකාර මංගල හිමි සමග සාකච්ඡා කෙළේය. එසේම මෙම කාරණාව සම්බන්ධව සියලු වගකිවයුතු  නිලධාරීන් සහ විහාර පාර්ශවය පෙබරවාරි මස 15 දා අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවී දීර්ඝ ලෙස සාකච්චා කළහ. එහිදී එළඹ ඇති වාචික එකඟතාවයට අනුව මධ්‍යම  සංස්කෘතික අරමුලද සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දඹුල්ල ලෙන් ගුහා වල සංරක්ෂණ කටයුතුද ආරම්භ කරන ලදී. එසේ සංරක්ෂණ කටයුතු සිදුකෙරිමින් පවතින අතරතුරදී රංගිරි දඹුලු විහාරයේ වර්තමාන විහාරාධිපති ස්වාමින්වහන්සේ සහ හිටපු විහාරාධිපති පුජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන් අතර ගැටුමට අධ්‍යාපන අමාත්‍යවරයාද සම්බන්ධ කරගැනීමට අමාත්‍යවරයාගෙන් අනුබලයක් නොලද නිසා විහාර පාර්ශවය විසින් නිර්දය ලෙස අමාත්‍යවරයාට බැට දීමට පටන් ගත්තේය. ඉනාමළුවේ හිමිට එරෙහිව විහාර අදායම් පිළිබඳ සියලු තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශය වෙත මංගල හිමි නොසඟවා ලබාදෙන්නේ ඒ අරමුණිනි. කෙසේ නමුත් අවසානයේදී නොසිතු විරු ලෙස කෑදර සඟ ඝණ කා ගනිද්දී සත්‍ය ලෝකයට නිරාවරණය වී  ඇත.

රංගිරි දඹුලු ලෝක උරුම ස්ථානය.

රංගිරි දඹුලු ලෙන් විහාර 1991 වසරේදී ලෝක උරුමයක් ලෙස නම්කරන ලදී. යම්කිසි ස්ථානයක් ලෝක උරුමයක් ලෙස නම් කිරීමට නම් යෝජිත ස්ථානය පිහිටි රටේ රජය විසින් ඉල්ලීමක් යොමු කළ යුතුය. ලංකාවේ රජයෙන් කල ඉල්ලීමකට අනුව යුනෙස්කෝ ආයතනය රංගිරි දඹුලු ලෙන් විහාර ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කරන ලදී. එසේ ලැයිස්තුගත කිරීමෙන් පසු ලැබෙන ප්‍රතිලාභ මෙන්ම පිළිපැදිය යුතු මර්ගොපදේශනයක්ද අදාල රජයන් වෙත ලබාදේ. 1996 දි මධ්‍යම සංස්කෘතික අරමුදල රංගිරි දඹුලු ලෙන් විහාර වල පුරාවස්තු කළමනාකරණයෙන් ඉවත්වූ සමයේ සිට එම පුරාවස්තු වලට හානි සිදුකිරීම සම්බන්ධව විවිධාකාරවූ චෝදනා විහාර පාර්ශවය වෙත ඍජුවම එල්ල වී ඇත. බුදු පිළිම වලට රන් අලේප කිරීමට තැත් කිරීම, පෞරාණික බුදුපිළිම කිරි වතුරින් නෑවීම ඒ අතර මුලික වේ. අද එම පුරාවස්තු සහ ලෙන් චිත්‍ර විනාස මුඛයට පාත්‍රවී ඇත. (පහත සේයාරූ බලන්න) විවිධ වකවානු වල පුරාවිද්‍යාඥයන් විසින් මේ පිළිබඳව සිය විවේචන විහාර පාර්ශවය වෙත එල්ල කර ඇත. මේම කරුණ සම්බන්ධව ICOMOS (International Council on Monuments and Sites) ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් 2015 මාර්තු 11-15 අතර කාලය තුල සිදුකල අධ්‍යයනයක් ඇසුරෙන් වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරන ලදී. එම නිර්දේශ වන්නේ, 

⦁ දේශීය සහ විදේශීය පුරාවස්තු සංරක්ෂණ විශේෂඥයන්ගේ උපකාර ලබාගනිමින් මෙම ලෙන් විහාර වල පුරාවස්තු සහ චිත්‍ර සංරක්ෂණය කිරීමට කටයුතු කිරීම.
⦁ ශ්‍රී ලංකා රජය  සහ රංගිරි දඹුලු විහාර පාර්ශවය අතර මෙම ලෙන් විහාර සම්බන්ධව අධිකාරිය ඇතුලත් කළමනාකරණ සැකැස්මක් සකස් කිරීම. 
⦁ මෙම ලෝක උරුම ස්ථානය කළමනාකරණය කිරීම සදහා විද්වත් කමිටුවක් පත් කිරීම 
⦁ සංචාරකයින් කළමනාකරණයට සැකැස්මක් සැකසීම.
⦁ සංචාරකයින්ට එම ස්ථානය නැරඹීමේදී අනුගමනය කල යුතු ක්‍රියාපටිපාටියක් හඳුන්වා දීම.
⦁ දඹුල්ල නැරඹීමට පැමිණෙන්නන් එම චිත්‍ර සහ පුරාවස්තු වලට හානිකර වූ ද්‍රව්‍ය රැගෙන පැමිනේනේදැයි සොයාබැලීමට ස්ථානීය ආරක්ෂාව තර කිරීම. 

මෙම නිර්දේශ පිළිබඳව සිතා බැලීමේදී ඒවා ඉතාම ප්‍රයෝගික සහ අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු ඒවා බව කුහකයෙකු නොවන ඕනෑම අයෙකුට පැහැදිලිවනවා ඇත. තවද මෙම කාරණාව සම්බන්ධව 2016 වසරේදී ලෝක උරුම කමිටුවේ 40 වන සැසිවාරයේදීද මාතෘකාවට බඳුන්ව ඇත. කෙසේ නමුත් අවාසනාවකට මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විහාර පාර්ශවයෙන් කිසිදු අනුබලයක් නොදැක්වූ අතර ඒ අනුව 2015  වසර වනවිට රංගිරි දඹුලු ලෙන් විහාර ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්ව යාමේ අවදානමක් මතුවිය. මේ ගැන වහා ක්‍රියාත්මක වූ ඇමැති අකිල විරාජ් ගේ සම්බන්ධීකරණයෙන් එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එරීණා බෝකොවා මැතිනිය රංගිරි දඹුලු රජමහා විහාරයේ සංචාරයක් සඳහා පැමිණ ඇති අතර ලෙන්ගුහා සංකීර්ණය ඇගේ නිරීක්ෂණය ලක් වූවාය. එම සංචාරයෙන් පසුව දඹුලු ලෙන් විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවදානම ඉවත් කර ගැනීමට හැකි වූ නමුත් 2018 වසරේ යුනෙස්කෝ මහා සමුළුවේදී එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදීමට අප රටට නියමිතව ඇත . ලෝක උරුමයක් ලෙස යම්කිසි ස්ථානයක් නම් කල විට විදේශික සංචරයකයන්ගේ අවධානය එම ස්ථානය වෙත යොමුවනවාට අමතරව එය එම ලෝක උරුම ස්ථානය පිහිටි රටට විශාල ගෞරවයක් ලෝක ප්‍රජාව හමුවේ හිමිවේ.

සංරක්ෂණ කටයුතු වල පිරිවැය සපයා ගන්නා ස්වයං මුල්‍යයන ක්‍රමවේදය

රංගිරි දඹුලු ලෙන් විහාර සම්බන්ධව නීතිමය අධිකාරියත්, යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශ මනා  ලෙස කළමනාකරණය කරගැනීමට සමත්වී ඇති අමාත්‍යාංශය දඹුලු ලෙන් චිත්‍ර සහ පුරාවස්තු සංරක්ෂණ කටයුතු සිදුකරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලටත් උපදෙස් දී ඇති අතර මහාචාර්ය වර්නර් ස්මිත් වැනි චිත්‍ර සංරක්ෂණය පිළිබඳ ලෝක ප්‍රසිද්ධ විශේෂඥන් ලංකාවට ගෙන්වා ඉදිරි සංරක්ෂණ කටයුතු වෙනුවෙන්  නිර්දේශද මේවන විට ලබාගෙන ඇත. දඹුලු ලෙන් සංරක්ෂණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදු කරන අතරම දඹුල්ල විහාරයට පැමිණෙන සංචාරකයන්ට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ටිකට් පතක් නිකුත් කිරීමට ඇති නීතිමය අවකාශය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිර්දේශයක්ද  ලබාගෙන ඇත. එම නිර්දේශ ප්‍රකාරව මධ්‍යම සංස්කෘතික අරමුදලට ටිකට් පතක් අලෙවි කිරීමට නීතිමය අවකාශ ඇති බවට සහතික කර ඇත. මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොගෙන එම විහාරය නැරඹීමට එන විදේශිකයින්ට ටිකට් පත් නිකුත් කර ලබාගන්නා අරමුදල් මගින් එම සංරක්ෂණ කටයුතු වල පිරිවැය සපයා ගන්නා ස්වයං මුල්‍යයන ක්‍රමවේදයක් අකිල ඇමතිවරයා යෝජනා කිරීම ගැන කව්රු නැතත් බදු ගෙවන ජනතාව සතුටු වන්නේ ය. දායකයන් මතම  යැපෙන ජිවිතයක් ගෙවන සංඝයා වන්සේට බදු බර වැඩිවීමේ වේදනාව කෙසේවත් දැනෙන්නේ නැති  අතර එය බත් පතින් බඩපතටම දැනෙන්නේ සීනි, පරිප්පු ටිකෙන් පවා මහා බදු ප්‍රමාණයක් රජයට ගෙවන අහිංසක ජනතාවටය. 

දඹුළු විහාරයෙන් පුරා විද්‍යා නිලධාරීන් එළවයි: පුරා විද්‍යාව පොලිසි යයි

මෙවැනි වාතාවරණයක් තුල දිගින් දිගටම අමාත්‍යවරයා වෙත මාධ්‍ය හරහා නිර්දය ලෙස පහර එල්ල කරන වත්මන් දඹුලු විහාර පාර්ශ්වය පසුගිය 21 වනදා දඹුල්ල ලෙන් විහාර සංරක්ෂණ නිලධාරීන්ට තම රාජකාරි වලින් ඉවත්වන ලෙස නියෝග කළේය. ඒ අනුව පුරාවිද්‍යා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ජුනි 24 වනදා දඹුල්ල පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන අතර ඊට පහුවෙනිදාම(25) වනදා එම පැමිණිලි පොලිසියේදී විභාගකර ඇත. එම විභාගය අතර තුර පොලිසිය විසින් මතුව ඇති නීතිමය තත්වය සහ පුරා විද්‍යා පනතේ ඇති බරපතල කම ගැන පහදා දුන් පසු පරල වී ඇති විහාර පාර්ශවය එසැනින්ම පැමිණිලිකාර සංරක්ෂණ නිලධාරීන්ට තම රාජකාරි ඉටුකිරීමට බාධාවක් නොකරන බවට පොලිසියේදී එකඟ වී ඇත. එසේ එළඹී එකඟතාව අනුව නැවත 27 වනදා සිට සංරක්ෂණ නිලධාරීන් තම රාජකාරිවල නිරත වී ඇති නමුත් එදිනම (27) මාධ්‍ය හරහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ට එල්ල කල චෝදනා නිසා පුරාවිද්‍යා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින් දින නියමයක් නොමැතිව සේවයෙන් ඉවත්වී ඇත. කැමරාවක් දුටු තැන මුසවේදයේ ශික්ෂාව නැතිකරගන්නා ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල හිමි පුරා විද්‍යා නිලධාරීන් පන්සලේ පිං කැට කඩා ගත්තා යැයි කරන ලද චෝදනාව මෙම නිලධාරීන් සේවයෙන් ඉවත් වීමට ආසන්නම හේතුව බවට අපට තොරතුරු හෙලිවී ඇත. මේ නිසා රංගිරි දඹුලු විහාරයේ මිල කල නොහැකි වටිනාකමකින් යුතු පුරාවස්තු සහ චිත්‍ර විනාශ වී යාමේ අවදානම ඉහළ ගොස් ඇත. මේ ගෙවෙන මොහොතේත් දඹුල්ල පුරාවස්තු සහ ලෙන් චිත්‍ර වලට නිසි අවධානය යොමු නොකිරීම නිසා විනාශ වී යමින් පවතී. (සේයාරූ බලන්න) එම විනාශයට නිසැක වැරදිකරුවා වන්නේ ගොඩගම ශ්‍රී මංගල හිමියන්ගේ ලෞකික සැපසම්පත් වලට ඇති ගිජුකම වන අතර එයට වන්දි ගෙවනුයේ ඔබෙත් මගෙත් දුවා දරුවන්ට දායාද කල යුතු අපේ මිලකළ නොහැකි උරුමයයි. අපේ උරුමය ගැන සැබෑ කැක්කුමක් ඇත්නම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලට  රංගිරි දඹුලු ලෙන් විහාර වල පෞරාණික පිළිම වහන්සේ සහ ලෙන් චිත්‍ර සංරක්ෂණය කිරීමට අවකාශ ලබා දෙන ලෙස ව්‍යවස්ථාපිතව බලය පැවරී ඇති භාරකාර අඹගස්වැවේ රාහුල හිමියන්ට 0713395911 දුරකථන අංකය ඔස්සේ අමතා ඉල්ලීමක් කළ හැක.

පුරාවිද්‍යා ස්ථානයකින් ඇතුලුවීමේ ගාස්තුවක් අයකිරීම සම්බන්ධ නීතිමය තත්වය.

ශ්‍රී ලංකාව තුළ ලක්ෂ දෙක හමාරක පමණ පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාවක් පිහිටා ඇතැයි ගණන් බලා තිබේ. මෙවැනි ස්ථාන විශාල සංඛ්‍යාවක් රජයෙන් ලබා දෙන ප්‍රතිපාදන මඟින් ආරක්ෂා කිරීම ප්‍රායෝගිකව අසීරු කරුණකි. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වනුයේ සංරක්ෂණ සහ නඩත්තු කාර්යයන් ගිලිහී යාම මත එම ස්මාරක විනාශයට පත්වීමයි. 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පනතේ 6 (ඉ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව සංස්කෘතික ත්‍රිකෝණය තුළට වැටෙන පුරාවිද්‍යා ස්ථානවලින් සහ 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනත මඟින් සංශෝධිත 43(1) (ඇ)වන වගන්තිය යටතේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවරනු ලබන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ස්ථානවලින් ඇතුල්විමේ ගාස්තු අය කරනු ලබන අතර, එහි අදායම් ලෝක උරුමයන් ඇතුළු අනෙකුත් ප්‍රමුඛතාව දැක්විය යුතු සියළු ආගම්වලට අයත් පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක සංරක්ෂණය කිරීමට යොදවනු ලැබේ. 

1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනත හා එහි සංශෝධන අනුව දිවයිනේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ වගකීම පැවරී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ය. දිවයිනේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන පැරණි ස්මාරක, ආරක්ෂිත ස්මාරක සහ වෙන් කළ පුරාවිද්‍යා ප්‍රදේශ ලෙස පුරාවස්තු අඥා පනත මඟින් වෙන් කොට හඳුන්වා දී ඇත. දඹුල්ල විහාරය 1957 දී සහ ලෙන් විහාර 1976 දී ආරක්‍ෂිත ස්මාරක ලෙස නම් කර ගැසට් කර ඇති අතර පුරාවස්තු ආඥා පනතේ 23.1 වගන්තියට අනුව පුද්ගල සන්තක ස්මාරක ප්‍රතිසංස්කරණය කිරීම, අළුත්වැඩියා කිරීම යන ආදිය සඳහා බලය පැවරී ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හට ය.  තව ද 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනත මඟින් සංශෝධිත 40(ඊ) වන වගන්තියටඅනුව අවශ්‍ය යැයි අදහස් කරන්නේ නම් “විශේෂිත ස්ථාන හෝ ආගන්තුක මධ්‍යස්ථාන” වලින් ඇතුල්වී‍මේ ගාස්තුවක් අය කළ හැකි ය. (to levy an entrance fee where it is considered necessary at selected sites or visitor centres). 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනත මඟින් සංශෝධිත 40(ඊ) වන වගන්තිය මඟින් සැලසී ඇති ප්‍රතිපාදන තුළින් සංචාරකයන්ගෙන් ආරක්ෂිත ස්මාරක සඳහා ද ඇතුල්වීමේ ගාස්තු අය කළ හැක්කේ නම් රජයට බරක් නො වී එම ස්ථාන පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන දෙපාර්තමේන්තුවට උපයා ගත හැකි වන්නේ ය. 

මරා මුට්ටිය බිඳ ගනී.

බුද්ධශාසන අමාත්‍ය ඩීල් දාසට ඇත්තේ යහපාලන ආණ්ඩුවේ කකුලෙන් ඇද එය දුර්වල කර රාජපක්ෂලා සමග එකතු වී ඊලඟ අගමැති හෝ ජනාධිපති වීමේ සිහිනයකි. නීතිය පිළිබඳ ආචාර්ය උපාධි දෙකක්ම ලබා ඇතැයි කියන ඩීල් දාසට  විහාර දේවාල ගම් පනත සහ පුරාවිද්‍යා පනත ගැන අමුතුවෙන් කියා දිය යුතු නැත. එම පනත් දෙකේ ඇත්තම වෙනස නොදන්නේනම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන්වත් අසා දැන ගන්නැයි කියමු.  කන්දේ විහාරයේ පිං කැට 37 ක්  ඩීල්දාස යටතේ සිටින බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් අද (03) විගණනය සදහා යැයි පවසමින් සීල් තබා තිබේ. එසේ කළේ කවර බලයකටදැයි සිතා බැලුවොත් පසුගිය දිනක “ පිං කැට වලට ඇත තියන්න දෙන්නේ නැහැයි” කියා ආචාරියා පැවසුවේ අහිංසක උපාසක උපාසිකාවන් ඉදිරිපිට කාඩ් බෝඩ් වීරයෙකු වීමට බව සක්සුදක් සේ පැහැදිලි වේ. නැතහොත් තමන්ගේම අමාත්‍යංශය යටතේ ඇති  කොමසාරිස් ඩීල් දාසගේ සුදු පිරුවටය ගලවා දමමින් ඔහුව නග්න කර ඇත. ඩීල් සල්ලි මත යැපෙමින් රට ගිනි තබන ප්‍රතිපත්තියක් නැති ඩීල් දාස වැනි ඉහඳ පනුවන් හරි හැටි හදුනා නොගත හොත් යහපාලන ආණ්ඩුවට අබ සරණය!

ඩීල් දාසගේ කතාවට හූ මිටි තැබීමට ගොස් ඇති මහින්ද රාජපක්ෂද ඉල්ලන් මුට්ටිය බිඳගෙන ඇත. විහාර දේවාල ගම් පණත වෙනස් කරමින් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරයට ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ පත්කළ මරා පිං කැට ගැන කතා කිරීම ගණිකාවන්ගේ පතිවත ගැන කතා කිරීම හා  සමාන වේ. මීතොටමුල්ලෙන් පටන්ගෙන අති සාර්ථක ලෙස සයිතම් ගැටලුව හරහා උමා ඔය ව්‍යාපෘතියෙන් මෙන්ම දඹුල්ල විහාරයේ සිදුවීම හරහා මහරජානන් තදකර අල්ලන් හිටි සරොන් කෙටියද මේවන විට කණු පල්ලට ගසාගෙන ගොස් ඇත. පසුගිය දිනක මහින්ද රාජපක්ෂගේ ශ්‍රී මුඛයෙන් “අපි පන්සල් එක්ක දේශපාලනය කලේ නෑ හාමුදුරුවනේ“ කියනවා ඇසිණ. ආගමික වැඩසටහන් නාමෙන් දිනපතා රට වටේ පන්සල් වලට ගිය මහින්දගේ පස්සෙන් ගිය දේශපාලන උපාසිකාවන්ට චේතිය නිරිඳුන් නැවත ජීවමානව දැකීමේ ප්‍රීතියෙන් දොහොත් මුදුන් දී සාදු කාර දෙනු ඇසේ.

පිං කැටේ

පිං කැට ගැන තප්පු ලෑ අය අතර සුවිශේෂී චරිතයක් වන්නේ නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිලයි. රුපියල් 100 බැගින් මැතිවරණ සමයේ අහිංසක උපාසිකාවන්ගෙන් පිනට කෑ ගම්මන්පිලට විදේශිකයින්ගෙන් මුදල් ගැනීම ගැන ඇත්තේ පැහැදිලි බයකි. එය අප තෙරුම් ගත යුතුය. විදේශිකයෙකු වන බ්‍රයන් ශැඩික් ගෙන් කැටය හොඳ හැටි පුරවාගත් ගම්මන්පිල නැවත විදේශිකයන් සමග කෙරෙන ගනුදෙනු දිහා භය බීරාන්තව බැලීම ගැන අප පුදුම විය යුතු නැත. නීතිඥයෙකු ලෙස විහාර දේවාල ගම් පණතත් , පුරාවිද්‍යා පණතත් ගැන නොදන්නවා සේ රඟමින් අහිංසක උපාසිකාවන් නොමග යවමින් ලපටි දේශපාලන මඩ ගොහොරුවක ඔහු එරී සිටී.

පන්සලට ආධාරයක් ලබාගැනීම, පන්සල් දේපලක් කුලියට දී ගෙවීමක් ලැබීමට විහාර දේවාල ගම පනත යටතේ අවකාශ තිබුනද, නම් කළ පුරා විද්‍යාත්මක ස්ථානක්  නැරඹීමට අවසර පත්‍රයක් විකිනීමට බලය ලබාදී ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට පමණි. ( පහත ඇති පණත් උදෘත බලන්න). එවැනි පුරා විද්‍යා සංවේදී ස්ථාන වල පිං කැට වලින් එන අදායම කිසිම විටෙක රජය වෙත බැර කිරීමක් සිදුවන්නේ නැත. පිං කැටය හෝ වෙනත් පුද්ගලික ආධාරයක් සහ පුරා විද්‍යාත්මක ස්ථානයකින් ටිකට් පතක් අලෙවි කිරීමෙන් උපයා ගන්නා මුදල එකක් නොව දෙකක් බව තේරුම් නොගෙන ලාබ ප්‍රචාරණය පසු පස ගිය ඒකාබද්ධ විපක්ෂයේ ඔස්තාර්ලා අද ගලේ පැහැරූ බළලුන් ගාණට වැටි ඇත. විමල් වීරවංසත් පිං කැට ගැන අදහස් ප්‍රකාශ කළද මෙවැනි නීතිමය තත්වයක් සමග ඈදුන කාරණාවක් ඔහුගේ නව වන ශ්‍රේණියේ බුද්ධියට ගෝචර නොවන නිසා අපි ඔහු ගැන එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නොවේ. 2006 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී මහල්ලා සහ මුහුද නවකතාව ඇසුරින් ගී ද මෝපසාන්ට්ව මරා පටන්ගත් විමල්ගේ බුද්ධි පරාසය විදහා දැක්වීම අංගුලි මාල බුදු හාමුදුරුවන්ට ගල් පෙරලීමේ වෘතාන්තයේ සිට ගණිතයට නව අර්ථකතනයක් දුන් දෙක දෙකෙන් බෙදුවිට බින්දුව වීම හරහා මුළු රටටම මොනවට විදහා පා ඇත. රට ජාතිය වෙනුවෙන් ඒ සා විශාල කැප කිරීමක් කර ඇති විමල්ට අපි පොඩි පිං කැට චූන් එකක් ගැනීමට අවස්ථාවක් දිය යුතුය.

ස්වාමින්වහන්ස මේ අහන්න.

චීවරයක් දරා සිටි පමණකින් යමෙකුට භික්ෂුවක් විය නොහැක. ඇවතුම් පැවතුම් තුළ බුද්ධ දර්ශනය අනුව ජීවත්වන බුද්ධ පුත්‍රයානන් වහන්සේට අප දෙවරක් නොසිතා දොහොත් මුදුනත් කොට නමස්කාර කරමු. අනෙකුත් සිල් බිඳගත් මුල් සිඳගත් සිවුරු දරන්නන් ශ්‍රමණ⁣ වෙස් දරන්නන් මිස සංඝරත්නය යන කුලකයට අයත් වන්නන් නොවේ. සසුන වනසමින් පැවිදි සුපිරි තරු වීමටත්, බණ ස්ටාර්, කවි බණ ස්ටාර් වීමට මාධ්‍ය නාලිකා ගානේ නිෂ්පාදකයන් පසු පස ⁣හිඟමනේ යන තැනට මේ පුද්ගලයන් දුක්ඛිත අඩියකට වැටී තිබේ. ඒ පන්සලේ මුදලාලිට වඩා හොඳ මුදලාලි ⁣කෙනෙකු වීමටත්, ඊට වඩා හොඳ වාහනයක නැඟී සංසාර ගමන සක්මන් කිරීමටත්, දේශපාලන නායකයින් ඇසුරු කරමින් තම බල පරාක්‍රමය විදහා පෙන්වීමටත්, අවසන ගමේ අහිංසක මිනිසුන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් උජෝ වඩවා ගොනාට ඇන්ද වීමටත් මේ ශ්‍රමණ⁣ වෙස් දරන්නෝ උත්සාහ ගනිති. මේ තිත්ත ඇත්ත බුද්ධශාසනයේ නාමයෙන් අප අවබෝධ කරගත යුතුමය. එදා මෙවැනි  ශ්‍රමණ⁣ වෙස් දරන්නන් ගැන අපේ සම්බුදු රජාණන් දේශනා කලේ,

“අනික්කසාවෝ කාසාවං යෝ වත්ථං පරිදහෙස්සති
අපේතෝ දමසච්චේන න සෝ කාසාවමරහති”

එනම්, යමෙක් කෙලෙස් බැහැර නොකොට, ඉඳුරන් දමනය නොකර, ඇත්ත කථාබහ නොකර කහවත දරයි නම් ඔහු කිසිවිටක කහවත දරා සිටිමට සුදුස්සෙක් නොවේ. 

අවසන මෙසේ ලියා තබමි. මේ බුදුන්ගේ පා පහසින් පූජනීයත්වයට පත් සර්වඥධාතුන් වහන්සේ වැඩි ප්‍රමාණයක් වැඩ වසන පිං බිමයි. මේ පුණ්‍ය භූමියෙහි කරක් ගහන සිවුරු කාර වසලයන්ට බුද්ධ දර්ශනය අනුව මෙලොවදීම මෙන්ම පරලොවදීද කර්මය බලපැවැත්වෙනු ඇත. මේ පින්බිමේත් බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය වෙනුවෙන් ධර්මය සුරකින ධර්මය අනුව හැසිරෙන මිනිසුන්ගෙන් ලේ උරා බොමින් මඩි තර කර ගන්නන් වෙනුවට චාම් බවත් අල්පේච්ඡ බවත් අපට ක්‍රියාවෙන්ම පෙන්වන් සුපේෂල ශික්ෂාකාමී පිංවත් සිල්වත් මහා සංඝරත්නය ගැන සම්බුදු රජාණන් වහන්සේ දේශනා කලේ මෙසේය,

“යෝ ච වන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ
උපේතෝ දමසච්චේන ස වේ කාසාවමරහති”

එනම් කෙලෙස් කහට බැහැර කල,  සිල් ගුණදම් වලින් යුතු, ඉඳුරන් දමනයෙන් කර ඇති, සමාධිගත සිතින් යුතුවු, ඇත්ත කතා කරන කෙනාට කහ වත දැරීමට සුදුසු වේ. එවැනි සාධු වරුන් මේ පිං බිමේ වැඩි වැඩියෙන් බිහිවේවා! සාදු සාදු සාදු.....! 

බහිරවයා ලියයි

---------------------------
by     (2017-07-03 18:21:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links