~

දඩ සිඟා යෑම වැනි දුස්සීල වැඩ කළ චීවරධාරීන්ට මහසෙන්, වළගම්බා ආදී ප්‍රබල නරපතියන් දඬුවම් දුන් හැටි - ථෙරවාදය ද? චෝරවාදය ද? (අංක 21)

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.19,  ප.ව‍.1.00) දේවානම් පියතිස්ස රජුන්  (ක්‍රි.පූ  307 /267)  දවස මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලංකාවට ථේර වාදී බුදු දහම හඳුන්වා දුන් බව  පිළිගත් මතයයි. බුදු රදුන් ඊට පෙර තුන් වරක්ම ලක් බිමට වැඩම කළ බවට ද අදහසක් පවතී.  කෙසේ වෙතත්  අප කථා කරන ඉතිහාසය පුරාවටම ජෛන සහ හින්දු  ආගම් ද මේ රටේ අඩු වැඩි වශයෙන් බලවත්ව පැවති බවට අතීතයෙන් සාධක හමුවේ.  

වසර හැත්තෑවක් රට පාළනය කළ පණ්ඩුකාභය රජතුමා නිඝංඨයන් තිදෙනෙකුට (ජෛන) ආරම තුනක් ඉදි කර දුන් බව මහා වංශය කියයි. වළගම්බා රජුට (89/76)  එරෙහිව කැරළි ගැසුවේ රුහුණේ සිටි තීය (තිස්ස) නම් බමුණෙකි. වළගම්බාවන්ට පෙර පුලහත්ථ, බාහිය, පනයමාර, පිළයමාර, දාඨිය , යන පස් මහ දෙමළුන් වසර 14 ක් එකිනෙකා මරා ගනිමින් රට කරවූහ. ඔවුන් හින්දූන්ය. “මහා කළු සිංහලයා පළා යනෝයි“ කියමින් ගිරි නැමති නිඝංඨයා ඔච්චම් කළේ  මේ  දෙමළ ආක්‍රමණිකයන් සමඟ පළමු වරට කළ සටනින් පැරද පළා යන වළගම්බාවන්ටම ය.  සූර තිස්ස රජුගේ අශ්වයින් රැක බලා ගැනීමට මලබාරයෙන් ගෙන්වා ගත් සේන, ගුත්තික යන දෙදෙනා එම රජු මරා  දෙවිසි වසක් රජකම් කළහ. වසර 44 ක් රජ කළ  එළාර  (ක්‍රි.පූ.205/161) හින්දු භක්තිකයෙකි. අතිශය දැහැමි රජෙකු හැටියට සැළකෙන වෝහාරික තිස්ස රජතුමා (ක්‍රි ව 215/ 235) කපිල නැමති ඇමතියා ලවා දුසිල් භික්ෂූන් පිරිසක කන්දකින් පහළට හෙලා මැරවූ බව ඉතිහාසය  කියයි. 

විජයගෙන් (ක්‍රි පූ 543) ආරම්භ වී ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් (ක්‍රි ව 1815 ) අවසන් වෙන  අපේ රජ පෙළපත තුල  අඛණ්ඩ සිංහල බෞද්ධ රාජ පරම්පරාවක්  සිට ඇතයි කිසිවෙකුටත් පැවසිය නොහැකිය. මේ දේශපාළන අලකලංචි පිටු පස ඒ ඒ ආගම්  විසින් කළ මෙහෙයුම් ද  ලොකු බරක් දරා ඇති බවට අතීත මූලාශ්‍ර පිරිසන්නෙකුට සොයා ගැනීම අපහසු නොවේ. ආගම සහ රාජ්‍යත්වය අතර ඉතා බරපතළ ඇලීම් සහ ගැටීම් ඇතිවන්නේ  මිහිඳු හිමියන් ලංකාවට බුදු සසුන හඳුන්වා දීමෙන් පසුවය .උන්වහන්සේ ඉතා සත්භාවයෙන් යුතුව සිදු කළ මහා උතුම් කාර්‍යයක්  අමු අමුවේ විනාශ කර දැමුවේ ථේර වාදය තුලට රිංගා ගත් චෝර වාදීන් නොහොත්  කාසාම්භර මුණ්ඩකයන්ය.  අදත් පවතින්නේ මෙම තත්ත්වයයි.

දෙවන පෑතිස් රජු බුදු දුහම වැළඳ ගැනීමෙන් පසුව රටේ කිසියම් සංස්කෘතික පරිවර්තනයක් සිදු වූවාසේම  භික්ෂූන් දේශපාළනයට කළ ඇඟිලි ගැසීම් වැඩිවිය. දුටු ගැමුණු රජුගේ (ක්‍රි පූ 161 /137)   සොහොයුරා  සද්ධාතිස්සය. ඔහුගෙන්  පසුව සිහසුනට  සුදුස්සා ලජ්ජි තිස්ස ය. එහෙත් භික්ෂූන් මැදිහත්වී තුල්ලථන කුමරූ සිංහාසනාරූඩ  කරවීය. හරියටම දින හතලිහකින් ලජ්ජි තිස්ස තුල්ලත්ථනට රජ කම පමණක් නොව ජීවිතය ද අහිමි කළේය. තමන්ට එරෙහි වූ සංඝයාට ද ලජ්ජි තිස්ස පාඩමක් ඉගැන් වීමට ද අමතක නොකළේය. දේශපාලනයට පමණක් නොව සමහර පැවිද්දෝ රාජ කුමාරිකාවන් කෙරෙහි පිළිබඳ සිත් ඇතිව අවලම් කම් කළ බවට ද ඉතිහාසය සාක්කි දරයි. දුටු ගැමුණුගේ මාමා වන කැළණි තිස්ස රජ තුමා  භික්ෂුවක් උණු තෙල් කටාරමක තෙම්පරාදු කළේ එවැනි වරදක් අතට හසු වීම නිසාය. කුමරියකට දීම සඳහා සිවුර අස්සේ සඟවා ගෙන  ආ  පෙම් හසුන බිමට වැටෙනු රජු දැක තිබේ. කරුණු විමසා දඬුවම් නියම කළේ ඉන් අනතුරුවය.  අද මෙන්ම එදත් සියළුම භික්ෂූන් සසර බිය දැක නිවන් අවබෝධය සඳහා මහණ වූවෝ නොවෙති. බහුතරයක් අලජ්ජීන්මය. කාට හෝ හේත්තු වී කුමක් හෝ ඩැහැ ගැනීම උන්ගේ එකම අරමුණ ය. මේ බවක් නොදැන එවැන්නන්   තුරුලට ගෙන ජීවිතය අහිමි කරගත් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පාළකයෝ ද අප රටේ සිට ඇත. සිරි සඟබෝ  රජතුමාට  (ක්‍රි. ව. 252 / 254)  තම හිස සියතින්ම ගලවා දන්  දීමට සිදුවූයේත් අගමැති බණ්ඩාරනායකට පිස්තෝලයට ළය පෑමට සිදු වූයේත්  ඔවුන්ගේ අනවශ්‍ය සඟ ගැති භාවය  නිසාය.

අනුරාධපුර මහා විහාහාර වාසී භික්ෂූන් විසින් ගෙන ආ ථේර වාදී බුදු දහම දෙකඩ වූයේ වළගම්බා නොහොත් වට්ටගාමිණි අභය රජතුමා නිසා ය. පස්  මහ දෙමළුන් සමඟ කළ සටනින් පැරද පළා ගිය වලගම්බා  කුපික්කල තිස්ස නම් හිමි නමකගේ රැකවරණය ලබා ඇත.  වසර 14 කට පසුව නැවත සිහසුනට පත්වෙන ඔහු එදා තමාට ඔච්චම් කළ ගිරි නිඝංඨයාගේ ආරාමය කඩා  ඒ බිමේ අභය ගිරි විහාරය ඉදිකොට  කුපික්කල තිස්ස හිමියන් වෙත පූජා කරයි. මෙය පුද්ගලික පූජාවක් බවට චෝදනා කළ මහාවිහාර වාසී භික්ෂූහූ කුපික්කල තිස්ස හිමියන්ට දඬුවම් කිරීමට සූදානම් වෙති. මෙහිදී  කුපික්කල තිස්ස තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වන බහල මස්සු තිස්ස  හිමියෝ භික්ෂුන් 500 ක්  ද රැගෙන මහා විහාරයෙන් එළියට බැස අභය ගිරියට  යති. පසු කාලයේ දී අභය ගිරිය මහායාන බුදු දහමේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඩ කළේ වළගම්බා රජු දවස ය. දඹුල්ල ලෙන් විහාරය ඇතුළු වෙහෙර විහාර රැසක්ම ඉදිකිරීමට එතුමාගේ අනුග්‍රහය ලැබී  තිබේ. අභයගිරිය යනු දෙස් විදෙස් භික්ෂුන් 5000 ක් පමණ දහම් අධ්‍යාපනය ලැබූ දැවැන්ත විද්‍යායතනයක් බව ෆාහියන් වාර්තා වල දැක්වේ.

අභයගිරිය නිසා එතෙක් පැවති භික්ෂු ඒකාධිකාරය බිඳී යාම  මහා විහාරිකයන්ගේ නොසතුටට හේතුවිය.   අභයගිරි වාසීහු ද  කැත්තට පොල්ල මෙන්  වූහ. දෙපාර්ශවයම රජවරුන්ගේ සිත් දිනා ගැනීමේ ශීතල සටනක නිරත වූහ. මේ විරසකය නිසා ඇති වූ ප්‍රථිපල ඉතා භයානකය. සිරි සඟබෝ රජුගේ සොහොයුරා වන ඝෝඨාභය රජු  (ක්‍රි ව 254/ 267)   වෛතුල්‍ය වාදී (මහා යාන) භික්ෂූන් හැට දෙනෙකුගේ සිරුරෙහි බලු අඩිය හණ ගසා ඉන්දියාවට පළවා  හැරියේ  මහා විහාරයේ උසි ගැන්වීම මතය. සිය ගුරු තුමාගේ සිරුරෙහි ඇති  බලු සළකුණ දුටු සංඝමිත්ත නම් තවත් සිවුරු කරුවෙක් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ  ඝෝඨාභය රජු සමඟ මිතුරු  වී රජ තුමාගේ පුතුන් දෙදෙනා වන ජෙට්ඨතිස්ස සහ මහසෙන් යන කුමාරන් වරුන්ගේ ගුරුවරයා බවට පත් වී  ඔවුන්ට මහායාන ධර්මය ඉගැන්වීය. මහසෙන් සංඝමිත්තගේ  බණ හිස් මුදුණින් පිළිගත් අයෙකි, ඝෝඨාභයගේ ඇවෑමෙන් ජෙට්ඨතිස්ස  (ක්‍රි ව 267/ 276 )  රජවිය. බලු අඩි සිද්ධිය සහ සිරි සඟබෝ රජුට එරෙහි  වීම සම්බන්ධයෙන්  ඝෝඨාභය  සමඟ  මහායාන සහ ථේරවාද දෙපැත්තම  අමනාපයෙන් සිට ඇත. ඔහුගේ අවසන් කටයුතු වලට සහභාගී වීමට සමහර ඇමතිවරු  නොපැමිණෙන්නේ  සංඝයා අනුව යමින් ඔවුන් ද රජු කෙරෙහි අමනාප වී සිටි නිසාය. නමුත් එම ඇමති වරුන්ට සිදුවූයේ ගෝඨාභයගේ සොහොන වටා දිවැස් හුල මත සිට පරලොව යාමට ය. 

ජෙට්ඨ තිස්සගෙන් පසු  රජ කම උරුම කරගත් මහසෙන් (ක්‍රි ව 276/ 302 ) සංඝමිත්තගේ පෙළැඹවීම මත  මහා විහාරය පොළවට සමතලා කොට එහි උඳු වැපිරූ බව ඉතිහාසය අනාවරණය කරයි.  මහා විහාරයේ  පිරී තිබුන  රන්, රිදී, මුතු, මැණික්, ඇත් දළ ආදී මහාර්ඝ වස්තූන් සහ  අනෙකුත් භාණ්ඩ කොල්ලකා  අභය ගිරිය තවත් සංවර්ධනය කළ බව ද පැවසේ. මහා විහාරිකයන්ට දන්   දෙන්නන් මරා දමන  ලෙසට  මහසෙන් නියෝග කළේය.  ( රහතුන් වැඩ සිටි බව කියන මහා විහාරය තුල මේ තරම් වස්තු කන්දරාවක් තිබීම පුදුම සහගතය )  මේ විනාශය හමුවේ නැඟී සිටි මේඝවන්නාභය නම් රජුට ඉතාම හිතවත් ඇමතියා  සේනා සංවිධානය කොට  මහසෙන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ බවත්  අනතුරුව දෙදෙනා අතර ඇති වූ සාකච්ඡාවකින් පසු රජු වරද පිළිගෙන මහා විහාර සංහාරය නවතා දැමූ බවත් මූලාශ්‍රවල සඳහන්ය.

මින්නේරිය වැව ඇතුළු වැව් දහසයක් ඉදිකොට  රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට අමරණීය සේවයක් කළ මහසෙන් රජතුමා   මින්නේරි දෙවියන් හැටියට විරුදාවලී ලැබීය.  ඔහු මහා විහාර භූමියේ  ජේතවන විහාරය ඉදිකොට කොහොන් තිස්ස නම් භික්ෂුවකට එය පූජා කර තිබේ. මෙය අනුමත නොකළ මහා විහාරිකයෝ කොහොන් තිස්සගේ සිවුරු ගලවා ඔහු සසුනෙන් ද නෙරපූහ. පසුව දක්ෂින ගිරියේ විසූ ‘සාගලික‘ නම් නිකායේ භික්ෂු පිරිසක්  ජේතවනාරාමය අත්පත් කරගෙන ඇත. ඒ අනුව  මහා විහාරයේ  ථේර වාදී නිකාය ද,  අභයගිරියේ  මහායාන නිකාය ද, ජේතවනයේ සාගලික නිකාය ද  ස්ථාපිත වී ඇත.

ක්‍රිස්තු වර්ෂ 1151/ 1186 අතර කාලය තුල පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමා මේ සියළු නිකායන් සමඟි කරවා  රට තුල ආගමික සහ ශාසනික ප්‍රබෝධයක් ඇති කර තිබේ. ඒ  සැම නිකායක්ම බිහි වූයේ  ධර්ම විනය පිළිබඳව කරුණු කාරණා මුල් කරගෙනය. එහෙත්  වර්තමානයේ අපට දකින්නට ලැබෙන සියම්, අමරපුර, රාමඤ්ඤ යන චෝරවාදී  නිකායන් පැළපැදියම් වී ඇත්තේ හුදු කුල භේදය පදනම් කරගෙනය.  වස් තුන්මාසය තුල  පිඬු සිඟා යාම උපසපන් භික්ෂූන්ට අකැපය. එසේ වුවද එය විනය විරෝධී නොවන බව දෙසා බාමින් පිඬු සිඟා යාමේ මුවාවෙන් දඩ සිඟා  යාමෙන් පෙනී යන්නේ  දුස්සීල චෝර වාදයේ තරමය. මේ දුස්සීලයන්ට  දිට්ඨධම්ම වේදනීය කරුමය පළ නොදෙන්නේ වෝහාරික තිස්ස, ජෙට්ඨ තිස්ස, ඝෝඨාභය, මහසෙන්, වැනි  කොන්ද පණ ඇති රජවරු අද නොමැති කම නිසාය.

(මහා වංශය,  නිකාය සංග්‍රහය සහ ෆාහියන්ගේ වාර්තා ඇසුරෙනි)

ආර්. ජී. ධර්මදාස

[email protected]

---------------------------
by     (2017-09-19 07:38:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

කැළණි තිස්ස රජ තුමා දුටු ගැමුණුගේ මාමා ද, සීයා ද?
-- by victor on 2017-09-19

mehi sandahan samahara ithihasa karunu wiwada sampannai. maha wihara ginithebeema nisa siduwoo lokuwa winashaya ewakata apata tiboo niweradima hela maghadee bhashawalin liyoo thipitaka winashaweemai. denata ethi " buddhagama" mahayaana padanamakata wetuneth ..wendum,pidum, yedum ,pethum walin niwan "prarthnaa " karamin kal gewannath api purudu une ein pasuwai. methakadee eraboo aluthma " mudal ekathu kireemata pidu singaa wedeema" , ada pawathina piriheema , bawa udura damana (baw-udda ) sebe aramunen midumu anawabodaya pennum karannaki.
-- by abhaya on 2017-09-20

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links