~

ඒකීය රාජ්‍යයට, බුද්ධ ශාසනයට මුල්තැන; ප්‍රධාන පක්ෂ දෙක කැමතිනම් සුළු පක්ෂත් කැමතියි; මීට පෙර කවදාවත් වෙලා නෑ; මේ කැච් එක ඩ්‍රොප් කළොත් මැච් එක පරාදයි..! -අගමැති රනිල්

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.24,  ප.ව‍.2.10) ප්‍රධාන පක්ෂ දෙක එකඟ වී විසඳුමක් දෙනවා නම් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දෙන ඒකීය රාජ්‍යය සංකල්පය පිළිගන්නා ව්‍යවස්ථාවක් පිළිගැනීමට සූදානම් බව සුළු ජාතික පක්‍ෂ ප්‍රකාශ කර තිබෙන අතර මෙය ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ දෙයක් බවත් මෙය අවසාන අවස්ථාව බවත් මේ කැච් එක මිස් කර ගතහොත් මැච් එක පරදින බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව කියා සිටියේ පසුගියදා ගාල්ල, වැකුණගොඩ පැවැති "නිල සෙවන" පොලිස් නිල නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීමෙනි.

ජාතික ආණ්ඩුවක් හැදුවේ රටේ මෙම ප්‍රධාන ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමට බවත් නැතිනම් තනි පක්ෂයක් ලෙස වාසි වැඩි නමුත් රටට විය යුතු වාසිය හේතුවෙන් පක්ෂ වාසිය අත් හැරිය බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීය.

වැඩි දුරටත් කතා කල රනිල් වික්‍රමසිංහ මහතා.., 

“මේ රටේ ත්‍රස්තවාදයට, භීෂණයට මුහුණදීමට පොලිසියට සිදුවුණා. දකුණේ වුවත් උතුරේ වුවත් භීෂණයකදී පළමු ඉලක්කය වූයේ පොලිසීයයි. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේදී පොලිස් ස්ථානත්, පොලිසියේ නිලධාරීනුත් පළමු ඉලක්කය බවට පත් වුණා. එම නිසා පොලිස් බල ඇණි, විශේෂ සේවා බලකාය ආදිය ස්ථාපනය කිරීමට පොලිසිය ක්‍රියා කළා.

ඒ වගේම පොලිසියට අනෙක් බොහෝ ගැටළු ඇති වන්නේ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේදීයි. නමුත් රටක ඇති යම් ගැටළුවකට දේශපාලනමය විසඳුමක් ලබා නොදුන් විට ත්‍රස්තාවදය භීෂණය හරහා එය ඉටුකර ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරනවා. අපේ රටේ පොලිස් සේවය ත්‍රස්තවාදයේ පළමු ඉලක්ක බවට පත්වූයේ ඒ ආකාරයටයි. රටේ ජනතාවටත් එම ත්‍රස්තවාදී ගැටළුවට මුහුණ දීමට සිදු වුණා.

එම නිසා රටේ ඇති ගැටළු සඳහා දේශපාලන විසඳුම් මගින් පිළිතුරු සොයා ගැනීමට ඕනෑම රටක් ක්‍රියා කළ යුතුයි. විශේෂයෙන්ම උතුරේ ගැටළු දෙස අවධානය යොමු කරන විට ත්‍රස්තවාදය බිහි වුනේ රටේ දේශපාලන අර්බුදයන් හේතුවෙනුයි. යුද්ධය අවසන් වීමෙන් පසුව හෝ එම දේශපාලනය අර්බූදය විසඳාගැනීමට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ රට ඒකීය රටක් බවට පත් විය යුතු යැයි දකුණේ ප්‍රධාන දේශපාලන පක්‍ෂත් බහුතර සිංහල ජනතාවත් ප්‍රකාශ කළා. ඒ වගේම ශ්‍රී ලංකාවට ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය බව ද්‍රවිඩ පක්‍ෂත්, එම ජනතාවත් ප්‍රකාශ කළා.

යුද්ධයට පෙරත් මෙම තත්ත්වය පැවැතුණා. යුද්ධය පැවැති සමයේ ඇතැම් පිරිස් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියා. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුත් මේ බෙදීම පවතිනවා. අප ක්‍රියා කරන්නේ එය විසඳා ගැනීම සඳහායි. අවසානයේදී අපට ඒ සඳහාත් විසඳුමක් ලැබී තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කොමිටියේ අන්තර්වාර වාර්තාවෙන් මෙම ගැටළුව සඳහා වන විසඳුම් සොයා ගැනීමට අපට හැකිවී තිබෙනවා.

එම අතුරු වාර්තාවේ පළමු ඡේදයෙහි යෝජනාවල, උපරිම බලය බෙදා දීම, පාර්ලිමේන්තුවට අමතරව සෙනට් සභාවක් ඇති කිරීම, රටේ කිසිදු ජන කොට්ඨාශයකට මදි පුංචි කම් සිදු නොවන සේ මානව හිමිකම් සුරක්‍ෂිත කිරීම, ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කිරීම, යුද්ධයෙන් අවතැන් පිරිස් වහා පදිංචි කිරීම ආදිය ඇතුළත් වනවා. මේ කරුණු කාරනා සඳහා රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක වන එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකඟ වනවා නම් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දෙන ඒකීය රාජ්‍යය සංකල්පය පිළිබඳව සලකා බැලීමට සූදානම් බව සුළු ජාතික පක්‍ෂ ප්‍රකාශ කර තිබෙනවා.

මීට පෙර කිසිම අවස්ථාවක මෙවැනි එකඟතාවයට ඔවුන් පැමිණ නැහැ. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් දේශපාලන කඹ ඇදීමක නිරත වන විට තමන්ටත් ඉතිරි වී තිබෙන්නේ තනි ස්ථාවරයක සිට බලා සිටීම පමණක් බව සුළු පක්‍ෂ පවසනවා. නමුත් ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතුවී අන්තර්වාර වාර්තාවේ කරුණුවලට එකඟ වනවා නම් ඒකීය රටක් සහ බුද්ධාගමට ප්‍රමුඛතාවය දීම පිළිබඳ සංකල්පයට එරෙහි නොවන බව ඔවුන් පවසනවා. 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් කර ගැනීමට සුළු ජාතික දේශපාලන පක්‍ෂ එක්වී සහයෝගය ලබා දුන්නා. 2014 නොවැම්බර් මාසයේ සුළු ජාතික දේශපාලන පක්‍ෂත් අපි සියලූ දෙනාත් එකට එක්වීමට තීරණයක් කළේ රටේ ඇති වී ඇති මෙම ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහායි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීම එම එකතුවීමේ ප්‍රතිඵලයයි. ඒ සඳහා අප ගත් දෙවන වැදගත් පියවර නම් 2015 අගෝස්තු මස පාර්ලිමේන්තු මැතිවරණයට පසුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක් වූයේ ඇයි? ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ ඇයි? මේ ඇතැමුන් එදා මගෙන් ඇසූ ප්‍රශ්නයි.

රටේ ප්‍රධාන ගැටළුව විසඳීමට නම් අපට ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි. තනි පක්‍ෂයක් ආණ්ඩු බලයේ සිටින විට ලැබෙන වාසි පක්‍ෂ දෙකක් ආණ්ඩු බලය ලබා ගත් විට ලැබෙන්නේ නැහැ තමයි. නමුත් මේ රටට ස්ථීර සාමයක් ලැබෙනවා නම් අපට ලැබෙන වාසි අඩු වූවාට ප්‍රශ්නයක් නැහැ.

මේ ජනවාර්ගික ගැටළුව විසඳීම සඳහා වැඩි වශයෙන් කැප වූයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසියයි. එසේ නම් යුද්ධය අවසන් වීමෙන් පසුව ඊට ස්ථීර විසඳුමක් ලබාදීම අප කළ යුතුයි. නැවතත් ලංකාවේ සහෝදර ජනතාව අතර යුද්ධයක් ඇතිවීමට අවශ්‍ය නැහැ. ත්‍රස්තවාදීන් අවශ්‍ය නැහැ. 2016 ජනවාරි මාසයේදී අපි එකතුවී ජනාධිපතිතුමාගේ සහයෝගය මත පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක කමිටුවක් ලෙස ක්‍රියා කළේ එම අරමුණ වෙනුවෙනුයි.

ඒ කෙටුම්පත පසුව පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා. එහි දෙවන පියවර වූයේ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමයි. ඒ මෙහෙයුම් කමිටුවේ අපි සියලූ දෙනාම වසරකට වඩා වැඩි කලක්, එනම් මාස 15 ක් පමණ මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

පළමුව සාකච්ඡා කළේ අපට රට වෙනුවෙන් මෙම ගැටළුවට විසඳා ගැනීමට අවශ්‍යද? නැද්ද? යන්නයි. තමන්ගේ ස්ථාවරය, ජාතීන් අතර ඇති වෙනස්කම් ආදී මේ සියලූ දේ පිළිබඳව අපි සාකච්ඡා කළා. අවසානයේ රට වෙනුවෙන් මේ ගැටළුව විසඳීමට සියල්ලන්ම එකඟතාවයට පැමිණියා. පසුව වාද-විවාද සිදු කරමින් අවශ්‍ය තීන්දු තීරණවලට එළඹුණා.

ඒ සඳහා කාලයක් ගත වුණා. මෙම කමිටුවේ සභාපති ලෙස බොරුවට කල් ගන්නවා යැයි ඇතැම් පිරිස් මට චෝදනා කළා. නමුත් අවු. 30 ක 40 ක ප්‍රශ්නයක් මාසයකින් දෙකකින් විසඳිය හැකි නම් එසේ ක්‍ෂණිකව විසඳීමට මමත් කැමැතියි.

නමුත් සියලුම දෙනා කතා කළ යුතුයි. අදහස් හුවමාරු කරගත යුතුයි. ඒ ස්ථාවරය හඳුනා ගත යුතුයි. අපි ලබාදුන් අනු කමිටු වාර්තාවලට එකඟ වීමට, විරුද්ධ වීමට මේ ආදී සියලූ දේට ඉඩ ලබා දී අවසානයේ අපේ සාකච්ඡාව පදනම් කර ගනිමින් මතු වූ කාරණා ඉදිරිපත් කිරීමට අපට හැකි වුණා. මෙහිදී සුළුතර හෝ බහුතර වාර්තා අපට අවශ්‍ය වූයේ නැහැ. තමන්ට අවශ්‍ය ආකාරයට තම පක්‍ෂයේ ස්ථාවරය සඳහන් කිරීමේ හැකියාව ඔවුන්ට ලැබුණා. ඒ අනුව මෙහි පළමු ඡේදයේ වගන්තිවලට එකඟ වන්නේ කෙසේදැයි සාකච්ඡා කර ගත යුතුව තිබුණා.

මේ සියලු දේ අවසානයේ අප දැන් සම්පූර්ණ වාර්තාවක් ලබාදී තිබෙනවා. අප එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ද්‍රවිඩ සන්ධානය, ඒකාබද්ධ විපක්‍ෂය ආදී සියලු දෙනාගේම යෝජනා එම වාර්තාවේ කොටස් ලෙස එක් කර තිබෙනවා.

මේ පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඊයේ පාර්ලිමේන්තුවේ වේගයෙන් කතා කරනවා මා දුටුවා. එතුමා පුරුදු පරිදිම ඝෝෂා කළා. මෙය නැවැත්වීමට කටයුතු කරනවා යැයි ඇතැමුන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. නමුත් මම ඒකාබද්ධ විපක්‍ෂයේ උප ලේඛණය කියවූ විට මෙම ක්‍රමය පිළිනොගන්නවා යැයි කිසිදු සටනක් එහි ඇතුළත් වී නොමැති බවත් මා දුටුවා. මේ තුළ සියලූම දේ සාකච්ඡා කළ හැකියි. ඇතැම් කරුණු වෙනුවෙන් අපත් සමග ඔවුන් එකඟ බවත් සඳහන් වෙනවා. නමුත් ප්‍රතික්ෂේප කළ යුතු කිසි දෙයක් සඳහන් වී නැහැ.

මෙය ආරම්භයක් පමණයි. සාකච්ඡා කිරීම් තවත් ඉදිරියට සිදු කරනවා. එදා මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පක්‍ෂයෙන් ඉවත් වී පොදු අපේක්‍ෂකයා බවට පත් වෙමින් මෙම ගැටළුව විසඳීම සඳහා ගත් තීන්දුව යම් ස්ථාවර තලයකට රැගෙන ඒමට අපට දැන් හැකි වී තිබෙනවා. අප ඉදිරියට යා යුතුයි. මේ වාර්තාව සියලූ දෙනාටම ලබා දිය යුතුයි. කථානායකතුමා පැවසූ ආකාරයට ඔක්තෝම්බර් මස අවසානයේ දී අපි මෙය විවාදයට ගන්නවා.

නමුත් මෙහිදී අප අන්තවාදීන්ට ඉඩ නොදිය යුතුයි. මෙම විවාදය අන්තවාදීන්ගේ සටනක් නොවිය යුතුයි. ඒකීය භාවයක් හෝ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලීම, රට පාවා දීමේ චෝදනා, ආදී දෙපැත්තෙන්ම එල්ල වන කිසිදු අන්තවාදී ඉල්ලීමක් හෝ යෝජනාවක් අපට අවශ්‍ය නැහැ. ආරම්භ කළ මේ වැඩකටයුත්ත ඒ ආකාරයටම ඉදිරියට රැගෙන යා යුතුයි. මෙහෙයුම් කමිටුව හරහා කළ යුතු වැඩ කටයුතු දැන් අවසානයි. ඉදිරි වැඩකටයුතු ඉදිරියට කර ගෙන යාම අප රටට භාර කරනවා.

එයයි අපේ බලාපොරොත්තුව. මෙය අපේ රටට ඉතිරිව ඇති අවසාන අවස්ථාවයි. මේ ගැටළු වලට පිළිතුරු සොයා ගතහොත් ඊට පසුව තවත් ගැටුම් ඇති නොවන බව ඔබ දන්නවා.

පොලිසියේ පත්වීම් සියල්ලම උතුරු ප්‍රදේශයට ලබාදීලා යැයි ඇතැමුන් චෝදනා කරනවා. ද්‍රවිඩ ජනතාවට පොලිස් පත්වීම ලබාදී නැතැයි ඔවුන් චෝදනා කරනවා. පරස්පර විරෝධී චෝදනා එල්ල වෙනවා. පොලිස් සේවයේ රැකියා පුරප්පාඩු 7000 ක ඇතිව තිබුණා. එම ප්‍රමාණයෙන් 10% ක් ද්‍රවිඩ නිලධාරීන් සඳහා පළමු වටයේ දී ලබා දෙන බව අප පැවසුවා. නමුත් රැකියා ලබා ගැනීමට පැමිණ තිබෙන්නේ 180 ක් පමණයි. ද්‍රවිඩ නිලධාරීන් පමණක් බඳවා ගන්නවා යැයි එක් පැත්තකින් චෝදනා නඟනවා. ද්‍රවිඩ නිලධාරීන් බඳවා ගන්නේ නැතැයි තවත් පිරිසක් චෝදනා කරනවා. නමුත් පුරප්පාඩු වලින් 10% ක් එනම් 700 ක පමණ නිලධාරීන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට සූදානම් වනවිට ඒ සඳහා පැමිණෙන්නේ 180 ක් පමණයි.

මේ ගැටළුව විසඳන්නේ කෙසේදැයි උතුරු පළාත් මහ ඇමැතිතුමාත්, පොලිස්පතිතුමාත්, සාගල රත්නායක ඇමැතිතුමාත් සහ මමත් උතුරට ගොස් සාකච්ඡා කළා. කෙසේ හෝ අප ඉදිරියට යා යුතුයි.

අප ගෙන එන නව දේශපාලන විසඳුම රට පාවාදීමක් නොවෙයි. අපි මේ ප්‍රශ්නය විසඳා ගන්නවා නම් අපේ රට සීඝ්‍රයෙන් දියුණු කිරීමට හැකියාව ලැබෙනවා. මේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අපේ රට සංවර්ධනය කරා ගෙන යමු යැයි මම රටට, ජනතාවට යෝජනා කරනවා.

වෙනත් භාෂාවකින් කියනවා නම් මේ කැච් එක ගත්තොත් මැච් එක දිනනවා. නමුත් මේ කැච් එක ඩ්‍රොප් කළොත් මැච් එක පරාජය වීමට සිදුවෙනවා. එසේ නම් මේ කැච් එක ගැනීමට අපි සියලු දෙනා එකට ක්‍රියා කරමු යැයි මම යෝජනා කරනවා.“   

පසු සටහන:

අලුත් ව්‍යවස්ථාව මොන වගේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව භාෂා තුනෙන්ම මෙතැනින් කියවන්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව (සිංහල)
http://s3.lankaenews.com/downloads/ReportS_CRR.pdf

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව (ඉංග්‍රීසි)
http://s3.lankaenews.com/downloads/ReportE_CRR.pdf

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව (දෙමළ)
http://s3.lankaenews.com/downloads/ReportT_CRR.pdf

---------------------------
by     (2017-09-24 09:14:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Police dept. eke pamanak nove,Rajaye saama dept. vala athivana siyalu purappaadu sandahaa sudusukam matha anupaathayak athiva ho demala ayath bandavaagatha yuthuya. Niyama visanduma eyai.
-- by nareen on 2017-09-24

මේ අවසාන කැච් එක මිස් කර ගතහොත් මැච් එක පරදී....
-- by Sobithawathara on 2017-09-24

කැච් එක ඩ්‍රොප් කළොත් මැච් එක හුටස්.... සෝභිතාවතාර
-- by sobithawathara on 2017-09-25

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links