~

බැඳුම්කර සිද්ධිය ගැන අධිකරණ විමර්ශනය ඇරඹේ..! පාඩුව මිලියන 11000 ක් ලෙස ජනාධිපති කීවත් අධිකරණයේ දී නීතිපති කී පාඩුව මිලියන 688 යි; සිරිසේන පඩේ වෙඩිල්ල කරලා

මහේන්ද්‍රන්, ඇලෝසියස්, කසුන් සැකකරුවන් ලෙස නම් කරයි; රවිගේ නමක් නෑ

(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.03, පෙ.ව‍‍‍‍‍‍‍‍‍‍‍‍.6.45) ජනාධිපතිගේ බැඳුම්කර  කොමිෂන් සභාවේ වාර්තාව නීතිපතිවරයාට ලබා දීමෙන් පසු එය ෆාස්ට්ෆෝර්වර්ඩ් දමා විමර්ශන කටයුතු ආරම්භ කළ නීතිපතිවරයා වාර්තාවේ නිර්දේශ අනුව  අපරාධ වරදවල් සිදුව ඇතිදැයි විමර්ශනය කිරීම සඳහා එය අපරාධ පරීක්ෂණ දොපර්මේන්තුවට යොමු කරන ලදී. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් ඊයේ (02) ඒ පිලිබඳ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත කරුණු වාර්තා කළ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කසුන් පලිසේන, අර්ජුන් ඇලෝසියස් සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන  තිදෙනා  බැඳුම්කර විමර්ශන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කරන්නැයි විනිසුරුවරියගෙන් ඉල්ලා සිටියේ ය.

සීඅයිඩිය වෙත නීතිමය සහාය දක්වමින් කටයුතු කරන ලද්දේ ජනාධිපති කොමිසමේ ද කටයුතු කළ අතිරේක සොලිසිටර් ජනරාල් ‍ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසිනි. 

අධිකරණයේ දී යසන්ත කෝදාගොඩ විසින් හෙලිකර සිටියේ පසුගියදා බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන ජාතියට විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා කී ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් කතාවකි. ජනාධිපතිවරයා එහිදී මෙම ගණුදෙනුවෙන් රජයට මිලියන 11000 ක පාඩුවක් සිදුව ඇතැයි ප්‍රකාශ කළද යසන්ත කෝදාගොඩ ඊයේ අධිකරණයට කියා සිටියේ රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 688 ක් ලෙස තක්සේරු වී ඇති බවයි. 

මේ අනුව ඉතාමත් පැහැදිලිව ජනාධිපතිවරයා විසින් ජාතිය අමතමින් ජාතිය මුලා කර තිබේ. මන්ද යත් පිළිගත යුත්තේ අධිකරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රකාශයන් නිසා ය.

මෙහිදී යසන්ත කෝදාගොඩ අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම්වල මේ වන විට රුපියල් බිලියන 9.1ක් හෙවත් මිලියන 9100 රඳවා ඇති බවත් එම සමාගම 2015, 2016 වසරවල දී උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 11.5 ක් බව යි. අදාල සමාගම එම ලාභය තම වාර්ෂික ගිණුම් වල නිවැරදිව සඳහන් කර ඇති අතර ඊට අදාල බදු මුදල්ද රජයට ගෙවා තිබේ. මේ අනුව ජනාධිපතිවරයා ජාතිය අමතා කළ ප්‍රකාශයේ දී අදාල සමාගම ලබා ඇති ලාභය කිසිදු හේතු දැක්වීමකින් තොරව රජයට සිදුකර ඇති පාඩුවක් ලෙස කියමින් පඩේ වෙඩිල්ල කර තිබෙන බව පැහැදිලිය. ( තමා ජාතික අමතා කීවේ තමන්ට හදා දුන් ලියැවිල්ලක් බවත් තමන් වාර්තාව ගැන කිසිවක් කියැවූයේ නැති බවත් ජනාධිපති වරයා පසුව ප්‍රකාශ කර තිබිණ )

යසන්ත කෝදාගොඩ අධිකරණයට කරන ලද ප්‍රකාශය අනුව රජයට වූවා යැයි සැක කෙරෙන මිලියන 688 ක පාඩුවක් සඳහා රජය මිලියන 9100 ක් දැනටමත් රඳවාගෙන තිබේ. එය සිදුවූවා යැයි සැක කෙරෙන පාඩුව මෙන් 13 ගුණයකටත් වැඩිය.   

කෙසේ වෙතත් සීඅයිඩියේ ඉල්ලීම අනුව මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තත්ත්වාකාර ප්‍රධානියකු ලෙස කටයුතු කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ අර්ජුන් ජෝසප් ඇලෝසියස් සහ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි පලිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂදී පලිසේන නමැති අය මෙම නඩුවේ  සැකකරුවන් ලෙස විනිසුරුවරිය විසින් නම් කළ අතර ඔවුන්ගේ විදෙස් ගතවීම වළකාලමින් නියෝගයක් ද නිකුත් කර එහි පිටපත්  ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙස නියෝග කළාය.

ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින ලද නියෝග 9 ක් ද මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දුන්නාය. ඒවා නම්, 

මේ සිද්ධියට අදාළව 2015-02-27 භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳ පොළට සහභාගී වූ අවස්ථාවේ සිට ප්‍රාථමික හා ද්විතීයික බැඳුම්කර මිලදී ගැනීමේ විකිණීමේ අරඹයා ඇති තොරතුරු සහ ආනුශාංශික මූල්‍ය ලේඛන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දෙන ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක විජයවදිනි ජේසුදාසන් මහත්මියට සහ මූල්‍ය කළමනාකාරිනි නවගමුවගේ නදීකා දිල්හානි ජයසේකර මහත්මියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය බැඳුම්කර වෙළෙඳාමෙන් උපයා ගත් ලාභය සම්බන්ධ ලේඛන සහ සකසන ලද ලැයිස්තු පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දෙන ලෙසට නියෝග කළාය.

මේ වන විටත් උපයා ඇති මුදල් මහ බැංකුව විසින් අත්හිටුවා ඇති බැවින් වරදට අදාළව නීති විරෝධී අන්දමින් උපාය ගත් යම් කිසි මුදලක් ඇද්ද යන්න සෙවීම පිණිස මේ ගිණුම්වල ඇති මුදල් ගිණුම් සම්බන්ධ විමර්ශන අවසන් වන තෙක් මුදල් බැහැර වීම සුදුසු නොවන හෙයින් එම ගිණුම් තව දුරටත් අත්හිටුවන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එම ගිණුම්වල ඇති මුදල් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හෝ අනුබද්ධිත සමාගමක හෝ කිසියම් අධ්‍යක්ෂවරයකු වෙත මුදා නොහැර ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

මේ සිද්ධියට අදාළව අනෙකුත් සමාගම් ප්‍රාථමික සහ ද්විතියික වෙළෙඳුන් සමඟ සිදු කරන ගනු-දෙනුවල දී  උපයා ගත් මුදලින් ගත් දේපළ බැහැර කිරීම තමන් නමින් හෝ වෙනත් නම්වලින් ගිණුම්වල තැන්පත් කර ඇති මුදල්, සමාගම් කොටස් හෝ වෙනත් කවර ආකාරයක හෝ ඇති වත්කම් විකිණීම, බැහැර කිරීම, තෑගි දීම, හුවමාරු කිරීම හෝ ආයෝජනය කිරීම අත්හිටුවමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අධ්‍යක්ෂවරුන් මෙන්ම විධායක නිලධාරිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එමෙන්ම මේ සිද්ධියට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනය සිදු කරන හා විභාග වන අවස්ථාවන්හි දී භාවිත කරන ලද පරිගණක උපාංග දත්ත ගබඩා ඇතුළු උපකරණ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට බාර දෙන ලෙස කොමිෂන් සභාවේ ලේකම්වරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

2015-02-27 සිට අදාළ සමාගම සිදු කරන ලද ගනු-දෙනු සම්බන්ධයෙන් සිදු කළ ගෙවීම්, චංචල නිශ්චල දේපළ පිළිබඳ  මුල්‍ය මණ්ඩලයේ සැදුම්ලත් වෘත්තියවේදීන්ගේ සහභාගීත්වයෙන් විමර්ශයනක් සිදු කර සවිස්තර වාර්තාවක් කඩිනමින් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට භාර දෙන ලෙස ද මහ බැංකුවේ අධිපතිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් ලබන 16 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම නඩුවේ දී කොතැනක හෝ රවි කරුණානායක සැකකරුවෙක් හෝ චුදිතයෙක් ලෙස හෝ සඳහන් වූයේ නැත.  

(දිණමිනේ සුභාෂිනී සේනානායකට ස්තූතිය.)

---------------------------
by     (2018-02-03 01:31:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links