(ලංකා ඊ නිව්ස් -2014.සැප්.13, ප.ව.11.30) ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි මාසයේ 23 වැනිදා රාත්‍රියේ ලංකා ඊ නිව්ස් කාර්යාලයෙන් නික්ම යෑමෙන් පසු ඔහු අතුරුදහන් කෙළේය. ඔහුගේ බිරිඳ දරුවන් තවමත් ඔහුට සිදුවූ දේ කුමක්දැයි රාජපක්ෂලාගෙන් විමසති.
ඊට වසර 3 කට පසු රට සාමකාමී යැයි කියන වකවානුවක එනම් 2013 දී එනම් පසුගිය වසරේ සැප්තැම්බර් මස 02 වෙනි දා රාත්‍රි කෑම රැගෙන නිවෙසට පැමිණෙමින් සිටි අනුරාධපුර පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු වූ මධුෂ්ක හරිස් ද සිල්වා 'අපි පොලීසියෙන්' යැයි පැවසූ කණ්ඩායමක් විසින් මාංචු දමා පැහැරගෙන ගොස් අතුරුදහන් කෙළේය.
ප්‍රගීත් අතුරුදහන් කිරීමේ සිද්ධියේ මෙන් නොව මෙහිදී මධුෂ්ක පැහැරගෙන ගියේ අනුරාධපුර පොලිසියේ ම නිළධාරීන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මධුෂ්කගේ බිරිඳට ස්ථීර කර තිබේ.
එතැන් පටන්, ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා මෙන්ම පැහැරගනු ලැබූ මධුෂ්කගේ බිරිඳ වන මයුරි ඉනෝකා ද සිය සැමියා සෙවීමෙහි නොනවතින උත්සාහයක නිරත වන්නීය. සැම මසකම 02 වෙනිදා ඇය සිය නිවුන් ලදරුවන් දෙදෙනා ද සමගින් වීදියට බැස පොලීසිය විසින් පැහැරගනු ලැබූ මධුෂ්කට සිදුවූයේ කුමක්දැයි විමසන්නීය. අවම වශයෙන් මරණ සහතිකයක් හෝ දෙන්නැයි ඉල්ලන්නීය. ඇය වීදි බසින දිනයන්හිදී මධුෂ්කගේ පවුලේ ඥාතීන් හා යහළුවෝද මධුෂ්ක වෙනුවෙන් වීදියට බැස ඇයට සහායක් දෙති.
මධුෂ්ක නමැති ව්‍යාපාරිකයා මෙලෙස අතුරුදහන් කර වසරක් පිරුණු පසුගිය සැප්තැම්බර් 02 දා ද ඇය අනුරාධපුර පොලිසිය ඉදිරිපිටට පැමිණ තම සැමියා දෙන්නැයි විරෝධතාවයේ යෙදුනාය. ඉන්පසු සැප්තැම්බර් 06 දා මධ්‍යම රාත්‍රියේදි සුදු ඉරි දෙකක් සහිත ට්‍රැක් බොටම් එකක් සහ කළු උඩුකයකින් සැරසී මුහුණ ද කළු රෙදි කඩකින් වසා සිටි උස මහත පුද්ගලයෙක් මයුරිගේ නිවසේ වහලය උඩ සිට පසුව ටිකවෙලාවක් නිවෙස වටා කැරකෙමින් සිට ගේට්ටුව උඩින් පැන ගොස් තිබුණි.
තම සැමියා සොයන සටනට බැසීමෙන් පසුව ඇයට මෙවැනි තර්ජන කොතෙකුත් එල්ල විය. පසුගිය මාසයේදී දිනෙක රාත්‍රියක මේ ලෙසම පැමිණි පුද්ගලයෙක් මධුෂ්කව සොයන එක නතර කර නොදැම්මොත් ඇයවත් දරුවන්වත් මරා දමන බවට ඇය නිදාගන්නා කාමරයේ ජනේලය ලඟ සිට තර්ජනය කර පළාගියේය.
දැන් අද 13 දා ද ඇයට තර්ජනය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ කියයි
''ඊයේ රෑ 12ට විතර මම නිදාගන්නට යන මොහොතේ ගෙයි පිටුපසින් කවුරුන් හෝ ඉතාම සෙමින් කථාකරන හඬක් මට ඇහුණා. ඉතාම හොඳින් කන්දුන් විට කවුරුහරි කථාකරන බව හොඳටම ස්ථීරවුණා. පසුව මම මධුෂ්කගේ පවුලේ අයටත් තවත් කිහිපදෙනෙකුටත් මොබයිල් පණිවුඩයක් යැව්වා ඉක්මනට ඇවිත් එළියේ ඉන්න අයව වටකරගන්න කියලා. ටිකවෙලාවකින් මධුෂ්කගේ පවුලේ අය ආවා. ඒ සමගම කවුරුන් හෝ නිවස අසළ හිටපු අය වත්තේ පිටුපසින් දිව ගිය බවක් තේරුනා. නිවසේ සිටින බල්ලාත් ඒ පිටුපස දිවගියා. පසුව මම දොරහැර එළියට ගියා. එවිට දොර ලඟ තිබුණු කඩදාසියක් මධුෂ්කගේ මාමා අතට ගෙන කියෙව්වා.''
එම කඩදාසියේ අඩංගු වී තිබුණු සම්පුර්ණ පණිවුඩය මෙසේය
''හොඳට මතක තියාගනින්. උඹගේ පිරිවර උඹ ලඟ හැමදාම නැහැ. මධුෂ්ක ආයේ එන්නේ නැහැ. ඌගේ පව් ගෙවනවා. උඹ ජීවත්වනවා ද මැරෙනවා ද කියා තීරණය කරපන්. වහාම මේවා නතර කරපන්. සල්ලි කීයක් හරි හොයාගෙන පාඩුවේ ජිවත් වෙයං. මැරෙනවාද නැතිද කියන එක තීරණය කරපන්. අවසාන වතාව.''
''මධුෂ්කව පැහැරගෙන ගියා මදිවට මටත් මරණ තර්ජන ගේනවා. මධුෂ්ක වෙනුවෙන් ,ඔහු කොහේ ද ඉන්නේ කියන කාරණාවට නිවරැදි පිළිතුරක් ලැඛෙන තෙක් මම මගේ සටන අත් හරින්නේ නැහැ. මධුෂ්කව ගෙනිච්චේ පොලීසියයි. මම කරන සටන නවත්වන්න කියන්නේ මධුෂ්කව ගෙනියපු ම අයනේ. සටන අත් නොහැරියොත් මාව මරණවා කියන්නෙත් ඒ අයම නේ. එහෙනම් මගේ ජීවිතයට කරදරයක් වුනොත් පොලිසිය ම වගකියන්න ඕනේ, එපමණයි.'' මයුරි නමැති දිරිය කාන්තාව කියා සිටින්නීය.
දැරියක් හෝ දරුවෙක් පැහැර ගෙන ගියහොත් පොළොවේ හැපෙමින් කම්පා වන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිවුන් දරුවන් දෙදෙනෙකු අනාථ කරමින් ඔවුන්ගේ පියා පැහැර ගෙන අතුරුදහන් කළ විට එලෙස කම්පා නොවන්නේ ඇයිදැයි තේරුම් ගත නොහැකිය.
ලංකාවේ ජනමාධ්‍ය කම්පා වන්නේ රාජපක්ෂ රෙජීමයේ අනුග්‍රහය ලබන මිනීමරු කණ්ඩායම් විසින් පැහැර නොගන්නා අය ගැන පමණක් විය යුතුය. රාජපක්ෂ රෙජීමයේ මිනීමරුවන් පැහැර ගන්නා පුද්ගලයන් ගැන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මීයට පිම්බාක් මෙන් නිහඬ වෙති. ඔවුන් ජනමාධ්‍ය නොවී ජඩමාධ්‍ය වන්නේ අන්න ඒ නිසා ය. ජඩමාධ්‍යයක් නොවී ජනමාධ්‍යක් වීමට නම් මධුෂ්ක නමැති පියා පැහැර ගැනීමෙන් අසරණ වී ඇති නිවුන් ලදරුවන් දෙදෙනා ගැනද කම්පනයක් ඇති විය යුතුය.
---------------------------
by -ස්තූතිය මෙලනිට- (2014-09-13 22:09:54)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි