~

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අදියර තුනම නිමාවුවද තෙල් මාෆියාව සහ හුළං මාෆියාව ජයගනී: විදුලි බල මණ්ඩලයේ අලූත්ම කුමන්ත්‍රණය මෙන්න

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.14, ප.ව.6.30) රෙජීමයේ සහ විදුලි බල මණ්ඩලයේ කිහිප දෙනකුට ලැබුණු අති විශාල කොමිස් නිසා මෙරට ජනතාවට තත්ත්වයෙන් බාල ගල් අඟුරු බලාගාරයක් ලැබුණු වග, අද සියළු දෙනාම පිලිගන්නා සත්‍යයකි.

මෙ වන විට එහි අදියර තුනම අවසන් වී ඇත. අති මහත් මහජන මුදලක් කාබාසිනියා කරමින් ඉදි කෙරුනු බලගාරයෙන් යාන්තම්වත් අස්වැසිල්ලක් වූයේ තත්ත්වයෙන් බාල වුවද, දැනට රට තුල ඇති සියළු තාප විදුලි බලාගාර අබිබවමින් රුපිල් 5 ක් වෙනි සුළු මුදලකට විදුලි ඒකකයක් නිපදවීමේ හැකියාවයි. අනෙකුත් තාප විදුලි බලාගාර වල ඒකකයක් රුපියල් 21 ක් පමණ සිට ඉහලට වේ.

අදියර තුනම අවසන් වන විට මණ්ඩලයේ සේවක මහතුන් සහ මෙරට ජනතාව දෑස් දල්වා බලා සිටියේ, කෝටි ගණනින් මුදල් ගිලින තාප විදුලිය වෙනුවට ගල් අඟුරු බලාගාරයේ විදුලිය ප්‍රයෝජනයට ගත හැකි වනු බවයි. එහෙත් දැන් සිදුව ඇත්තේ නැවත වරක් තෙල් මාෆියාව ජගැනීමයි. ඊට සහායට හුළං මාෆියාවද පැමිණ ඇත. මෑත කාලයේදී පුවත් පත් මගින් තෙල් මෆියාව පිලිබඳ විශාල වශයෙන් ජනතාව දැනුවත් කරන ලදී. විදුලි බල මණ්ඩලයේ ඉහල පෙළේ නිලධාරීන් තමන්ට ලැඛෙන දොල පිදේනි වෙනුවෙන් ජලාශ හිස් කරවන හැටි, වතුර නිරපරාදේ පිටාර ගැලීමට ඉඩ සලසන හැටි, කෝටි ගණනක් වැයකොට පුද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට උනන්දු වන ආකාරය ඒ අතර ප්‍රධාන වේ.

නොරොච්චෝලේ බලාගාරයට දැන් අත්ව ඇති ඛේදජනක ඉරණම නම් අදියර තුනම නිම වී ඇතත්, ජනනය කරන විදුලිය සම්ප්‍රේශනය කිරිමේ ඉඩ කඩ සීමා වීමයි. එම නිසා අද සම්පුර්ණ ධාරිතාවයෙන් යුතුව බලාගාරය ක්‍රියාත්මක නොවේ. මේ තත්ත්වය ඉබේ ඇති වූවක් නොව තෙල් සහ හුළං මාෆියාව එකතුව නිර්මාණය කරන ලද්දකි. ඒ මීට වසර ගණනාවකට පෙර සිටය.

අතිශය ලාබදායී ගල් අඟුරු බලාගාරයක් ශ්‍රී ලංකාවට පැමිණෙන විට, පුද්ගලික තාප බලාගාර වලට මහත් තර්ජනයක් එල්ල වුනි. සැබැවින්ම තර්ජනය එල්ල වුයේ විදුලි බල මණ්ඩලයේ සේවය කරමින්, එහෙත් පුද්ගලික බලාගාරවල ආයෝජනය කර ඇති නිලධාරීන්ටය. එම නිසා ගල් අඟුරු බලාගාරය කොතරම් ලාබදායී වුවත් කෙසේ හෝ පුද්ගලික තාප විදුලි බලාගාරද ක්‍රියාත්මක වන ලෙසට සැලසුම් සකස් විනි. මේ ඒ පිලිබඳව කෙරෙන හෙලිදරව්වකි.

1) විදුලිබල පද්ධතියට සම්බන්ධ එක් යන්ත්‍රයක උපරිම විදුලි ජනනය එම අවස්ථාවේ ඇති මුළු විදුලි බල ඉල්ලූමෙන් 25% ක් විය යුතු යැයි අපූරු නියමයකට අනුව ගල් අඟුරු බලාගාරය ප්‍රථම අදියරේ සිටම සෑම දිනකම රාත්‍රි කාලයේදී  ජනනය කරන ප්‍රමාණය මෙගා වොට් 220 ක් පමන දක්වා අඩු කරනු ලැබේ. මෙය ප්‍රසිද්ධ නොවූ කරුණකි.

නිදසුනක් ලෙස මුළු විදුලිබල ඉල්ලූම මෙගා වොට් 900 ක් වේ නම්, එයින් 25% ක් යනු මෙගා වොට් 225 කි. එනම් මුළු ඉල්ලූම මෙ.වො. 900 වන විට එක් යන්ත්‍රයක නිපදවිය හැකි ප්‍රමාණය මෙ.වො. 225 ක් වේ. මේ අනුව ගල් අඟුරු බලාගාරයේ එක් යන්ත්‍රයක්ට මෙ.වො. 300 ක් නිපදවිය හැකි වුවද රාත්‍රියට මෙ.වො. 225 ක් දක්වා අඩුකළ යුතුය. නමුත් පුද්ගලික බලාගාර වලට මේ නීතියෙන් බලපෑමක් සිදුනොවේ. මක්නිසාද යත් ඒවායේ උපරිම ජනන හැකියාව බොහෝවිට මෙ.වො. 100 නොඉක්මවන නිසාය. මේ දක්වා සෑම දිනකම ගල් අඟුරු බලාගාරය මෙ.වො. 300 සිට මෙ.වො. 225 දක්වා අඩු කරන අතර, පුද්ගලික බලාගාර වලින් ගැටළුවකින් තොරව විදුලිය ලබා ගනී.

මේ ලෙස පැය 6 ක් සඳහා වන පාඩුව මෙසේය

• ගල් අඟුරු බලාගාරයෙන් අහිමිවන විදුලි ඒකක ගණන (කිලෝ වොට් පැය)  = 75 (300-225)x කි.වො.1000 x පැය 6 = කි.වො.පැ. 450,000 යි

මෙම ප්‍රමානය පුද්ගලික බලාගාර වලින් ඒකකය රුපියල් 25 බැගින් මිල දී ගනී.

• පාඩුව = 450,000 x (20 -5) = රු 6,750,000 = රු මිලියන 6.75 කි

දිනකට රුපියල් මිලියන 6.75 බැගින් වසර ගණනාවක් සිට කෙරෙන මෙම ජාවාරම නිසා විදුලි බල මණ්ඩලයට හා මෙරට ජනතාවට සිදුව ඇති පාඩුව කෝටි ගණනකි. 25% නියමය පුද්ගලික බලාගාර වලින් විදුලිය මිලට ගැනීම සඳහාම ගෙන එන ලද අපූරු උප්පරවැට්ටිය කි. මෙලෙස  25% දක්වා සීමා කිරීමට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ මහදැනමුත්තාගේ තාලේ තර්කයකි. හදිසියේ 25% වඩා ජනනය කරන යන්ත්‍රය ක්‍රියා විරහිත වුවහොත් මුළු පද්ධතියම අක්‍රිය විය හැකි බවයි. එහෙත් එවැන්නක් වලකාලීමට ස්වයංක්‍රීයව විදුලිය විසන්ධි කිරීමේ ක්‍රමවේදයක් දැනටම තිබියදී, 25% කතන්දරය පදනම් විරහිත බව පෙනී යයි. 

2) අදියර තුන නිමා වීමට ප්‍රථම අවසන් කළ යුතුව තිබූ අනුරාධපුරය දක්වා දිවෙන සම්ප්‍රේශන රැහැන් මාර්ගයේ වැඩ කටයුතු ඉතා සෙමින් සිදු කරමින් සිටිති. මේ නිසා යන්ත්‍ර තුනටම මෙ.වො. 900 ක් ජනනය කළ හැකි වුවද එය මෙ.වො. 550 පමණ දක්වා සීමා කර ඇත.

3) අතිශය සංවේගී කාරනාව නම්, ඉහත සඳහන් කළ නව සම්ප්‍රේශන මාර්ගය නොමැතිව වුවද දැනට පවතින වේයන්ගොඩ දක්වා දිවෙන රැහැන් පද්ධතියෙන් මෙ.වො. 900 ක් සම්ප්‍රේශනය කිරීමේ හැකියාව තිබියදී, එය කළ නොහැකි බවට ව්‍යාජ තාක්ෂනික හේතු ගෙන හැර පෑමයි.
                        
මේ කුමන්ත්‍රණයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ කොමිස් මුලස්ථානය ලෙස සැලකෙන ප්‍රධාන පාලන මධ්‍යස්ථානයේ නිලධාරීන් ය. සියළු ජනන යන්ත්‍ර පාලනය වන්නේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයෙනි. එනම් පුද්ගලික බලාගාර වලින් විදුලිය මිලට ගැනීම වෙනුවෙන් වැඩිපුරම කොමිස් ලැඛෙන්නේ මෙහි සේවය කරන නිලධාරීන්ට ය. ඔවුන්ගේ තර්කය නම්, නව රැහැන් පද්ධතිය නොමැතිව වේයන්ගොඩ දක්වා වන ද්විත්ව රැහැන් මාර්ගයෙන් මෙ.වො. 900 ක් සම්ප්‍රේශනය කරන විට එක රැහැන් මාර්ගයක දෝෂයක් නිසා එය ස්වයංකී්‍රයව විසන්ධි වුවහොත් අනෙක් රැහැන් මාර්ගය ද උපරිම ධාරිතාව ඉක්මවා යෑමෙන්  විසන්ධි වන බවයි. එවිට මෙ.වො. 900 ම පද්ධතියෙන් ඉවත් වන බැවින් සම්පුර්ණ පද්ධතියම බිඳ වැටිය හැකි බවයි. 

මෙය සැබැවින්ම සිදු විය හැකි වුවද, තවත් ඕනෑ තරම් මෙවැනි රැහැන් මාර්ග (එකක් බිඳ වැටුනොත් අනෙක උපරිම ධාරිතාව ඉක්මවා යෑමෙන් බිඳ වැටෙන) විදුලි බල පද්ධතිය තුල පවතින බවත් මෙලෙස, මුළු පද්ධතියම බිඳ වැටීමේ හැකියාවන් ඕනෑ තරම් තිබියදී  වේයන්ගොඩ දක්වා දිවෙන රැහැන් මාර්ගය පිලිබඳව විශේෂයෙන් සලකා, ගල් අඟුරු බලාගාරයේ මෙ.වො. 900 ක් දක්වා ජනනය කිරීම වැලකීමට දරණ උත්සාහය පිලිකුල් සහගත වේ. මේ දිනවල ප්‍රධාන පාලන මධ්‍යස්ථානයේ නිලධාරීන් සුපිරි නිවාස ඉදි කරමින් සිටින බව එහි සේවකයන් පවසති.

4) හුළං මාෆියාව ගැන බොහෝ දෙනා නොදනී. එහෙත් හුළං මාෆියාව ද හෙනහුරා සේ ගල් අඟුරු බලාගාරය මතට ම කඩා පාත් වී ඇත. පුද්ගලික  හුළං බලාගාරවලින් ඒකකයක් මිලට ගනු ලබන්නේ රුපියල් 24 ක් වැනි ඉහල මිලකට ය. ඊට වඩා අඩුවට මිලට ගත හැකි විදුලිය තිබුනද දවස පුරාම හුළං බලාගාර වලින් මිලට ගත යුතු යයි කියැවෙන අරුම පුදුම ගිවිසුමකට විදුලි බල මණ්ඩලය බැඳී සිටී. ඒ වෙන කිසිවක් නිසා නොව මණ්ඩලයේ ඉහල නිලධාරීන් හුළං බලාගාර වලට ද ආයෝජනය කර ඇති නිසාවෙනි.

ඉහත සඳහන් කළ පරිදි ගල් අඟුරු බලාගාරය මෙ.වො. 550 දක්වා සීමා කර ඇත්තේ වේයන්ගොඩ දක්වා දිවෙන රැහැන් මාර්ගයේ ආරක්ෂිතව ගෙන යා හැක්කේ එපමනක් බව පවසමිනි. එහෙත් පුදුමය නම් ඒකකයක් රුපියල් 24 වන හුළං බලාගාර වල මෙ.වො. 60 ක්, එම රැහැන් මාර්ගය හරහා සම්ප්‍රේශනය කිරීමට හිරිකිතයකින් තොරව ඉඩ කඩ ලබා දී තිබීමයි. රැහැන් මාර්ගයේ යම් සීමාවක් ඇති වේ නම්, හුළං සහ ගල් අඟුරු බලාගාර දෙකෙන් සම්ප්‍රේශනය සඳහා අවස්ථාව ලබා දිය යුත්තේ වඩාත් ලාබදායී රුපියල් 5 ක් වන ගල් අඟුරු බලාගාරයට බව 5 හේ පන්තියේ ලමයෙකුට වුව වැටහේ. එහෙත් පුදුමයට කරුන ඉන්ජිනේරු උපාධියකට හිමිකම් කියන මණ්ඩලයේ නිලධාරීන්ට ඒ බව අවබෝධ නොවීමයි. සැබැවින්ම මොව්හු තමන්ට ලැඛෙන කොමිස් මුදලට නොදන්නවා සේ රඟපාති.

5) කොටුගොඩ ග්‍රිඩ් උප පොලෙහි  ට්‍රාන්ස්ෆෝමරයේ හදිස්සියේ කෙරන නඩත්තුව ද එහි සේවකයන්ගේ සැකයට භාජනය වී ඇත. ගල් අඟුරු බලාගාරයේ විදුලිය වේයන්ගොඩින් පසුව ගෙන එන්නේ කොටුගොඩ ග්‍රිඩ් උප පොලටය.  වසර ගණනාවක් පැවැති සුළු දෝශයක් නිවැරදි කිරීම සඳහා සති කිහිපයක් ට්‍රාන්ස්ෆෝමරය ඉවත් කොට ඇත. ඒ හේතුවෙන් ද ගල් අඟුරු බලාගාරයේ ජනනය කරන විදුලිය සීමා කිරීමට සිදුව ඇත. අදියර තුනම අවසන් වී ක්‍රියාත්මක වන මොහොතේ, ඊට පෙර අලූත්වැඩියා කිරීමට ඕනෑ තරම් අවස්ථාව තිබුනු මෙම ට්‍රාන්ස්ෆෝමරයේ අලූත්වැඩියාව ද කොමිස් ලැඛෙන නිලධාරීන්ගේ සැලසුමක් බව කිව හැකිය.

අවසානයේ සිදුව ඇත්තේ මෙ.වො. 900 ක් ජනනය කළ හැකි ගල් අඟුරු බලාගාරය මෙ.වො. 550 කට සීමා වීමකි. ඒ හරහා වාසිය ලැබී ඇත්තේ පුද්ගලික තාප සහ හුළං බලාගාරවලට ය. පුද්ගලික බලාගාර හිමියන්ගෙන් මණ්ඩලයේ නිලධාරීන්ට වසර අවසානයේ ලැඛෙන හැම්පර් එක වඩාත් සරු සාරව මෙවර ද නිවසට ම ලැඛෙනු නොඅනුමානය.

 

---------------------------
by   -කරන්ට් මෑන්-   (2014-09-14 14:26:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links