සුනිමල් මුතුමාල
(ලංකා ඊ නිව්ස් -2020.සැප්.26, පෙ.ව.5.45) කපුවන් ඇතුළු දේවාල පරිපාලනයේ පවතින මහා පරිමාණ දුෂණ නිසා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇති ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ පදවියට වෙනත් චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් වග උත්තර කරුවකු වන දිශාන් වික්‍රමරත්න ගුණසේකර නිතරඟයෙන් පත්ව තිබේ. මෙම පත්වීම රාජපක්ෂ පවුලේ අභිමතය පරිදි සිදු වූවක් බැවින් ඔහු සමඟ තරඟ කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.
පසුගිය සමයේ කතරගම දේවාලයේ බස්නායක නිළමේ ධුරයේ වැඩ බැලූ දිල්රුවන් රාජපක්ෂ මුල දී මෙම තනතුර සඳහා තරඟ කරන බව කියා සිටිය ද දිශාන් වික්‍රමරත්න ගුණසේකර ගේ ඉදිරිපත් වීමත් සමඟ ඔහු ද එම තරඟයෙන් ඉවත් වී තිබේ.
මානව හිමිකම් ක්‍රියාධරයකු වන කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන අන්දමට දිශාන් ගුණසේකර 2010 සිට 2015 ජනවාරි 8 දක්වා ලංකා මිනරල් සෑන්ඩ් හි සභාපති හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කළ අවදියේ මෙම වංචනික ක්‍රියා සිදු වී ඇත. වරක් ඔහු ලංකා බැංකුවෙන් රු. මිලියන 500 ක ණයක් ලබා ගෙන මිනරල් සෑන්ඩ්
සමාගම සදහා නව කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසා භාණ්ඩ පවා ආනයනය කර තිබේ. නමුදු කිසි දිනෙක එවැනි කම්හලක් ඉදිකොට නොමැත. මේ අතර මිනරල් සෑන්ඩ් සමාගම සතු රුපියල් මිලියන 40 හම්බන්තොට වෙරළ උද්‍යානයක් තැනීමට නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී ඇත. නමුදු 2015 ජනවාරි 6 දින පැවැති ජනපතිවරණයට දින දෙකකට පෙර ඔහු එම ණය මුදල ප්‍රතිපූරණය කොට එම තනතුරින් ඉවත් ව තිබේ. ඒ ඔහුගේ එම වංචනික ක්‍රියාව කෙරෙහි සමාජ අවධානයක් යොමු වෙමින් පැවති පසුබිමකය.
එමෙන්ම රුපියල් ලක්ෂ 55 ක වාහන කුලියට ගැනීම සේවකයන් 39 ක් වෙනත් රාජකාරි කටයුතු සදහා යෙදවීම ආදී ඔහුට එරෙහි තවත් චෝදනා කිහිපයක් විභාග වෙමින් පැවති 2016 වසරේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේ පැවති උත්සවයකට සහභාගී ව සිටි පොලිස්පති පුජිත් ජයසුන්දර දුරකතන තමන් වෙත ලැබුණු දුරකතන ඇමතුමකට රුපවාහිනී කැමරා ඉදිරියේදීම දුන් පිළිතුර ද එකල බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය. එහි දී ‘නිලමේ’ නමැත්තා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් අත් අඩංගුවට නොගන්නා බවක් ඔහු එහිදී කිසිවකුට පවසා සිටීම ද මාධ්‍ය මඟින් ප්‍රචාරය විය. පසුව අනාවරණය වූ පරිදි ඒ මොහොතේ පොලිස්පති වරයාට දුරකතන ඇමතුම දී ඇත්තේ දකුණු පලාත නියෝජනය කළ යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයකු හා හිටපු අමාත්‍ය වරයකු වන සාගල රත්නායක බවත් ඔහු "නිලමේ" වශයෙන් හඳුන්වා ඇත්තේ එවක දෙවිනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධුරය හෙබ වූ දිශාන් වික්‍රමරත්න ගුණසේකර බවත් පසුව අනාවරණය විය.
එමෙන්ම 2018 වසරේ නොවැම්බර් මාසයේ පැවැති පාර්ලිමේන්තු සැසි වාරයකදී සාගල ගේ මෙම "නිලමෙලා ආරක්ෂා කිරීමේ" කටයුත්ත පිළිබඳව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ද විවේචනයක් එල්ල කරනු දක්නා ලදී. ඔහු පොලිස්පති වරයාට එලෙස දුරකතන ඇමතුමක් දෙන ලද්දේ දිශාන් අත් අඩංගුවට නොගන්නා ලෙස රාජපක්ෂ පවුලෙන් කෙරුණු ඉල්ලීමක් මත බව ද පසුව එජාප මන්ත්‍රී වරුන් විසින්ම අනාවරණය කොට තිබිණ.
මේ අතර මෙම නව පත්කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මේ පිළිබඳව පැමිණිල්ලක් බාර දුන් උලපනේ සුමංගල හිමි ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට කතරගම දේවාලය දුෂිතයින්ගේ තෝතැන්නක් බවට පත් ව ඇති බවකි. එමෙන්ම දේශපාලන බලපෑම් මත මෙවර පත් වන දිශාන් වික්‍රමරත්න ගුණසේකර නමැත්තා ද දූෂිතයකු බව තහවුරු වී ඇති පසුබිමක එවැන්නකු දේවාලයේ බස්නායක නිලමේ ලෙස පත් කිරීමට දේවාලය තවත් බූරු පිටියක් නොවන බව ද උන්වහන්සේ කියා සිටියහ.
දෙවියන්ට කෙසේ වෙතත් අන්ධ භක්තිකයන්ට පින්සිදු වන්නට කතරගම පුද බිම මුල්කොට වාර්ෂික ව ගලා හැලෙන රුපියල් කෝටී ප්‍රකෝටි ගණනක මහා ධනස්කන්ධයට රාජපක්ෂ වරුන් කෙළ හළන්නට පටන් ගෙන දැන් සෑහෙන කලකි. කතරගම දේවාලයේ බස්නායක තනතුරට තම පවුලේ කෙනෙකු රිංගවා ගැනීම ඒ සඳහා හොඳම ක්‍රමය බව වටහා ගත් ඔවුහු 2006 වසරේ ඒ සඳහා තම පවුල නියෝජනය කරන ශෂීන්ද්‍ර රාජපක්ෂ පත් කොට ගත්හ.
ඒ කෙසේ හෝ ඉන්පසුව 2015 වසරේ දේවාලයේ බස්නායක නිලමේ පදවිය සඳහා ඡන්ද බලයෙන් පත් වන ලද්දේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරු ඩඩ්ලි සිරිසේනගේ සමීපතමයකු වන මහනුවර කෝටිපති ව්‍යාපාරික ඩී පී කුමාරගේය. එහෙත් තම නිල කාලය තුළ තම නිල බලය යොදමින් කතරගම පුද බිම බැතිමතුන්ට විශිෂ්ඨ සේවයක් කරන බවට ඔහු පැමිණි මුල් දිනවල කළ ප්‍රකාශය දෙවොලේ සමහර කපුවන්ට "ඇලජික්"විය. ඒ නිතිපතා කතරගම දෙවියන්ට පුද දීම පිණිස බැතිමතුන් විසින් ගෙනෙන ලදුව කපුවන් අතට පත් වනු ලදුව දෙවියන්ටත් නොපෙනී අතුරුදන් වන කෝටි ප්‍රකෝටි ගණනක රත්‍රන් කුවිතාන්සියක් මත නිල වශයෙන් භාරගත යුතුය වැනි යෝජනා කණ වැකීමත් සමඟිනි. ඒ අනුව කුමාරගේ දේවාලයේ සාම්ප්‍රදායික චාරිත්‍ර උල්ලංඝනය කරමින් දෙවියන් සතු දේ සොරකම් කිරීමට සැරසෙන බවට සමහර කපුවන් කතා පැතිර වූ අතර මැද මුලන වලව්ව තවත් දේවාලයක් සේ සළකන කපුවෝ කීප දෙනෙක් තමන්ට සිදු වූ මෙම අසාධාරණය පිළිබඳව මැද මුලනේ බහිරව දේවතා සමූහය ඉදිරියේ කන්නලව් කරන්නට වූහ. ඔවුන් කුමාරගේ නිලමේ වරයා සමඟ කුමක් හෝ"කොක්කක් ඇද ගන්නට" මාන බලා ඇත්තේ ඒ අතරය.
2017 අගෝස්තු 22 වන දා දේවාලයේ යතුරු භාර දීම සම්බන්ධ ප්‍රශ්නයක් දුර දිග යාමෙන් දේවාලයේ සේවය කළ ලාල් නම් කපුවා සහ බස්නායක නිලමේ කුමාරගේ අතර ඇති වූ ගැටුමක් සමඟ ඒ කපුවා සමඟ පැමිණි මැර කණ්ඩායමක පහර කෑමෙන් තුවාල ලත් බස්නායක නිලමේගේ සහායකයන් දෙදෙනකුට රෝහල් ගත වීමට පවා සිදු විය. මේවා ද රාජපක්ෂලාගේ නූල් සූත්තර බව එම දේවාලයට සම්බන්ධ කපු ප්‍රජාවම කියති. කෙසේ හෝ බස්නායක නිලමේ මුල්කොට බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා වෙත දිගින් දිගටම ලැබුණු පැමිණිලි මත අවසානයේ මෙම ගැටළුව එවක බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා වෙතට යොමු වනු ලදුව ඔහු විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු මගින් ස්වාධීන පරීක්ෂණයක් කරවා වාර්තාවක් ලබාගෙන ඇත. මේ සියලු කරුණු සැලකීමෙන් අනතුරුව අමාත්‍ය වරයා ඩී.පී කුමාරගේ බස්නායක නිළමේගේ රාජකාරී කටයුතු මාස තුනකට අත්හිටුවා වැඩබලන බස්නායක නිළමේ ධුරයේ වැඩ බැලීමට දිල්රුවන් රාජපක්ෂ පත්කර තිබේ. එම කාල සීමාව අවසානයේ ද කිසිදු පියවරක් නොගැනීම මුල් කොට අධිකරණයේ පිහිට පැතීමට පවා කුමාරගේ නිළමේට සිදුවිය. එහෙත්, ඔහු විසින් කරන ලද කිසිදු වරදක් සොයා ගත නොහැකි වූ අතර ඔහු කළ එකම වරද කතරගම දෙවොලේ කපුවන් විසින් ගසා කන රුපියල් කෝටි ගණනක ධනස්කන්ධය ගැන එළි පිට කතා කිරීම පමණක් ම විය යුතුය.
නමුදු කුමාරගේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් 2019 මාර්තු මාසයේ මහනුවර රෝයල් මෝල් ශාලාවේ පැවැති සමස්ත ලංකා බස්නායක නිලමේ වරුන් ගේ සංගමයේ රැස්වීමක දී එහි ප්‍රධාන ලේකම් උදය ඇමිටියගොඩ බණ්ඩාර මහතා පළ කරන ලද්දේ මෙබඳු අදහසකි.
"කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා එම ධුරයෙන් ඉවත් කළේ හුදෙක් අමාත්‍යවරයාගේ බලපෑම් මතයි. නිලමේවරයා යම් වරදක් කොට තියනවා නම් ඒ සම්බන්ධව විධිමත් විමර්ශනයකින් පසුවයි; ඔහු ඉවත් කළ යුත්තේ. බස්නායක නිලමේ ධුරයේ වැඩ බලන්න යම් තැනැත්තෙක් පත්වූ පසු ඔහුට නිලමේ ඇඳුම අඳින්න බැහැ. වැඩ බලන දේවාල භාරකරු බස්නායක නිලමේ කෙනෙක් වෙන්නේ කොහොමද? කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ධුරයෙන් ඉවත් කිරීම ගැන අපි ජනාධිපතිතුමාටත්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාටත් දැනුම් දුන්නා. වැඩ බලන බස්නායක නිලමේවරයකු ලෙස පත් කරන තැනැත්තාගේ එකී වැඩ බලන ධුර කාලය මාස තුනයි. එයින් එහාට මේ ධුරයේ රැඳී සිටීමට, විහාර දේවාලගම් ආඥා පනතට අදාළව කිසිම නීති ප්‍රතිපාදනයක් නැහැ"
ඔහු කී ලෙසම බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ ඇරයුමක් නොමැතිව එයට සහභාගී වූ කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ ලෙස හඳුන්වාගත් ඒ වන විට වැඩ බැලීමේ කාලසීමාව ද අවසන් වී සිටි දිල්රුවන් රාජපක්ෂ මහතාට එම රැස්වීමට සහභාගි වීමට කිසිදු අයිතියක් නැතැයි සභාවෙන් මතයක් පළ විය. ඒ අනුව සංගමයේ ලේකම් උදය ඇමිටියගොඩ බණ්ඩාර සහ කතරගම දේවාලයේ ගැමුණු බණ්ඩාර, තිලක වලිසුන්දර යන බස්නායක නිලමේ වරුන් ඔහුට වහාම රැස්වීම් ශාලාවෙන් පිටව යන ලෙස දැනුම් දුන්හ. එබැවින් බස්නායක නිලමේ වරයකු ලෙස එම රැස්විමට සහභාගී වීමට අනාරාධිතව එහි ගිය රාජපක්ෂ මහතාට ලජ්ජාවට පත්ව ආපසු හැරෙන්නට සිදු විය. නමුදු කතරගම දී මෙම සිද්ධිය පිළිබඳව කටින් කෙළ පොදක් නොහෙළීමට ද ඔහු වග බලාගෙන තිබිණ.
මේ සියළු තත්වයන් යටතේ රාජපක්ෂ වරුන් කතරගම දේවාලයේ කපුවන් දෙවියන් ඉදිරියේ දීම"පිල්ලි ගහන"රුපියල කෝටි ගණනක ධන්ස්කන්ධය තම මැදමුලන වලව්ව නම් වඩබා මුඛය වෙතට හරවා ගැනීමට රාජපක්ෂ බහිරව දෙවිවරු කදිම කෙමනක් අටවා තිබේ. ඒ අතට ගන්නා මුදල් වලින් හතර වරං කෙළීමට දත් දිශාන් වික්‍රමරත්න ගුණසේකර නම් නීල කාස හොරෙකුට කතරගම දේවාලයේ මසුරං පෙට්ටිය බාර දීමෙනි. ඒ අනුව දෙවියන්ගේ නමින් තව දුරටත් මෙවන් සොරුන්ට තම අත මිට, කණ කර, ඉන ඉහ පුදන අපේ රටේ බහුතරය මෙවැනි පුවත් ඇසීමෙන් පසුවත්"හයියෙන් සාදු කාරයක්" දුන්න ද අප පුදුම විය යුතු නැත.
---------------------------
by (2020-09-26 01:02:15)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි