(ලංකා ඊ නිව්ස් -2020.ඔක්.05, පෙ.ව.7.05) කොළඹ පිටකොටුවේ පීපල්ස් පාක් ගොඩනැඟිල්ලේ විවිධ මාදිලි වල ස්ටිකර් තොග හා සිල්ලරට අලෙවි කරන වෙළඳ සල් කිහිපයක්ම දක්නට ඇත. ඒවායේ අලෙවි වන ස්ටිකර් අතුරින් වැඩිම වේගයකින් රට පුරා බෙදා හැරෙන ස්ටිකර් අතරේ "ඇස් වහ කට වහ දුරු වේවා මෙම නිවසට, වෙළඳ සලට, රථයට බුදු සරණයි, දෙවි පිහිටයි" ආදී වශයෙන් සඳහන් ස්ටිකර් වලට මුල් තැනක් හිමි ව තිබේ.
මීට දශක පහ හයකට ඉහත නොතිබූ මෙවන් ඇස් වහ කට වහ භීතිකාවක් මේ වන විට අප සමාජය පුරා පැතිරෙමින් පවතිනුයේ ඇයි? මෙය පොදු සමාජ කතිකාවකට ලක් විය යුත්තකි. "ඔය ඇස් වහ කට වහ විශ්වාස පැතිරෙන්නේ ඉහළ සහ පහළ මධ්‍යම පාන්තික සමාජයේ විතරයි. සාමාන්‍ය ජනතාව බොහොම දුක සේ සල්ලි හම්බු කරගෙන ගෙවල් හදන අතරේ ඒවා ඇස් වහ කට වහ කට වහ වලින් බේරා ගන්නත් වෙනම දුකක් විඳිනවා. ඒත් කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් කොල්ල කාලා සමහර දේශපාලඥයෝ හදන මාලිගා වලට ඔය ඇස් වහ කට වහ මුකුත් නැහැනේ" දිනක් ඒ සම්බන්ධයෙන් කතා බස් කරමින් සිටියදී මම මගේ හිතවතෙකුට කීවෙමි. "ඇයි හොරුන්ට ඇස් වහ කට වහ නොවදින බවට ජන සම්මතයක් තියනවා ඒක දන්නේ නැද්ද?" ඔහු ගත් කටටම ඇසීය.
සරදමක් සේ පෙනුණ ද ඔහු හේ ඒ කතාවෙහි යම් හරයක් තිබේ. තරාතිරම කුමක් වුව ද සොරුන් සේම ගණිකාවන්, ආබාධිතයන්, යුද සෙබළුන් ආදී වහ දොස් එල්ල නොවන පුද්ගල තරාතිරම් පිළිබඳ විවරණයක් ද අපගේ ජන විඥානයේ තිබේ. එමෙන්ම මෙම වහ දෝෂ පිළිබඳ පොදු ජන විශ්වාසයන්ට අනුව ආගමික සිද්ධස්ථාන සහ පොදු දේපළ මුළුමනින්ම ඒවායින් නිදහස් ය.
කෙතරම් නවීන සහ රමණීය මට්ටමක පැවැතිය ද රජය සතු ගොඩනැගිලි, වාහන සහ වෙනත් සම්පත් ද මෙම වහ දෝෂවලින් නිදහස් ය. කෙතරම් මහේශාඛ්‍ය ස්වරූපයක් පැවැතිය ද පැරණි වලව් වැනි මහේශාඛ්‍ය නිවහන් සහ මන්දිර සේම ඒවායේ ජීවත් වන වංශවත් පුද්ගලයෝ ද මෙම වහ දොස් වලින් නිදහස් වෙති. එසේම රෝගීන් වෙත ද ඇස්වහ, කටවහ වැනි වහදොස් එල්ල නොවේ. ඒ අතරේ රාජ උදහසට ලක්වූවන්, බන්ධනාගාර රැඳවියන් ආදී වශයෙන් පොදු සමාජයෙන් බැහැර කරන ලද තවත් පිරිස් කෙරෙහි ද මෙම ඇස්වහ කටවහ ආදී වහ දෝෂ බල නොපවත්වන බව ද අප ගේ ජන විඥානයේ සනිටුහන්ව ඇත. මෙලෙස වහ දොස් එල්ල නොවීම සම්බන්ධයෙන් අතීතයේ රජවරුන්ට ඇති හිමිකම ම නීච කුලීනයන් යනුවෙන් හැඳින්වුණු ජන කොටස්වලට ද හිමිව ඇත.
මේ සියළු කරුණු විශ්ලේෂණාත්මකව බලන විට අප සමාජයේ ඇස්වහ, කටවහ ආදී වශයෙන් වන අවදානම ඇත්තේ ද යහපත් දිවි පෙවෙතක් ගත කරනු ලබන ඉහළ හා පහළ මධ්‍යම පාන්තික ජනතාවට පමණක් බව ඉතා පැහැදිලි ය.
කුඩා දරුවන් තමන් ගේ පාසල් වැඩ පොත් සහ අභ්‍යාස පොත් තම පවුලේ සමීපතම ඥාතීන්ට හැරුණු කොට බාහිර කිසිවෙකුටත් නොපෙන්විය යුතුය යන පොදු මතයක් මෙරට මධ්‍යම පාන්තික සමාජයේ මව්වරුන් අතරේ පැතිර යමින් තිබේ. තම දරුවන්ගේ අධ්‍යාපනික තත්වයන් පිළිබඳ ව නිරතුරුවම සංතීක්ෂණ අවධානයෙන් පසු වන මව් වරුන්ට වරින් වර දරුවන්ගේ අධ්‍යාපනික පසුබෑම් සහ ඒවාට හේතු කාරණා විමසීමේ දී ඔවුන්ගේ පාසල් වැඩ පොත් බාහිර පුද්ගලයන්ගේ අවධානයට ලක් ව ඇති බව නිරීක්ෂණය වීම මෙම මතය පැතිර යාමට හේතු වී තිබේ.
දරුවකුගේ අධ්‍යාපනය යනු ඔහු තුළ පවත්නා බහු විධ බුද්ධිය පෝෂණය කරනු ලබන යාන්ත්‍රණයකි. නමුදු එහි විධිමත් බව පිළිබඳව අදත් ලොව පුරා වාද විවාද පවතී. මිනිස් බුද්ධිය යනු යනු ගණිතමය හා භාෂාමය ගැටලු විසඳීමෙන් විදහා දැක්විය හැකි තර්ක ශක්තියක් ලෙස පිළිගෙන තිබූ අවදියක බහු විධ බුද්ධි න්‍යාය ඉදිරිපත් කිරීමෙන් ඇමරිකානු මනෝවිද්‍යාඥයෙකු වන හොවාර්ඩ් ගාඩ්නර් බුද්ධිය පිළිබඳව පැවති පැරණි මතවාද දුරු කොට මිනිස් බුද්ධිය පිළිබඳ මානව චින්තනය වෙනත් මගකට යොමු කිරීමට සමත් විය. ඒ අනුව කිසිදු දරුවකු ගේ අධ්‍යාපනික හැකියාව ඒකාකාරී නොවන අතර නිරතුරුව එහි උච්චාවචනයන් දැකිය හැක.
නමුත් මෙවන් තත්වයක් යටතේ වුව තම දරුවන්ගේ කුශලතා පිළිබඳ සත්‍ය වටහා ගැනීමට නොකැමති බොහෝ මව්වරු තම දරුවා ගේ එම පසුබෑම අනෙ`කකුගේ ඇස්වහ කට වහ නම් වන ගුප්ත දෝෂ වැදීමක් ලෙස උපකල්පනය කරති. මෙලෙස තමන්ට පිළිගත නොහැකි සහ එසේ පිළි ගැනීමෙන් මානසික බිඳ වැටීම් ඇති වන දේ වෙනතකට හරවා යැවීමෙන් එම මානසික බිඳ වැටීම වලක්වා ගන්නා මානසික ක්‍රියාවලිය මනෝ විද්‍යාවේ හැඳින්වෙනුයේ මනෝ විද්‍යාත්මක ප්‍රක්ෂේපණය [Psychological projection] යනුවෙනි. එමෙන්ම පසු සිදු වීම පෙර සිදුවීමක අතාර්කික ප්‍රතිඵලයක් ය යන ගුප්ත විශ්වාසයක් ද ලොව පුරා පවතී. මෙය ලතින් භාෂාවෙන් Post hoc ergo යනුවෙන් හැඳින්වෙයි.
propter hoc. මෙවන් පසුබිමක් යටතේ අප රටේ ජනතාව ගිරිය කඩා ගෙන"ජය වේවා! ජය වේවා!" කියමින් හුරේ දමමින් වැඩිම ඡන්ද ගණනකින් පාර්ලිමේන්තුවට යවන වැඩි පිරිසක් ද ඡන්ද දායකයන්ට හිමි ඇස් වහ කටවහ දෝෂ වලින් පවා තොර කිරීමට තරම් අප රටේ සාමාන්‍ය ජනතාව වාසනා වන්ත වී හිඳිති
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/70
---------------------------
by (2020-10-05 20:24:29)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි