ජිනසිරි දඩල්ලගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2020.ඔක්.16, පෙ.ව.11.00) සමාජය මේ දිනවල කොරෝනා අර්බුදය පිලිබඳ වැඩි අවධානයකින් කටයුතු කළත් වසරකට ප්‍රථම සිදුවූ පාස්කු ප්‍රහාරය පිළිබඳව මතකයද සම්පුර්ණ ලෙස මතකයෙන් ඈත් කොට නැත. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව කෙරෙන පරීක්ෂණ පිළිබඳවත්, පවතින දේශපාලන වට පිටාව මත පාස්කු ප්‍රහාරයේ වගකීම් එකිනෙකා පිට පැටවීමේ දේශපාලන කතා බහ පිළිබඳවත් ජනතාවගේ අවධානය යොමුවී ඇත.
ශ්‍රි ලංකාවේ වැඩි දෙනෙක් අදහන බුදු දහමේ ඉගැන්වීම් පරිදි ’හේතුඵල වාදය’ පිලිබඳ අදහස සමාජය තුල පැවතියත් මෙබඳු ප්‍රහාරයක් පාස්කු මාසයේදී එල්ල කිරීම පිළිබද හේතු පිළිබඳ සැබෑ විග්‍රහයක් සිදුවූ බවක් නොපෙනේ. සොයා ගෙන පහර දිය යුත්තේ හේතුවට වුවත්, විග්‍රහ කරගත යුත්තේ හේතුව වුවත්, ශ්‍රී ලංකා සමාජය බොහෝ දුරට පහර දෙන්නේ ඵලයට බවත්, විග්‍රහ කරගන්නේ ඵලයම බවත් මෙම සිදුවීමටද අදාල කරගත හැක.
මෙම ප්‍රහාරයේ හේතුව පිලිබඳ විග්‍රහ කිරීමේදී නව යටත් විජිතවාදී ගෝලීය දේශපාලනය පිලිබඳ අවබෝධය වැදගත්වේ. අධිරාජ්‍ය වාදය හෝ යටත් විජිතවාදය තුල විවිධ ආකාරයෙන් බලවත්වූ රටවල් ලෝකයේ දුර්වල රාජ්‍යයන් යටත් කරගෙන එම රටවල සම්පත් සූරා කෑම සියවස් ගණනාවක් සිදු කරයි. යටත් විජිත සඳහා නිදහස ලබාදීමේ ක්‍රියාවලිය නව යටත්විජිතවාදී න්‍යාය පත්‍රයක් යටතේ සිදුවූ දෙයකි. නිදහස ලබාගත් බොහෝ යටත් විජිත රාජ්‍යයන් නව යටත් විජිතවාදී ග්‍රහණයට එම රටවල් හිරවීම පිලිබඳ දක්වා ඇත්තේ බොහෝ අනුවණ සබදතාවයකි. ශ්‍රි ලංකාවද එම තත්වයේදී ඉදිරියෙන් සිටින රාජ්‍යයකි.
නව යටත්විජිත ප්‍රවේශයන් යටතේ බලවත් රටවල ආර්ථික, සමාජ යහපත්භාවය මෙන්ම ලෝක බලතුලනය සඳහා අවශ්‍ය දේශපාලන සබඳතාවය පවත්වාගැනීම සඳහා බොහෝ උපාය උපක්‍රමයන් භාවිතා කරනු ලබයි. ආර්ථික වශයෙන් පසුගාමී රටවල සුවිශාල ණය ගැති භාවය නව යටත් විජිත ග්‍රහණය සඳහා යොදා ගනී. එම තත්වයන් මත ගෝලීය දේශපාලන වුවමනාවන්ට අනියවාර්යයෙන්ම යටත් වීමට එකී පසුගාමී රටවලට සිදුවේ. ශ්‍රී ලංකාව නව යටත් විජිතවාදිව පසුවන්නේ එබඳු තැනක ය.
තම බලාපොරොත්තු ඉටුකර ගතහැකි සබඳතා සහිත රජුන් තැනීම සඳහා ලෝකයේ බොහෝ බලවත් රටවල් විවිධ දුෂ්ඨ මෙන්ම, ගුප්ත භාවිතාවන් වල නිරත වේ. භාෂාව, ජාතිවාදය, ආගම්වාදය, දේශප්‍රේමීත්වය ආදී නොයෙකුත් ඇවිලෙන සුළු සමාජ සංස්ථාවන් මෙන්ම දේශපාලන නායකයන්ගේ ආකල්ප, හැකියාවන් හා උවමනාවන් මෙන්ම මෝඩකම්ද සූක්ෂම ආකාරයෙන් යොදා ගැනීම නව යටත් විජිත ප්‍රවේශයන්ගේ ගතිලක්ෂණය වේ. මේ සඳහා අදාල රටවල ඔත්තු සේවා ඉතාමත් පර්යේෂණශීලීව අදාල උපක්‍රම භාවිතා කරනු ලැබේ.
බොහෝ නවයටත්විජිතවාදී උපක්‍රමයන් ඉතාමත් අවස්ථාවාදී වේ. අදාල ඉල්ලක්කයට යාම සඳහා පවතින සමාජ, ආර්ථික හා දේශපාලන උවමනාවන් නිසි පරිදි තක්සේරු කර අදාල උපක්‍රමය භාවිතා කරයි.
ශ්‍රි ලංකාවේ පවතින භූගෝලීය පිහිටීම් සඳහා බොහෝ ගෝලීය බලවතුන් කෙල හලන බව ප්‍රසිද්ධ කරුණකි. ඒ සඳහා ඇතුල්වීමට දේශපාලන සබඳතාවය අවශ්‍යවේ. ඒ සඳහා ජනමතය අවශ් යවේ. එම තක්සේරු කිරීම් යටතේ අදාල සැලැස්ම ක්‍රියාත්මක වේ.
පාස්කු දින බෝම්බ ප්‍රහාර සඳහා මෙබඳු බහුවිධ ගෝලීය නව යටත් විජිත ප්‍රවේශයක් සම්බන්ධ වේ. කාලය ඉදිරි දේශපාලන නායකත්ව තක්සේරු කිරීමෙන් හඳුනා ගැනේ. ආගම සබඳතාවය අවශ්‍ය ජනමතය නිර්මාණය සඳහා භාවිතා කෙරේ. වගකීම් සහිත නායකත්වය මංමුලා කිරීම සඳහා සවාරි යවයි. දිනන පරදින නායකයන් අපුරුවට හඳුන්වා දේ.
බොහෝ නව යටත්විජිත ප්‍රවේශයන්ගේ යථාර්තය හඳුනා ගැනීමට සැලකිය යුතු කාලයක් ගත වේ. ඒ වනවිට සියල්ල සිදුවී හමාර ය. ජාතිය, භාෂාව පදනම් කරගත් නව යටත් විජිතවාදී ප්‍රවේශයන්ගේ ප්‍රතිඵල දශක ගණනාවක් අපි භුක්ති විඳිමු. එහෙත් එහි යථාර්තයන් හඳුනාගැනීමට හා ඒවා නිවැරදි කර ගැනීමට ඒවා ගැට ගැසී ඇති නව යටත්විජිතවාදී බැඳීම් පහසුවෙන් ඉඩ ලබා නොදේ.
පාස්කු දින ප්‍රහාරයේ නව යටත්විජිතවාදී ප්‍රවේශය හදුනා ගැනීමට සමාජයට කල් යනු ඇත. එතෙක් එම ප්‍රහාරයේ සබඳතා සොයමින් අදාල ආයතන කල්ගත කරනු ඇත. ඒවා හරහා ජනතාව සැනසෙනු ඇත. ඒ අතර අප තවදුරටත් නවයටත් විජිත උගුලේ හිරවෙනු ඇත.
හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/66
---------------------------
by (2020-10-16 05:44:45)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි