~

රඟහල දැන් ඇත ඝණ අඳුරේ; දීකිරි ඉහිරී අනුලා නික්ම ගියා..!

(ලංකා ඊ නිව්ස් -2020.ඔක්.16, ‍ප.ව.11.30) සම්මානනීය, ප්‍රවීන, රංගනවේදිනී අනුලා බුලත්සිංහල (විවාහයට පෙර නම අනුලා මෙන්ඩිස්) අද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවා ය. මිය යන විට ඇය 73 වැනි වියේ පසු වූවා ය. ඇය සම්මානනීය කලාකරු ලූෂන් බුලත්සිංහලයන් ගේ ප්‍රිය භාර්යාව ය.

අනුලාගේ පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. ඇයගේ පියා ටීටර් නාට්‍යය නළුවෙකි. පියා විසින් අනුලා කුඩා කල සිට ගායනාවට පුරුදු පුහුණු කෙළේය. නාට්‍ය නැරඹීමටත් නැටුමටත් පුරුදු පුහුණු කෙළේය. ඒ අනුව ඇය පාසැල් යන කාලයේ දී ම උඩරට නැටුම් වලට ඩිප්ලෝමා සහතිකයක් ලබා ගත්තා ය. පසුව ලක්නව් භාත් කණ්ඩ විශ්වවිද්‍යාලයේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ඒ ශ්‍රේණියේ ඩිප්ලෝමාවක් ද ලබා ගත්තා ය. ඉන්පසු ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් ලෙස ඇය තෝරා ගැණින. ඒ අනුව පසුකලෙක ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වන්නේ රංගනයට අවශ්‍ය ගායනය නර්තනය යන දෙවැදෑරුම් ක්ෂේත්‍රයන් පිළිබඳ නිසි අධ්‍යාපනික පසුබිමක් සහ පුහුණුවක් සහිතව ය.  

රජයේ රැකියාවක් ලෙස සතොස ආයතනයේ රැකියාවක් ලද අනුලා හැටේ දශකයේ දී කලා ක්ෂේත්‍රයට පැමිණියේ ගුවන් විදුලි ගායිකාවක් සහ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් ලෙස ය. පසුව ආර්.ආර්. සමරකෝන් විසින් ඇය වේදිකා රංගනයට කැඳවා ගෙන ආවේ ය. ඒ 1968 දී ‘කොළඹ සතොස කලා කවය’ වෙනුවෙන් ආර්.ආර්. විසින්ම ලියා නිෂ්පාදනය කළ ‘ලෙඩක් නැති ලෙඩෙක්’ වේදිකා නාට්‍යයෙනි. එකල ආර්. ආර්. ද ආධුනිකයෙක් වූ අතර ආර්.ආර්. සහ අනුලා සතොසේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ එකට සේවය කළහ.

පසුව ඇය බර්ටි ගලහිටියාව, හෙන්රි ජයසේන, ආචාර්ය සරච්චන්ද්‍ර, ප්‍රේම රංජිත් තිලකරත්න, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, සුනන්ද මහේන්ද්‍ර, ලූෂන් බුලත්සිංහල වැනි දැවැන්තයන්ගේ ඇසුරේ පෝෂනය වූවා ය. ඇයගේ විශාල ඇස් සහ මධුර කටහ‍ඬ විසින් ඇය වේදිකාවටම ආවේනික චරිතයක් බවට පත් කළා ය.  

අනුලා වේදිකාවේ ජය කෙහෙළි නැංවූයේ ලූෂන් ගේ රතු හැට්ටකාරී නාට්‍යයේ ගී ගයමින් කළ රංගනයෙන් අනතුරුව ය. එහි තිබූ ‘දීකිරි දීකිරි, ගෙනාව දීකිරි’ ගීතය ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනාදරයට පත්විය. 1970 දී ඇය ලූෂන් බුලත්සිංහල සමග විවාහ වූවා ය. 

පසුව ප්‍රේමරංජිත් තිලකරත්නගේ කෝන්තරය, ශ්‍රී වික්‍රම (නූර්ති), ආර්.ආර්. සමරකෝන්ගේ ම ‘චරිත දෙකක්’ ලූෂන්ගේ ‘තාරාවෝ ඉගිලෙති’, දයානන්ද ගුණවර්ධනයන්ගේ  ‘මධුර ජවනිකා’, හෙන්රි ජයසේනගේ ‘කු‍වේණි’, සරච්චන්ද්‍රයන්ගේ ‘මහාසාර’, වැනි වේදිකා නාට්‍ය වල නර්තනයෙන් ගායනයෙන් සහ රංගනයෙන් කළ මනමෝහනීය චරිත නිරූපනයන් ලාංකික ප්‍රේක්ෂකයාට සදා අමතක නොවනු ඇත.

මධුර ජවනිකාහි නෙයිනගේ සූදුව ‘විරිදු’, රතු හැට්ටකාරි හි ‘දීකිරි දීකිරී’ ආදී ඇයගේ අදටත් ජනප්‍රිය නාට්‍යය ගීත හැර වෙනම ගායනා කළ  ‘රඟහල දැන් ඇත අඩ අඳුරේ’ (විජේරත්න වරකාගොඩ සමග) ‘බුදුන් වඳින මේ දෑතින්’ (දියණිය ඉන්ද්‍රචාපා සමග) ‘සුදු ඔසරිය ඇඳලා’ ආදී ගීත ද අතිශය ජනප්‍රිය විය.  

ටෙලි නාටකයේ ද සිනමාවේ ද රඟපෑ ඇය වත්මන් ටෙලි නාටක කර්මාන්තයේ ඇති පිරිහීම හේතුවෙන් ටෙලිනාට්‍ය රංගනයෙන් ඈත් වූවා ය. ඒ පිළිබඳ ඇය වරෙක කීවේ ‘ටෙලි නාට්‍යවල රඟපානවා කියන්නේ කොන්ත්‍රාත් කම්කරුවෝ වගේ වැඩ කරන්න වෙනවා’ කියා ය. නිල් දිය යහන ඇය රඟපෑ චිත්‍රපටයකි. මෑතක තිරගත වූ අශෝක හඳගමගේ ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයේ ඇය අවසන් වරට රඟපෑවාය. 

පසුගිය සැප්තැම්බර් 11 දා පැවැති රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ දී කලාකරුවෙකුට ජීවිතයට එක් වතාවක් පමණක් පිදෙන ‘නාට්‍ය කීර්ති’ සම්මානයෙන් අනුලා බුලත්සිංහල පිදුම් ලැබුවා ය. 

ඇයගේ දියණිය ඉන්ද්‍රචාපා වියානාහි දක්ෂ ඔපෙරා ගායිකාවකි. පුත්‍රයා හර්ෂ බුලත්සිංහල ද රංගනයේ, ගායනයේ, සංගීතයේ, නිෂ්පාදනයේ දක්ෂතා පෙන්වන කලාකරුවෙකි; බුද්ධිමය දේපොල අයිතිය වෙනුවෙන් සටන් කරන සමාජ ක්‍රියාධරයෙකි. 

අනුලා බුලත්සිංහලගේ දේහය අවසන් ගෞරව සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර  අවසන් කටයුතු හෙට (17) බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත ය. 

පියරු බබෙක් නොවී ශ්‍රී ලංකාවේ සැබෑ රංගන ශිල්පිනියක් වීම යනු අතිශය කඨෝර අත්දැකීමකි. එහි ප්‍රතිපත්ති සහගතව දිගුකලක් රැඳී සිටීම යනු ඊටත් වඩා දුෂ්කර ක්‍රියාවකි. එසේම මුග්ධ කලා බලධාරීන් විසින් එවැනි කලාකරුවන් කලාකාරියන් ගේ සක්‍රීය කාලයේ දී අහක බලාගෙන හිඳ, ඔවුන්ගේ අවසන් තත්පරයේ දී 'ජීවිතයේ අවසන් සම්මානය' කියා සම්මානයකින් දමා ගැසීම යනු තමන්ට මරණ සහතිකය ලැබීමක් වැනි හැඟීම් ඔවුන්ට ගෙන දෙන්නකි. එවැනි පසුබිමෙක රංගනවේදී අනුලා බුලත්සිංහල රටට අහිමි වූ තවත් වස්තුවක් ලෙස අපි සලකමු. ඇයට අවසන් ආචාරය පුදකරමින්, ඇයගේ අභාවය වෙනුවෙන් සොවින් තැවෙන ලූෂන්, හර්ෂ, ඉන්ද්‍රචාපා පවුලේ සාමාජිකයන් වෙත ලංකා ඊ නිව්ස් කර්තෘ මණ්ඩලයේ සහ පාඨක සමූහයේ ශෝකය මෙසේ සනිටුහන් කර තබමු..! 

සඳරුවන්

---------------------------
by     (2020-10-17 03:32:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links