~

භයානක ඒකාධිපතිත්වයක කළු දුමාරය සහ 20ට ඡන්දය දුන්නොත් අමුඩයද නැති වන හැටි..!

ආචාර්ය රාජසිංහ බණ්ඩාර ලන්ඩනයේ සිට ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.ඔක්.18, ‍ප.ව.12.45) පසුගිය මැතිවණ සමයේ ඉංග්‍රීසි පුවත්පතකට, ලංකාවේ වන ජීවීන්ගේ ඛේදවාචකය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය පිණිස මා ඉංග්‍රීසි බසින් ලියූ ලිපියකින් අනාවැකි කී කරුණක් වූයේ අප රටේ දේශපාලන ඉතිහාසයේ් උගන්වන ප්‍රබල කරුණක් නම් තනි පක්ෂයකට 2/3 බලයක් දීම යනු ඒකාධිපතිත්වයකට පාර කපන්නක් බවය. මෙය හුදු අනාවැකියක් පමණක් නොවන බව ආණ්ඩුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කරන සැලැස්ම මගින් හඬ නගා කියා පායි.

ආණ්ඩුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුව තුල අනුමැතිය ලබාගැනීමට සැරසෙන්නේ දේශපාලන සාක්ෂරතාවයේ හෝඩිපොතේ සිටින අප රටේ බහුතර ජනතාව තුල මහාචාර්ය ජී.එල්. පීරිස් වැනි චරිත යොදාගනිමින් මිත්‍යාවන් ගණනාවක් වැපිරීමෙනි. මෙයින් පළවන මිත්‍යාව වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ 'සෞභාග්‍යයේ දැක්ම' පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඇති බාධක ඉවත් කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුතු බවයි. එසේ වුවද දේශපාලනය පිළිබද මොළය කළඳක් හෝ ඇති අයෙකුට තේරෙන සුපැහැදිලි කරුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ තැන් පටන් මේ දක්වා ඔහුගේ නියෝග ක්‍රියාවට නැන්වීමට 19 වන සංශෝධනය කිසිදු බාධකයක් වී නැති බවයි.  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පසුගිය මාර්තු මාසයේ ඔහු දෙන ලද නියෝගය වලංගු නොවන බව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකල පෙත්සම් සියල්ලම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කළේ ය. එවැනි දේ සඳහා ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියට යාමට අවශ්‍ය නොවන අතර ඔහු නියෝජනය කරන්නේ නීතිපතිවරයා ය. 

ගෝඨාභයගේ නියෝග වලට 19 වැනි සංශෝධනය අබමල් රේණුවක්වත් බාධා වී නෑ..

කොවිඩ් 19 වසංගතය ලංකාවට ව්‍යාප්ත වූ තැන් සිට ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ, රාජ්‍ය නිළධාරින් හා ආරක්ෂක අංශ වලට දුන් උපදෙස් නියෝග අකුරටම ක්‍රියාත්මක කෙරිනි.  'ගම සමග පිළිසඳර' දියත් කරමින් සැප්තැමිබර් 25 වන දින ජානාධිපතිවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ ගම් වලට ගොස් ගැමියන්ගේ ගැටලූ වලට විසදුම් ලබාදීමට ගොස් හල්දොමුල්ලේ ගම්මිරිස් ගොවියන් ඇතුලූ ගැමියන් සමග තිබූ රැස්වීමකදී  රජයේ නිළධාරීන්ට ප්‍රකාශ කර සිටියේ ඔහු විසින් වාචිකව දෙන ලද උපදෙස් චක්‍රලේඛ සේ සලකා නිළධාරීන් කටයුතු කළ යුතු බවයි.  

"ජනාධිපති කිව්වට පස්සෙ ඒක තමයි චක්‍රලේඛය, පාවෙන ජනාධිපති කෙනෙක් නෙමෙයි මම.. ජනාධිපති, කිව්වම ඒකම තමයි, මේක ලියාගන්න.” 

මෙතෙක් මා දැක ඇත්තේ, ඔහු දෙන උපදෙස්, නියෝග එලෙසම ක්‍රියාවට නගන රජයේ මැති ඇමතිවරු, නිළධාරීන්, හමුදාපතිවරු ඇතුලූ රජයේ නිළධාරීන් පමණි. එපමණක් නොව පාර්ලිමේන්තුවේ 2/3 බලය හිමිකොට ගෙන තිබෙන ආණඩුවේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම හිටපු ජනාධිපති මගින්ද රාජපක්ෂ තම සහෝදරයා වූ තැන ඔහුගේ බලයට 19 ව්‍යවස්ථාව යටතේ අබමල් රේණුවක තරම්වත් බාධාවක් වීමට ඉඩක් නැත.  වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට වේදිකාවේ ප්‍රබලම හඬ වූයේද, ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව මහින්ද රාජපක්ෂ මහතාය.

රාජපක්ෂවරු විජයග්‍රහණය කෙළේ 19 යටතේ නොවේද?

ජනාධිපතිට තම ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරය තිබීම ප්‍රමාණවත්ය. එසේ වුවද දැනට ආණ්ඩුවට ඇත්තේ 2/3ක අති විශාල බහුතරයකි. එසේ වූ තැන මහජනතාවට හිතකර වූ ඕනෑම ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුව තුල සම්මතකොට  ක්‍රියාවට නැගීම 19 ව්‍යවස්ථාවෙන් කිසිදු අයුරක මං ඇහිරීමක් සිදුවන්නේ නැත.  ඒ තුලින් මං අසුරා ඇත්තේ ජනාධිපතිවරයෙකුට ඒකාධිපතිවරයෙකු ලෙස ක්‍රියාකිරීමට ඇති ඉඩකඩ පමණි. මෙම ඉඩකඩ අහුරා ඇති ප්‍රධානතම ව්‍යවස්ථාපිත ආයතනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිෂම ඇතුලූ කොමිෂන් සභා හා ඒවායේ සමාජිකයින් පත්කරනුයේද ශ්‍රේෂඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන් මත සිදුවන්නකි. මෙම ප්‍රතිපාදන සලස්වා ඇත්තේ ජනාධිපතිවරයා විසින් රටේ අභිමතය හා මහජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා ගන්නා පියවර වැළැක්වීමට නොව,  ඒකාධිපති වියරුවෙන් රට ලේ ගංගාවකට ඇද දමන පාලකයෙකුට අත්තනෝමතික ලෙස බලය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ ඇහිරීමටය. රාජපක්ෂවරුන් බලය හෙබවීම වැළැක්වීම අරමුණුකොට 19 වැනි ව්‍යස්ථාව සම්මතකොටගෙන ඇති බව කීම සත්‍ය අමු අමු වේ විකෘති කිරීමකි. මන්ද ඔවුන් විජයග්‍රණය කොට ඇත්තේ එම ව්‍යවස්ථා සංශෝධනය යටතේම නිසා ය.

ප්‍රංශ සහ ඇමරිකානු ක්‍රම... 

බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ බලවත්ම ජනාධිපති ක්‍රම ඇති ප්‍රංශය හා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන්ට ජනතා පරමාධිපත්‍යයටත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලටත් අත්තනෝමතික ලෙස අත නොතැබිය හැකිසේ ආණ්ඩුක්‍රමය සකස්කොට ඇති ආකාරයන්, ව්‍යවස්ථාපිත ආයතන පිහිටුවා ඇති ආකාරයන් මනාව ප්‍රත්‍යක්ෂවේ. යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම වැනි සුවිශේෂී තත්වයන් හැරුණ විට ඇමරිකානු ජනාධිපතිවරයාගේ රටේ පුරවැසියන්ට බලපාන කවර නියෝගයකට වුවද කොන්ග්‍රස් මණඩලයේ අනුමැතිය ලබාගත යුතුය. කොන්ග්‍රස් මණඩලය, මහජන නියෝජිත මණ්ඩලය හා සෙනෙට් සභාවෙන් සමන්විතය. මෙම මණ්ඩල දෙකේම බහුතරයෙන් සම්මත වූවොත් මිස ජනාධිපති වරයාගේ නියෝග ක්‍රියාවට නැගෙන්නේ නැත. ඊට අමතරව ජනාධිපතිවරයාගේ නියෝග ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැළැක්වූ අවස්ථා කොතෙකුත් ඇත.

ලෝකයේ වැඩිම ව්‍යවස්ථාපිත බලය හිමි ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ ප්‍රංශයේ ජනාධිපතිවරයාය. දේශපාලනය උඩින් පල්ලෙන් කට ගාගත් රජයේ ඇතැම් මැති ඇමතිවරු ගෝඨාභය රාජපක්ෂ මහතාට රට දියුණු කිරීමට නම් 20 වන ව්‍යවස්ථා සංශෝදනය සම්මතවිය යුතුම යැයි කියමින් ප්‍රංශ ජනාධිපතිවරයාට ඇති බලතල ගැනත් ප්‍රංශ ව්‍යවස්ථාව ගැනත් කටමැත දොඩනවිට මා නැවත වරක් ප්‍රංශ ව්‍යවස්ථාව කියවා බැලුවෙමි. ප්‍රංශයේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරෙන විධායක බලතල ජනතාවගේ පරමාධිපත්‍ය උපරිම වශයෙන් රැකෙන ලෙස පවරා ඇත. ප්‍රංශ පාර්ලිමේන්තුව ජාතික සභාව (National Assembly) හා සෙනෙට් සභාවකින් සමන්විතය. රටේ ආර්ථීක ප්‍රතිපත්ති, සමාජ යුක්තිය, ජනතා පරමාධිපත්‍ය වැනි දේට බලපාන  ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන කවර නීති කෙටුම්පතක් වුවද මෙම සභා දෙකෙන්ම පැහැදිලි බහුතරයකින් සම්මත විය යුතු අතර ඇතැම්විට ජනමත විචාරණයක් දක්වා යාමට ද සිදුවේ.  2000 ජූලි මස පැවැති ජනමත විචාරණයෙන් එතෙක් වසර 7ක්ව පැවැති ප්‍රංශ ජනාධිපතිවරයාගේ ධූර කලය වසර 5 ට සීමා කෙරිනි. 

ප්‍රංශයේ මෙන්ම ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ ද , බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ ද සිටිනුයේ රට තුල විවිධ ක්ෂේත්‍රයන් තුල විශිෂ්ඨත්වයට, කීර්තියට, ගෞරවයට පත් පුද්ගයින් හා සමාජයට විශිෂ්ඨ මෙහෙවරක් කළ නීති විශාරදයින්, ව්‍යාපාරිකයින්, වෘත්තීයවේදීන් වැනි අයයි. මෙම සෙනෙට් හා සාමි මණ්ඩල පවත්වගෙන යාමට මෙම සෑම ආණ්ඩුවක් විසින්ම විශාල වියදමක් දරණ අතර එම අඩුව, අඩුම වියදමකින් පිරිමසා ගැනීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයි.

19 වන සංශෝධනයෙන් 1978 ජයවර්ධන ව්‍යවස්ථාවෙන් ජනපතිවරයාට තිබූ ඒකාධිපති බලතල වලින් කොටසක්, එනම් පාර්ලිමේන්තුවත් ජනාධිපතිවරයාත් අතර සමානව බෙදී යන පරිදි කර ඇති වෙනස්කම් වැරදියැයි කියා නැවත ඒ බලතල මුලූමනින්ම ජනපතිවරයාට පැවරිය යුතුයැයි සිංහනාද යැයි සිතා හිවල් හඬ පිටකරන, බලතල වලට හා වරප්‍රසාද වලට ගිජු එස්.බී. දිසානායක වැනි ආණ්ඩුවේ මැති ඇමතිවරු එසේ ප්‍රකාශ කරනුයේ රට වැටී ඇති ආර්ථීක ප්‍රපාතයෙන් ගෙඩගැනීමට දැයි ජනතාව ගැඹුරෙන් කල්පනා කළ යුතුය. දේශපාලනයට පිං සිදුවීමට මහා මන්දිර ගොඩනගාගෙන සිටින එස්.බී. දිසානායක පිළිබඳව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් හඳුන්වනු ලැබුවේ එම ආණ්ඩුවේ සිටි දූෂිතම ඇමතිවරයා ලෙසය. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම මත හිරේ වැටුනු ඔහු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමාවෙන් දණ නමා එළියට පැමිණි බවද අමතක නොකළ යුතුය.

ඒකාධිපතියන් වෙන්න හැදූ අයගේ බෙල්ල ගිය හැටි..

විධායක බලය පාර්ලිමේන්තුවත්, ජනාධිපතිවරයාත් අතරත් ඛෙදීමට බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ සිදුවූ දේශපාලන පරිණාමය තේරුම් ගැනීමට ග්‍රීක, රෝම යුගය දක්වා යාමටත්, ප්‍රංශයේ හා බ්‍රිතාන්‍යයේ අවසන්වරට ඒකාධිපති බලය හෙබවූ රජ වරුන්ගේ ගෙල සිඳීමටත් මූල්වූ කරුණු තේරුම් ගත යුතුය. මීට වසර 2000 කට පමණ පෙර විශාලතම රෝම අධිරාජ්‍යය ගොඩනැගූ කීර්තිමත් සෙන්පති ජූලියස් සීසර් සෙනෙට් මණ්ඩලයේ බලතල සියල්ල තමා අතට පවරාගෙන තමා ඒකාධිපති (Dictator) ලෙස ප්‍රකාශයට පත්කිරීමට ගිය දින, එනම් ක්‍රි.පූ. 44 මාර්තු 15 වන දා සෙනෙට් සභිකයින්ගේ කුමණ්ත්‍රණයකින් ඔහුගේ දිවි තොර කෙරින. ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිවරයාට මෙන්ම පාර්ලිමේන්තුවට ද විශාල විධායක බලතල ප්‍රමාණයක් පවරා ඇත. ප්‍රංශ සමූහාණ්ඩුවේ (French Republic) විධායක බලය ජනාධිපතිවරයා හොබවන අතර ආණ්ඩුවේ විධායක බලය හොබවන ප්‍රධානියා වන්නේ අගමැතිවරයාය. ඔහුගේ එනම් අගමැතිගේ අභිමතය පරිදි අනෙකුත් ඇමතිවරුන්ට බලතල පැවරේ.

19 වන ව්‍යවස්ථාව නිර්මණය කොට ඇත්තේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක (1970-77) යුගයේ පටන් අප රටේ මිනිසුන් මුහුණ දුන් අභාවාචක සියල්ල ගැඔුරින් අධ්‍යනය කළ  අප රටේ ප්‍රඡාතන්ත්‍රවාදයට කැපවු විශිෂ්ඨ බුද්ධිමතුන්ගේ හා දේශපාලන සංවිධාන වෙනත් ස්වාධින මතධාරින් හා සංවිධාන වල අදහස් කැටි කොට ගෙනය. එය අප රටේ  ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්නන්ගේ කෙතරම් ආකර්ෂණයට භාජනය වුවා ද යන්න පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ද ආශිර්වාදය සහිතව ඡන්ද 215 කින් සම්මත විය. එම මන්තත්‍රීවරු නියෝජනය කළේ අප රටේ සමස්ථ ඡන්ද දායකයින්ය. මේසා විශාල බහුතරයකින් සම්මත කරගත් පනතක් ආපසු හැරවිම බටහිර පාර්ලිමේන්තු සම්ප්‍රදාය නම් නොවේ. මෙම ව්‍යවස්ථාව නිර්මාණය කිරිමට නායකත්වය දුන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාම 19 වන සංශෝධනය විශාල වරදක් ලෙස දකින බව පෙන්වා දිමට රජයේ මාධ්‍ය හා ඇතැම් මැති ඇමතිවරු උත්සාහයක යෙදේ. එය සම්පුර්ණ අසත්‍ය බව 20 වන සංශෝධනය ගැන ඔහු දැක්වු අදහස් වලින් තේරුම් ගත හැකිය.

මිත්‍යා කතා..

විධායක ජනාධිපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් ලෙස හැඳින්වීමත්, පාර්ලිමේන්තුවට සියලූ විධායක බලතල දීම ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් ලෙස හැඳින්විමත් එකසේම අසත්‍ය කරුණකි. 1970 පාර්ලිමේන්තුව තුල 2/3 බලයක් හිමිකර ගෙන බලයට පැමිණී සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ස්වකීය මුලු පාලන කාලයෙන් වැඩිම කොටසක් රට පාලනය කරනු ලැබුවේ හදිසි නීති බලතල පාවිචිචි කරමින් ඒකාධිපතියෙකු ලෙසය. එම බලතලම පාවිචිචි කරමින් පාර්ලිමේන්තුවේ ආයු කාලය මහජන ඡන්දයකින් තොරව වසර 2 කින් දිගු කලේය. එක්සත් ඡාතික පක්ෂයේ නායක ජේ. ආර්. ඡයවර්ධනට 1977 පාර්ලිමේන්තුව තුල 5/6 ක බලයක් ලබාගෙන ඒකාධිපතියෙකු වීමට පාර කපන ලද්දේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායකගේ ඒකාධිපති පාලනය යි. තනි පුද්ගලයෙකු අතට බලය සංකේන්ද්‍රනය විම තුල සිදු වන්නේ ඒකාධිපතියන් බිහි විම බැවින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කර ඇත්තේ ඵම මංපෙත් අහුරා දැමිමයි.

2019 අප්‍රේල් මස 21 වෙනි දින පාස්කු ඉරිදා සිදු වු ත්‍රස්තවාදි ප්‍රහාරය වලක්වා ගැනිමට හැකි නොවුයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා බව ආණ්ඩුව පතුරන තවත් මිත්‍යාවකි. එම ප්‍රහාරය වලක්වා ගැනිමට නොහැකි වි ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන වැනි ඉතා දුර්වල, දේශපාලන දැක්මක් නැති පාලකයෙකු ජනපති ලෙස බලයේ සිටිමත් ඔහුගේ දේශපාලන සට කපටකම් වල ප්‍රතිඵලයක් ලෙස බවත් කොමිසමේ හෙලිදරව් වු තොරතුරු වලින් පැහැදිලි වේ. කෙසේ නමුත් ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පවත්වමින් සහ කොමිෂන් සභා පවත්වමින් දිගින් දිගටම කරන මහජන මතය නොමග යැවීමේ උත්සාහය දැන්වත් නතර කොට කළ යුත්තේ දශක තුනකට වැඩි කාලයක් අප රටට ත්‍රස්තවාදි භීෂනයෙන් මෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදයෙන් පීඩා විඳීමට සිදු වුයේ 1978 සම්මත කළ ව්‍යවස්ථාවේ විධී විධාන තුලින් ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ ඒකාධිපති අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට තිබු ඉඩකඩ නිසා නොවේදැයි හැඳින ගෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගැනීමයි. ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි, ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක වැනි නායකයින්ට ජේ.ආර් ජයවර්ධනගේ ඇස් පනාපිටම දිවි පිදිමට සිදු වු හේතු සාධක ද මෙහිදි ඉතා ගැඔුරෙන් සැලකිල්ලට ගැනීම වටී. 

ජංගිය පමණක් නොව අමුඩය ද නැතිවෙයි..

ආණ්ඩුවේ සංදර්ශන කථීකයෙකු  වන ඇමති විමල් වීරවංශ 19 වන ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයා අතර බෙදී ඇති විධායක බලතල හාස්‍යට ලක් කරමින් පවසා සිටින්නේ ජංගිය ජනපතිත් අගමැති කමිසයත් ඇඳ සිටින තත්වයක් ලෙසය. 20 වන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුල සම්මත වුවහොත් ඇමති විමල් විරවංශට පමණක් නොව පනත සම්මත කිරීමට අත ඉස්සු සෑම මැති ඇමති වරයෙකුටම පාර්ලිමේන්තුවේ සිට ගැනීමට සිදු වන්නේ ජංගිය පමණක් නොව අමුඩය ද නැතිව බව සිහි තබා ගත යුතුය.

ආචාර්ය රාජසිංහ බණ්ඩාර

ලන්ඩනයේ සිට

---------------------------
by     (2020-10-18 07:19:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links