~

සිල් රෙදි බෙදීමෙන් පසු අමුඩ ලේන්සු බෙදමු..! බෙදීමේ සංවර්ධනය ආර්ථික ඝාතනයේ පදනමයි..!

ජිනසිරි දඩල්ලගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.දෙසැ.06, ප.ව.4.45) සැලකිය යුතු කාලයක් සමාජ කතාබහට ලක්වූ සිල් රෙදි නඩුව අවසන්වී ඇත. චුදිතයන්ට නිදහස හා අහිමිවූ වරප්‍රසාද ද, වෙනත් සැලකිලිද ලැබෙනු ඇත. එසේ වුවද සිල් රෙද්දේ කර්ම කාරක දේශපාලනමය සංවර්ධන ප්‍රවේශය  තව දුරටත් සමාජය හා ආර්ථිකය වල පල්ලට ගෙනයනු ඇත.

සිල් රෙදි කතාව නිසා සියල්ලන්ටම පළමුව මා වින්දිතයකු විය. සිල් රෙදි බෙදීම සාධාරණ කරනු ලැබූ රාජ්‍ය නිලධාරියකු ලෙස දුෂණ විරෝධී සංවිධාන සුවිශාල ලෙස මා වෙතද චෝදනා එල්ල කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවයෙන් කලින් විශ්‍රාම යාමට මා හට සිදුවිය. මා වෙත ස්ථාන මාරුවක් ලබාදුන් ජනාධිපතිවරයාද, සිල් රෙදි බෙදු පිලටම එකතුවීමට කටයුතු යෙදුනු අතර සිල්රෙදි බෙදීමේ සංස්කෘතිය පිලිබඳ අවශ්‍ය වන කතිකාවතද කිසිදු පිලක අවධානයට යොමුවී නැත. ඒ අනුව ලබා දුන් නඩු තීන්දුවේද ශක්තිය මත බෙදීමේ සංස්කෘතිය තව දුරටත් පෝෂණය වනු ඇත. මා විසින් මුල් අවස්ථාවේදී ද ඉදිරිපත් කරනු ලැබුවේ දේශපාලන වුවමනාවන් මත සිදුකරනු ලබන විවිධ බෙදීම් පිලිබඳ සමාජයේ පුළුල් අවධානය යොමු කළ යුතු බවයි. දීමෙන් බෙදීමෙන් බලයට ඒමට හා පවත්වා ගෙන යාමේ දේශපාලන සම්ප්‍රදාය පිළිබඳව පුළුල් කතිකාවත වෙනුවට එක එක සිදුවීම මත රජයේ නිලධාරීන් වරද කරු කිරීම හෝ නිදොස් කොට නිදහස් කිරීම මුලික ගැටලුවට විසඳුමක් නොවනු ඇත.

සහනාධාර ප්‍ර‍තිපත්තිය කර්මකාරක වන්නේ ඇයි.?

ශ්‍රී ලංකාව ඉතා විශාල වූ ණය බරක් සහිත ආර්ථිකයක් බවට පත්වීමට අප විසින් දීර්ග කාලීනව පවත්වාගෙන ගිය ආඩම්බරයෙන් කථා කරන  සුභ සාධක ආර්ථික ක්‍ර‍මය ද හේතුවකි. මෙය වඩාත් විස්තර කරන්නේ නම් අතිශයින් දේශපාලනකරණය වී ඇති සුභ සාධක ක්‍ර‍මයන් එම දේශපාලන අන්තර් සබඳතාවය නිසා ඒ පිළිබඳ සාධාරණ විවේචනයක් සිදුකර ගැනීමද අප විසින් සිදුකර ගනු නොලබයි. යම් යම් ස්ථාන වල සුළු වශයෙන් කථා බහට ලක්වුවත් ඒවා ගැඹුරින් අධ්‍යයනය කිරීමේ හා සාකච්ඡා කිරීමේ වේදිකාවන් නොමැති තරම්ය.

අපේ සහනාධාර ප්‍ර‍තිපත්තිය කර්මකාරක ලෙස දක්වන්නේ කෙසේදැයි ඔබට ප්‍ර‍ශ්නයක් විය හැක. කර්මකාරක නම් ජනතාව කර්මය ලෙස සැලකීමයි. අපගේ සහනාධාර ප්‍රවේශයේ කර්තෘන් වන්නේ දේශපාලන නායකයින් හා නිලධාරි පංතියයි. නිදහසින් පසු අපේ සහනාධාර ක්‍ර‍ම ඉදිරිපත් කරන්නේ දේශපාලන නායකයන් වන අතර, ඒවා ක්‍රියාත්මක කළේ හා කරන්නේ පවතින පරිපාලන ව්‍යුහයයි. කර්මකාර්ක  ප්‍රවේශයේදී දෙන අය හා ගනු ලබනු අයගේ සංකල්පයද අදාල වේ. දේශපාලනය හෝ පවතින රජය යම් යම් දේ දෙනු ලබන අතර, ජනතාව බොහෝ දුරට කර්මය ලෙස ගන්නන් බවට පත්වී ඇත. මෙම සියළු ක්‍රියාවලියේදී කර්තෘ බවට පත් වී ඇත්තේ දේශපාලන ප්‍රවේශයයි. අදාල සහනාධාර ක්‍ර‍මය සංකල්පයක් ලෙස ඉදිරිපත් කිරීම, ඒවා දෙනු ලබන ප්‍ර‍තිශතය තීරණය කිරීම, දෙනු ලබන අය හඳුනා ගැනීම, දෙන ප්‍ර‍මාණය තීරණය කිරීම, දෙන්නේ මොනවාද යන්න තීරණය කිරීම දේශපාලනයේ  වැඩක් වී ඇත. ඒවායේ ඵලදායිතාවය පිළිබඳ සිහින ඉදිරිපත් කිරීම, අපි ඔබලාට අරවා දුන්නා, මේවා දුන්නා වශයෙන් ලැයිස්තු ඉදිරිපත් කිරීම එම නිර්මාතෘ වරුන්ගේ ක්‍රියාවලියක් බවට පත්ව ඇත.

බෙදන දේශපාලනයක් සහ බෙදස ඕනෑම දෙයක් පැන පැන ගන්න ජනතාවක්..

ලංකාවේ සහනාධාර ප්‍ර‍තිපත්තිය ආරම්භ වුයේ ලෝක යුද්ධ කාලයේ සිටය. නොමිලයේ ධාන්‍ය හෝ සහල් ලබා දීම හොඳ ආරම්භයක් විය.  ආහාර සපයා ගැනීමට අපහසුතා ඇති ජනතාවට හාල් සේරු දෙක බැගින් ලබා දීම ආරම්භ විය. ඒ සඳහා කටයුතු කළ දේශපාලන නායකයන් "බත්දුන් පියවරු" විය. බත් සොයා ගැනීම පිළිබද ජනතාවගේ උනන්දුව අඩුවීම ආරම්භ විය. මෙය දේශපාලන වශයෙන් බලයට ඒම වඩා හොද ප්‍රවේශයක් හා ක්‍ර‍මයක් බව තේරුම්ගත් බැවින් ලෝක යුද්ධය අවසන් වු පසු ද 'දීම' පිළිබඳ පොරොන්දු ප්‍ර‍බල ලෙස කරලියට පැමිණියේ ය. එක් පක්ෂයක් හාල් සේරු දෙකක් ඡන්දය දිනු පසු ජනතාවට /පවුලකට ලබා දෙන බව ප්‍ර‍කාශ කරන විට අනෙක් පක්ෂය ඒවා කොහෙන්ද දෙන්නේ? කියා ප්‍රශ්න කරනු ලැබීය. එම ප්‍රශ්නයෙන් තේරුම් යන්නේ ඒ කාලයේදීත් මේවා දීර්ඝ කාලීනව සිදු කිරීම අපහසු බවට දේශපාලන අංශයන්ටම තේරුම් ගොස් තිබු බවයි.  එහෙත් එයට පිළිතුරු වුයේ 'අපි හඳෙන් හරි ගෙනත් දෙනවා' යන්නයි. ඡන්දයෙන් පසු 'සතියකට හාල් සේරු දෙකක් දෙනවානම් අප උඹලාට ඡන්දය දෙනවා' යන ජනතා මතය ඒ අනුව ඇතිවේ. එලෙස ඡන්දය දිනන්නේ නම් අප ඊට වඩා මොනවා හරි ඊලඟ ඡන්දයේ දෙනවා හෝ දෙන්න වෙනවා යන දේශපාලන අධිෂ්ඨානය ඇතිවේ. පොරොන්දු වන්නේ නම් මේවා කොහෙන් හෝ දිය යුතු වේ. ඒ අනුව ණය ලබා ගෙන හෝ දීමට සිදුවේ. දෙන්නන් වන දේශපාලන ප්‍රවේශයක් දෙන ඕනෑම දෙයක් පැන පැන ගනු ලබන ඡන්දදායක ප්‍රවේශයක් බිහිවේ.

ඒ අනුව දෙන හා බෙදන කර්මකාර්ක සුභ සාධක ආර්ථික ක්‍ර‍මය ආරම්භ වේ. දිගටම පවත්වාගෙන යයි. මෙය වර්තමානය වනවිට බොහෝ දේවල් ලබා දීමේ ප්‍රවේශයකට පත් වී ඇත. හාල්සේරු දෙක ලබා දීම, ධාන්‍ය රාත්තල්  අටක් ලබා දීම, ජනතාවට රුපියල් 25000 ඉතිරියක් ලබා දීම, මාසික සහනාධාර ක්‍ර‍මයක් සහිත කාඩ්පත් ලෙස ජනසවිය, සමෘද්ධි වැනි සහනාධාර ක්‍ර‍ම බිහිවීම, නොමිලයේ පොත්දීම, නොමිලයේ ඇඳුම්දීම, විවිධ කෘෂිකර්ම සහනාධාර ක්‍ර‍ම වශයෙන් දිගින් දිගටම ව්‍යාප්ත වෙමින් බෙදන්නේ මොනවාද යන්න සිතමින් ඊලඟ මැතිවරණය සඳහා 'මොනවත් නොදුන්නොත් ඡන්දය දිනන්න බැහැ' යන තත්ත්වයකට පත්ව ඇත. මේ අනුව, බෙදන දේශපාලනයක්, බෙදන ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්වු අතර, බෙදූ ඒවා නැවත ගැනීමට හෝ හරිමගට ගැනීමට හෝ නොහැකි වී ඇත.

'සපත්තු දුන් පුතාණෝ'..

මෙම ද්‍ර‍ව්‍යමය වශයෙන් බෙදීම ඉතා ශක්තිමත්ව දේශපාලන මතවාදය හා ජනතා සිතුම් පැතුම් සමග බැඳී පවතී.  ඒවා තම සමාජ ආර්ථික දියුණුවට එපමණ බලපෑමක් හෝ  ප්‍රයෝජනයක් නැතත් ජනතාවට ඒවා අවශ්‍ය වේ. ඒවා එකක් හෝ අඩු කිරීමට හෝ කපා දැමීමට නොහැක. එය කරන්නේ නම් විශාල සමාජ අර්බුදයකි. සංවිධානය කරන  උද්ඝෝෂණ දක්නට ලැබේ. පාරේ ටයර් පුළුස්සනු ඇත. ඊලඟ ඡන්දයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතමින් අමාරුවෙන් හෝ ඒවා නැවත දීමට සිදුවේ.

මේ සියළු දේ රජයට වැය බරකි. ආපසු හැරෙන්නට නොහැක. දේශපාලනය සමග බද්ධ වී ඇති නිසා අඩු කිරීමට හෝ නැවත සමාලෝචනයට ඉඩක් නැත. අනිවාර්යයෙන්ම සිදු වන්නේ මේ සඳහා තවත් එකතු කිරීම පමණි. කලින් රජයක් ලබා දී තිබු හෝ ඉදිරිපත් කර තිබු දෙයක් ඊලඟ රජය වෙනස් කිරීමට හෝ ප්‍ර‍තිසංවිධානය කිරීමට හෝ අත තැබීමට මැලිවන්නේ එය දේශපාලන සියදිවි නසා ගැනීමක් බැවිනි. ඒ අතර අළුත් දේවල් බෙදීම පිළිබඳ සංකල්ප මතුවේ. ඉදිරියට යමින් පවතින එකක් නම් පාසල් සිසුන්ට වසරකට සපත්තු කුට්ටම් දෙකක් දීමේ සංකල්පයයි. එලෙස සංකල්පයක් ලෙස දියුණු කරන හෝ ඉදිරිපත් කරන දේශපාලන නායකයා 'සපත්තු දුන් පුතාණෝ' ලෙස සමාජගත විය හැක. ජනාධිපති මැතිවරණ සමයේදී සිල් රෙදි බෙදීම ද එවැනි මතවාදයන් ඔස්සේ පැමිණි නවතම බෙදීමේ සංකල්පයකි. ජනතාවගේ බෞද්ධ ආකල්ප හා බෞද්ධ ජීවිතය සාර්ථක වීමට සිල් රෙදි අවශ්‍යවේ. එයද සහනාධාර සංස්කෘතියේ උච්චතම අවස්ථාවකි. මෙම සහනාධාර  සංස්කෘතිය කොපමණ දේශපාලණකරනය වී ද යන්න හා රාජ්‍ය සේවය කොපමණ ඒ සඳහා ගොදුරු වී ඇත්ද යන්නත් ඉතා සුවිශාල ණය බරක් සහිත රටක එවැනි බෙදීම් අවශ්‍යද නැත්ද යන්නත් ප්‍ර‍බල සමාජ කථිකාවතක්ද ඇත. එහෙත් කිසිවෙකු මෙම සහනාධාර ප්‍රවේශයේ කර්මකාරක ගති ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කර නැත.

නවීන තාක්ෂණික අමුඩ බෙදීම..

මෙම කර්මකාරක සහනාධාර ප්‍රවේශය තුල නිර්මාණය වී ඇති පිලිකාව නම් සමාජය තුල බලවත් සේ පැලපදියම්ව ඇති යැපීම් මානසිකත්වයයි.  සැම දෙයක්ම රජය මගින් ලබා දිය   යුතුය යන ප්‍ර‍බල ජනතා මතය සැම තැනම අත්දැකීමට ඇත. අපගේ සහනාධාර, සෞඛ්‍ය,  අධ්‍යාපනය, ඇඳුම්, වැසිකිළි, නිවාස, රැකියා, සිල්රෙදි, සපත්තු, පොත්පත්, බීජ ඇටපැල සියල්ල ලබාදීම රජයේ  වගකීමක් බවට පත්වී ඇත. මේවා බෙදීම උත්සව දේශපාලන මතය ජනතාට අතරට යාමේ ප්‍රවේශය බවට පත් වී ඇත. රාජ්‍ය සේවයද මේ සඳහා ගොදුරු වී ඇත. රජය බෙදන්නන් හා ජනතාව බෙදීමට ලක්වන්නක් ලෙස කර්මකාරක සහනාධාර  ක්‍රමෝපායයන් වර්ධනය වී ඇත. තවත් සංකල්ප මේ අනුව ඉදිරියේදී බිහිවනු ඇත. එම  සංකල්ප ඉදිරියට එන්නේ ඡන්ද දිනන්න ආණ්ඩුව මොනවා හරි දෙන්න ඕනෑ යන ප්‍ර‍බල දේශපාලන අවශ්‍යතාවය මත වේ.        

මේ අනුව ඉදිරියේදී අමුඩ ලේන්සු බෙදීමේ සංකල්පය බිහිවීමට ඉඩ ඇත. එය මෙලෙස සාධාරණිකරණය වීමටද ඉඩ ඇත. ලංකාවේ කෘෂිකර්මය කඩා වැටෙමින් පවතී. මෙයට ප්‍ර‍ධාන හේතුවක් වන්නේ ලංකාවේ ජනතාව කෘෂිකර්ම කේෂ්ත්‍රයේ නියැලීමට මැලිකමක් දැක්වීමයි. ඔවුන් සම්ප්‍රදායික අමුඩය නිසා කෘෂිකාර්මික කටයුතු වල නිරතවීමට මැලිකමක් දක්වයි. ඒ නිසා ඔවුන්ට නවීන තාක්ෂණික අමුඩයක් ලබා දිය යුතුය. එවැනි අමුඩ සංකල්පයන්ද අපේ රටේ ඉදිරියේදී සමාජ ගතවීමට ඉඩ ඇත. එවැනි දේ අවශ්‍යවන්නේ තවදුරටත් බෙදියයුතු දේවල් මොනවාද යන්න හඳුනා ගැනීම පවතින දේශපාලන සම්ප්‍ර‍දාය තවදුරටත් ඉදිරියාමට අවශ්‍ය වන බැවිනි.

අපි තක්කු මුක්කු සමාජයක හිරවී ඇත..

අපේ සහනාධාර ප්‍ර‍තිපත්තියේ කර්මකාරක ප්‍රවේශය  නැවත සාරාංශ කරන්නේ නම් බෙදන්නන් හා බෙදීමට  ලක්වන්නන් සිටීම හා බෙදන්නන් හා ලබන්නන් අතර, සබඳතාවය කර්මකාරක ප්‍රවේශයයි. මෙය තවත් ලෙසකට අර්ථ දක්වන්නේ නම් බොහෝ දේ නිරායාසයෙන්ම ලැබෙන වාසනාවන්ත ජනතාවක් මෙම රටෙහි සිටීමයි. ඔවුන් ඉල්ලන දේටත් වඩා භාණ්ඩ, බදු සහන, පොරොන්දු ආදිය ඒ ඒ මැතිවරණ ආසන්න කාලවලදී ඉල්ලන හා නොඉල්ලන අයට ලැබේ.

පුද්ගල වගකීම ඉහළ දැමීම කර්තෘ කාරක වේ. පුද්ගල වගකීම වෙනත් අයෙකු ගැනීම කර්ම කාරක වේ. එය දශක ගණනාවක් ගමන් ගත කොට ඇති බැවින් සුවිශාල සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය කරගෙන ඇත.  මෙම තත්ත්වයන් තේරුම් නොගැනීම මත අපි තක්කු මුක්කු සමාජයක හිරවී ඇත. රජයන් හා නිලධාරීන්ද මෙම කර්ම කාරක ප්‍රවේශයේ ගොදුරු බවට පත් වී ඇත. ගොඩනගා ඇති කර්ම කාරක ගඩොල් සහිත සමාජ, ආර්ථික, දේශපාලන නිවසින් එක ගඩොලක් හෝ ගැලවිය යුත්තේ ඉතා ප්‍රවේශමිනි. ඒවා ඉවත් කිරීම නොව තවදුරටත් කර්මකාරක ප්‍රවේශයන් මගින් මුක්කු ගසමින් මෙම සමාජය හා ආර්ථිකය ඇද වැටීම වැලැක්වීම එදා වේල ක්‍ර‍මයක් බවට පත්ව ඇත.

බෙදීමේ සංවර්ධනය ආර්ථික ඝාතනයේ පදනමය..

සිල් රෙදි නඩුව ඒ අනුව සංකේතයක් පමණි. සමස්ත රාජ්‍ය සේවයම මෙම බෙදීමේ සේවා ග්‍රහණයට හිරවී ඇත. අවස්ථාව පැමිණි පසු ඉල්ලන අයටත් නොඉල්ලන යටත් විවිධ බෙදීම් ඇරඹේ. මැතිවරණය ආසන්නයේ රු. 5000 බෙදීම උදාහරණයකි. එය බෙදීමට ඉල්ලමක් විය. මැදි ආදායම් ලබන රටක සුවිශාල පිරිසකට සතියක් හෝ අල්ලාගෙන සිටීමට බැරි තත්වය පෙන්නා දේශපාලන අල්ලස් දීමට මග පාදා ගැනීම සඳහා අවස්ථාව මතු කර ගන්නේ දේශපාලනයයි. ජනතාව එම මානසිකත්වයට තල්ලු කර ඇත්තේ දේශපාලනයයි. සිල් රෙදි අත්දැකීම මත මෙම ගිරයට හසුවූ පුවක් ගෙඩි බදු රාජ්‍ය සේවයද බෙදීමේ කලාව හා මානසික ශක්තිය තව දුරටත් ශක්තිමත් කර ගනු ඇත.

බෙදීමේ දේශපාලන ප්‍රවේශය පුළුල් ලෙස සමාජගත වී ඇත. මේ සඳහා විකල්ප විසදුම් ශක්තිමත්ව ඉදිරිපත්විය යුතුය. සැබෑ වියතුන්, රාජ්‍ය සේවයේ බුද්ධිමතුන්, වියත් දේශපාලකයින් මේ සඳහා පෙරමුණු ගත යුතු වේ. මේ සඳහා ජනතා සහභාගිත්වය උපරිම කෙරෙන විකල්ප මතවාදයන් සමාජ ගත කිරීමටත්, සංවිධානාත්මකව අදාළ විකල්ප විසඳුම් දේශපාලන මතවාදයන් හා මිශ්‍ර කොට අවශ්‍යවන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණයන් පෙන්වා දීමත් ප්‍රමුඛ කාරියක් විය යුතුවේ. බෙදීමේ සංවර්ධනය ආර්ථික ඝාතනයේ පදනම බව හඳුනා ගෙන කටයුතු නොකරන්නේ නම් සිල් රෙදි නඩු සඳහා වන සමාජ, ආර්ථික හා දේශපාලන තීන්දු ප්‍රබල වනු ඇත.

ජිනසිරි දඩල්ලගේ

හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී

ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/66

---------------------------
by     (2020-12-06 11:31:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links