~

පාස්කු කොමිසම 'අපරාධ විශුද්ධි කරන කොමිසමක්'..! හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්..! ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ..!

-රසල් හේවාවසම් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2020.‍දෙසැ.23, පෙ.ව.0.05) වත්මන් රජයේ අනුදැනුම ඇතිව ඉතාමත් සටකපට ලෙස කල් මරමින්, පරීක්ෂණ යට ගසමින් තිබෙන ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ලංකා ඊ නිවුස් ඉකුත් දෙසැම්බර් පළමු වෙනිදා කළ අනාවරණයත් සමග යලි සමාජයේ කතාබහක් ඇතිවිය. ඒ පිලිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු මෙන්ම තවත් පාර්ශව කිහිපයක් අදහස්  දැක්වූහ. නමුත් එය තවත් voice cuts කිහිපයක් පමනක් විය. එමගින් අපරාධකාරයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රමානවත් සමාජ බලපෑමක් වූයේ නැත. 

මෙම ⁣ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට පැවති යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඇතුළු කල්ලියකගේ සහ වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල පිරිසකගේ කිසියම් අනුදැනුමක්   සහ සම්බන්ධයක් තිබූූ බවට බරපතළ විශ්වාසයක් වින්දිතයන් සේම යුක්තිය පතන ජනතාව තුල පවතී.

'අපරාධ විශුද්ධි කරන කොමිසමක්'

දැනට සිදුවන විමර්ශනයේදී පාස්කු ඉරිදා සිදුවු එම බිහිසුණු ප්‍රහාරය පිලිබඳව පරීක්ෂණ කඩිනමින් අවසන් කර අපරාධකරුවන්ට දඩුවම් ලබාදී පීඩාවන්ට ලක්වු දහසකට වැඩි වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට ගෝඨාභය රාජපක්ෂ රජයේ අව්‍යාජ මැදිහත් වීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය. පැවති ගෝඨාභයගේ ජනාධිපති කොමිසම පැහැදිලිවම 'අපරාධ විශුද්ධි කරන කොමිසමක්' බව එහි ක්‍රියාවලියෙන් තහවුරු විය. සත්‍ය වශයෙන්ම 'හොරාගේ අම්මාගෙන් පේන ඇසීමෙන්' පලක් වන්නේ නැත.

ඊට හොඳම උදාහරණය වන්නේ කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්කි අනුව දැන් මුක්තියක් නැති හිටපු ජනාධිපති සිරිසේනට එරෙහිව අපරාධය සිදුවූ පොලිස් බල ප්‍රදේශයේ පොලිසියට සිදුකළ පැමිණිල්ල බාර ගැනීම වෙනුවට පැමිණිලි කළ පුද්ගලයන් පිළිබඳ විමර්ශන කිරීම ය.    

නොයෙක් පුරාජේරු කතා කියා බලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා බලයට පත්ව වසරක් ගෙවී ඇතිමුත් එම සහාසික අපරාධය සම්බන්ධවහෙලිදරව් කිරීමට සහ වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට ගෙන ඇති පියවර අතිශයින් මන්දගාමී ය. නැතිනම් කොහෙත්ම නැත. කටගැස්ම සඳහා ජාතික ආරක්ෂාව යන වචනය ඔවුන් ඉකුත් ජනාධිපතිවරන සමයේ යොදාගෙන තිබෙන්නේ තම පවුලේ බලය ආරක්ෂා කරගැනීම සඳහා නඩු වලින් බේරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් මර්ධනය කිරීමට පමණි.

යහපාලන ආණ්ඩුව මිස එක් අයෙක් හෝ ගෝඨාණ්ඩුව අත් අඩංගුවට ගත්තේ නෑ..

කවර විවේචන තිබුනත් ඉකුත් යහපාලන ආණ්ඩුව පැවති සමයේදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධව එල්ලවු සමාජ බලපෑම් හේතුවෙන් ප්‍රහාරයට  සම්බන්ධව දෙදහසක (2000) පමණ පිරිසක් සැකපිට අත්අංඩගුවට ගෙන තිබු අතර ඉන් 260 කට ආසන්න පිරිසක් රිමාන්ඩ් භාරයේ සහ රැඳවුම් නියෝග මත තවදුරටත් රඳවාගෙන තිබේ. ඉතිරි පිරිස නිදහස් කර ඇත. එකී ක්ෂනික ක්‍රියාත්මක වීම් හේතුවෙන් සැලසුම් කර තිබූ දෙවන ප්‍රහාරයක් වළක්වා ගැනීමට හැකි විය. 

ඒ හැර මෙම ප්‍රහාරය⁣ට අදාළව කිසිදු පුද්ගලයෙකු වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන නොමැත. යහපාලන ආණ්ඩුව පැවති සමයේ පත්කල පාර්ලිමේන්තු තේරීම කාරක සභාවේ සහ පාස්කු ප්‍රහාරය පිලිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ දී එලිදරව් වු ඇතැම් කරුණු පිලිබඳව වැඩිදුර විමර්ශන වත්මන් ආණ්ඩුව සිතා මතාම යටගසමින් ඇත. මෙම ප්‍රහාරය පිලිබඳව සහ ඉදිරියේ සැලසුම් කර තිබු තවත් ප්‍රහාර මාලාවක් සම්බන්ධව අතිශයින් වැදගත් තොරතුරු රාශියක් දැනසිටි "සාරා" හෙවත් "පුලස්තිනී මහේන්ද්‍රන්" ඉන්දියාව ඔස්සේ වෙනත් රටකට පලාගොස් ඇතැයි වාර්තා වේ. සහරාන්ගේ බිරිඳ ලබාදුන් සියලුම තොරතුරු වත්මන් ආණ්ඩුව සිතාමතාම සඟවා ඇත. මහජන ආරක්ෂාව භාර  ඇමැති සරත් වීරසේකර බලපෑම් අවම කරගැනීමට ලිපිගොනු කිහිපයක් නීතිපතිවරයාට යොමුකිරීමෙන් පසු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට නඩු පැවරීමට දීර්ඝ කාලයක් ගතවන්නේ යයි ඔහුම මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ කිසිදු ලැජ්ජාවක් නැතිව ය. 

ඉකුත් ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ දෙබෑයන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම පිරිස්වලට දඬුවම් ලබාදෙන බවට දුන් පොරොන්දු, මහබැංකු වංචනිකයන්ට දඬුවම් දෙන බවට දුන් පොරොන්දුව සේම තනි ඇහැට ඇඬෙන විහිලුවක් වී තිබේ.

රාජපක්ෂ දේශපාලන න්‍යායට අනුව සැලසුම් කළ අන්තවාදී සංවිධාන..

2009 වසරේ එල්. ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින්, තමා ඇතුලු රාජපක්ෂ පවුලේ දේශපාලන බලය දිගුකාලීනව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කළේ ය. ඒ සඳහා ඔවුන් උපායමාර්ගයක් ලෙස අනත්තවාදී සංවිධාන සහ කල්ලි කන්ඩායම් රාජ්‍ය බුද්ධි අංශයේ අනුදැනුම ඇතිව නිර්මාණය කළේය. එකිනෙකාට නොදැනෙන පරිදි එම සංවිධාන පෝෂණය කරමින් ඉතා සියුම් ලෙස නඩත්තු කළේය. තවද ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් 2010 සිට 2015 දක්වා වැටුප් ගෙවා ඇත. මේවා හිතළු නොව සාක්කි සහිත ය. 

එම න්‍යාය ක්‍රියාත්මක කිරීමට එල්ටීටීඊ විරෝධී මෙන්ම එල්ටීටීඊ පරාජයෙන් පසු රජයේ බුද්ධි අංශ සමග එක් වූ දෙමළ සහ මුස්ලිම් තරුණ පිරිස් යොදාගනිමින් විවිධ සංවිධාන නිර්මාණය කළහ. උතුරේ 'ආවා' නම් යතුරුපැදි වලින් සමන්විත කුඩා කන්ඩායම් ලෙස සංවිධානය වු  පාතාල සහ මැර කල්ලි ද, නැගෙනහිර පලාතේ සහරාන්ද, කාත්තන්කුඩි සහ සමන්තුරේ, ඇතුලු මුස්ලිම් ජාතිකයන් බහුල ප්‍රදේශය වල විවිධ නම් යටතේ තව්හීද් ජමාත් සහ වෙනත් සංවිධාන ද, කොළඹ අබ්දුල් රාසික් නම් පුද්ගලයෙකුට අනුග්‍රහය දෙමින් තවත් රැඩිකල් ඉස්ලාම් අන්තවාදී සංවිධාන ද නිර්මාණය කළහ.

ගෝඨාභයම අන්තවාදී 'ගයිඩ් ලයින්', 'ට්‍රික්ස්' කියා දුන්නා යි මැඩිල්ලේ කියයි..

බස්නාහිර මධ්‍යම ඇතුලු රටේ විවිධ ප්‍රදේශයන්හි බොදුබල සේනා, මහසෝන් බලකාය, රාවනා බලය, සිංහ ලේ, ආදී බෞද්ධ අන්තවාදී සංවිධාන රාශියක් නිර්මාණය කර රාජ්‍ය අරමුදල් යොදා ඔවුන්ද පෝෂණය කළේ ය. 'සිංහ ලේ' සංවිධානය හදන අවස්ථාවේ පන්සලට පැමිණ ඒ වෙනුවෙන් උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පසුගියදා මාධ්‍යයට කියා තිබිණ. ගෝඨාභය පන්සලට පැමිණ පැය ගණන් සාකච්ජා පවත්වමින් 'ගයිඩ් ලයින්' දුන් බවත් 'ට්‍රික්ස්' කියා දුන් බවත් මැඩිල්ලේ පවසා තිබිණ. 

ඇතැම් අන්තවාදී සංවිධාන වලට තම තමන්ගේ සංවිධානවල  අදහස් ප්‍රකාශ කිරීමට ගුවන්විදුලි සංස්ථාවේ රාජ්‍ය සංඛ්‍යාත ලබා දී තිබු අතර අනෙකුත් සංවිධාන වලට සමාජයේ ගැටුම් නිර්මාණය කිරීමට පහසුවන ආකාරයට තම වෛරී අදහස් (voice cuts) ලෙස ඵල කිරීමට රාජපක්ෂ හිතවාදී චෞර ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයේ තිබෙන ගුවන්විදුලි සේවා සහ රූපවාහිනි නාලිකාවල ඉඩ ලබාදුන්නේය. චීවරධාරීන් පිරිසක් තවමත් බෞද්ධ ධර්ම දේශනා සිදුකරන මුවාවෙන් තවදුරටත් එකී වෛරී වෛරසය සමාජගත කරමින් සිටිති. රටේ මහජන සංඛ්‍යාත  ඉකුත් දශකයට වැඩි කාලයක සිට යොදාගනිමින් තිබෙන්නේ ජාතික සමගිය සඳහා නොව ජාතිවාදී අන්තවාදී ගිණි ඇවිලවීමට ය. එහි ප්‍රතිපල ලෙස වර්තමානයේ රටපුරා අළු යට ගිණි පුපුරු ලෙස අන්තවාදී සහ ජාතිවාදී ගැටුම් වරින්වර මතුවෙමින් ඇත.

මෙවැනි පසුබිමක සහරාන් ඇතුලු පිරිසක් ඉකුත් 2019 වසරේ පාස්කු ඉරිදා දින මරාගෙන මැරී බිලි පූජා සිදුකිරීමේ එක් අරමුණක් වුයේ රාජපක්ෂලාගේ ගිලිහී ගිය දේශපාලන බලය යලි අත්පත් කරදීමට නොවේදැයි යන සැකය කිසිවෙකුට බැහැර කළ නොහැකිය. ඉදිරියේදී මෙලෙස රාජපක්ෂලාගේ අනුදැනුම ඇතිව රටපුරා ගොඩනගා ඇති අනෙකුත් අන්තවාදී සංවිධාන තවත් එවැනි ම්ලේච්ඡ ප්‍රහාර දියත් නොකරනු ඇතැයි කාට නම් සහතික විය හැකිද..?

නැගෙනහිර පළාත තුල  යලිත් ජනාධිපති  ගෝඨාභය සහ අගමැති  මහින්ද රාජපක්ෂලාගේ ආශිර්වාදය සහ වරදාන ලබමින් ප්‍රභූ ආරක්ෂාව (MSD) (STF) ඇතිව LTTE සංවිධානයේ හිටපු නායකයන්වු විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුනා සහ පිල්ලෙයාන් ත්‍රස්ත සහ ප්‍රචන්ඩ කටයුතු සඳහා ආරම්භය ලබා ගනිමින් ඇත.

පාස්කු බෝම්බ ප්‍රහාරයට මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනගේ සම්බන්ධය..

ආරක්ෂක ඇමැති වරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන තම කෙටි ධූරකාලය තුල වාර්තාවක් තබමින් ආරක්ෂක ලේකම්වරු ලෙස 
01. උත්පල බස්නායක,
02. කරුනාසේන හෙට්ටිආරච්චි,
03. කපිල වෛද්‍යරත්න, 
04. විශ්‍රාමික හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ,
05. හේමසිරි ප්‍රනාන්දු
ආදී පස්දෙනෙක් වරින් වර පත්කරමින්, අස්කරමින් ලේ වැගිරීම් සහ ආන්ඩු මාරුවක් සඳහාම සිතා මතා ජාතික ආරක්ෂාව දුර්වල කළේය.

වලක්වා ගත හැකිව තිබූ එම බිහිසුණු ප්‍රහාරය සිදුවීමට ඉඩදී අහේතුකව සිය පවුලේ උදවිය සමග සිංගප්පූරුවේ සංචාරයක නිරත වූ මෛත්‍රීපාල සිරිසේන රටේ ඇති වු බිහිසුනු වාතාවරණය පාලනය නොකට ලංකාවට ඒම ප්‍රමාද කරමින් සිට ඇත්තේ 1983 ජාතිවාදී ගින්න හා සමාන තවත් ජාතිවාදී ආගම්වාදී ගින්දරක් රටේ නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් බව ඉතාමත්ම පැහැදිලිය. ඊට හොඳම හේතුව නම් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරයත් සමග වහාම කැඳවු ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමට සහභාගී නොවන ලෙස ජනාධිපති සිරිසේන ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දීමයි. මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක මණ්ඩල රැස්වීම කඩාකප්පල් කළේ සිද්ධිය පසුබිමේ නැගෙන ජාතිවාදී ගින්න ඇවිලවීමට මිස අන් කුමකට ද?  

ප්‍රහාරය එල්ල වන බවට දිනය, වේලාව, ස්ථාන, පිලිබඳව සියලුම තොරතුරු දැන මන්ද බුද්ධිකයෙක් ලෙස කටයුතු කළ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂා වන පරිදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී මෙන්ම ජනාධිපති කොමිෂන් සභාවේදී ද කට උත්තර ලබාදුන්නේ ය. තවත් විහිලුවක් නම් පාස්කු ප්‍රහාරයත් සමග රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස ඔහු භාවිත කර තිබු ජංගම දුරකතනයේ සියලුම දත්ත විනාශ කර තිබීමත්, ඔහුගේ ලැප්ටොප් පරිඝණකයේ අතිශයින් වැදගත් තොරතුරු විනාශ කර දමා සහ ඇතැම් තොරතුරු ඔහු විසින් සිතාමතාම විකෘති කර තිබීමයි. එම නිසා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් පිලිබඳව වැදගත් සාක්ෂි ගණනාවක් විනාශ කර ඇත. මේවා හෙළි වූයේ කොමිසමේ සාක්කි වල දී ම ය. නිලන්ත ජයවර්ධන පාස්කු බෝම්බ ප්‍රහාරය පසුපස සිටින බවට වෙන සාක්කි අවශ්‍ය ද?

තවද පොලිස්පති පූජිත් ජයසුන්දර පන්නා මෛත්‍රීපාලගේ සහාය ඇතිව පොලිස්පති වීමේ සිහිනයක් ඇතිව නිලන්ත ජයවර්ධන කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර ඇත. සහරාන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරමින් සිටි ත්‍රස්ත විමර්ශන අංශයේ (TID) හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අහේතුකව නාමල් කුමාර නම් පුද්ගලයෙකු ලවා අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහු ඇටවූ උගුලකට අනුව බව මේ වනවිට සනාථ වී ඇත.

කාදිනල්තුමාගේ හැසිරීම වෙනත් සැක කටයුතු සිදුවීම්...

පාස්කු ප්‍රහාරයත් සමග වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොයෙක් ප්‍රකාශ සහ අරගලය දියත් කළ කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ ප්‍රහාරය පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා නොසිටියේ ඇයි යන්න විමතියට හේතුවකි. මෙරට ආරක්ෂ අංශ ප්‍රධානීන් ⁣අතට තොරතුරු පත්ව තිබියදී, ඒවා බරපතළ ලෙස නොසලකා හැර තිබු තත්වයක් හේතු කොටගෙන තුන්සියයක පමන නිරායුධ කතෝලික බැතිමතුන් සහ විදෙස් සංචාරකයන් විශාල පිරිසක් සමූල ඝාතනයක් සිදුව තිබියදී එවැනි ජාත්‍යන්තර පරීක්ෂණක් ඉල්ලා සිටීමට කාදිනල් තුමාට අවශ්‍ය පමණටත් වඩා හැකියාවක් තිබිණ. නමුත් එතුමා කිසිදා එවැන්නක් කෙළේ නැත. 

එතුමා දිගින් දිගටම රටේ ආරක්ෂක අංශ පිලිබඳව විශ්වාසය තබන බව පැවසීය. පසුගියදා අරලියගහ මන්දිරයටම ගොස් අගමැති මහින්ද රාජපක්ෂ මුණගැසුනු කාදිනල් මැල්කම් රංජිත් හිමි මහින්ද රාජපක්ෂට (පාස්කු ප්‍රහාරය සම්බන්ධ හදිසි රැස්වීමකදී) විශේෂ ස්තුතිය පල කළේ කුමන කාරණයන් පාදක කරගෙන දැයි කතෝලික සමාජයට දැන් මවිතයක් සහ බරපතළ ගැටලුවක් පැන නැගී ඇත. කාදිනල් හිමි ආන්ඩුවට ප්‍රශංසා කළේ මේ දක්වා එම බිහිසුණු ප්‍රහාරය පිලිබඳව පරීක්ෂණ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව තරම් වත් සැලකියයුතු ප්‍රගතියක් වත්මන් ආණ්ඩුව අත්කරගෙන නොමැති වතාවරණයක ය.

සාක්ෂි විනාශ කිරීමේ අදිසි හස්තය කව්ද?

මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් විනාශ වූූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මෙන්ම කටුවාපිටිය සහ මඩකලපුව සියාම් දේවස්තානයේ ද, සංචාරක හෝටල්වල ද පැවැති, ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණ සහ වැඩිදුර විමර්ශන සිදුකර නිගමනයකට ඒමට හැකියාව තිබු එකිනෙකට වෙනස් වැදගත් සාක්ෂි ආන්ඩුව මැදිහත් වී සිදුකළ හදිසි ප්‍රතිසංස්කරණ නිසා විනාශ විය. එය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනයත් සමග එම ප්‍රහාරය සිදු වූූ ආමර් විදීය (1993.05.01) එදිනම සෝදා දැමු ආකාරයේ බරපතල සැක කටයුතු සිදුවීමක් විය.  තවදුරටත් එකී දේවස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට වත්මන් ආන්ඩුවද මැදිහත් වෙමින් ඇත. ලංකාවේ එසේ කළ නමුත් අසල්වැසි ඉන්දියාවේ සික් ජාතිකයෙකු අතින් (1984 ඔක්තෝබර් මස 31 දින) හිටපු අගමැතිනී ඉන්දිරා ඝාන්ධි ඝාතනය වූ ස්ථානයත්, (1991 මැයි 21 ) තමිල්නාඩුවේ සිරිපෙරුම්බුදූර් හි දී හිටපු අග්‍රාමාත්‍ය රාජීව් ඝාන්ධි ඝාතනය වු ස්ථානයත් ඉන්දීය රජයේ උපදෙස් අනුව එවැනි ඝාතන යලි ඇතිවීම වැලැක්වීම සඳහා අවශ්‍යවන විමර්ශන සඳහා ඉන්දීය ආරක්ෂක අංශ මාස ගණනාවක් පුරා කිසිදු වෙනස්කමක් නොකොට වැඩිදුර පරීක්ෂණ සඳහා ආරක්ෂා කළේය. ලෝකයේ බොහෝ රටවල් එම ක්‍රමය අනුගමනය කරද්දී ලංකාවේ තත්වය හාත්පසින්ම වෙනස් වූයේ ඇයි..? ප්‍රබල සාක්කි විනාශ කිරීමට අවශ්‍ය වූයේ කාටද? 

ඉහත සියළු කාරණා අනුව, අනාගතයේදීත් බල ලෝභී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අපේ අහිංසක නිරායුධ මිනිසුන් සමුහ වශයෙන් ඝාතනය වීම වැලක්වීමට තවදුරටත් පමා නොවී පාස්කු ඉරිදා දින මියගිය ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට වත්මන් ආණ්ඩුවවට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑමක් කළ යුතුය. ඒ අනෙකක් නොව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියා ය.  මෙවර නත්තල් දේව මෙහෙයන්හිදී මේ පිලිබඳව අව්‍යාජවම සඳහන් කරනු ඇතැයි රටේ ජනතාව බලාපොරොත්තු වෙති.

රසල් හේවාවසම්

ලියුම්කරුගේ පෙර ලිපි එකතුව

https://www.lankaenews.com/category/74

---------------------------
by     (2020-12-24 01:04:10)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links