විශේෂ ලියුම්කරුවෙක් කරන හෙළිදරව්ව
(ලංකා ඊ නිව්ස් -2021.අප්‍රේල්.17, ප.ව.9.50) දකුණු ඉන්දිය ආරක්ෂක අංශ පසුගිය මාර්තු මස 25 දින දියත් කළ විශේෂ මෙහෙයුමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක්, හෂීස් කිලෝග්‍රෑම් 60 ක්, AK 47 ගිණි අවි 5 ක්, ජීව උණ්ඩ 1000 ක් සහ තහනම් සන්නවේදන උපකරණ තොගයක් ප්‍රවාහණය කරමින් සිටි ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 03 ක් සහ ජාවාරම්කරුවන් 19 දෙනකු අත්අඩංගුවට ගත්හ.
වැටලීම සිදුකරන අතර තුර ශ්‍රී ලාංකික යාත්‍රා තුල තිබූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සැකකරුවන් මුහුදට දමා ඇති බව ඉන්දීය ආරක්ෂ අංශ ප්‍රකාශ කළේය. ආරක්ෂක අංශ ග්‍රහණයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ලංකාවේ රුපියල් කෝටි 7700 ක් (ඉන්දීය රු.කෝටි 3000 ක්) පමණ බව ප්‍රකාශ විය. කේරලයේ විසින්ජෑම් ප්‍රදේශයේ ඉන්දීය ආරක්ෂක අංශ භාරයේ සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුවන අතර ඔවුන් කෙස් කෙලින් කරන තොරතුරු රැසක් වමාරා ඇත.
සැකකරුවන් හෙළි කළ තොරතුරු අනුව ඇල්ලූ කුඩු තොගය ලංකාවේ දකුණු පළාතේ පාතාල නායකයෙකු වන 'ප්‍රසන්න විජේවික්‍රම' හෙවත් 'බද්දේගම සුදා' නැමති අයෙකුට අයත් බව තමිල්නාඩු බුද්ධි අංශ වාර්තාවක දක්වා ඇත. මොහු රාජපක්ෂ සහෝදරයෙකුගේ කිට්‍ටු හිතවතෙක් බව ද එහි සඳහන් වේ. මැදමූලන අල්ලපු වැටේ පිහිටි තිස්ස 'ටැමරීන් ට්‍රී ' හෝටලය ඇතුලු තරු පන්තියේ හෝටල් 8 ක් මොහුට අයත් බව තමිල්නාඩු වාර්තාවේ දක්වා ඇත.
මොහුගේ කල්ලිය ජාවාරම් සඳහා යොදා ගන්නා අධිවේගී යාත්‍රා කිහිපයක ඡායාරූප ද එම වාර්තාවට අමුණා ඇත. ඒවා ගාල් කොට ඇති ස්ථාන පවා වාර්තාවේ සේයාරූ සහිතව දක්වා ඇත. හයිලෙවල් පාර ආසන්නයේ මොහුට අයත් ගොඩනැගිල්ලක් කුඩු ජාලය මෙහෙයවන තිප්පොලක් ලෙස ක්‍රියාත්මක බව ද වාර්තාවේ සඳහන් වේ. (එම වාර්තාවේ සේයාරුවක් මෙහි දැක්වේ)
ඉන්දියාව මෙතරම් ටක්කෙටම කුඩු ජාවාරමුන් ගැන සඳහන් කළ ද ආරක්ෂක අමාත්‍යංශය බාර ජනාධිපති සේනාධිනායක ගෝඨාභය සහ ඔහු ගේ ආරක්ෂක අංශ නුදුටුවාක් මෙන් අහක බලාගෙන සිටිති.
ඉන්දියාව පසුගිය මාර්තු 25 දා ලංකාවේ කුඩු ජාවාරමුන්ගේ මත්ද්‍රව්‍ය තොගයක් ඇල්ලුවේ ලඟ ලඟ දෙවන වතාවට ය. මාර්තු 5 වෙනිදා ද ලක්ෂාද්විප මුහුදේ දී තවත් සුපිරි හෙරොයින් කිලෝ 200 ක් ද, හෂීස් කිලෝ 60 ක් ද, ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙක් ද සහිත යාත්‍රාවක් අල්ලා ගත්තේ ය.
ඉන්දියා පසුගිය වසරේ නොවැම්බරයේ දී ද කන්‍යාකුමාරි මුහුදේ දී 'ෂෙනායා දුව' නම් බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ 120 ක් අල්ලා ගත්තේ ය. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 2600 ක් පමණ විය.
මේ සියලු කුඩු තොග ඉන්දියාව අල්ලා ගත්ත ද ශ්‍රී ලංකාවේ ගෝඨාණ්ඩුව ඒවාට කිසිදු සහායක් නොදී පමණක් නොව ලංකාවේ ප්‍රචාරයක් ද නොදී නිහඬ පිළිවෙතක් දැරීම ඉන්දියාවට ද බරපතල ප්‍රශ්නයක් වී තිබේ.
ලංකාවේ ඇස්තමේන්තු ගත හෙරොයින් භාවිත කරන සංඛ්‍යාව 65000 ක් පමණ වෙයි. නමුත් සත්‍ය ලෙසම හෙරොයින් භාවිතා කරන පිරිස ඇස්තමේන්තු කළ පිරිස මෙන් 7 ගුණයක් පමන වෙතැයි අනුමාන කරති. 80-90 දශක වලදී ලංකාවට හෙරොයින් ප්‍රධාන වශයෙන් එවන රටවල් වූයේ පකිස්ථානය සහ ඉන්දියාව ය. දැන් එම තත්වය වෙනස් වී තිබේ. මේ වන විට ලංකාවට හෙරොයින් එන්නේ ප්‍රධාන වශයෙන් ඇෆ්ගනිස්ථානයෙනි. අද ලෝකයේ හෙරොයින් සැපයුමෙන් 90 % ක් පමණ ලැබෙන්නේ ඇෆ්ගනිස්තානයෙනි.
ලංකාවට පහලින් සහ නැගෙණහිර දෙසින් ඇති ඉන්දුනීසියාව, පිලිපීනය මැලේසියාව, ඔස්ට්‍රේලියාව වැනි රටවලට හෙරොයින් යන්නේ ලංකාව හරහාය . අප්‍රිකානු මහද්වීපයට හෙරොයින් යවන රටවල් අතර ද ලංකාව ඉදිරියෙන්ම සිටියි. හෙරොයින් ජාවරමේ විශාල පදාසයක ගණුදෙණු සිදු වන්නේ මුහුදේ දී ය. මත් ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (United Nations Office on Drugs and Crime) නිකුත් කළ නවතම වාර්තාව අනුව ලංකාව ලෝකයේ ප්‍රධානතම කූඩු තිප්පොලක් ලෙස හඳුන්වා දී ඇත. UNODC වාර්තාව ගැන ගෝඨාණ්ඩුවට වගේ වගක් නැති වුවද වර්ධනය වෙමින් පවතින තත්වය පිළිබඳව ඉන්දීය රජය දැඩි ක්‍රියා මාර්ග ගෙන ඇත. ඉන්දීය බුද්ධි අංශ ඉන්දීය සාගර කලාපයේ ජාවාරම් කරන ශ්‍රී ලාංකිකයන් පිලිබඳ තොරතුරු රැස් කිරීම සහ මෙහෙයුම් දියත් කිරීම වැඩි කොට ඇත.
පසුගිය වසර තුල (2020) ලාංකික ජාවාරම්කරුවන්ට එරෙහිව ඉන්දීය ආරක්ෂක දියත් කළ මෙහෙයුම් වල ප්‍රතිඵල පහත පරිදිය. අත්අඩංගුවට ගත් පිරිස අතර කිඹුලා ඇල ගුණා ඇතුළු කුඩු පතාකයන් 14 දෙනෙකු ද වේ. මෙය සැබැවින්ම මහ ලොකු විරුවාගේ ගෝඨාණ්ඩුව ලැජ්ජා විය යුතු තත්ත්වයකි.
ඉන්දීය ආරක්ෂකයන් අත් අඩංගුවට ගත්
ශ්‍රී ලාංකික ජාවාරම් කරුවන් ගණන - 112
හෙරොයින් - 960 kg
අයිස් (Crystal Methamphetamine) - 876 kg
කැටමින් - 681 kg
ස්වයංක්‍රීය ගිණි අවි - 29
ට්‍රෝලර් යාත්‍රා - 14
අධි වේග යාත්‍රා - 5
ලංකාවේ ඉහලම දේශපාලන බල අධිකාරිය කුඩු ගෝඩ් ෆාදර්ලා සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රතිපත්තිය නිසා ආරක්ෂක අංශ ඔවුන්ට අත තැබීමට බිය ය. ලංකාවේ අපරාධ සම්බන්ධව ක්‍රියාත්මක නීතිය මකුළු දැලක් මෙනි. මහාපරිමානයෙන් කුඩු ගෙන්වන උන් නීතිය කඩා ගෙන යන්නේ මකුළු දැලක් කඩා ගෙන යන කඟවේනෙකු පරිද්දෙනි. එදා වේල කුඩු ගසන උන් කූඹින් මෙන් එහි සිරවේ.
ලංකාව යුධ අපරාධ ගැන වග නොවීම සහ ජාතික සංහිඳියාව පිළිබඳව ඇල්මැරුණ ප්‍රතිපත්තිය මේ වන විට ලෝක අවධානයට ලක් වී ඇත. එජා මානව හිමිකම් කොමිසම හමුවේ ලංකාව මේ වන විටත් වගඋත්තරකරුවෙකු වී අහවරය. පසුගිය වසරක කාලය තූලදී "මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNODC) තම බුද්ධි තොරතුරු චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ මෙරට ආරක්ෂක අංශ වෙත සම්ප්‍රේශනය කොට ඇත.
නමුත් UNODC බලධාරීන් සහ ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කරන පරිදි මනා සම්බන්ධීකරණයකින් යුතුව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට මෙරට ආරක්ෂක අංශ අපොහොසත් වී ඇත. මෙම තත්වය දිගින් දිගටම පැවතුන හොත් ලංකාව අසාර්ථක මාෆියා රාජ්‍යයක් (A failed mafia state) ලෙස ලෝකය සන්නාම කරනු ඇත.
(ඉන්දියාව අත් අඩංගුවට ගත් ලාංකික යාත්‍රාව, අවි සහ උණ්ඩ සහ අත් අඩංගුවට ගත් අවි ආයුධ මෙහි සේයාරූ වල දැක්වේ.)
---------------------------
by (2021-04-17 17:00:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි