~

ස' ෆේල් ද? පාස් ද.? -හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුගේ විනිවිද දැක්ම..!

ජිනසිරි දඩල්ලගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.මැයි.04, ප.ව.2.30) අසාර්ථක භාවයන් පිලිබඳ (FAIL) පිලිබඳ කතාබහක් සමාජය තුල ගොඩ නැගී ව්‍යාප්ත වෙමින් යාමක් නිරීක්ෂණය වේ. කෙසේවුවද සමාජ මතයන් ඇතිවන්නේත් පවතින්නේත් යම් යම් සමාජ හා ආර්ථික ක්‍රියාදාමයන් හා කලමනාකාරිත්වයන් පිලිබඳ සමාජය ඇතිකර ගනු ලබන ආකල්ප, මතවාද හෝ සංජානනයන් අනුව වේ. රජයක හෝ ආයතනයක ක්‍රියාකාරිත්වය තමන්ට දැනෙන ආකාරයට එවැනි මතවාද සමාජය තුල ජනිත වේ. ඉතිහාසයේ එවැනි මතවාදයන් බොහෝ දුරට ආණ්ඩු පෙරලි හෝ පූර්ණ හෝ අවශ්‍ය ප්‍රමාණයේ වෙනස් වීම් වලට පවා හේතුවී ඇත. කෙසේ වුවද සමාජය තුල ගොඩ නැගෙන එබඳු ආකල්ප ප්‍රවාහයන් වෙනස් කළ යුත්තේ ඒ පිලිබඳ හේතු ඵල වාදී විශ්ලේශනයන් වලින් මිස යහපත් නොවන කළමනාකාරී  ප්‍රවේශයන් වලින් නොවේ.

යහපත් අපේක්ෂාවට යහපත් ප්‍රතික්‍රියා පමණක් ඇලුම් කරන සමාජයක්..

සමාජ සංවර්ධන මතවාදයන් අනුව නිරන්තරව සමාජයන් තුල අයහපත් දේ වෙනුවට යහපත් දෙයත්, බොරුව වෙනුවට සත්‍යයත්, මිත්‍යාව වෙනුවට යථාර්තයත්, අවිද්‍යාව වෙනුවට විද්‍යාවත් සඳහා  වැඩි ඉල්ලුමක් පවතී. එවැනි ඉල්ලුම් සමාජයන් තුල ගොනු වීම නෙලා ගැනීම සඳහා දේශපාලන මතවාදයන් බොහෝ දුරට ඉදිරියට පැමිණේ. ජයග්‍රහණය හෝ පරාජයන් වලින් තීරණය වන එබඳු සමාජ අපේක්ෂා කළමනාකරණය ඒ අනුව දේශපාලනය තුලින් සමාජය අපේක්ෂා කරන්නේය. බොහෝ දුරට එබඳු සමාජ කොටස් හෝ මතවාදයන් සඳහා වූ දේශපාලන පක්ෂ අදාළ නොවේ. යහපත් සමාජ අපේක්ෂාවට යහපත් ප්‍රතික්‍රියා පමණක් ඔවුන් ඇලුම් කරයි. එසේ නොවුණු කල අපේක්ෂා භංගත්වය මත 'මෙයත් අසාර්ථකය' යන මතවාදය ශක්තිමත්ව සමාජ ගතවේ. 

තමන්ගේ කමට වඩා බුද්ධියට හා වෘත්තීය භාවයට ප්‍රමුඛ තාවය..

තමන්ගේ කමට වඩා බුද්ධියට හා වෘත්තීය භාවයට ප්‍රමුඛ තාවය ඉල්ලා සිටීම සමාජයේ දීර්ග කාලීන අවශ්‍යතාවයකි, එය දේශපාලන සටන් පාඨයක් වන්නේද එම සමාජ අවශ්‍යතාවයේ ප්‍රබලත්වය නිසාවෙනි. එය එලෙස නොවී හිතවත් කම් භාවිතා කිරීම සංකීර්ණ අසාර්ථක තත්වයකට පාර කපා ගැනීමකි.  මුල් තීරණ මගින්ම එබඳු අසාථකත්වයන් ඇතිවිය හැකි බව බොහෝ දෙනාගේ තක්සේරුව විය. විනාශ වූ ණය බරින් පීඩිත වූ ආර්ථිකයට පාර කැපු, බොහෝ දෙනා මුල් පුටුවලට යන විටම  එබඳු පුරෝකථනයන් සමාජ ගතවිය. වෘත්තීමය තෝරාගැනීම් වෙනුවට ගැති හා එහෙයිවාදය තෝරා ගැනීම අසාර්ථකත්වය තෝරා ගැනීමකි. කියන දේ කරනවාට වඩා කළ යුතු ආකාරය හඳුනාගන්නන් පැත්තකට වී ඇත. ඔවුන් අසාර්ථකත්වයන් පුළුල්ව සමාජ ගත කිරීමේ ප්‍රබල හවුල්කරුවන් වේ. ඒ අනුව කළ යුතු ආකාරය වඩා හොඳින් දැකිය හැකි තෝරා ගැනීම අසාර්ථකත්වයෙන් මිදීමට මගක් වේ.

'ස' ෆේල්' කතාවට බලපෑවේ කුමක්ද..?

සීමිත සම්පත් වඩා විචාරශීලීව කළමනාකරණය සඳහා  වෘත්තීමය  මානව සම්පත් කළමනාකරණය මුලික වේ. බොහෝ සාර්ථකත්වයන් සඳහා මානව සම්පත් යෙදවීම සාර්ථක වීමට මග වේ. කළමනාකරණ ප්‍රතිපත්ති හඳුනා ගැනීමේදී තමා දන්නා තරමටත් හා තමාගේ හිතවතුන් දන්නා තරමටත්  වඩා දන්නා අය සිටිය හැකි බව තේරුම් ගත යුතු වේ. පුළුල් දැක්මක් හා දැනුමක් නැති අයෙක් එලෙස ඇතියයි සිතා කටයුතු කිරීම අසාර්ථකත්වය විනිවිද පෙනීමට හේතුවිය හැක. තමා දන්නා අයගේ එම තත්වයන් තක්සේරු නොකිරීම ද, ඔවුන් වෙත වගකීම් පැවරීම ද අසාර්ථක බව නිරීක්ෂණයට මග පාදයි. එම තත්වයන් යටතේ වඩා යහපත් දේ හෝ කුමක්ද හරි යන තීරණ ගැනීම සඳහා බාධා පැමිණේ. ඒ අනුව හරිම  දේ සිදු නොවන විට අසාර්ථක බව ඉස්මතුවේ. පවතින හා ව්‍යාප්ත වෙමින් පවතින අසාර්ථක කතා බහට මෙම සංකලන්යන්ගේ සම්මිශ්‍රණය කෙසේ බලපා ඇත්දැයි හඳුනා ගැනීම හේතුඵල මූල ධර්මයන්ට එකග වීමකි.

රාජ්‍ය පාලනයේදී කිසියම් පැවතෙන සම්ප්‍රදායන්, ක්‍රමවේදයන් හා මුලධර්ම පවතී. ඒවා ගතානුගතික වන්නේනම් ඒවා කාලීනව වෙනස් කිරීම හෝ යාවත් කාලීන කිරීම අවශ්‍යවන යහපත් කළමනාකරණයකි. 'ලොවෙක් එකෙක් එක් දෙයකට වෙයි සමථ' යන මතයට අනුව සාමාන්‍ය පාලනයක දී යම් යම් විෂය පථයන් අනුව වගකීම් පැවරේ. එම විෂයන්ට අනුව තව දුරටත් අදාළ වන දැනුම, කුසලතා හා අත්දැකීම් ලබා ගැනීමේ ක්‍රමවේදයන් රාජ්‍ය සේවාවන් තුල පැවතීම තුල ඒ ඒ ක්ෂේත්‍රයන් තුල පුළුල් වූ දැනුම කුසලතා හා ආකල්ප ගොනුගත වේ. කිසියම් උපදේශයකට හෝ අණ දීම තුල ක්‍රියාත්මක වීම සඳහා හුරු වූ අයෙකු හැඩ ගැසෙන්නේ ඉහලින් ලැබෙන අණ හෝ ඉලක්කයට පමණක් කටයුතු කිරීම සඳහා පමණි . වෙනත් විද්‍යාත්මක විෂය පථයකට හුරු වූ අයෙකු හෝ එවැනි වගකීම් සහිත අයෙකු බොහෝ දුරට සියලු දේ දෙස බලන්නේ තම විෂය කේන්ද්‍ර කරගෙන වේ. මමත්වය හෝ පුළුල් විෂය ක්ෂේත්‍රයන් පිලිබඳ නොදැනීම තුල සියල්ල තමාගේ පටු සීමාවන් තුල දැකීම හෝ ක්‍රියා කිරීම ද අසාර්ථකත්වයට හේතු වේ. 

බහුවිධ දැක්මක්, අත්දැකීමක්, ආකල්ප හා හර පද්ධතියක් නොවේනම් බහුවිධ අවශ්‍යතා හා හැඟීම් හඳුනා ගැනීමේ අපහසුව අසාර්ථකත්වයට මග පාදනු ඇත. ඒ අනුව විවිධ පැතිකඩ ඔස්සේ ගැටළු හඳුනා ගැනීමත්, ඒ සඳහා විසඳුම් මාර්ග සෙවීමත් සඳහා අවශ්‍යවන යෙදවීම් අව භාවිතා වනු ඇත. කිසියම් ගැටලුවකට සාර්ථක විසඳුම් ලබාදුන් කෙනෙකු ඕනෑම ගැටලුවකට සාර්ථක විසඳුම් කරුවෙක් නොවන්නේ ඒ අනුව ය. 

අන්දර යායේ අප්පච්චිලා ගැන කීවාට...

ශ්‍රී ලංකාවේ බොහෝ කළමනාකරන යෙදවීම් වල මෙම අසාර්ථක භාවිතාවන් සඳහා ඕනෑතරම් අත්දැකීම් පවතී. සත්ව විද්‍යාව සඳහා කුඩා කාලයේ සිටම ඇල්මක් සහිතව සිටි අයෙකු සත්ව විද්‍යාව පිළිබඳවම මහාචාර්ය පදවියක් සහිතව සිටීම ශ්‍රී ලංකාවේ වනජීවී කළමනාකරණය සඳහා සාර්ථකම තෝරා ගැනීම නොවේ. ගීත රචනාවේ ඉහලම සම්මාන ලැබුවකුට ගුවන් විදුලි සංස්ථාව මනාව කළමනාකරණය කළ හැකියයි නිගමනය කිරීම අසාර්ථක යෙදවීමකි. පොතේ ගුරෙකු ලෙස කෘෂිකර්මය හැදෑරු අයෙකුට ගොවියාගේ ගැටළු හඳුනාගත හැකියි සිතා ගොවිජන සේවා ප්‍රධානියා කළහැකි වුවත් ඔහුට සාර්ථකවීමේ හැකියාව සැකසහිතය. අන්දරයායේ අප්පච්චිලා ගැන දුක හිතෙන සින්දු කියන කෙනෙක් අන්දර යායවල් පිහිටි ප්‍රදේශයක් සාර්ථකව පාලනය කළ හැකි ලෙස සිතීම මනා  කළමනාකරණය හෝ අදාළ වගකීම් සඳහා සුදුසුම හදුනා ගැනීම නොවේ. අතරින් පතර එබඳු චරිත ඇතත් ශ්‍රී ලංකාව සමස්ථ වශයෙන් අසාර්ථකත්වයට උරුම කම් කියන්නේ මේ අනුව වේ. කළ යුතු වඩා යහපත් ප්‍රවේශයන් හඳුනා ගතහැකි වඩාත්ම සුදුස්සා හඳුනා නොගැනීම මත අවසානයේ එහි වගකීම හා අසාර්ථක ලේබලය නායකයා මත පතිත වේ. 

ලෝකයේ බොහෝ දියුණු සමාජයන් හා ආර්ථිකයන් වල පැහැදිලි රහස වන්නේ කුසලතාවයි (meritocracy) ඒ සඳහා තම දේශපාලනය හෝ තම නෑ කම හෝ තම ප්‍රදේශයේ වීම හෝ තමාගේ සේවයේ වීම අදාළ නොවේ. දේශපාලනයේදී හෝ සේවාවකදී හෝ කිසියම් වගකීමකදී කළමනාකාරී දැනීම හෝ එලෙස වීම අවශ්‍යවේ.

තාත්තා පොර වුනාට පුතාට බෑ..

සාහිත්‍ය භාෂාවේදී කුකවි මතවාදය බොහෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනේ. වෙනත් අයගේ නිර්මාණ හෝ කුසලතා තමාගේ මෙන් පෙන්වීම මෙහි සරල අර්ථයයි . ශ්‍රී ලංකාවේ දේශපාලනයට බොහෝ දුරට ඒමට හෝ පැවතීමට හැකියාව ඇත්තේ කිසියම් සබඳතා ජාලයකිනි. බොහෝ දුරට ඉහල වගකීම් ලබාදීමද මෙම සබඳතා ජාලය හා බැදී පවතී. තාත්තා සාර්ථක නිර්මාණ කරුවෙක්නම් පුතා සාර්ථක නිර්මාණ කරුවෙක් ලෙස සිතීම මුලාවකි . බොහෝ තාත්තලා සාර්ථක නිර්මාණ කරුවන් වුයේ ඒ සඳහා සැලකිය යුතු කැපවීමකිනි . පාරම්පරික ශිල්පයක වුවත් එම ශිල්පය රැක ගැනීම සඳහා පුතා උත්සාහ නොගන්නේ නම් හෝ එය කැපවීමෙන් හදාරන්නේ නැත්නම් ඔහු හොඳ නිර්මාණ කරුවෙක් හෝ ශිල්පියෙක් වන්නේ නැත. එලෙස නොවන්නේ නම් තාත්තාගේ නිර්මාණ විකුණාගෙන කන තාත්තාගේ නමත් කන එක පමණක් ඔහුට කළ හැක. එසේ නැත්නම් කෙටි කලක් තාත්තාගේ නිර්මාණ තමාගේ මෙන් පෙන්වා කෙටි කලක් බොරුවෙන් ජීවත්  වීමට පමණක් ඔහුට හැකිවනු ඇත. 

දේශපාලනයද එසේමය. පවුලේ කෙනෙක් සාර්ථක දේශපාලකයෙක් වීම මත පවුලේ අනෙක් අයද සාර්ථක දේශපාලකයන් ලෙස සිතීම මුලාවකි. සාර්ථක දේශපාලකයකු වීමට බොහෝ කැපකිරීම්, අත්දැකීම් අවශ්‍ය වන අතර එලෙස නොවන  කෙනෙක් සාර්ථක නොවනු ඇත. ස්වාමියා මිය ගිය පසු බිරිඳ දේශපාලනයේ යෙදීම, තාත්තාගෙන් පසු පුතාට තැන ලැබීම, අය්යාගෙන් මල්ලීට ලැබීම ආදී දේශපාලන සම්ප්‍රදායන් මගින් ශ්‍රී ලංකාවට මෙන්ම එබඳු දේශපාලන සම්ප්‍රදායන් ඇති තුන් වෙනි ලෝකයේ රටවල දේශයන් ගොඩනැගිය හැකි ප්‍රබල දේශපාලකයන් බිහිවී නැත. එබඳු දේශපාලන සම්ප්‍රදායන් හා දේශපාලකයන් බොහෝ දුරට අසාර්ථක වී ඇති අතර ජනතාවට දේශපාලනය මගින් පහසුව හා අපහසුව දැනෙන බැවින් සාර්ථක හා අසාර්ථක ලේබල් ඇලවීමට ඔවුන් පසුබට නොවේ. 

අනුන්ගේ වැඩට තමාගේ ලකුණු දමාගැනීම..

කුකවිවාදය අනුසාරයෙන් ගොඩනැගෙන තවත් පැතිකඩක් ලෙස අනුන්ගේ වැඩ තමාගේ මෙන් ලකුණු දමාගැනීම පෙන්වාදිය හැක. රාජ්‍ය සේවයේ හා දේශපාලන සම්බන්ධතාවයේ මෙය බොහෝ දුරට දැකිය හැක. පහල මට්ටමේ නිලධාරීන්ගේ බොහෝ නිර්මාණශීලී හඳුනාගැනීම් තමාගේ මෙන් පෙන්වන ඉහල නිලධාරීන් සිටී. නිලධාරීන්ගේ කැපවීම හා නිර්මාණශීලිත්වය ඇමතිවරයාගේ සංකල්ප හෝ හඳුනා ගැනීම් ලෙස පෙන්වීම සිදුවේ. සහතික ගැනීම හෝ ජනප්‍රියතාවය යන්නේ අදාළ කාර්යය නිම කළ හෝ හඳුනා ගත් අයට නොව ඒ සඳහා සිතීමටවත් නොහැකි අය වෙතය. සමහර විට අනුන්ගේ වැඩය තමාගේ මෙන් පෙන්වීම සඳහා එය සැබවින්ම කළ අය එම තනතුරින් මාරු කිරීම හෝ වෙනත් ලෙඩක් ඇද ඉවත් කිරීම පවා සිදුවේ.  වැඩය සැබවින්ම කල පුද්ගලයාට අවාසියත් එම ක්‍රියාව පිලිබඳ කිසිදු සබඳතාවයක් නොමැති අය සියලු වාසි මෙන්ම කීර්තිය මංකොල්ල කෑමත් කුකවි මතවාදය අනුව තේරුම් ගත යුතුවේ.

කෙසේ වුවද නිසි නිර්මානශීලිත්වයත්, අත්දැකීමත්, දැනුමත් නොමැතිව අන්‍යයන්ගේ පදනම් මත අවස්තාව ලැබී අදාළ කාර්යය ඉටුකිරීමට යාම තුල අසාර්ථකත්වය මතුවේ. සමාජය හෝ ජනතාව හෝ අනුගාමිකයන් සිතා සිටි මට්ටම ක්‍රියාවේදී නොවීම මත බලවත් ලෙස ඉච්චා බන්ගත්වයට පත්වේ. සමාජ මතවාදයන් යතාර්ථවාදී නොවන මං ඔස්සේ ව්‍යාජව නිර්මාණය වීම තුල සැබෑ අවස්තාවලදී එළිදරව් වීම අසාර්තක බව කැපී පෙනීමට හේතුවේ. එබඳු අවස්තාවලදී අසාර්ථකත්වය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බුක්ති විදීම එබඳු බලාපොරොත්තු කරුවන්ට සිදුවේ. සමාජ නිහඬතාවය මගින් හෝ වෙනත් සන්නිවේදන යෙදවීම් හරහා එබඳු තත්වයන් බොහෝ දුරට සංජානනය වේ.

කර්මකාරක සංවර්ධන ප්‍රවේශය.. 

ඉටුකළ නොහැකි අධි අපේක්ෂාවන් ඉදිරිපත්කොට එබඳු දෙය නොකර සිටීම අසාර්ථක මතවාදය සමාජ ගතවීමට හේතුවකි. ශ්‍රී ලංකාව තුල නිදහසින් පසු ක්‍රියාත්මක වන්නේ කර්මකාරක සංවර්ධන ප්‍රවේශයකි. එනම් ජනතා ක්‍රියාකාරිත්වය හෝ සහබාගිත්වය නාමිකව සලකන දේශපාලනය  හෝ නිලධාරිවාදය කතෘන්  ලෙස සැලකෙන ප්‍රවේශයකි.  දේශපාලනය සඳහා ඉටුකළ හැකි හෝ නොහැකි පොරොන්දු මත ජනතාව සියලු දේ පිළිබඳව පුළුල් බලාපොරොත්තු තබාගනී. 

කාර්ම කාරක සංවර්ධන ප්‍රවෙශයකදී ජනතාව ක්‍රියාකාරී නොවේ. පුළුල් ජනතා සහභාගිත්වය මත කළ යුතු බොහෝ දේවල් දේශපාලකයා හෝ පරිපාලකයා අතට ගැනීම හෝ එහි භාරකාරයා වීම හෝ කතෘන් වීම තුල ජනතාව සියලු දේ පිළිබඳව අධික බලාපොරොත්තු තබාගනී. සැබෑ සංවර්ධන ක්‍රමෝපායන් තුල අධික සුබසාධන ක්‍රමෝපායන් අසාර්ථක මොඩලයන්වේ. ශ්‍රී ලංකාව සුබසාධක මොඩලයන් මගින් බොහෝ අසාර්ථක ප්‍රතිපල පෙන්වා ඇත. එය සංවර්ධන මොඩලයකට වඩා දේශපාලන බලය සඳහා යොදා ගන්නා උප්පරවැට්ටියකි. පවතින ආර්ථික තත්වයන් යටතේ එලෙස කිරීමේ හැකියාව අන්තයට පිරිහී ඇත. අධික සුබසාධක බලාපොරොත්තු ලබා දීමෙන් බලයට ආ හැකි උවත් ප්‍රායෝගික තත්වයන් යටතේ එලෙස කිරීමේ නොහැකියාව මත ජනතා අධික බලාපොරොත්තු සුන්වී අසාර්ථක ලේබලය සමාජ ගතවේ. 

ෆේල් වීමට තවත් හේතු..

නුතන ගෝලීය දේශපාලන, ආර්ථික හා සමාජ යතාර්තයන් තේරුම් නොගැනීමද අසාර්ථක කතා බහට හේතු නිර්මාණය කරයි. ගෝලීයකරණ ප්‍රවාහයන් අනුව බොහෝ කටයුතු විවෘත විය යුතුය. ලෝකයේ බොහෝ දියුණු සමාජයන් තුල රාජ්‍ය සේවය විවෘත එකකි. ආර්ථිකයන් විවෘත ඒවා වේ. වෙළඳපොල විවෘත වේ. වෙළදාම, නිෂ්පාදනය, තාක්ෂණ භාවිතය ආදිය දියුණු රටක හා ණයබරින් පීඩිත දිලිඳු රටක පරතරය අතිවිශාල වේ. දේශීය වූ ආර්ථිකයන් ගොඩ නැගිය හැක්කේ මෙම යථාර්තයන් තේරුම් ගැනීමෙනි. 

කාර්මික වශයෙන් ඉතා දියුණු රටක නිෂ්පාදන සඳහා හවුල් කරුවන් වෙනවා වෙනුවට එම නිෂ්පාදන තහනම් කොට අපිත් ඒ මට්ටමට ඒමට සිහින දැකීම ගෝලීය යතාර්තයන් හඳුනා නොගැනීමකි. ඒ තුලද ජනතාව හා ඒ ඒ සමාජ කොටස් පීඩනයට පත්වීම අසාර්ථක ලේබලය සමාජ ගතවීමට හේතු බිහිවේ.

ජනතා විවිධත්වය ශක්තියක් කර ගැනීම වෙනුවට..

ලෝකයේ සමාජ, ආර්ථික, මානව සම්පත්  මෙන්ම දේශපාලන ප්‍රතිපත්ති කලමනාකරන්යන් බොහෝ දුරට ඓතිහාසිකව වර්ධනයවූ විද්‍යාත්මක ප්‍රතිපත්ති කළමනාකරණ මුලධර්මයන් සමග එකාබද්ධවේ. බොහෝ රටවල විවිධ ජාතීන් මෙන්ම භාෂාවන් කතාකරන ජනයා ජීවත්වේ. එබඳු සමාජ පාලකයන් විසින් පාලනය කළ යුත්තේ බොහෝදුරට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ කළමනාකරණ මුලධර්ම සමග ය. විවිධත්වය ඇගයීම හා ඒ සඳහා අවස්තාවන් ලබාදීම යහපත් සමාජ පැවැත්මට උපකාරී වේ. බොහෝ දියුණු රටවල ප්‍රජා විවිධත්වය හා සමාජ විද්‍යාත්මක වෙනස්කම් සමාජ හා ආර්ථික සම්පත්සේ සලකයි. එසේ වූවද බොහෝ අසංවර්ධිත සමාජයන් එබඳු විවිධත්වයන් අව භාවිතයේ හෝ පුළුල් නොසලකා හැරීම් වලට භාජනය කර ඇත. ඒ මගින් ඉතා සංකීර්ණ හා දීර්ග කාලින සමාජ ආර්ථික හා දේශපාලනමය වූ ගැටළු වල පැටලී ඇත. මේ මගින් සැබෑ ගැටළු විසඳීම පසෙකට දමා සමාජ බෙදීම් විසඳීම සඳහා කාලය, ධනය හා ශක්තිය යෙදවීමට සිදුව ඇත. ජනතා විවිධත්වය ශක්තියක් කර ගැනීම වෙනුවට ඒවා දුර්වලතාවයන් කර ගැනීම අසාර්ථක දේශපාලන හා කළමනාකරණ ප්‍රවේශයන් වී ඇත. ඒ තුල සමාජ ගැටුම්, අස්ථාවරතාවයන් හා අයහපත් ප්‍රතිපල අත්කර ගැනීමත්, ඒවායේ ප්‍රතිපල සමාජයට භුක්ති විඳීමට සැලසීමත් අසාර්ථක වීමට හේතුවේ. 

බලය තනි අයිතියට ගැනීම අසාර්ථක පාලන මොඩලයකි...

ප්‍රජාතන්ත්‍රවාදී නිර්වචනයන් අවභාවිතා කොට බලය ඒකරාශි කිරීම අසාර්ථක පාලන මොඩලයකි. වගකීම් පැවරීම, බලය බෙදීම, කණ්ඩායම් ලෙස කටයුතු කිරීමේ මුලධර්ම පසෙක ලා බලය තනි අයිතියට ගැනීම තුල පවතින කළමනාකරණ යාන්ත්‍රණයන් අඩපන වේ. බලය කේන්ද්‍රගත වීම නිසා සෙසු අයගේ නිර්මාණශීලිත්වයද අඩපන වීම හෝ ඉදිරිපත් නොවීම සිදුවේ. බොහෝ සංකීර්ණ ආයතන තීරණ ගැනීමට බියවීමක් දක්වන්නේ බලය ඒකරාශිවීම තුල උනන්දුවීම අඩුවන බැවිනි. එක ස්ථානයකට බලය ගොනුවීම මත සම්මුතියෙන් තීරණ ගැනීම අවුල්වේ. එක්කෝ ඉහලින්ම පමණක් තීරණ දෙන තෙක් බලා සිටී. හර්ද ශාක්ෂිය සමග ඇතිවන ගැටලුකාරී සහසබඳතාවය සමග බොහෝ පුද්ගලයන් මෙන්ම ආයතනද එහෙයිවාදී ප්‍රවේශයන් තුලට කොටුවේ. නිදහසට වැට බැඳ ඇති මානසිකත්වයක් සමාජය තුල, පුද්ගලයන් තුල, ආයතන තුල ගොඩනැගේ. එබඳු පසුබිමක් තුල අසාර්ථකත්වය ක්‍රමානුකුලව වර්ධනය වේ. වගකීම් රහිත සමාජයක් එලෙස නිර්මාණය වීම අසාර්ථකත්වයට තටු ලබාදීමකි.

ෆේල් වීම හේතු ඵල වාදයේ පිළිබිඹුවකි..

සමාජයේ පවතින සාර්ථක අසාර්ථක කතාබහ හේතුඵල වාදයේ පිළිබිඹුවකි . එලෙසවූ හේතුසඳහා ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කිරීම අසාර්ථක රෝගී තත්වය තවදුරටත් ඉහල යාමටත්, එබදු අසාර්ථක රෝග ලක්ෂණ තව දුරටත් සමාජයට විනිවිද වීමටත් හේතුවනු ඇත. අසාර්ථක රෝග හා එබඳු සංකීර්ණතාවයන් වෙනස්කර ගැනීමට අවශ්‍ය සුබවාදී වෙදකම් හා වෙනස්කම් තේරුම් ගැනීම අසාර්ථකත්වය සාර්ථකත්වයට පරිවර්තනය කර ගැනීමට මගකි. සාර්ථක අසාර්ථක බව උද්දච්ඡකම් මත හෝ පෞද්ගලිකත්වයන් මත රඳා පවතී. වඩා යහපත් ස්වයං විවේචනයන් සහිත බුද්ධිමය හා කළමනාකරණමය තේරුම් ගැනීම අසාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යාමට මග පාදනු ඇත. 

ජිනසිරි දඩල්ලගේ

හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී

ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/66

---------------------------
by     (2021-05-04 09:21:10)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links