ජිනසිරි දඩල්ලගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.ජුනි.11, ප.ව.4.30) වියත් මගක් රටේ වෙනසට අවශ්‍ය බව බොහෝ දෙනාගේ බලාපොරොත්තුව විය. එලෙස අවශ්‍යවූයේ නිදහසින් පසු පාලනය බොහෝදුරට නූගත් දේශපාලකයන් අතට යාම නිසා ගනු ලැබූ තීරණයන් රටේ සංවර්ධනයට වඩා රට වල පල්ලට යැවීමට හේතුවූ බැවිනි. දේශපාලකයන් විසින් මෝඩ තීරණ ගැනීම හා එම මෝඩ තීරණයන් බොහෝ දුරට විමසීමකින් තොරව ක්‍රියාත්මක කරන නිලධාරිවාදය වෙනස් විය යුතු බවට බුද්ධිමය සංවාදයක් සමාජය තුල දීර්ඝ කාලයක් පැවතිනි. මේ රට හදන්න නම් උගතුන්, බුද්ධිමතුන් පෙරමුණ ගතයුතු බව හා එබඳු අය දේශපාලනයට මෙන්ම තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවට සමාජ සංවාදයක් විය. පසුව එය දේශපාලන මතවාදයක් වී එලෙස වේයැයි සිතූ පැතූ දේශපාලන බලයක් බවට පත්විය.
නිදහසින් පසු දේශපාලනය පිලිබඳ විස්තර කිරීම අවශ්‍ය නොවේ. දේශපාලන බලයන්, මතවාදයන්, භාවිතාවන් දේශපාලනය මෙන්ම, සමාජය, ආර්ථිකය, සංස්කෘතිය ප්‍රබල විකෘතීන්ට හසුකර ඇත. රාජ්‍ය සේවය ද ඒ අතර ප්‍රධාන වේ. දේශපාලකයන් දකින සිහින සැබෑ කිරීමට උත්සාහ කරන එහෙයිවාදී රාජ්‍ය සේවයක් රටට දායද වී ඇත. මෙම තත්වයන් වෙනස්කිරීමට ඉනිමගක් නොවන වියත්මගක් අවශ්‍ය බව සමාජයේ පිලිගැනීම විය.
රටකට, සමාජයකට වියත්මගක් සාදා ගැනීමට කළමනාකරණ මුලධර්මයන් හා භාවිතාවන් පවතී. දේශපාලන මැදිහත්වීම් වලින් තොරව සැබෑ වියත් භාවිතාවන් අත්හදා බැලූ බොහෝ රටවල් එහි යහපත් ප්‍රතිපල සැබවින්ම එම සමාජයන්ට අත්කර දී ඇත. සැබෑ වියත් මං, සැබෑ දේශපාලන හා සංවර්ධන මාවත බව එබඳු රටවල් ලෝකයට පෙන්වා ඇත. අපේ රටේ බොහෝ වියත් නොවන මං හා තීරණ සරදම් නිලවාදී ගතිලක්ෂණ පෙන්වා ඇත. නිදහසින් පසු දීර්ඝ කාලීනව සිදුවූ සරදම් නිලවාදය හෙවත් සමාජයට විහිළුවක් වූ හෝ එහෙයිවාදී වූ රාජ්‍ය සේවා තීන්දු තීරණ සැබෑ වියත්මගින් බැහැර භාවිතාවන්ගේ ප්‍රතිපල බවට පත්වී ඇත.
සරදම් ලෙස අදහස්වන්නේ විහිළු කිරීමයි. යම්කිසි නීතියක් හෝ තීරණයක් විහිළුවකට ගැනීම හෝ එය වැදගත් නැතිදෙයක් සේ සැලකීම සරදම් නිලවාදයයි. මෙය සමාජ විද්‍යාත්මක යෙදුමකි. නීතිය විසින් හෝ නායකයකු විසින් ගනු ලබන තීන්දු පිලිබඳ එකී සමාජයේ ජනතාව තැකීමක් නොකරන්නේ නම් හෝ ඒ සඳහා කොලොප්ප්පන් කරන්නේ නම් එය සරදම් නිලවාදයකි. සරදම් නිලවාදය සඳහා මුලිකත්වය ලබා දෙනු ලබන නායකයන් හෝ ප්‍රකාශකයන් පිළිබඳව සමාජය ප්‍රතිචාර දක්වන්නේ ඒ පිළිබඳ නොසලකා හැරීමෙනි. එසේ නැත්නම් ඒ සඳහා විකල්ප භාවිතාවන් වෙත යොමුවීමෙනි. සරදම් නිලවාදය හෙවත් මෝඩ පහේ තීරණ පිළිබඳව සමාජය ප්‍රතිචාර දක්වන තවත් ක්‍රමයක් වන්නේ එම තීරණ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ එදිනෙදා කතාබහට ගැනීමෙනි. ' කවුද බං මේවා තීරණය කරන්නේ..? දෙදෙනෙක් හමුවී එබඳු කාලීන තීරණයක් පිලිබඳ සාකච්ඡාව පටන්ගන්නේ නම් එය සරදම් නිලවාදී තීරණයක් පිලිබඳවය. වර්තමානයේ මේවා පුළුල් ලෙස සමාජ මාධ්‍යයෙන් හෝ කාටූන් මාධ්‍ය වලින් කලඑළි බැසීම සිදුවේ.
වසංගතයක් නිසා සමාජය වසා තැබුවත් එබඳු සරදම් හෝ විහිළු තීරණ වලට සිනාසීමට වැට බැදීම අපහසු දෙයකි. දහසක් ප්‍රශ්න වලට මැදිව කරකියා ගතහැකි දෙයක් නැතිව සිටින කාලවකවානුවක වුවද, එම විහිළු තීරණ තමාගේ එදිනෙදා ජීවිතයට අහිතකර ලෙස බලපෑවද, එම තීරණයන් හෝ රෙගුලාසි පිළිබඳව සිනාසී සතුටක් ලැබීම හෝ එය වෙනත් කෙනෙකු වෙත ලැබීමට සැලැස්වීමෙන් තාවකාලීන එදාවේල 'සන්තුස්ටී පරමං ධනං' තත්වයකට සමාජය පත්වෙති.
වියත්මග හා සරදම් නිලවාදය අතර සහසම්බන්ධතාවයක් ඇත. සැබෑ කළමනාකරණ ක්‍රමවේදයන් හා වියත් මාර්ගයන් සමග ගනු ලබන තීරණ වල හාස්‍යජනක භාවය අඩු අගයක් ගනු ලබන අතර අවියත් මාර්ග ඔස්සේ ගනු ලබන තීන්දු තීරණ වල හාස්‍යජනක භාවය අධික අගයක් ගනී. තීන්දු ගන්නා අය හෝ ප්‍රකාශකයන් එම තීන්දු ඉතාම හොඳම එක බවට ඒත්තු ගැන්වීමට කොපමණ උත්සාහ කළ ද, එලෙස උත්සාහ ගැනීම ද හාස්‍යජනක තත්වයකට පත්වේ. ඒ අනුව වියත් මගින් බැහැර තීරණ හා භාවිතයන් පිලිබඳව සමාජ විශ්වාසය හා පිළිගැනීම අවම වේ. වීරයන් හෝ සැබෑ ගැලවුම් කාරයන් ලෙස වෙස්වලාගත් නායකයන් හෝ අනුගාමිකයන් ක්‍රමයෙන් සමාජ පිළිගැනීමෙන් ඈත්වෙනු ඇත. පුද්ගලයාට හෝ නායකයාට පිළිගැනීම ලැබෙන්නේ ඔහුගේ නමට හෝ ඉතිහාසයට නොව ඔහුගේ වර්තමාන ක්‍රියාවන්ට හා තීන්දු වලට බැවින් එම ශක්තිමත් භාවය හෝ වියත්භාවය මත සමාජ තීරණයන්ද වෙනස්වේ.
මේ අනුව සරදම් නිලවාදය හා වියත්මග හඳුනා ගැනීම හා ඒ අනුව කටයුතු කිරීම, තීන්දු තීරණ ගැනීම පුළුල් සමාජ විද්‍යාත්මක නියතයකි. සැබෑ වියත්මග හඳුනා ගැනීම, එහෙයිවාදය වෙනුවට වියත්වාදය තේරුම්ගැනීම, නායකත්වය සඳහා සැබෑ වියතුන් හඳුනා ගැනීම, තීරණ ගැනීම් වලදී අදාළ සමාජ කොටස් සමග අදහස් හුවමාරු කරගැනීම, නිසිකලට නිසි තීරණ ගැනීම, බල්ලාගේ වැඩය බූරුවාට නොපැවරීම, පයබරවායට පිටකර බෙහෙත් නොබැදීම, සිංහවෙස්ගත් කොටළුවන් හඳුනාගැනීම, කියන්නා කෙසේකීවත් සමාජය එලෙසම පිළිගැනීමට සුදානම් නැතිබව තේරුම් ගැනීම, හිතුවක්කාර දැඩි තීන්දු නොගැනීම, තීන්දු පිලිබඳ ලැබිය හැකි ප්‍රතිපල පිළිබඳව පුරෝකතනයක යෙදීම, වැනි කරුණු කාරනා වියත් මගට පිවිසීමටත්, සරදම් නිලවාදයෙන් මිදීමටත්, සැබෑ ගැටලුවලට සැබෑ විසදුම් සෙවීමටත් උපකාරී වේ.
වියත් මගට හා සරදම් නිලවාදයට මිලක් ඇත. වියත්බව පෙන්වා එය වෙන්දේසිකොට වියත්නොවන මග ගැනීම පාලකයන්ට මෙන්ම පාලිතයන්ටද සැබවින්ම අසුභදායක වේ. වියත්නොවන තීන්දු වලට සමාජ ප්‍රතිචාරය අල්ප වේ. එබඳු තීරණ වලින් ලැබෙන ප්‍රතිපලද බලාපොරොත්තුවන තත්වයෙන් බැහැර වේ . සමහරවිට ප්‍රතිපල ඇත්තේම නැත. වියදම වැඩිවේ. වැඩ අවුල්වේ. අන්තෝජටා බහුජටා තත්වයට පාලකයන් හා පාලිතයන්ද පත්වේ. නිෂ්පාදනය අවුල්වේ. විසඳුම් මාර්ග අවහිර වේ. ජනතාව හා සමාජය වැඩිවශයෙන්ම පීඩාවට පත්වේ. සමාජ අසහනය වැඩිවේ. සමහරවිට ජීවිතවලින්ද එම මිල ගෙවීමට සිදුවේ. පාලකයන්ට හා අනුගාමිකයන්ට විවිධ අසුභවාදී නම් පටබැඳීම සිදුවේ. පාලකයන් හා අනුගාමිකයන් ඒවාට කේන්ති ගනී. එහි අනිසි ප්‍රතිපලයක් ලෙස තවදුරටත් සරදම් නිලවාදී විහිළුසහගත තීන්දු ගැනීමට පෙළඹේ. වියත්නොවන එහෙයිවාදීන් හා අනුගාමිකයන් ඒ සඳහා තවදුරටත් උනන්දු කරවනු ඇත. ගොනාට ඇන්දවීම් සුලබ දෙයක් වෙනු ඇත. ඒ අනුව පඹ ගාලක පැටලීමට සිදුවෙනු ඇත. එය දේශපාලන දුෂ්ට චක්‍රයක් බවට පරිවර්තනය වීමටද හැකියාව පවතිනු ඇත.
හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/66
---------------------------
by (2021-06-11 11:08:20)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි