2019 දී සන්ඩේ ඔබ්සර්වර්හි පළවූ ලිපි සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2021.ජූලි.03, ප.ව.7.10) 2012 මැයි 17 වන දින රාත්‍රියේ ශ්‍රී ලංකා රග්බි නායකයා කොළඹ 5, පාර්ක් පාරේ ශාලිකා ශාලාව අසල දැවෙමින් තිබුණු ඔහුගේ මෝටර් රථයේ මිය ගොස් සිටිය දී සොයා ගන්නා ලදී. එම අවස්ථාවේ දී මරණය දුෂ්ට හා අභිරහස් ලෙස පෙණුන ද, නාරාහේන්පිට පොලිසිය තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක ප්‍රතිඵලයක් ලෙස තීන්දු කළේය. එසේ වුව ද, විශිෂ්ට ක්‍රීඩකයාගේ මරණය පිළිබඳව කටකතා දිගින් දිගටම පැතිර ගියේය. විශේෂයෙන්ම, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනාගේම ප්‍රියතම ක්‍රීඩාව වූ රග්බි සමග ඔහුගේ සම්බන්ධතාවය මෙන්ම, ඔහු ආදර ත්‍රිකෝණයකට මැදිව [දේශපාලනිකව] බලවත් රාජපක්ෂ පවුලේ ඉලක්කයක් වීම පිළිබඳ කටකතා ද ඒ අතර විය.
අවුරුදු තුනකට පසු රාජපක්ෂ මැතිවරණයකින් පරාජයට පත් වූ අතර, අවසානයේ විනිසුරුවරයෙකු තීන්දු කළේ වසීම් තාජුඩීන් සැබවින්ම ඝාතනය කර ඇති බවයි.
ඔහුගේ ඝාතනය පිළිබඳ විමර්ශනය නැවත ආරම්භ වී වසර හතරකට පසු, අවම වශයෙන්, එදා එය වසන් කිරීමට සම්බන්ධ එක් පුද්ගලයෙකු හෝ නඩු විභාගයකට මුහුණ දී සිටී.
2012 මිනීමැරුම සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දුන් පළමු චූදිත පුද්ගලයා බවට පත්වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) අනුර සේනානායකට එරෙහිව නීතිපතිවරයා පසු ගිය මාසයේ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය.
2015 දී නඩුව නැවත විවෘත කරන තෙක්ම, “මෝටර් රථ අනතුරක්” ලෙස තීන්දු කර ක්‍රීඩකයාගේ ඝාතනය වසන් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සේනානායකට ජුනි 27 වන දින අධිචෝදනා ගොනු කරන ලදී. ඔහු දැන් දණ්ඩ නීති සංග්‍රහයේ 198 වන වගන්තිය යටතේ කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකට මුහුණ දී සිටී.
රාජපක්ෂ පරිපාලන කාලය තුළ ආරක්ෂක කටයුතුවල ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ විශ්‍රාමික SDIG සේනානායකට එරෙහි පිටු 90 ක අධිචෝදනා පත්‍රයේ සඳහන් වන්නේ, “අපරාධයක් සිදුව ඇති බව දැන දැනම හෝ එවැන්නක් වූ බවට විශ්වාස කිරීමට හේතු තිබිය දී, අපරාධකරුවා නීතිමය දණ්ඩනයෙන් වලක්වා ගැනීමෙන්, නැති නම් දන්නා හෝ විශ්වාස කරන අපරාධය පිළිබඳව ව්‍යාජ තොරතුරු සැපයීමෙන්” සේනානායක වරදක් කර ඇති බවයි.
සේනානායකගේ නඩු විභාගය ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතය.
සේනානායකගේ අධිචෝදනා පත්‍රය ගොනු කර දිනකට පසුව, එනම් ජුනි 28 වන දින, නීතිපති දෙපාර්තමේන්තුව තාජුඩීන් ඝාතනය තවමත් විමර්ශනය කරමින් පවතින මහේස්ත‍්‍රාත් අධිකරණයට දන්වා සිටියේ, ක්‍රීඩකයාගේ ඝාතනය වසන් කිරීමේ තවත් ප‍්‍රධාන වැඩකාරයෙකුට එරෙහිව ඉක්මනින්ම නඩු පවරන බවය.
මහාචාර්ය ආනන්ද සමරසේකර 2017 ඔක්තෝම්බර් මාසයේ දී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ තාජුඩීන්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ව්‍යාජ ලෙස සකස් කිරීම, සහ එම නඩුවේ සාක්ෂි විනාශ කිරීම යන චෝදනා මතය. හැව්ලොක් රග්බි නායකයා ඝාතනය කරන කාලයේ දී සමරසේකර අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) ලෙස සේවය කළේය.
සමරසේකර විසින් තාජුඩීන්ගේ සිරුරේ සමහර කොටස් හිතාමතාම ඉවත් කර ඇති බවත්, ඒවා මාලඹේ පෞද්ගලික වෛද්‍ය පීඨයට (SAITM) මාරු කර ඇති බවත් රහස් පොලිස් විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට දන්වන ලදී. JMO ලෙස විශ්‍රාම ගැනීමෙන් පසු මහාචාර්ය සමරසේකර මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උප කුලපති ලෙස සේවය කළේය.
2015 දී තජුඩීන් ඝාතනය කර ඇති බවට නිගමනය කිරීමෙන් පසු, වින්දිතයාගේ දේහය ගොඩ ගැනීමට සහ විශේෂ ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් මගින් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මරා දමන ලද රග්බි ක්‍රීඩකයාගේ දේහයේ පපු තහඩුව, ශ්වාස නාළය සහ සමාකාර බිඳීම් සහිත දිගු අස්ථි දෙකක් අතුරුදහන්ව ඇති බව මෙම වාර්තාවෙන් අනාවරණය විය.
පුදුමයට කරුණක් නම්, දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාවෙන් හෙළි වූයේ ඇත්ත වශයෙන්ම අමානුෂික පහරදීමකින් තාජුඩීන් තුවාල ලබා ඇති බවයි. රගර් ක්‍රීඩකයාගේ හිස, කකුල්, පපුව ප්‍රදේශය සහ බෙල්ලේ බහුවිධ ඉරී යාම් සහ බිඳීම් තිබී ඇත. සමරසේකරගේ මුල් සොයා ගැනීම වූ කාබන් මොනොක්සයිඩ් විෂ වීම හේතුවෙන් වින්දිතයා මියගිය බව මෙම වාර්තාවට [ඉඳුරාම] පටහැනි විය. මාර්ග අනතුරක දී යමෙකු මෝටර් රථයක සිර වී මිය ගිය විට එය සිදු විය හැකිය. ඒ වෙනුවට, දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් නිගමනය වූයේ මරණයට හේතුව “මොට ආයුධවලින් පහර දීමෙන් හා ගින්නෙන් ඇති වූ බහුවිධ තුවාලවලින්” මරණය සිදු වී ඇති බවයි.
වෙනත් වචනවලින් කිවහොත්, වසීම් තාජුදීන් පහර දී මරා දමා ඇත.
දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මෙසේ ද සඳහන් විය:
“ඉහත දක්වා ඇති සියලුම නිරීක්ෂණ සහ අදහස් සලකා බැලීමේ දී, මිය ගිය තැනැත්තා එම අනතුර සිදු වන අවස්ථාවේ හෝ ගින්න ආරම්භ වූ අවස්ථාවේ වාහනය පදවා නොතිබූ බව අපගේ නිගමනයයි. අබල දුබල වූ වින්දිතයා වෙනත් අයෙකු විසින් මගී අසුනේ තබා ඇති බව බොහෝ සෙයින් පැහැදිලිය”.
කොළඹ JMO ලෙස සිටිය දී, තාජුඩීන් ඝාතනය පිළිබඳ සාක්ෂි වසන් කළ මහාචාර්ය සමරසේකරගේ ක්‍රියා කලාපය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට (SLMC) පැමිණිලි කිරීමෙන් පසුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස හයක කාලයක් සඳහා අවලංගු කරන ලදී.
ගැටළුවේ බරපතලකම සැලකිල්ලට ගනිමින් විභාගයක් පැවැත්වීමට SLMC සභාවේ වෘත්තීය ක්‍රියා පටිපාටි කමිටුව (PPC), තීරණය කළේය. SLMC සභාපති (මහාචාර්ය කාලෝ ෆොන්සේකා) සහ එහි තවත් සාමාජිකයින් හය දෙනෙකුගෙන් PPC සමන්විත විය.
PPC තීරණය කළේ, තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇත්තේ [මරණ පරීක්ෂණ] ක්‍රියා පටිපාටියේ කිසිදු අංගයක් අනුගමනය හෝ පිළිපැදීමෙන් තොරව බවයි. ඊට අමතරව, ‘ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය සහ දන්ත වෛද්‍ය වෘත්තිකයන් සඳහා වන සදාචාරාත්මක හැසිරීම් පිළිබඳ මාර්ගෝපදේශ’ මහාචාර්ය සමරසේකර උල්ලංඝනය කර ඇති බව කමිටුව තීරණය කළේය.
මහාචාර්ය සමරසේකරගේ සමගාමීන් විසින් කරන ලද පෙර කී මෘදු විනය ක්‍රියා මාර්ගය හැරුණු විට මිනීමැරුම වසන් කිරීමේ චෝදනාවට ඔහුට ලැබුණු වෙනත් දඬුවමක් නොමැත. ජ්‍යෙෂ්ඨ නීතිඥයින් පැහැදිලි කළේ, රාජකාරියේ යෙදී සිටින අධිකරණ වෛද්‍ය නිලධාරීන් කළ සැබෑම අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව අතීතයේ දී අකමැත්තක් දැක්වූ බවයි. කෙසේ වෙතත්, තාජුඩීන් නඩුව හසුරු වන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට පවසා සිටියේ, මිනීමැරුම් නඩුවේ දෙවන විත්තිකරු ලෙස සමරසේකර ද නොපමාවම නඩු විභාගයට මුහුණ දෙන බවයි.
නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති සුමිත් පෙරේරා සියලු චෝදනා වලින් නිදහස් කර ඇති අතර, දැන් SDIG අනුර සේනානායකට එරෙහි නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සමග ඔහු සහයෝගයෙන් කටයුතු කරන බව පෙනේ. තාජුඩීන් ඝාතන විමර්ශනය දැන් හිටපු පාලක පවුල දෙසට හැරෙමින් තිබේ. මිනීමැරීම සිදු වූ රාත්‍රියේ වසීම් තාජුඩීන් පැහැර ගැනීම සඳහා යොදා ගත් බවට රහස් පොලිසිය විශ්වාස කරන අංක WP KA 0642 දරණ ඩිෆෙන්ඩරය ශ්‍රී ලංකා රතු කුරුස සංගමය විසින් හිටපු ජනාධිපතිගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන යන ‘සිරිලිය සවිය’ පුණ්‍යායතනයට පරිත්‍යාග කරන ලද්දකි.
හිටපු ජනාධිපතිගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂගේ නියෝගය මත කොල්ලුපිටියේ ගරාජයක දී ඩිෆෙන්ඩරය පළමුව නිල් සහ පසුව කළු පාට ගන්වා ඇති බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
2018 සැප්තැම්බරයේ මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළ විමර්ශකයින්ට අනුව, යෝෂිත රාජපක්ෂ විසින් පවත්වා ගෙන යනු ලබන Carlton Sports Network නාලිකාවේ අලෙවි විධායකයෙකු ලෙස සේවය කළ ඩීන් නම් පුද්ගලයකු විසින් ඩිෆෙන්ඩරය නැවත පින්තාරු කරන ලෙස ගරාජයට උපදෙස් දී තිබේ.
රාජපක්ෂ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සමීපව කටයුතු කළ හිටපු ඉහළ පොලිස් නිලධාරියෙකු වන අනුර සේනානායකට එරෙහි අධිචෝදනාව, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් මරා දැමීම වසන් කිරීම සඳහා ඔහු ඉටු කළ කාර්යභාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙයි.
තාජුඩීන් සිය මෝටර් රථයේ මිය ගොස් සිටිය දී සොයා ගත් වහාම හදිසියේ සිදු කළ පරීක්ෂණයකින් මාරාන්තික අනතුරකින් මරණය සිදු වී ඇති බව නිගමනය කර නිහඬ විය. 2015 දී, රහස් පොලිසිය විසින් නඩුව නැවත විවෘත කර අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීමෙන් පසුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නිගමනය කළේ තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක් ලෙස සැලකීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවයි. රග්බි ක්‍රීඩකයාගේ දේහය ගොඩ ගෙන ත්‍රිපුද්ගල JMO මඬුල්ලක් මගින් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
රග්බි ක්‍රීඩකයා ඝාතනය කර ඇති බව දැන සිටි සේනනායක, එසේ විශ්වාස කිරීමට තරම් සාක්ෂි තිබිය දීත්, එය සැක සහිත මිනීමැරුමක් ලෙස නොව “හදිසි අනතුරක්” ලෙස මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නාරාහේන්පිට පොලිසියට නියෝග කර ඇති බව අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.
2016 ජුනි 10 වන දින, නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, තමා “හිටපු SDIG විසින් දෙන ලද නිශ්චිත උපදෙස් යටතේ කටයුතු කළ” බවයි.
“මේ විශේෂ විමර්ශනය ගැන ඕනෑවට වඩා උනන්දු වෙන්න එපා කියා SDIG මට උපදෙස් දුන්නා. මං ඔහුගේ උපදෙස් නොතැකුවා නම් මටත් තාජුඩීන්ට අත්වූ ඉරණමටම මුහුණ දීමට සිදු වෙනවා. මං දෙදරු පියෙක්. මගේ දරුවන්ට පියා අහිමි වීම මට අවශ්‍ය නොවුණ නිසා, මට දුන් උපදෙස් අනුව මං වැඩ කළා,” යයි සුමිත් පෙරේරා අධිකරණයේ දී පැවසීය.
තාජුඩීන්ගේ පියා ගෙන්වා ඔහු හමුවට එවන ලෙස SDIG සේනානායක ඉල්ලා සිටි බව ද පොලිස් පරීක්ෂක පෙරේරා පැවසීය.
“2012 මැයි 18 හෝ 19 දා මං SDIG සේනානායක මුණ ගැසුණා. සිද්ධිය වූ දිනයේ දී තාජුඩීන් ගේ වාහනය ගමන් කළ මාර්ගය පිළිබඳව සොයා බලන ලෙස ඔහු මට උපදෙස් දුන්නා. තාජුඩීන්ගේ පියා ඔහු හමු වීමට කැඳවා ගෙන එන ලෙස ඔහු තව දුරටත් මට උපදෙස් දුන්නා. මං ඒ දේ කළා.”
තජුඩීන්ගේ පියා ඊට පසු දා සේනානායකගේ කාර්යාලයට පැමිණ තිබූ බව පෙරේරා සාක්ෂි දෙමින් පැවසීය.
පොලිස් පරීක්ෂක පෙරේරා වැඩි දුරටත් කියා සිටියේ තමා සේනානායකගේ කාර්යාලයට ඇතුළු වී, එතෙක් සිදු කළ විමර්ශන පිළිබඳව මිනිත්තු තුනක් පමණ ඔහු දැනුවත් කළ බවයි. අනතුරුව IP පෙරේරා SDIG සේනානායකට දන්වා සිටියේ තාජුඩීන්ගේ පියා පැමිණ පිටත අසුන් ගෙන සිටින බවයි.
“මා එහි ඇතුළු වන විටත් OIC නාරාහේන්පිට, OIC කිරුළපොන, SSP රණවීර කාර්යාලය තුළ සිටියා. තාජුඩීන්ගේ මුදල් පසුම්බිය කිරුළපොන පොලීසියේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව ඔහුට නොදැන්වූයේ මොකද කියා අසමින් SDIG සේනානායක ඒ වන විටත් OIC කිරුළපොනට බැණ වදිමින් සිටියා,” යයි පෙරේරා මහේස්ත්‍රාත්වරයාට පැවසීය.
අනතුරුව සේනනායක පිටත වාඩි වී සිටින පියා සමග කතා කිරීම සඳහා සිය කාර්යාලයෙන් පිටව ගිය බව අයිපී පෙරේරා සිය සාක්ෂියේ සඳහන් කරයි. වසීම් තාජුඩීන්ගේ ශෝකයට පත් පියා වෙත ළඟා වෙමින්, “පුතා මිය ගොස් ඇත්තේ හදිසි අනතුරකින් බවත් එය මිනීමැරුමක් නොවන බවත් පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇති බව” අනුර සේනානායක පවසනවා තමාට ඇසුණු බව පෙරේරා පැවසීය.
තාජුදීන් ඝාතනය වන විට නාරාහේන්පිට රථවාහන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක තිස්ස සරත්චන්ද්‍ර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශ දෙකකම මෙන්ම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කළ ප්‍රකාශයේ ද සඳහන් වන්නේ, මේ සිද්ධිය මිනීමැරීමක් නොව මාරාන්තික අනතුරක් සේ සලකා පරීක්ෂණ පවත්වන ලෙස සේනානායක තමන්ට පැහැදිලිවම උපදෙස් දුන් බවයි.
“මං මැයි 17 වෙනිදා උදේ 6.30 ට විතර සිද්ධිය වූ ස්ථානයට එන විට, එතැන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම සිටියා. නාරාහේන්පිට OIC ඩේමියන් පෙරේරා සහ (අපරාධ අංශයේ) IP සුමිත් පෙරේරා ද එහි සිටියා,” යයි සරත්චන්ද්‍ර පැවසීය.
SSP සංජීව ධර්මරත්න, SP චන්දන අතුකෝරළ, SP රණවීර, කොළඹ DIG ගුණවර්ධන සහ SDIG අනුර සේනානායක යන උසස් නිලධාරීන් ද සිද්ධිය වූ ස්ථානයේ සිටි බව පැවසූ සරත්චන්ද්‍ර තව දුරටත් අනාවරණය කළේ, සේනානායක සුදු ඩිෆෙන්ඩර් ජීප් රථයකින් එහි පැමිණ තාජුඩීන්ගේ සිරුර පරීක්ෂා කර බැලුව නමුත් ඔහු එම ස්ථානයෙන් පිටවීමට පෙර කිසිදු උපදෙසක් ලබා නොදුන් බවයි.
රථවාහන අංශයේ OIC දුන් සාක්ෂියට අනුව, මාර්ග අනතුරු පිළිබඳ පරීක්ෂණ රථවාහන අංශය විසින් සිදු කරනු ලැබුව ද, කිසියම් හේතුවක් නිසා අපරාධ අංශය විසින් තාජුඩීන්ගේ මරණය මාරාන්තික අනතුරක් ලෙස විමර්ශනය කර තිබේ.
“හදිසි අනතුරක් හේතුවෙන් වාහනයක් මේ ආකාරයෙන් ගිනි ගැනීමේ සිදුවීමක් මගේ සේවා කාලය තුළ මා දැකලා නැහැ. එය එසේ වුණත්, ඒක විමර්ශනය කළ යුත්තේ [අදාල] ප්‍රදේශයේ රථවාහන දෙපාර්තමේන්තුවයි. කෙසේ වෙතත්, මෙම අපරාධ ස්ථානයට බොහෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැමිණ සිටීම සැක සංකා මතු කරන්නක්,” යයි සරත්චන්ද්‍ර පැවසීය.
-2019 ජුලි 21 වන දින Sunday Observer වෙබ් අඩවියේ පළ වූ, Anurangi Singh හා Aanya Wipulasena ලියූ, ‘The Thajudeen saga: Murder cover-up trial set to begin in October’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2021-07-03 13:45:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි