-ලංකා ඊ නිව්ස් කර්තෘ මණ්ඩලයේ සටහනක්
(ලංකා ඊ නිව්ස් -2021.ජූලි.19, ප.ව.10.15) වසර තිස් පහක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ පුවත් පත් කලා ක්ෂේත්‍රයට සුවිශිෂ්ට මෙහෙවරක් ඉටු කළ සද්දන්ත කුලයේ සහෘදයකු පසුගිය 17 දා අකලට අපගෙන් සමුගෙන ගියේ ය. අවසන් කටයුතු අද සිදුකෙරිණ. ඒ 'ක්‍රිෂ්ණ දාස් නාරායන් විජේතිලක බණ්ඩාර' නම් බොහෝ දෙනකු නොදත් හා එයම හකුළුවා සකස් කොට ගත් 'ක්‍රිෂ්ණ විජේබණ්ඩාර' යන නමින් මුළු රටම දන්නා හඳුනන සුවිශේෂ මාදිලියේ මාධ්‍යවේදියා ය.
මඳ කලකට පෙර හඳුනා ගැනුණු මොළයේ ගැටිත්තක් හා සම්බන්ධ බැරෑරුම් ස්නායු ශල්‍යකර්මයකට බඳුන් වූ ක්‍රිෂ්ණ මසක පමණ කාලයක් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය. එහෙත්, පසුගිය ජූලි 17 දා පස්වරුවේ හදිසියේ ඔහු මිය යනුයේ එම ශල්‍ය කර්මය ආශ්‍රිත සංකූලතාවක් හෝ පසු රෝගී තත්වයක් නිසා නොවේ. ඒ අතරේ හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙනි. 1965 ජූලි 22 වන දා උපන් ක්‍රිෂ්ණ හදිසියේ මරණයට පත් වනුයේ සිය පනස්හත්වන උපන් දිනයට දින පහක් තිබිය දී ය.
ක්‍රිෂ්ණ සහ නාරායන් යන නම් දෙකම විෂ්ණු දෙවියන් හා සබැඳි නාමයන් ය. ඒ නම් දෙකකින් යුතු ක්‍රිෂ්ණ එක්තරා අන්දමක දේව භක්තිකයෙකි. එහෙත්, ඔහු අදහන ලද්දේ ලෝකය මැවූ බව කියන සර්ව බලධාරී දෙවි කෙනෙකු, විවිධ ආගමික සාහිත්‍ය කෘතීන් හි එන දෙවිවරුන් හෝ අසාමාන්‍ය මුහුණු සහ අත් ප්‍රමාණයන් ගෙන් යුතු ක්ෂීරපායී සතුන් හා පක්ෂීන් මත වැඩ හිඳින මනඃකල්පිත දෙවිවරුන් නොවේ.
‘මිනිසා විසින් අවිච්චින්නව සුරැකිය යුතු සොබා දහමට මිනිසා විසින් වින කිරීම සමස්ත ජීවී අජීවී පද්ධතීන් සහිත මුළු ලෝකයම විනාශ මුඛයට යොමු කරවන්නකි’ යන්න ක්‍රිෂ්ණ තරයේම ඇදහූ ආගම සේම ජීවන දර්ශනය ද විය. ඔහු තම වෘත්තීය හා සමාජගත ජීවිතය ගොඩනඟා ගන්නේ සොබාදහම දේවත්වය හා සලකන ලද සොබා දමේ සුජාත පුත්‍රයෙකු ලෙසිනි.
ක්‍රිෂ්ණ පුවත් පත් කලා ජීවිතයට අත් පොත් තබනුයේ 1986 වසරේ ලේක් හවුසියේ කිරිඇල්ල වාර්තාකරු වශයෙනි. එවක ඔහු විසිඑක්හැවිරිදි නාඹර තරුණයෙකි. අද මෙන් සංනිවේදන ජාල පුළුල් නොවූ ඒ අවදියේ ප්‍රාදේශීය වාර්තා කරුවන් තම වාර්තා පුවත් පත් ආයතන වෙත සපයන ලද්දේ තැපෑලෙනි. එහෙත්, සුවිශේෂ හදිසි ප්‍රවෘත්ති ඒ කාලයේ දුරකථන පහසුකම් තිබූ තැපැල් කාර්යාල ආදියට ගොස් පුවත් පත් ආයතන වලට දැනුම් දීමට ප්‍රාදේශීය මාධ්‍ය වේදීන්ට සිදුවිය. වරක් එසේ කිරිඇල්ල ප්‍රදේශයේ වන රක්ෂිතයකට හානි පැමිණවීම පිළිබඳව ලේක්හවුසියට යුහුසුළුව දැනුම් දුන් ක්‍රිෂ්ණ අතින් ඒ දිනවල එම ප්‍රදේශයේ සිදු වූ මිනී මැරුමක් පිළිබඳව වාර්තා කිරීම මඳක් පමා විය. එමෙන්ම එම වන විනාශයට එවක එම ප්‍රදේශයේ දේශපාලන බලවතකු ගේ හෙංචයියකු සම්බන්ධ බව ද තමන් එම වාර්තාව සපයනුයේ රාජ්‍ය මාධ්‍යයකට බව ද ක්‍රිෂ්ණ නොදැන සිටියා නොවේ.
”ඔය කිට්ටුව මිනී මැරුමක් වෙලා තියෙද්දිත් මොකද මේ කැළෑ කපපු එකක් ගැන උඩ පැනගෙන නිවුස් එවන්නේ” ඒ දිනවල ලේක්හවුසියට දුරකථන ඇමතුමක් දුන් ක්‍රිෂ්ණට එවක එහි සිටි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක් එසේ ගෝරනාඩු කළේය.
’‘කැළයක් කපනවා කියන්නේ එක මිනිහෙක් නෙවෙයි මිනිස්සු දාහක් මරනවාටත් වඩා බරපතල දෙයක් නේ සර්; ඒකයි” තරුණ ක්‍රිෂ්ණ ක්ෂණිකව දුන්නේ එම පිළිතුර ය. කෙසේ හෝ ඒ තුළින් ක්‍රිෂ්ණ සමඟ ඇති කර ගත් නොහොඳ නෝක්කාඩුව මත එම දේශපාලනඥයා තමන් සතු දේශපාලන බලය අයුතු ලෙස යොදා ගනිමින් ක්‍රිෂ්ණගේ ප්‍රාදේශීය වාර්තාකාරකම අහිමි කරන ලද්දේ ක්‍රිෂ්ණ වැනි ජව සම්පන්න තරුණ මාධ්‍යවේදීන් හමුවේ තම දේශපාලන අවභාවිතාවන් සිදුකිරීමට ඇති නොහැකියාව වටහා ගත් නිසා ය.
පසුව ලේක්හවුසිය අතහැර ලංකාදීපයට ප්‍රාදේශීය වාර්තා සපයමින් සිටි ක්‍රිෂ්ණට පරිසරය, කෘෂිකර්මය, ජන සංස්කෘතිය ආදී විෂයන් සම්බන්ධයෙන් දක්වන සුවිශේෂ නිපුනතාව මත ලංකාදීප කර්තෘ මණ්ඩලයට බැඳීමට අවකාශ ලැබිණ. ඒ අනූවේ දශකයේ මුල භාගයේ ය. එහිදී ඔහු විසින් කරනු ලැබූ ගවේෂණාත්මක මාධ්‍ය කටයුතු කෙතරම් ප්‍රශස්ත වී ද යත් සොබා දහම, පරිසරය සහ ජන ජීවිතය සම්බන්ධ මාධ්‍යකරණයෙහි ලා ක්‍රිෂ්ණ විජේබණ්ඩාර නාමය කෙමෙන් සමාජ කරලියේ බැබලෙන්නට විය. විවිධ පාරිසරික සංවිධාන හා එක්වන්නට ඒවායේ උපදේශක වැනි ගරු තනතුරු ලැබීමට පවා ක්‍රිෂ්ණ භාග්‍යමත් වූයේ ඒ සමයේ දීය. ඒ ඔස්සේ මිනිස් අලි ගැටුම, පරිසර හිතකාමී වී සහ බෝග වගාව, මැණික් කර්මාන්තය වැනි විෂයන් සම්බන්ධයෙන් ඔහු ග්‍රහණය කර ගත් දැනුම් සම්භාරයන් කෙතරම් ප්‍රබල වී ද යත් ඒ හා සම්බන්ධ සමුළු, සම්මන්ත්‍රණ ආදියේ ප්‍රධාන දේශකයන් අතරේ ක්‍රිෂ්ණට ද මුල් තැනක් හිමි විය.
එලෙස පත්‍ර කලා වෘත්තියට පිවිස මුල් දස වසර තුළ තමන් ගේ වෘත්තිය ක්ෂේත්‍රය තුළ එතරම් ප්‍රතාපයක් දිනා ගැනීමට සමත් වූ ක්‍රිෂ්ණ සිරුරින් යෝධයෙකු බඳු වුව ද පෞද්ගලික ගති පැවැතුම් සහ ආකල්ප අතින් ඉතා සරල චාම් මිනිසෙක් විය. ක්‍රිෂ්ණ හා විවාහ වූ පද්මලතා, ගුරුවරියක වූ අතර ඇගේ මුල්ම පත්වීම ලැබී තිබුණේ අම්පාරේ අති දුෂ්කර ප්‍රදේශයකටය. ඒ වන විට අප රටේ ප්‍රබලතමයන් ගේ පවා දැන හැඳුනුමට ලක්ව සිටි ක්‍රිෂ්ණට ඔවුන් ලවා කුමන හෝ උප්පරවැට්ටියක් යොදා තම බිරිඳ තමන් සමීපයට ගෙන්නා ගැනීමට හැකියාව තිබිණ. පද්මලතා ගේ දුෂ්කර සේවාව සම්බන්ධයෙන් අදහස් පළ කළ බොහෝ මිතුරෝ ද ක්‍රිෂ්ණට එසේ කීය.
’‘මොනවට ද බං ඔය එක එක .... ගේ පුතාලට බාල්දු වෙන්න යන්නේ. ගෑනි ඔය නියම කාලේ ඉවර වෙලාම මාරුවක් හදාගෙන ආපු දෙන්” ක්‍රිෂ්ණ ඒ සැමටම සිනාසී දුන්නේ ඒ පිළිතුරම ය.
සොබා දහම, මිනිසා සහ පරිසරය යන විෂයන් සම්බන්ධ ක්‍රිෂ්ණ ගොඩනඟා ගත් දැවැන්ත ප්‍රතිරූපය මුල් කොට කෘත්‍රිම රසායනික පොහොර සහ පලිබෝධ නාශක ද්‍රව්‍ය ගෙන්වන සමාගම් තමන් ගේ ව්‍යාපාරික අභිමතාර්ථ උදෙසා විශාල මුදලකට ක්‍රිෂ්ණ ගේ සහාය ගැනීමට අවස්ථාවන් ගණනාවක්ම උත්සහා දරන ලදුව ඔහු එම ජාවාරම් කරුවන්ගේ දුක්ගන්නා රාළ කෙනෙකු නොවී ඒ ඇරයුම් සියල්ල තරයේ ප්‍රතික්‍ෂේප කරන ලද්දේ ‘අනේ මහත්තයෝ මහ පොළවට ණය කාරයෙක් වෙන්න නම් මට බෑ’ කියමිනි. නමුදු වෘත්තීය පත්‍ර කලාවෙන් ලැබුණු වැටුප හැරුණු කොට අදැහැමිකමින් ‘හුනු විටකට දෙයක්වත්’ උපයා ගෙන නොතිබූ ක්‍රිෂ්ණගේ මුදල් පසුම්බිය නිරතුරුව පතුල පෙනෙන නොපෙනෙන මට්ටමකින් ඉහළට නොපැමිණි බව දන්නේ ඔහුගේ සමීපතමයන් කිහිප දෙනෙකි.
ලංකාදීප පුවත් පතෙන් පසු 1994 වසරේ ඉරිදා ලක්බිම පුවත් පත ඇරඹීමත් සමඟ එහි කර්තෘ මණ්ඩලයට බැඳී තම ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවර දිගටම කරගෙන ගිය ක්‍රිෂ්ණට වසර 2000 දී දිනපතා ලක්බිම පුවත් පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ පදවිය හිමිවිය. නවක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සිය ගණනක් පුරුදු පුහුණු කිරීම හැරුණු කොට වෙනයම් ආත්ම තෘප්තියක් තමන් ඉන් නොලද බව කී ක්‍රිෂ්ණ එම තනතුර හඳුන්වන ලද්දේ "වැවේ පීනපු මාළුවෙක් ටැංකියට දැම්මා වගේ" යන උපමාවෙනි. එහෙත්, 2015 වසරේ ලක්බිම පාලනාධිකාරියෙන් එල්ල වූ කිනම් හෝ බලපෑමක් මත ක්‍රිෂ්ණ හදිසියේ එම තනතුරින් සේම රැකියාවෙන් ද ඉවත් වී ගාල්ල, මැදකිඹියේ පිහිටි තම නිවසට ගොස් 'වලස්පති ගේ අඩවිය' නම් බ්ලොග් අඩවියක් මගින් සිය ආත්ම ප්‍රතිලාභය පමණක් අරමුණු කරගත් මාධ්‍ය දිවියකට මුල පිරුවේ ය. ක්‍රිෂ්ණගේ එම හදිසි සමුගැනීම ඔහුට වේදනාත්මක අත්දැකීමක් වූ බව දැන සිටියේ ඔහුගේ සමීපතමයන් අතලොස්සක් පමණි.
අන් සෑම ක්‍ෂේත්‍රයක සේම මාධ්‍ය කලාවේ ද බෙලි කැපීම්, වෙට්ටු දැමීම්, කකුලෙන් ඇදීම් ආදී අනේක විධ නීච ක්‍රියා සිදුවෙයි. ඒ පොදු ධර්මතාවට මුහුණ දෙන්නට ක්‍රිෂ්ණට අවස්ථා කිහිපයකම සිදු විය. එහෙත්, ක්‍රිෂ්ණ විජේබණ්ඩාර නම් මාධ්‍යවේදියා එබඳු කැපීම්, කෙටීම්, වෙට්ටු දැමීම් ආදී නිහීන කම් වලින් මුළුමනින් වෙන් වූ සුපවිත්‍ර මාධ්‍ය ජීවිතයකට හිමිකම් කී දුලබ ගණයේ උතුම් මිනිසකු බව මාධ්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් එක හෙළා පිළිගනිති.
තරුණ වියේ සිට අතිශය පුෂ්ටිමත් සිරුරකට හිමිකම් කී ක්‍රිෂ්ණ අතිශය විනෝදශීලී රසකාමියෙක් විය. මිතුරන් සමඟ එක්ව රහ මෙර බිඳක් පානය කිරීම ඔහු ප්‍රතිෂේප නොකළ ද එය යම් සීමාවක් තුළ සිදු කළ අතර තම මිතුරන් ද ‘රතු කට්ට’ ඉක්මවනු දැක්මට ක්‍රිෂ්ණ නොරිසි විය. ලක්බිමේ සේවය නිමා කර රාත්‍රියේ තම නවාතැනට යන අතර මැද දී එවක රාජගිරියේ පිහිටා තිබූ ලංකා ඊ නිව්ස් කාර්යාලය වෙත වැද රහ මෙර පොදක් බොමින් දවසේ මාධ්‍ය තොරතුරු ද හුවමාරු කර ගෙන ගීතයක් ද මුමුණා පිටත්ව යෑමට ද ඔහු පෙළැඹී සිටියේ ය. අපට ලංකාව හැරපියා ඒමට සිදුවීමෙන් වූ මහත් පාඩු අතර ක්‍රිෂ්ණ ගේ සමීප සමාගමය අහිමි වීම ද එකකි.
ශ්‍රී ලංකාවේ වන සම්පත, වන සත්ව සම්පත, පාරිසරික කෘෂිකර්මය, මැණික් කර්මාන්තය ආදී විෂයන් සම්බන්ධ පත පොත ගණනාවක් ලියා පළ කොට ඇති ක්‍රිෂ්ණ ඒවායේ පිටපත් තම හිතමිතුරන්ට නොමිලේ ප්‍රදානය කරන ලද්දේ ඒ සඳහා ලැබුණු තුටු පඬුරු ද තරයේම ප්‍රතික්‍ෂේප කරමිනි. ක්‍රිෂ්ණ විජේබණ්ඩාර නිසි මං පෙත් සොයා ගත නොහැකිව කාසිපුරයේ මංමුලා නොවූවකු බව අපට සහතිකවම කිව හැක්කේ එබැවිනි.
තම ජීවිතයේ අවසන් සමයේ අරුණ පුවත් පතට ලිපි විශේෂාංග සැපයූ ක්‍රිෂ්ණ වත්මන් දේශපාලන ක්‍රියාදාමයන් මගින් සොබා දහමට පරිසරයට සිදුවන අතිශය අනර්ථකාරී බලපෑම් නිසා දැඩි කම්පාවකින් පසුවිය. පරිසරයට වින කරන ඇතැම් දේශපාලනික තීන්දු තීරණ දරා ගැනීමට තරම් තම හදවත සවිමත් නොවනු ඇතැයි ද ඔහු අවසන් කාලයේ තම හිත මිතුරන් හා නිතර කීය. මොළයේ හටගත් ගැටිත්තක් ඉවත් කිරීමෙන් පසු සුවය ලබමින් සිටිය දී හදිසි හෘදයාබාධයකින් සිදු වූ ක්‍රිෂ්ණ ගේ මරණය ඉහත ඔහු කළ ප්‍රකාශයෙන් හා සැසඳීමේ සදාචාරාත්මක අයිතියක් අප සතුව නැත. එහෙත්, ආදරණීය ක්‍රිෂ්ණ, මිනිසා විසින් අවිච්චින්නව සුරැකිය යුතු සොබා දහමට මිනිසා විසින් වින කිරීම සියළු ජීවී අජීවී පද්ධතීන් සහිත මුළු ලෝකයම විනාශ මුඛයට යොමු කරන්නකි” යන නුඹ ආගම සහ ජීවන දර්ශනය සේ සැලකූ එම සනාතන දහම රැකගැනීම අරමුණු කර ගනිමින් දිවි හිමියෙන් සටන් වැදීමට නුඹ ගේ ප්‍රාණ වායුව නිසල වා තලය හා මුසුව පවතින මේ මොහොතේ අපි ද එක්සත්ව ප්‍රතිඥා දෙන්නෙමු.
නුඹට සුබ ගමන්..!
---------------------------
by (2021-07-20 11:44:52)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි