ඩුමේන්බී පුවත සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2021.ජූලි.25, ප.ව.4.15) චීනයේ නිෂ්පාදනය කළ Sinovac හා Sinopham භාවිතා කරමින් සිදු කළ විශාල එන්නත්කරණ ක්‍රියාවලියකින් පසු වෛරස් රෝගීන් හදිසියේම යළිත් වැඩිවීමක් පෙන්නුම් කළ බහරේනය, එම එන්නත් අත හැර දමා අවදානමට ලක්විය හැකි පුරවැසියන්ට Pfizer එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.
චීන එන්නත්වල ඵලදායීතාවය පිළිබඳව සැලකිලිමත් වන විට, ආසාදිතයන් තියුණු ලෙස ඉහළ යාම වැළැක්වීම සඳහා Pfizer සහ BioNTech SE එන්නත් කිරීමෙන් බහරේන් පුරවැසියන්ට අතිරේක ප්‍රතිශක්තිකරණයක් ලබා දීමට පටන් ගන්නා බව එරට නිවේදනය කළේය.
Sinopham එන්නතෙහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව පිළිබඳව බරපතල සැක පහළ වුව ද, චීනයේ සීනෝෆාර්ම් එන්නත පසු ගිය වසරේ මිල දී ගත් පළමු රටවලින් එකක් වන්නේ බහරේනයයි.
කෙසේ වෙතත්, බහරේනයේ සෞඛ්‍ය උප ඇමති වලීඩ් කලීෆා අල් මානියා පැවසුවේ, මේ වන විට බහරේනයේ එන්ත්කරණයෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයකට Sinopham එන්නත මගින් ඉහළ ආරක්ෂාවක් දී ඇති බවයි. වර්තමාන වුහාන් වෛරස් රැල්ලෙන් ආසාදනය වූවන්ගෙන් 90% කට ආසන්න සංඛ්‍යාවක්ම එන්නත ලබා නොගත් අය බව ඔහු පැවසීය.
වයස අවුරුදු 50 ට වැඩි සහ නිදන් ගත රෝගාබාධවලින් පෙළෙන බහරේන් වැසියන්ට ඔවුන්ගේ සම්පූර්ණ Sinopham එන්නතකරණයෙන් මාස හයකට පසුව අතිරේක (booster) මාත්‍රාවක් ලබා ගන්නා ලෙස දන්වා ඇති බව වෛද්‍ය අල් මානියා පැවසීය. රජය විසින් මැයි මස අවසානයේ දී අතිරේක මාත්‍රා ලබා දීම ආරම්භ කළ බව ඔහු පැවසීය. එන්නත් ලබා නොගත් බහරේන පදිංචිකරුවන්ට Pfizer-BioNTech එන්නත් ලබා දීමට එහි රජය කටයුතු කරමින් සිටී. කෙසේ වෙතත්, චීන එන්නතට වැඩි කැමැත්තක් දක්වන අයට Sinopham තෝරා ගැනීමට තව දුරටත් ඉඩ ලබා දෙන බව දොස්තර අල් මානියා පැවසීය.
බහරේන් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, (ජුනි වන විට) රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 240,000 ඉක්මවා ඇති අතර දහසකට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.
Sinopham කාර්යක්ෂමතාවය පිළිබඳ විශේෂඥ සමාලෝචනයේ ප්‍රතිඵල මැයි 26 වන දින ඇමරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලදී. Sinopham එන්නතෙහි අනුවාද දෙකෙන් එකක, රෝග ලක්ෂණවලට එරෙහිව 78% ක කාර්යක්ෂමතාවයක් ඇති බව සොයා ගෙන ඇත. කෙසේ වෙතත්, මෙම එන්නත සියලුම වයස් කාණ්ඩ සඳහා ඵලදායී බවට යෝජනා කිරීමට තරම් නිශ්චිත සාක්ෂි නොමැත.
සර්බියාවේ සිදු කළ වෙනම අත්හදා බැලීමක දී, ඊට සහභාගී වූ 150 දෙනාගෙන් 29% කටම මාස තුනකට පසුවත් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපද වී නොමැති බව සොයා ගන්නා ලදී. ඊට අමතරව, සර්බියානු අධ්‍යයනයට සහභාගී වූ අයගේ සාමාන්‍ය වයස අවුරුදු 65 ට වඩා වැඩි විය.
“Sinopham එන්නතේ ප්‍රමාණවත් තරම් ප්‍රතිශක්තිකරණයක් නැහැ, විශේෂයෙන්ම වැඩිහිටි උදවියට එහි බලපෑම අඩු බව පෙනෙනවා,” යැයි පර්යේෂණයේ ප්‍රධානී ඔල්ජිකා ඩුර්කොවික්-ජකොවිච් සඳහන් කළේය.
කෙසේ වෙතත්, චීන නිෂ්පාදිත එන්නත් දෙක වන Sinopham හා Sinovac දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසි අනුමැතියක් ලබා ගෙන ඇත.
මෙම එන්නත් දෙක නිෂ්පාදනය කරනු ලබන්නේ අක්‍රීය වෛරසයෙනි; එය එන්නත් සෑදීම සඳහා දිගු කලක් තිස්සේ භාවිතා කරන තාක්ෂණයකි.
ලෝකයේ වැඩිපුරම එන්නත්කරණය සිදු කර ඇති රට වන ඉන්දියානු සාගරයේ කුඩා දූපත් රාජ්‍යයක් වන සීෂෙල්ස් මෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් (UAE) ද චීන එන්නත් පුළුල් ලෙස භාවිතා කිරීමෙන් පසු, මෑත දී වුහාන් වෛරස් රෝගීන් වැඩි වී ඇති බව වාර්තා වේ. සීෂෙල්ස් සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ තම ජනතාවට තුන් වැනි අතිරේක මාත්‍රාවක් ලබා දීමට සලකා බලන බවයි.
පළමු මාත්‍රා දෙකෙන් ද පසු ප්‍රතිදේහ නිපදවීමට අපොහොසත් වූ සමහර වැසියන්ට Sinopham තුන් වන අතිරේක මාත්‍රාවක් ද ලබා දීම දැනටමත් ආරම්භ කර ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි. ඇත්ත වශයෙන්ම, Sinopham විසින් නවතම අත්හදා බැලීමක් UAE රාජ්‍යයේ සිදු කර ඇති අතර, එම රාජ්‍යය විසින් මෙහෙයවන ලද සායනික අත්හදා බැලීම් මැද පෙරදිග දී සිදු කර ඇත. ඒ මත පදනම්ව, ඊජිප්තුව, හංගේරියාව, සහ ආර්ජන්ටිනාව වැනි රටවලට එන්නත් මාත්‍රා මිලියන 175 ක් විකිණීමේ ගිවිසුම් Sinopham විසින් අත්සන් කරනු ලැබ ඇත. ඒ අතර තවත් මිලියන 18 ක් වෙනත් කුඩා රටවලට පරිත්‍යාග කෙරේ.
ඩුබායි රාජ්‍ය නායක ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් සහ පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ යන අය Sinopham ප්‍රසිද්ධියේම එන්නත් කර ගත් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු අතර වේ.
-2021 ජුනි 7 වන දින domain-b.com වෙබ් අඩවියේ පළ වූ, ‘As China's Sinovac fails to tame the Wuhan virus, Bahrain, UAE and other countries opt for Pfizer booster’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2021-07-25 10:58:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි