-හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී ජිනසිරි දඩල්ලගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.සැප්.02, පෙ.ව.8.10) වියත් මග ලෙස බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වුයේ ඉතාම සුදුස්සන් අදාල වගකීම් වලට පත්කරනු ඇතිය යන්නයි. දීර්ග කාලීනව රටේ හා සමාජයේ ඉල්ලීම හා බලාපොරොත්තුව එය විය. ඒ සඳහා හේතුවුයේ එහෙයිවාදය හෙවත් හෙන්චයියන් බොහෝ වගකිව යුතු ස්ථාන අරක් ගැනීම නිසා වියතුන් අතර මෙන්ම රාජ්‍ය සේවාවන් වලද තිබු අතිශය කලකිරීමයි. මේ අනුව වියත් මග උගතුන්ට හා වියතුන්ට තැනක් ලැබෙන නව චින්තනයක් ලෙස ආකර්ශනයට පත්විය. නිදහසින් පසු විකාශනය වූ මෝඩ දේශපාලන සම්ප්‍රදායන් හා භාවිතයන් මගින් හෙම්බත්ව සිටි සමාජය නව ඉදිරිපත්කිරීම් සමග උද්දාමයට පත්ව එය දේශපාලන ජයග්‍රහණයක් වෙත ගෙන එනු ලැබීය. කෙසේ වුවද ඉතා කෙටි කලක් තුල එය කියූ තරම් සුන්දර භාවිතයක් නොවන බව සමාජය වටහා ගනිමින් සිටී.
සමාජයේ එහෙයි වාදය හෝ Yes Sir භාවිතය වැඩි දියුණුවන්නේ දේශපාලනයට සමගාමීවය. සිංගප්පූරුව වැනි ඉතා කෙටිකලකින් සංවර්ධන ඉලක්ක ලඟා කරගත් සමාජයක් හෝ ආර්ථික හා සමාජමය ලෙස දියුණුවූ රටක් හෝ එම තත්වයන්ට පත්වන්නේ වියත් කළමනාකරණ මුලධර්ම මත කටයුතු කිරීමෙනි. එම සමාජයන්වල දේශපාලනය මෙන්ම කලමනාකරනයද ඒකාබද්ධව වියත් මග සංවර්ධනය කරගෙන ඇත. එබඳු බොහෝ සමාජයන් වල දේශපාලනය මෙන්ම දේශපාලකයන්ද වියත් ගති ලක්ෂණ වලින් පෝෂනය වී ඇත. උදාහරනයක් ලෙස සිංගප්පුරුවේ අමාත්‍ය මණ්ඩලය අදාල විෂය පථයන්ට අදාළ ඉහල මට්ටමේ උගත්කමක් ඇති වියතුන්වේ. එබඳු රටවල දේශපාලන, කළමනාකරණ හෝ පරිපාලන භාවිතයන්ද ගෝලීය මට්ටමේ ඉතා දියුණු භාවිතාවන් වේ.
ශ්‍රී ලංකාවේ දේශපාලනය මෙන්ම දේශපාලකයාද විකාශනය වී ඇත්තේ පරිහාණි ගති සමග වේ. නිදහසින් පසු මුල් යුගයේ පැවති දේශපාලන සම්ප්‍රදායන් වර්තමානය වනවිට අතිශයින් හෝදා පාලු වී ඇත. අනියම් ලෙස හෝ රාජ්‍ය දේපල අවභාවිතය මගින් හෝ අල්ලස් ලබාදීම හෝ ධනය බලය මත බලය ලබා ගැනීම වෙත ප්‍රජාතන්ත්‍රවාදය දූෂනය කර ඇත. ඉන් ඔබ්බටද මෙම තත්වයන් විකාෂනය වී අහිංසක මිනිසුන් ඝාතනය කර හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බලය ලබා ගැනීම දක්වා මෙම තත්වයන් විකාෂනය වී ඇත. දේශපාලනයට සමගාමීව දේශපාලකයාද ඉහල සිට පහලටම තිබිය යුතු ගති ලක්ෂණ වෙනුවට ජරාජීර්ණ හැසිරීම් හා ගති ලක්ෂණ වලට ගොදුරුවී ඇත. මෙයට අමතරව කිසියම් හෝ බල සීමාවකට ගැති හෝ වන්දිබට්ටවාදී නිකමෙකු බවට දේශපාලකයාද පරිවර්තනය වී ඇත. පවුල් දේශපාලනයට හෝ බලය හෝ ධනය මත සුවච කීකරු ඇම්බැට්ටයන්ගේ තත්වයට ආචාර්ය මහාචාර්ය පට්ටම්ධාරි දෙස්පාලකයාද ඇදවැටී ඇත. තනතුර හෝ සුළු ඇමති පට්ටම හෝ බේරා ගෙන දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටින මට්ටමට බොහෝ වියත් ලෙස හංවඩු ගැසූ දේශපාලකයන්ද පරිනාමයට පත්ව ඇත. ඵලදායි නොවන දේශපාලන ක්‍රමවේදයන් හා භාවිතයන් සමග කුණුවී ගිය දේශපාලන සම්ප්‍රදායන් සමාජය උරුමකරගෙන ඇත. කුලය, බලය, ධනය සමග බැදුණු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් මගින් දේශපාලනය යනු මහජන දේපල මංකොල්ල කෑමට හෝ තම පරපුර හෝ පවුල ධනයෙන් හා බලයෙන් ඉහලට ඔසවා තබන ප්‍රවේශයක් බවට පුළුල්ව පත්ව ඇත. විචාරශීලී නොවූ බොහෝ දේශපාලන ප්‍රතිපත්ති නිසා නුගත්, දුෂිත දේශපාලකයන්ට බලයට ඒමට ඉනිමං බැඳ දී ඇත. මනාප ක්‍රමය වැනි දේශපාලන ප්‍රවේශයන් මත සිරගෙවල් වල සිටියයුතු මට්ටමේ අපරාධ කාරයන් පාර්ලිමේන්තුව හෝ දේශපාලන ආයතන වල නියෝජිතයන් වී ඇත. එලෙස පැමිණි බොහෝ දෙනාගේ අභිමතාර්ථය වන්නේ හැකි අයුරින් නියම හෝ අනියම් ක්‍රම භාවිතය මගින් තම මඩිය තර කර ගැනීමයි. මෙබඳු බොහෝ දෙනා බරපතල ගනයේ එහෙයිවාදින්ද වේ. දැනුම හෝ හැගීම් අවම බැවින් හොද හෝ නරක පිලිබදව ඔවුන් දක්වන්නේ අඩු ප්‍රතිචාරයකි. නායකයා සමග හෝ සමාජය සමග එබඳු දේශපාලකයා අවම සංවාදශීලි ගතියක් දක්වයි. අවිචාරශීලි පංචස්කඳු ලෙස මෙබඳු මහජන නියෝජිතයන් මහජන දේපල බුක්තිවිඳිමින් විරාජමානව ප්‍රලාප දොඩමින් නැවත බලයට ඒමට කුරුමානම් ඇල්ලීම ප්‍රධාන වගකීම ලෙස සලකයි. ඒ අනුව මෙබඳු වූ පුළුල් එහෙයිවාදී ගැති දේශපාලන සම්ප්‍රදායකට සමාජය හා ආර්ථිකය සුවිශාල වන්දියක් දීර්ගකාලීනව ගෙවමින් සිටී. මෙම දේශපාලන භාවිතයන් හා නායකයින් අවිචාරවත් ලෙස රට විනාශ මුඛයට ගෙන ගොස් ඇත. මෙබඳු එහෙයිවාදී දේශපාලනය විසින් කරනු ලැබ ඇති හානිය තක්සේරු කිරීම අපහසු මෙන්ම ඒවා කිසිදින ප්‍රතිපුර්ණය කර ගැනීමටද නොහැක.
මෙබඳු දේශපාලන නායකත්වයකින් හෝ සම්ප්‍රදායකින් කිසිදා වියත් මගකට ඉඩ නොලැබෙනු ඇත. ස්වාධීන රාජ්‍ය සේවයක් ඇති කිරීම හෝ සුදුස්සාට සුදුසු තැන දීම හෝ වියතුන් ඉදිරියට ගෙන් ඒම හෝ මැතිවරණ කාලවල දෙනු ලබන සීනිබෝල වේ. ඒවා විශ්වාස කිරීම හෝ පසුපස යාම මිරිඟුව පසුපස යාමකි. මෙම තත්වය කිසිදින වෙනස් නොවනු ඇතිබව වටහා ගත් බොහෝ වියතුන් දීර්ග කාලීනව රට හැර යාම එහෙයිවාදය සමග රටට ඇතිවූ බලවත් පාඩුවක් මෙන්ම විනාසයකි. මෙම තත්වය තව දුරටත් තීව්ර කරමින් බුද්ධිමතුන් රට හැරයාමට තවදුරටත් වැඩිපුර පෙලැඹී ඇත. වියත් මගට සිග්නල් දමා එහෙයිමග ගමන් කිරීම මගින් වැඩිපුර කලකිරීමට පත්ව ඇත්තේ මෙවරද බලවත්සේ ඉච්ඡා භංගත්වයට පත්වූ උගතුන් හා බුද්ධිමතුන්වේ. මේ බව බොහෝ තානාපති ආරංචි මාර්ගද මෑතකදී පෙන්වා දෙනු ලැබ ඇත.
එහෙයිවාදීන්ට හා එහෙයිවාදයට වෙනදාට වඩා හොඳ කලදවසක් ලැබී ඇත. ඉහලම සිට පහල දක්වා ගැති මානසිකත්වයෙන් කටයුතු කිරීම පරිපාලන හා කළමනාකරණ සම්ප්‍රදාය බවට තහවුරු වෙමින් පවතී. විශ්වාසය හා පැවැත්ම රදා පවතින්නේ එහෙයිවාදී භාවිතාවන් තුල පමණි. එබඳු වගකීම් හා විශ්වාසය පලකිරීම මත විනාසය හෝ අවිනිශ්චිතතාවය ඉදිරියට පැමිණෙමින් ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය බරපතල ලෙස එහෙයිවාදයට මෙන්ම පවුල්වාදයට යටවී ඇත. දේශපාලනමය වුවමනාවන් වලට මෙන්ම මංකොල්ලකාරී ආර්ථික වුවමනාවන්ට ගැතිකම් කරන, පැවැත්ම සඳහා කියන දෙයක් කරන දූෂිත දේශපාලනයේ ගොදුරක් බවට රාජ්‍ය සේවයද පත්ව ඇත. ස්වාධීන රාජ්‍ය සේවාවන් ස්වාධීන කොමිසන් සභා නමට පමණක් ස්වාධීන ඒවා වේ. බොහෝ තැන් වල ඇත්තේ එහෙයිවාදී සම්ප්‍රදායන්වේ. බොහෝ ආයතන වල, අමාත්‍යාංශවල කිසිදු නිර්මාණශීලී කටයුත්තක් අලුත් දෙයක් නොවන මට්ටමට පත්ව ඇත. ඇමැතිවරයාද, රාජ්‍ය ඇමතිවරයාද සෙසු දේශපාලන නායකයන්ද එහෙයියන්ය. එම නිසා රාජ්‍ය සේවයද එහෙයි සේවාවකි. අලුත් යමක් ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් තුල කිසියම් සරල නිර්මානශීලිත්වයක් හෝ ඇත්නම් එයද සඟවාගෙන මහජන මුදලින් නඩත්තු වන බලුකුක්කන් ගානට ඔවුන් පත්ව ඇත. ඉතා කුඩා දෙයක් පිළිබඳව හෝ සිදුවන්නේ .....තුමාගේ උපදෙස් පරිදි වේ. එබඳු ප්‍රකාශන පුවත් පත් සාකච්ඡා වල සුලබ දෙයකි. ඔවුන්ට වගකීම් පවරා තිබුනද, බලය අසීමිත ලෙස කේන්ද්‍රගතව ඇතිනිසා සියලු දේ පවුලේ කෙනෙකුගෙන් අහලා කරන මට්ටමක සිට එහෙයිවාදී මානසිකත්වයකින් බොහෝ දෙනා කටයුතු කරති.
එහෙයිවාදී ලෙස බලය හා නිලය ගැලපීම විනාසයටද මුල්වී ඇත. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මහා අගාධයක පවතී. සුවිශාල ලෙස විදේශ ණය ලබා ගනිමින් ඵලදායි නොවන කාර්යයන් වල යොදවනු ලැබුවේ ඒවා තුලින් විශාල ප්‍රමාණයේ කොමිස් මුදලින් පෝෂණය වීම සඳහා වේ. මේ සියලු දේ සිදුවන්නේ කිසියම් නිලධාරියකුගේ අත්සනෙනි . එබඳු නිලධාරියකු ආචාර්ය පට්ටම් දැරුවත් ආර්ථිකය නැති බංග කිරීමේ කාර්යයට ප්‍රධාන වගකීම දැරිය යුත්තේ ඔහු විසිනි. ඔහුගේ මෙම ආර්ථික ඝාතක කටයුතු සමස්ත සමාජයම දැනගත්තද, ඒ සඳහා ප්‍රබල සමාජ විරෝධයක් ඇත්තේ වුවද ඔහු ඉතා හොඳ එහෙයිවාදියකු බැවින් පැවැත්ම තහවුරු වී ඇත. කෙසේ වුවද ආර්ථිකමය හා සමාජ විනාශය ඔවුන්ට නොදැනෙන ජනතාවට හා ලෝකයට දැනෙන ප්‍රබල යතාර්ථයක් ලෙස පවතී. රාජ්‍ය සේවයේ එහෙයිවාදය ප්‍රබල මෙහෙයුම් යාන්ත්‍රනය වී ඇති බැවින් දේශපාලනය සඳහා මහජන දේපල තම පවුලේ බූදල් මෙන් බෙදා දීම, කිසිදු වටිනාකමක් නොමැති කටයුතු සඳහා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කිරීම, රාජ්‍ය සේවාවන් සඳහා බුරුතු පිටින් බඳවා ගැනීම මගින් රාජ්‍ය සේවාව ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමට ප්‍රමාණාත්මකව වර්ධනය කිරීම ආදී දේ බොහෝ දුරට සිදුවුයේ එහෙයිවාදය සමග වේ. වර්තමානය වනවිට එහෙයිවාදය ප්‍රබල ලෙස ඊනියා සංවර්ධන ප්‍රවේශයන් සමග ඒකාබද්ධව වේගයෙන් විනාසය වෙත ලඟාවෙමින් පවතී.
රටක හා සමාජයක දියුණුව, පිළිගැනීම, සාධාරණත්වය, මානව හිමිකම් හා අයිතිවාසිකම් ආරක්ෂා වෙනු ලබන්නේ එම සමාජයේ නීතිය හා සාමය ආරක්ෂා වන ප්‍රමාණය මතවේ. ඒවා ආරක්ෂා වන ප්‍රමාණය මත එම සමාජය දියුණු හෝ නොදියුණු දර්ශකයන් තීරනය වේ. දේශපාලන වුවනාවන්ට යොමුව නීතියේ ආදිපත්‍යය කටයුතු කරන්නේ නම් සාධාරන සමාජ කළමනාකරණයක් සිදු නොවනු ඇත. දේශපාලන වුවනාවන් මත මිනීමරණ සමාජයක් හෝ දේශපාලන වුවමනාවන් මත වැරදිකරුවන් නිදහස් කරන සමාජයක් හෝ අද වැරදි කරුවකු වූ අපරාධ කරුවකු හෙට නිදොස් කොට නිදහස්වන්නේ එහෙයිවාදයේ පිහිටෙනි. ඒ සමග සීග්‍රගාමී ලෙස පරිහානියට යමින් තිබෙන්නේ සමස්ත සමාජයම වේ. මේ මගින් කුණුවූ සමාජයක ප්‍රතිපල බුක්ති විඳින්නේ ද සමස්ත සමාජයම වේ.
සිවිල් සමාජය හා සිවිල් පරිපාලනය හමුදාකරණයට ලක්කිරීමද එහෙයිවාදයේ ප්‍රබල යෙදවුමකි. හමුදා භාවිතයේ එහෙයිවාදය අනියවාර්ය ගති ලක්ෂණයකි. එහි ඇත්තේ බොහෝ දුරට අණ පිළිපැදීමේ හා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයකි. පහල සිට ඉහලට Yes Sir භාවිතය හමුදා පාලනයක ගති ලක්ෂණයකි. සිවිල් පාලනයක බොහෝ දුරට සාකච්ඡා, සම්මන්ත්‍රණ වාද විවාද, බහුවිද මතවාද පවතී. ඒවා අවශ්‍යවන්නේ වඩාත් යහපත් කරුණු කාරනා සහිත තීරණ ගැනීම සඳහා වේ. එය යහපත් යෙදවීම් සඳහා අවශ්‍ය වේ. සිවිල් පාලනය සමග හමුදා පාලනය සහයෝගීතාවන් තිබිය යුතු නමුත් මිශ්‍ර කිරීම ප්‍රවේශමෙන් කළ යුතුවේ. මහජනතාවගේ යහ පැවැත්ම, ආර්ථිකයේ හා සමාජයේ යහපැවැත්ම පිළිබඳව බුද්ධිමය කතිකාවත් සිවිල් පරිපාලනය සමග ශක්තිමත් කළ හැක. සිවිල් පාලනයේ විවිධ වූ විෂමතාවයන් හා දැනුම් සම්ප්‍රදායන්ද, භාවිතාවන්ද පවතී. බොහෝ තීරණ අදාළ විෂයානුබද්ධව සිදුවිය යුතුය. එබඳු තීරණ Yes Sir සම්ප්‍රදායෙන් බැහැරවේ. වර්තමාන වසංගත තත්වය හමුවේ ඉතා බැරෑරුම් තත්වයකට සමාජය ඇද දමා ඇත්තේ පාලකයන්ගේ මෙබඳු තේරුම් ගැනීම් වල පවතින දුර්වල සබඳතාවය හා එහෙයිවාදී මානසිකත්වය නිසාවෙනි. මෙබඳු එහෙයිවාදී යෙදවීම් වල සමාජ හා ආර්ථික විනාසය තක්සේරු කිරීමට පවා අපහසුවේ.
මෙම එහෙහිවාදී සබඳතාවය නිසා බොහෝ කටයුතු අතරමග ඇනහිට ඇත. පාලකයාගේ අණ ලැබෙන තෙක් එහෙයියන් බලා ඉඳී. වැරදිලා හෝ හරි ගියොත් 'මං තමයි හොඳටම කළේ' කියා ප්‍රසිද්ධ විය හැක, වැරදුනොත් එහි විපාකය ජනතාව බුක්ති විඳිනු ඇත. අවසානයේ සිය දහස් ගණන් මියයාමද එහෙයිවාදයට එතරම් ගණනක් නැති වෙනු ඇත. කොරෝනා වසංගතයෙන් මිය යාම සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් ලෙස ගණනය කරන්නේද එබඳුවූ එහෙයියන් විසින්මය.
එහෙයිවාදය අවශ්‍යවන්නේ නුගත් හෝ ගතානුගතික පාලකයන්ට හෝ කළමනාකරුවන්ට වේ. සෑම කුඩා දෙයකින්ම තමාටම ලකුණු දමා ගැනීමට මෙබඳු පුද්ගලයන්ගේ මානසිකත්වය වේ. වසංගත තත්වයක් පාලනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය විද්වත් සහය නිසි පරිදි ලබානොගන්නේ මෙම මානසිකත්වයෙනි. සුදුස්සාට අදාළ වගකීම ලබා නොදී එහෙයියන් ඒ සඳහා පත්කොට හරිගියොත් ලෝකෙන්ම අපි තමයි එක කියා සැනසීමේ මානසිකත්වද ඔවුන් සතුවේ. 'මම' විසින්ම සියලු දේ කළ යුතුය. මා කියන විදියට පමණක් කළ යුතුය යන පටු සීමාවන් සහිත පාලනයකදී එහෙයියන්ට හොඳ කලක් උදාවේ. කෙසේ වුවද එහෙයිවාදයේ අනිටුවිපාක සමාජයට දැනෙන්නට පටන් ගැනීම සමග එහෙයිවාදී වීරයන් පුස්සන් බවට පත්වේ,
වියත් මග පෙන්වා බලයට පැමිණ එහෙයිවාදී මාර්ගය තෝරා ගැනීම මත මෙම යතාර්ථය සමාජය හමුවේ දිග හැරෙමින් පවතී. වීරයන් ලෙස පෙනුණු බොහෝ දෙනා වැඩ බැරි ටාසන්ලා බවට පත්වෙමින් සිටි. වැඩක් පලක් කිරීමට හැකියාවක් දක්ෂකමක් තිබු බොහෝ දෙනා වෙනුවට එහෙයියන්ට අවස්තාව ලබා දීම නිසා බොහෝ අසාර්ථක අත්දැකීම්වල වගකීම පාලකයා පිට පැටවෙමින් තිබේ. බොහෝ අකාර්යක්ෂමතාවයන් සඳහා වගකිවයුත්තෙකු නොමැති බවක් විද්‍යාමාන වේ. ආණ්ඩුවේ චක්‍රලේඛන සරදම් නිලවාදයට හෙවත් ගණන් නොගන්නා තත්වයට පත්වෙමින් තිබේ. බල්ලාගේ වැඩය බුරුවාට දීමේ ප්‍රතිවිපාක සමාජයට තදින් දැනෙන්නට පටන් ගෙන ඇත. බල්ලෝ සහ බූරුවෝ මෙලොවට ඒවා ඇත්තේ උන්ගෙන් ගතයුතු වැඩේ ගැනීමට මිස වැඩ අනාගැනීමට භාවිතා නොකිරීම සඳහා බවද වටහා ගැනීම කාලෝචිත වේ.
මෙම මතුවෙමින් වර්ධනය වෙමින් පවතින ගැටලුකාරී මෙන්ම ඵලදායි නොවන වර්ධනයන්ගෙන් නිදහස ලබාගැනීමට තව දුරටත් හැකියාව පවතී. කියන කියන දෙයට 'Yes Sir' කියා වැඩ අනන එහෙයියන් වෙනුවට, හොඳ නරක කියාදිය හැකි, අදහස් ඇති, තර්කයන් ඇති, වැඩක් කළහැකි, වැඩක් ගතහැකි, වැඩක් ගතයුතු වියතුන් සොයා ගැනීම අපහසු කාර්යක් නොවේ. සැබෑ වියත් මග කුමක්ද යන්න එවිට තේරුම් යනු ඇත. ප්‍රශ්න හඳුනන, පිළිතුරු ඇති බොහෝ දෙනා සිදුවෙමින් පවතින බොහෝ දේ හමුවේ තම තම නැණ පමණින් පැත්තකට වී සිටි. ඉහල සිට පහල දක්වා අරක්ගෙන සිටින එහෙයියන් නිසා තමන්ද, සමාජයද, ආර්ථිකයද, ජනප්‍රියතාවයන්ද, එකී නොකී බොහෝ දේ නැතිභංගස්ථාන වන බව තේරුම් ගැනීම මොළයක් තිබේ නම් ප්‍රමුඛතාවයෙන් කළයුතු වේ. සිදුවෙමින් ඇති ප්‍රතිරුප සීග්‍රයෙන් කඩාවැටීම හමුවේ, එහෙයිවාදය නිසා කළ යුතු හා කළ හැකි බොහෝ දේ අතරමග ඇනහිට ඇති බැවින්, 'අදට වඩා හෙට හොඳටම නරක්වෙනු ඇත' යන සමාජ මතවාදයන් සමග ජනතාවගේ සැක බිය වේගයෙන් තුරන් වෙමින් පවතින ගති ලක්ෂණ පෙනෙන්නට ඇතිබැවින්, පාලකයන් විද්‍යාත්මක මුලධර්ම මත විශ්වාසය තැබිය යුතුමය. එහෙයියන් හෝ පුස්සන් හෝ MY MAN ප්‍රතිපත්තිය වෙනුවට සැබෑ විද්වතුන් හඳුනා ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම පවතින හෝදාපාලු අවම කරගැනීමට සුදුසුවන විද්‍යාත්මක මානව සම්පත් මුලධර්මය වනු ඇත.
හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/66
---------------------------
by (2021-09-02 02:56:12)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි