-මංජුල ගජනායක ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.දෙසැ.24, පෙ.ව.2.00) පූර්වයෙන් කථිකා කරගත් පරිදි අප මිතුරියක් වූ නදී (නදී ගුණරත්න) මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය වෙත පියමැන්නාය. ඒ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය බාර කළ පර්යේෂණයක් උදෙසාය. ඇයගේ අවැසියාව වූයේ දුසැරිය පිළිබඳ මාගේ අදහස් විමසීමයි. ඇය හා පැමිණි සොඳුරු යුවතියක්, මා පළකළ අදහස් වෙත සාවධානව සවන් දෙමින් වාර්තාකරණයේ නිරතවනු ද මාගේ නිරීක්‍ෂණයට හසුවිය.
අක්බඹරු කේෂ කලාපයෙන් හා තියුණු බැල්මෙන් සපිරි මේ නව යොවුන් තරුණිය එවකට කොළඹ විශ්ව විද්‍යාලබද නීති පීඨයේ ශාස්ත්‍රෝද්ග්‍රහණයේ නිරත සිසුවියකි. එහෙත් ඒ, මා ඈ දුටු පළමු මොහොත එය නොවීය. නිතිපතා කාර්යාල ගමනේදී හමුවන විලාසිතා මැදුර පිහිටි මංසන්ධියේ දිසි කුඩා මඟී ආවරණය සැරසූ ආකර්ෂණිය රුව ඇගේය. Does She Travel Safe? යන තේමාව ඔස්සේ මහමඟ සිදුවන කාන්තා ලිංගික අතවර කෙරෙහි ජනතා අවධානය දිනා ගැනීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල දියත් කල ප්‍රචාරයේ එක් සංකේතාත්මක කාන්තා රුවක් ඇගේය.
අවසන ඇයගේ උද්‍යෝගිමත් ප්‍රතිභාව හා දිදුලන හැකියාවන් දුටු මා, ඇයට CMEV ය හා එක්වන ලෙස ඇරයුම් කළෙමි. එදා පටන් අද දක්වා ඇය අප බස් අසන්නීය. නිල කාර්යයෙහි ලාලසාත්මක ප්‍රතිභාවක් පෙන්වන්නීය. ඈත මෑත සිටින හිතමිතුරු කැළ වෙත නිබඳ සෙනෙහස පාන්නීය. මෑතදී අප සේවයෙන් ඉවත්වුවද ඇය, ඇයගේ උත්තුංග ප්‍රතිරෝධයට පෙරදින ද කොළඹ තරු පංතියේ හෝටලයකදී මට හමු විය. ඒ මාගේ දෙසුමක් අතරතුරයි. මා එකී දෙසුම සඳහා ඇරයුම් ලද DOJF හි නව සම්බන්ධීකාරිකාව ඇය වන්නීය.
ඒ අල්ල පනල්ලේ අතත්‍ය අවකාශය පුරා දිසි ඇගේ රුව හදිසියේ ඇස ගැටිණි. මේ කවරනම් සංතෑසියක් දැයි විමසූයෙමි. අවිහිංසක හෙද සොයුරික් වූ මවකට හා පොලිස් නිළධරයෙකු වූ පියෙකුට ජාතව ඓතිහාසික දඹදෙණි පුරවර උපන් මේ යෞවනිය අප ගිලන් ආත්මය සුවපත් කර ඇත්තේය. ඒ ජරපත් දේශපාලන පංචස්කන්ධයක් හමුවේ ප්‍රතිරෝධය පාමිණි.
මෙදින මා දවසැරියේ ඌව වෙල්ලස්සේය. පුරා හෝරා හයක් සර්වෝදය සොයාදුන් තරුණ කැළක් අභියස ප්‍රජාතන්ත්‍රවාදයේ වෙසෙස් ලකුණු පිළිබඳ දෙසුමක් පවත්වන අතරේ මඳක් ඉසඹුලන්නට සිතා යොවුන් සභාව වෙත ඇරයුමක් කළෙමි. ඒ ඔවුන් රුචි කවර හෝ ගීතයක් ගයන්න යැයි කියාය. වහා නැගී සිටි තරුණයෙකු ලයාන්විතව මෙසේ ගැයුවේය.
''දඟ ගෙයි දඬුවම් සියුමැළි වැඩි නම් - අලුගෝසුවනේ එල්ලාපන්, අලුගෝසුවනේ එල්ලාපන්''
මෙරටේ පළමු විධායක ජනාධිපති ජූනියස් රිචර්ඩ් ජයවර්ධන තම වෘත්තිමය දේශපාලන මඟෙහි ගත් වෛරීසහගතම තීන්දුව හමුවේ සිරබත් කෑ ජනකාන්ත රංගධර විජය කුමාරණතුංගයන් ගයන මෙකී ගීයේ පද තුළින් මා දුටුවේ අලංකෘත වේදිකාවක ආවේගශීලි තාරුණ්‍යයෙන් බැබළෙන ගයත්‍රිගේ බොඳව ගිය ඡායාමාත්‍රයයි. තරුණයා දිගටම ගයන්නේය.
''වරදට එරෙහිව අවි ඔසවන්නේ - වරදට එරෙහිව අවි ඔසවන්නේ- රටකට දැයකට හිත ඇති මිනිසුන්,
ශාන්තිවාදී තපස් රකින්නේ - පිට කොඳු බිඳගත් ඔල මොල නිවටුන්''
ගයත්‍රිගේ ප්‍රතිරෝධයේ පසුබිම මහීල් බණ්ඩාර යැයි ද, ඔහු ජේවීපී කාරයෙක් හෝ අඩුතරමේ මංගල වාදියෙක් යැයි හෝ පවසා ෆේස්බුක් බුකිය කළඹන මුග්ධ අධමයන් ගයත්‍රිගේ අලගිය මුලගිය තැන් සොයන්නේය. ඇයගේ FB වෝලයෙන් බාගන්නා රූ උඩුබාගත කොට මහා සමාජ පර්යේෂකයන් වී ඇත්තේය. සැබවින්ම ඒ සියල්ලෝ විජය ගැයූ ලෙසම ශාන්තිවාදී තපස් රකින්නෝය. ඒ දහසක් දෙනා හට නැති කොන්ද, ලාබාල ගයත්‍රි හට ඇත්තේය.
ගයත්‍රී මෙලෙස ප්‍රතිරෝධය පාන්නට උගත්තේ ඇයගේ සොඳුරු පෙම්වත් තරුණයා වූ අපට ද සොයුරෙකු වන් මහිල්ගෙන් ලත් අමුතු අනුප්‍රාණයකින් නම් විය නොහැකිය. ඇය සරසවිය ඇසුරේද, බාහිර සමාජයේ හමුවූ ජ්‍යෙෂ්ඨයන් ඇසුරේද, අප හා ගැටී ලත් පරිචය ඔස්සේද ජීවිතය උගත්තාය. ගයත්‍රී යනූ එවන් ළඳ බොළඳ යෞවනියක් නොව පරිකල්පනයෙන් සපිරි දරුවෙකි. ඒත් මහීල්ද ඇල් වතුරත් වුව නිවා බොන අයිස් පලම් බඳු පතෝල දේශපාලකයන් පිළිකෙව් කළ උගත් තරුණයෙක් බව ද ලියා තැබිය යුතුය.
මෙය හෙද නායක මුරුත්තෙට්ටුවේ සමිඳුන් හට වළකා ගැනීමට හැකියාව තිබු අවනම්බුවකි. සැබවින්ම දහවල වැටුණු වළේ ඉමහත් ශ්‍රද්ධාවෙන් රැයෙහිද වැටී ලත් නව නිංගිරාවකි.
පෙරදින කලාපීඨ උපාධි ප්‍රධානයේදී ඔහු හුදු ප්‍රේක්ෂකයෙක් වීය. අනතුරුව සේදී යන සායම වළකා ගත්තේ වෛද්‍ය පීඨය මුරුත්තෙට්ටුව පිදූ බම්බුව නොපැකිලව ගත් හෙයිණි. එහෙත් නීති පීඨ සිසුසිසුවියන් අතර හුවමාරු වූ වට්ස්අප් සංවාද මෙවන් විරෝධයක් සඳහා වන අදහස ජනගත කරන ලද අතර පෙරදින තීරක පාර්ශවයක් හුවමාරු කළ එවන් පණිවුඩයකින් කියැවුණේ නීති පීඨ සිසුන් කිසිදු විරෝධයක් නොපානු ඇතැයි යනුවෙනි. එහෙත් ඊට පාලනාධිකාරිය සුදානම් නොවුණා නොවේ. උපාධි ප්‍රධානයේ ප්‍රධාන ශාලාව අභියස රැඳුනු අප මිතුරු පීඨාධිපති ආචාර්ය සම්පත් පුංචිහේවා සිසු දරුවන් කළුපටි සඟවා ගෙන ඇතිදැයි පරීක්ෂා කරන ලද්දේ එබැවිණි. (විදෙස්ගතව පශ්චාත් උපාධි ලබා ප්‍රතිරෝධයේ හැඩය හා පැහැය ගැන දැනීමක් සහිත ඇදුරන් කළුපටි සොයන්නට සිසුන්ගේ කිරිපල්ල අතගෑම ශ්‍රී ලාංකේය කොදෙව්වට ම අනන්‍ය දේශපාලන ව්‍යභිචාරයකි).
මුරුත්තෙට්ටුවේ යනු කුමක්ද? කවුද? එහිමියන් මෙලෙස අවමන් සහගතව කුජීත කුප්පදෝරු විය යුත්තෙක් නොවේ. සරසවි රජකළ කළුකොඳයාවේ හෝ වැලිවිටියේ සෝරත තබා බල දේශපාලනයේ අරුත හා නිරුත වටහා ගත් හේන්පිටගෙදර වැනි සම්මානිත සංඝ පිතෘවරුන්ගේ සෙවණැල්ල තරමේ හෝ අගයක් ඇති මිනිස් ප්‍රාණියෙක් ද නොවේ. එනමුත් නොසරුප් වදන් බිණිමින් පසෙකට අතුගා දමන හැළ ගෙඹි රජෙකු, නැවත කුටුම්බයටම හැරෙන්නේ යම්සේද, ආනන්ද සමිඳුන්ද රාජපක්‍ෂ පාලනය වෙතම වශී වූ දේශපාලන කලේබරයකි. මාදුළුවාවේ සෝභිත සමිඳුන්ගේ දේශප්‍රේමී සමාජ ව්‍යාපාර මතුනොව අනේකාකර බල දේශපාලන ව්‍යාපෘති පෙරටම ඇදගෙන ගිය නයුවෙකි එහිමියන්. අවාසනාවට ''සියල්ල බේරේ වැවට'' යැයි කියන්නා සේ ඔහුද (එහිමියන්) මහින්ද රාජපක්‍ෂ කැරිස්මාව හමුවේ අදත් නිරුත්තර ළදරුවෙකි. සාරුවා සුනිල් පන්නයේ දේශපාලන සපෝටරයෙකි.
මෙවැන්නන් පිළිබඳ1807 දී පමණ මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා, මාතර පළාතේ ඒජන්ත තැන වූ ඊඩ්න් වෙත ලියන ලද්දේ මෙලෙසිනි.
'මුල්කිරිගල පන්සලේ කටයුතු කරන භික්ෂූන්ට රටේ විශාල බලයක් තිබේ. ඔය පළාතේ ඕලන්ද ආණ්ඩුවට නිතරම එහි ප්‍රථිපල විඳින්නට සිදුවිය. මෙය (භික්ෂුන්ගේ බලය) වනාහී මහනුවර රජ නිතරම තමාට හිතවත්ව තබා ගැනීමට උත්සහ කරන දේශපාලන යන්ත්‍රයකි (Political Engine). එසේම මෙය හොඳින් කටයුතු කොට අපේ වාසියට හරවා ගත යුත්තකි. එනිසා ඒ පන්සලේ භික්‍ෂුන්ගේ විශ්වාසයත්, මිත්‍රත්වයත් දිනා ගැනීමට ඔබට පුළුවන් සියල්ල කළ යුතුයි ''.
විද්‍යාර්ථින් සමුහයක් අභියස එලෙස සමුහ දූෂණයක් බඳු අවමනට හා ගර්හාවට ලක්වුවද එකී සමස්ත අන්දරයේ සැබෑ වීරවරියක්ද සිටී. ඇය වෙන අන් කිසිවෙකු නොව කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජේරත්න ධීමතියයි.
තාරුණ්‍යයට හිමි ජවසම්පන්න බවින් සුසැදි ගයත්‍රි වැනි යෞවනියන් මුරුත්තෙට්ටුවේ සමිඳුන් දිගුකල මංජුසාව පසෙකලා නික්මෙන කල, එකී තරුණියන් වහා තම තුරුළට කැඳවා ඡායාරුපයක් සඳහා ඉඩ ප්‍රස්ථා සැලසූ ඇය ඉන් නැවතුණේ නොවේ. එකී යෞවනියන් වෙත රහසින් කොඳුරා 'පුතේ කලබල වෙන්න එපා' යැයි කෙඳිරුවේ උතුම් මව් සෙනෙහසද කැටි වූ සැබෑ වෘත්තීයත්වයේ නිරහංකාර ගුණයෙනි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා තුළ අංශුමාත්‍ර වූ හෝ වියත්බවක් රැඳී ඇත්නම් ඔහු රඳවා ගත යුත්තේ ආනන්ද වැනි දේශපාලන බඩජාරින් නොව, චන්ද්‍රිකා වැනි සම්මානිත ඇදුරුවරියන්ය. කවර ව්‍යසනයකදී වුව මෙලෙස හැසිරෙන ශ්‍රී ලාංකිකයෝ දුලබය. විරලය. හිඟය.
අවසන අප ආචාර්ය නිර්මාල් දේවසිරිට ද සවන් දිය යුත්තෙමු. ඔහුට අනුව නීති පිඨයේ 251ක් වූ දරු කැලෙන් නව දෙනෙක් ද, කලා පීඨයෙන් එක්වූ තවත් දරුවන් කිහිප දෙනෙකුගෙන්ද හැඩ වූ මෙකී ප්‍රතිරෝධය නොකළ යුතු එකකි. ඔවුහු ඉන් වැළකුණේ නම් යෙහෙකි.
ඒ පිළිබඳ ඉතා සරලව දැක්විය යුත්තේ නිර්මාල් කවදත් බුහුටි බවක් දක්වන්නේ නර්මාලාප (sarcasm) ගෙතීමේ බවත් මෙවර ඔහු සෝපාහාසාත්මකව තම කකුලම තම මුඛයේ රුවා ගෙන ඇති බවයි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මතු නොව චිචී පවා ගණිතාචාර්යවරුන් වන සමයක මුවින් නොබැණ වකුටුව සිටි සරසවි ඇදුරු සමූහයක් අභියස ඇඟට දැණෙන විරෝධයක් පෑ මේ අංකුර විද්‍යාර්ථින් වෙත නිර්මාල් දමාගසන නර්මාලාපය නොනගතයක දල්වන අහස් කූරක් මිස වෙන අන් කවර යමක්ද? තම බසට නොනැමුණු රජුන් අභියස පාත්‍රය ද උඩුකුරු කිරීමේ 'පත්ත නිකුජ්ජන' දඬුවම පැනවීමට හැකි තරම් ලිබරල් භාවිතාවක් සහිත ආගමික පසුබිමක් විකසිත රටක ගයත්‍රි ඇතුළු දරුවෝ සිදුකළේ අවම විරෝධයකි. අවම බලය භාවිත කරන්නේයැයි කියා හිස්කබල් සුනුවිසුණු කරන්නට තරම් මැලිනොවන පොලීසියක් ඇති රටක මේ දරුවෝ අවිහිංසකය. ආදර්ශමත්ය.
පසුකාලීන දේදුණු විප්ලවයකට මඟ පෑදු ටියුනිසියාවේ ඇපල් විකිණු තරුණයා වූ තරෙක් අල් තයබ් මොහමඩ් බොසිසි (Tarek el-Tayeb Mohamed Bouaziz) අද ද ස්මරණයට සුදුස්සෙකි. එනයින් බලන කල මෙම දරුවෝ හෙටදින සමාජය අමතක කරනු ඇත්තේය. එනමුත් ඔවුන් සතු අසමාන පෞරුෂය හා විරෝධාකල්පනාත්මක මතකය අප තුළ සදා රැඳෙනු ඇත්තේය.
අවනීතිය හා අයුක්තිය රජයන රටක ගයත්‍රී නිරුදක කතරක සුපිපි රෝස කුසුමකි! මූ. ආනන්ද තෙරුන් සතු සැලෙන, සසැලෙන දේශපාලන ආත්මය අභියස ගයත්‍රී සතුව ඇත්තේ මහානනී ය යෝධ ආත්මයකි.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/52
---------------------------
by (2021-12-23 20:59:19)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි