~

තම රජ මහා විහාරයේ දී හිමිවරුන් දෙනමක් ඝාතනය කළ මහමොළකාරයා කෝට්ටේ සංඝ සභාව සම්මානයෙන් පුදයි..! පිස්සුද හැටිද?

-චන්ද්‍රප්‍රදීප් ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.ජන.03, පෙ.ව.01.10) කෝට්ටේ රජමහා විහාරයේ දී ඊයේ(02) සවස රැස්වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකාරයාට "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" නමින් ගෞරව නාමයක් උත්සව ශ්‍රීයෙන් පිරිනමා තිබේ. 

ඒ සඳහා එම සංඝසභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර, සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල, නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වැඩබලන උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ ඇතුළු නායක භික්ෂූන් පිරිසක් ද ජනාධිපතිකාරයාගේ සට්ටැඹි මැති ඇමැත්තෝ සහ ආරක්ෂක අංශ ලොක්කන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටියහ.

ගඳ කටට දැනෙන තරම් පිළිකුලක්...

මෙකී පුවත දුටු විට ගෝඨාභය ජනාධිපතිකාරයා ගැන කෙසේ වෙතත් ලංකාවේ මෙම කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව පිළිබඳ බෞද්ධයෙකු ලෙස ඇති වූයේ ගඳ කටට දැනෙන තරම් පිළිකුලකි. 

වගකිව යුතු සංඝ සභාවක් රටක නායකයෙකු ගෞරව නාමයකින් පිදිය යුත්තේ එකී නායකයා එම රටේ ජනතාවට අති මහත් ජයග්‍රහණ ලබා දුන් අවස්ථාවක ඒ වෙනුවෙන් කෘතගුණ සැලකීම සඳහා ය. මේ එවැනි අවස්ථාවක් ද?

මෙම ගෞරව නාමය පිදීමට දින 4 කට පෙර මේ ජනාධිපතිකාරයා, කිරි ටිකක් සොයා පැය ගණනක් පෝලිමක රස්තියාදු වූ ජනතාවගෙන් හූ කා පළා ගියේ මෙකී උත්සවය පැවැත්වූ කෝට්ටේ රජමහා විහාරයට කිලෝ මීටරයක පමණ දුරකිනි. සමහර විට හූ හඬ කෝට්ටේ රජමහා විහාරයට ඇසෙන්නට ද හැකියාවක් තිබිණ.  

මේ සිවුරුකාර රැලට දානය පුදන දුගී දුප්පත් අහී ජනතාවට නව වසර උදාවෙද්දී කිරිබතක් උයා ගැනීමට සහල් නොමැතිව පෝලිම් වල ලගින්නට සිදුව තිබේ. අමාරුවෙන් සොයා ගත් සහලින් කිරිබතක් උයා ගැනීමට ගෑස් ටික සොයා ගැනීමට නොහැකිව පෝලිම් වල ලගින්නට සිදුව තිබේ. උයා පිහා ගනිද්දී ගෙනා ගෑස් එක පුපුරා ගොස් කුමන වේලේ ජීවිතය අහිමි වේදැයි බියෙන් වෙලී සිටීමට සිදුව තිබේ. සිවුරුකාර රැලට දානයක් දෙන්නට අවශ්‍ය එළවළු ටික ගිනි ගණන් ය. පෝර ටික තෙල් බෙහෙත් ටික නොමැති ගොවියා තම වගාව වැනසෙනු දැක සිය දිවි නසා ගන්නා තැනට වැටී තිබේ. රටම බංකොලොත් වී තිබේ. එහෙව් දුඃඛිත තත්ත්වයකට තමන්ට සිව් පසය පුදන දායකයා ඇද වැටී තිබිය දී මේ සිවුරුකාර රැල මෙවැනි ඛෙදවාචකයකට රට ඇද දැමූ දූෂිත ගොබ්බ උම්මත්තක ජනාධිපතිකාරයාට "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" නමින් නම්බුනාම පුදති. 

නම්බුනාමය ලබා ගත් පිස්සු ජනාධිපතිකාරයාට වඩා බරපතල පිස්සුවක් හැදී ඇත්තේ මෙකී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ දූෂිත මුඩු මහණුන්ට නොවේද? 

තම අසරණ බෞද්ධ දායකයාගේ දුක නොතේරෙන මේ මුග්ධ ක්‍රියාව මේ මුඩු මහණුන් තම අසරණ දායකයාගේ මුහුණට කෙළ ගැසීමකි; පශ්චිම භාගයේ ඇරීමකි.

අමතක කළ බිහිසුණු අතීතය...

ඊටත් වඩා බිහිසුණු දෙයක් මෙකී සංඝ සභාව අමතක කර තිබේ. 

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි 2012 මාර්තු 20 දා රාත්‍රියේ රාජපක්ෂලා වෙනුවෙන් කෝට්ටේ රජමහා විහාරයේ තිබූ සපුමල් කුමරුගේ රාජකීය මඟුල් කඩුව සොරකම් කිරීමට රජමහා විහාරයට පැමිණි අපරාධ කරුවන් පිරිසක් එහි විසූ පණ්ඩිත පිටිගල දිනසිරි සහ බොරලැස්ගමුවේ ගුණරත්න යන හිමිවරුන් දෙනමක් උල් අවියකින් ඇණ ඝාතනය කළහ. එවකට රාජපක්ෂලා රජවරුන්ගේ මඟුල් කඩු සොරකම් කරමින් සිටි අවධියයි. කොළඹ කටුගෙයි කඩු සොරකමද ඒ වන විට සිදුකර තිබිණ. සපුමල් කුමරුගේ කඩුව අයිතිකර ගැනීමට ක්‍රියා කෙළේ එකී කඩුව අයත් පුද්ගලයා අපරාජිත වන බවට ඇති ජන ඇදහිල්ලක් නිසා ය. කෙසේ වෙතත් කෝට්ටේ කඩු සොරකමට පැමිණ, සංඝයා වහන්සේලා දෙනමක් ඝාතනය කළ හර්ෂ මංජු ශ්‍රී මනුකීර්ති නමැත්තා පසුව අත් අඩංගුවට ගත් නමුත් ඔහුගෙන් නිසි ලෙස පාපෝච්ඡාරණයක් ලබා ගැනීමට පෙර ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේ ය. පසුව 2012 නොවැම්බර් 09 දා වැලිකඩ සිරගෙදර තුල දී ගෝඨාභයගේ අණ දීමෙන් සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයේ දී ඉහත කී හර්ෂ මංජු ශ්‍රී මනුකීර්ති නමැත්තා ද නම කියා අඬ ගසා වෙඩි තබා ඝාතනය කෙළේ සාක්කි වසන් කිරීමට ය. මංජු ශ්‍රී ඊලඟ නඩු වාරයේ දී තමාව කඩු සොරකම සඳහා යෙදැවූ හස්තය කවුදැයි අධිකරණයේ දී හෙළිකිරීමට සූදානම් වී සිටි අයෙකි. 

අද එකී ද්විපුද්ගල සංඝ ඝාතනය සිදු කළ විහාරස්ථානයේ දී ම එකී සංඝ ඝාතනයේ මහමොළකරුවන්ගෙන් ප්‍රධානියෙකුට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් "ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ" නමින් නම්බු නාමයෙන් පිදීම එදා  මරා දැමූ සංඝයා වහන්සේලා දෙනමගේ නාමයේ පැහැරීමකි. රජ මහා විහාරය පුරා ගන්ධස්කාරය දෝර ගලා යයි. 

මෙතරම් නීච ක්‍රියාවක්, සිවුරක් ලා ගත් නායක සංඝයා යැයි කියා ගන්නා පමණින් මනුෂ්‍යයෙකුට කළ හැකිද ? මේ පාපතර ක්‍රියාවට මූලික වූ ඉත්තෑපාන ධම්මාලංකාර, කොටපිටියේ රාහුල, නෙළුවේ සුමනවංශ ඇතුළු නායක සිවුරුකාරයන්ට එකී සංඝ සභාවේ සිටින මොළයක් හදවතක් ඇති සෙසු හිමිවරුන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි බෞද්ධයෝ බලා සිටිති. 

"ශ්‍රී ලංකා පිස්සුධීශ්වර මුග්ධවිභූෂණ"

සත්‍ය වශයෙන් මේ අපරාධකාරී පිස්සු මුග්ධ ජනාධිපති කාරයාට දිය යුතුව තිබූ සම්මානය නම් "ශ්‍රී ලංකා පිස්සුධීශ්වර මුග්ධවිභූෂණ" යන්නයි. 

ජනතාව මේ මුග්ධ පාලකයන්ට හූ කියන්නේ යම් සේද මෙකී හොර ඝණ ගෙඩියන්ට ද යන යන තැන හූ කියා පළවා හැරිය යුතුය. මුන්ට සිව්පසය දීමෙන් වැළකිය යුතුය. මන්ද යත් සිවුරක් දරා සිටියා කියා මේ තරම් අබෞද්ධ දුස්සීල පාපතර අවස්ථාවාදී නීචයන්ට දාන මානාදිය දීමෙන් ලැබෙන කුමන පිනක්වත් බුදු බණේ නැති නිසා ය.

චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2022-01-02 19:43:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links