~

ගෝඨාභය මහා විරුවා ප්‍රයිවට් බස් මාෆියාව ඉදිරියේ කුජීතයි..!

-ඩී. ගමගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.පෙබ.07, ප.ව.10.35) ජනාධිපති ගෝඨාභය එල්ටීටීඊ යුද්ධයේ වීරයා ලෙස හඳුන්වමින් ඔහුගේ සමීපතම අත වැසියකු වන සී. චන්ද්‍රප්‍රේමගේ නමින් 'ගෝඨාගේ යුද්ධය' නමින් පොතක් නිකුත් විය. නමුත් ඒ පොතේ මුද්‍රණ තීන්ත වියළීමටත් පෙරම එනම් 2019 ඔක්තෝබර් 15 වන දා  ඉන්දියාවේ හින්දු පුවත් පතේ ශ්‍රී ලංකා මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක දී එවක ජනාධිපති අපේක්ෂකව සිටි ගෝඨාගෙන් ඇසූ පැනයකින් ඔහු අන්දමන්ද වූ අයුරු අපට මතක ය. ඇගේ පැනය වූයේ පසුගිය යුද සමයේ අතුරුදන් වූවන් පිළිබඳ වගකීම ගැනීමට ඔබට හෝ ඔබේ සොයුරාට (යුද සමයේ ජනපති මහින්ද රාජපක්ෂ) හැකිද? යන්න ය. එවිට තම වියළි දෙතොළ අසීරුවෙන් තෙමාගත් ගෝඨා මෙසේ කීය. 'එල්ටීටීඊ යුද්ධයට නායකත්වය දුන්නේ මම හෝ මගේ සොහොයුරා නෙවෙයි. යුද්ධයට නායකත්වය දුන්නේ එවක යුද හමුදාපති (ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා) යි'. 

ගෝඨාගේ ඒ ප්‍රකාශයත් සමඟ ඔහු පසුගිය යුද්ධයේ වීරයා ලෙස කරන හැඳින්වීම සමාජමය මිථ්‍යාවක් බව  විද්වත් සමාජය හමුවේ තහවුරු වී තිබේ. එහෙත් "බයියන්' යනුවෙන් හැඳින්වෙන සමාජ විඥානය හා ව්‍යවහාරික ඥානය අඩු ජන කොටසට ගෝඨා යනු අදටත් යුද වීරයා ම ය. 

ත්‍රස්තවාදය, පාතාලය, කප්පම් කල්ලි අප රටින් සදහටම තුරන් කරන බව ඊනියා "බයියන්" ගේ යුද වීරයා වන ගෝඨා ඉකුත් ජනපතිවරණ සමයේ දුන් ප්‍රධානතම පොරොන්දුවකි. එහෙත්, වෙන වෙන කප්පම් කල්ලි මැඬලීම කෙසේ වෙතත් පෞද්ගලික කොන්දොස්තර වරුන්ගේ කප්පම් මැඩලීමට වත් ගෝඨා මේ දක්වාම අසමත් ව තිබීම ඔහුගේ 'සැබෑ වීරත්වයේ තරම" හුවා දක්වන්නකි. ඇතැම් පෞද්ගලික බස්රථ කොන්දොස්තර වරුන් නියමිත ගාස්තුවට වඩා මගීන්ගෙන් මුදල් අය කරන බවට කලෙක සිට එල්ල වූ එල්ල වූ පොදු චෝදනාව මෙවර බස් ගාස්තු වැඩි කිරීමෙන් පසු පසු අහස උසට ඉහළ නැංවී තිබේ. වැඩි කළ අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වුවත් ඇතැම් කොන්දොස්තරලා ඒ වෙනුවට රුපියල් 20 ක්ම ගනිති. නව ගාස්තු යටතේ රුපියල් 33 ගාස්තුවට 40 ක්ද 52 ගාස්තුවට 60 ක් ද 74 ගාස්තුවට 80 ක් ද ආදී වශයෙන් මොවුහු අය කරති. මේ නිසා මගීන් සහ කොන්දොස්තරවරුන් අතර උණුසුම් තත්ත්වයන් හට ගන්නා අවස්ථා අනන්තවත් තිබේ. 

"යන්න බැරි නම් බහින්න"

මේ වන විට බොහෝ කොන්දොස්තරවරුන් ටිකට් මැෂින් ද භාවිතා නොකරන අතර එය බොහෝ විට බසයේ කොහේ හෝ සඟවා තිබේ. එවන් අඩුපාඩු කම් ගැන කතා කරන අවස්ථා වල බොහෝ කොන්දොස්තර වරුන් මගීන්ට දෙන පොදු පිළිතුරක් වනුයේ "යන්න බැරි නම් බහින්න" යන්න ය. ඔවුන්ගේ චණ්ඩි පාට් කෙසේ වුව ද එම බස් රථයේ හිමිකාරිත්වය පෞද්ගලික මුත් එය මගී සේවා සඳහා යොදවා ඇති විටෙක ඒ "පෞද්ගලික" යන නිර්වචනය අහෝසි වන බවත් එවැනි කරුණු දැක්වීම මගින් බසයට නඟින මගියා ප්‍රතික්ෂේප කිරීමට රියැදුරුට කොන්දොස්තරට හෝ බසයේ හිමි කරුට අයිතියක් නොමැත.  තවමත් බොහෝ දෙනෙක් මේ බව නොදනිති. මේ තත්වය යටතේ පෞද්ගලික කොන්දොස්තර වරුන්ගේ කප්පම් ක්‍රියාවලිය දිනෙන් දින වර්ධනය වන බවක් පෙනෙන්නට තිබේ.

ඒ කෙසේ හෝ ජීවන වියදම දරා ගත නොහැකිව ජනතාව දැඩි දුක් පීඩාවකට ලක් වූ හා බස් ගාස්තු සැලකිය යුතු ආකාරයකින් වැඩි කළ අවස්ථාවක මෙලෙස බස් මගීන් ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කිරිම ජනතාව තවත් පීඩාවට පත් කරන්නක් බව අප මේ ඊනියා යුද වීරයාට අමුතුවෙන් කියා දිය යුතු නොවේ.

අදාල ගමනාන්තය සඳහා නියමිත ටිකට් පතක් ලබා නොදී ලබා ගන්නා මෙම අතිරේක මුදල කොන්දොස්තර හෝ රියැදුරු කොන්දොස්තර යන දෙදෙනාම බෙදා ගනු ඇතැයි බොහෝ දෙනෙක් සිතති. ඒ හැරුණු කොට මෙසේ ලබා ගන්නා අතිරේක මුදල ඔවුන් බස් හිමියා අතට පත් කරතැයි කිසිවකුත් විශ්වාස කරන බවක් නොපෙනෙයි.

මාසිකව කප්පම් සඳහා රු. කෝටි 20 ක්..!

එහෙත්, අප රටේ දූෂිතම කර්මාන්ත අතරිනුදු පෞද්ගලික බස් රථ කර්මාන්තය මුල් තැනකට පැමිණ ඇත්තේ මෙලෙස මගීන් ගෙන් මුදල් ගසා කෑම නිසා හෝ "මාටියා ගැහීම" යන පෞද්ගලික බස් කර්මාන්තය ඔස්සේම සමාජ ගත වූ බස් කොන්දොස්තර වරුන් තමන් මගීන් ගෙන් ලබා ගන්නා මුදල් බස් හිමි කරුවන්ගෙන් යටි මඩි ගැසීම නිසා නොවේ.

ඒ කර්මාන්තය හා සබැඳි මහා පරිමාන කප්පම් යාන්ත්‍රණය නිසා ය. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න  පවසන අන්දමට අප රටේ පෞද්ගලික බස් කර්මාන්තයෙන් උපයන මුදලින් කප්පම් සඳහා මාසික ව වැය කිරීමට සිදු වන මුදල රුපියල් කෝටි 20 කි. එය සුළු පටු ගණනක් නොවේ.

මේ කප්පම් ක්‍රියාවලිය සඳහා පෞද්ගලික බස් රථ කර්මාන්තය සඳහා නිල දායකත්වයක් උසුලන වේලා සටහන් කරුවන් ගේ සිට ජාතික ප්‍රවාහන කොමිසම දක්වා නොනිල දායකත්වයක් සපයන බවද ඔහු කියයි. ඊට අමතර ව රාජ්‍ය අංශයේ විවිධ නිලධාරීන් හට ද කප්පම් දීමේ යාන්ත්‍රණයක් අන්තර් පළාත් බස් රථ ධාවනයේ දී සිදු වන බවත් වග කිව යුත්තන් මේවා දැන දැනත් නොදන්නා ලෙසින් හිඳින බවත් පෞද්ගලික බස් සේවකයෝ කියති.

"අග්‍ර භාගය" පාතාලයට..

ඊට අමතරව ප්‍රාදේශීය බස් රථ මඟින් ද විවිධාකාර කප්පම් ලෙසින් මුදල් කුට්ටි වෙන් කරන්නට සිදු වීම මත බස් කොන්දොස්තර වරුන් ද මෙලෙස මගීන් ගෙන් "කප්පම් ගන්නා": තත්වයට පත් ව ඇතැයි එම ක්ෂේත්‍රය තුළින්ම අසන්නට ලැබේ. පෞද්ගලික බස් කර්මාන්තය හා සබැඳි මෙම කප්පම් යාන්ත්‍රණයේ අක් මුල් අප රටේ පාතාල ක්‍රියාකාරිත්වය තෙක්ම විහිද ඇති බවත් එම කප්පම් වල "අග්‍ර භාගය" පාතාල ක්‍රියාකාරීන් අතට පත් වන බවත් බොහෝ දෙනෙක් කියති. 

ඒ අනුව අපට පසක් වනුයේ මොන තරම් කයිවාරු පුරසාරම් දෙඩුවත් අප රටේ පාතාලය මැඩලන්නට කමල් ගුණරත්නගේ යුද වීරයා වන ගෝඨාට සහ ඔහුගේ වත්මන් රජයට නොහැකි වී ඇති බව ය. මේ අතර පෞද්ගලික බස් කර්මාන්තය හා සබැඳි කප්පම් යාන්ත්‍රණය පිටු දැකීම පිණිස පසු ගිය කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවා යොදවන ලද බව ද දැන ගත භැකි විය. එහෙත්, දැන් එළඹ ඇති තත්වය හමුවේ යමකුට පෙනී යනුයේ පෞද්ගලික බස් රථ කර්මාන්තයේ නිල නොලත් ආධිපත්‍යය දරන මේ "ගෝඩ් ෆාදර්ලා" ගේ බලය පොලිස් විශේෂ කාර්ය බලකා බලය පවා ඉක්මවා මතු වී ඇති බවකි. එමෙන්ම ඔවුන්ගේ ඒ අවනීතික බලය මාර්ග බලපත්‍ර නොමැති බස් රථ සඳහා ධාවනයට අවසර දීමට තරම් ප්‍රබල වී ඇති බවකි. 

මේජර් ජනරාල්ලා නැද්ද?

ගෝඨාගේ රාජ්‍ය පාලනය තුළ "මේජර් ජනරාල්" භූමිකාව විශේෂයෙන් කැපී පෙනෙයි.ඒ සමහරකු තමන්ට නුහුරු නුපුරුදු වැඩ කරන්නට ගොස් නා ගැනීම, අනා ගැනීම වෙනම කතාවකි. අඩුම තරමින් දැනට ඔහු වටා හිඳින ඒ මේජර් ජනරාල් රොත්තෙන් කිහිප දෙනෙකු යොදවා හෝ මේ මාෆියාව දුරලීමට නොහැකි ඇයි?

කෙසේ හෝ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊයට යුදමය වශයෙන් පරාජය කරවීමේ පුරෝගාමියා  බව පැවසෙන වත්මන් ජනාධිපති ගෝඨා බස් මගීන් ගෙන් දිනපතා රුපියල් කිහිපයක් ගසා කෑමේ සිට පෞද්ගලික බස් කර්මාන්තයේ යෙදෙන්නවුන්ගෙන් මාසිකව රුපියල් කෝටි 20 ක් දක්වා ගිල ගන්නා මෙම පෞද්ගලික බස් මාෆියාව මැඩලීමට අසමත් වී ඇති බව දැන් මනාව පැහැදිලිය. ඒ ඔහුගේ වීරත්වය මුල් කොට ගත් ස්වර්ණමය හැකියාවන් සේ පෙනුණු බොහෝ දේ අද වන විට හුදෙක් සරුව පිත්තල ගාණටම වැටෙමින් පවතින බැවිනි.

-ඩී ගමගේ

---------------------------
by     (2022-02-07 05:10:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links