~

බොර දියේ මාළු බාන අධ්‍යාපන ක්ෂේත්‍රයේ මාෆියා කල්ලියක්..!

-රාජ්‍ය නිලධාරීන්ට එරෙහි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ශිරාන් දැරණියගල කියයි

(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.14, පෙ.ව.7.00) බොර දියේ මාළු බාන අධ්‍යාපන ක්ෂේත්‍රයේ මාෆියා කල්ලියක නම් ගම් හෙළි කරමින් රාජ්‍ය නිලධාරීන්ට එරෙහි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ශිරාන් දැරණියගල විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ. ඒ මෙසේ ය. 

අතිගරු ජනාධිපතිතුමනි,

රටේ ආර්ථික අර්බුදයක් මතුව ඇති අවස්ථාවක එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අධ්‍යාපනයේ මන්පෙත් විවර කරගනිමින් ගොඩ ඒම වෙනුවෙන් උත්සාහයක් දරන අවස්ථාවක අධ්‍යාපන ඇමතිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය හා  අධ්‍යාපන  අමාත්‍යාංශයේ දූෂිත නිලධාරින් කණ්ඩායමක් එක්ව එම අරමුණු කඩාකප්පල් කර තමන්ගේ හොරකම් වඩාත් හොඳින් කිරීම සම්බන්ධවයි.

මෙම දූෂිත කණ්ඩායම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන සැලසුම් සහ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන් අවුල් කරමින්, පාසල් වලට දරුවන් දමා නීති විරෝධි මුදල් ඉපයීම, තමන්ගේ හිතවත් අයට ටෙන්ඩර් පත්‍ර   ප්‍රදානය කිරීම, තමන්ට හිතවත් අයට විදේශ සංචාර ලබා දීම, අයවැය ප්‍රතිපාදන තමන්ට මුදල් ලැබෙන ආකාරයෙන් වෙනස් කිරිම සහ ලෝක බැංකුව ප්‍රමුඛ ආධාර ලබා දෙන නියෝජිත ආයතන සමගින් සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ශිෂ්‍යත්ව මුල්‍ය ප්‍රධාන ආදි වරදාන ලබා ගනිමින් එම ආයතන වල න්‍යාය පත්‍රය ඉටු කිරීම වැනි දෑ කිරීම ප්‍රධාන කාර්යභාරයක් සේ කරති. 

මෙම මාෆියා කල්ලිය අතිගරු ජනාධිපතිතුමා සහ මහජනයාගේ දැනගැනීම සඳහා පහත පරිදි හෙලිදරව් කිරීම අපගේ යුතුකම වන්නේ ය.

1. ආචාර්ය උපාලි සේදර - ලේකම් -  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය

මෙම ලේකම්තුමා කාලයක් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර ඇති අතර ජාතික අධ්‍යාපන ආයතනයේ තමන්ට හිතවත් අයට තනතුරු ලබා දී එක් එක් ව්‍යාපෘති වලට වෙන්කරන ලද මුදල්  සුදුසු පුද්ගලයින්ට ලබා නොදී ප්‍රමිතියෙන් තොරව අධ්‍යාපනය මේ තත්වයට ඇද දැමීමට පුරුදු පුහුණු කිරීමේ ආරම්භක කොටස් කරුවෙක් වේ. පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ භාරව කටයුතු කර මේ දක්වා රටේ විශාල මුදලක් නිරපරාදේ වැය කර අද රට වැටී ඇති තත්වයට වගකිවයුතු එක් නිලධාරියෙකි. මොහු දැනටමත් හොර රහසේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම ආරම්භ කර ඇති අතර  එය හෙලිදරව් වූ විට තවත් අර්බුදයක් මෙමගින් ද ආරම්භ  වනු ඇත. මොහු අධ්‍යාපන අමාත්‍යාංශයේ මාෆියා කල්ලිය සමඟ එකතු වී අධ්‍යාපනය ද අවුල් කිරීමට ද දායක වී ඇත. 

තවද මොහුගේ සහෝදරයා මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ලංකා ආණ්ඩුවට විරුද්ධව පැවැත්වෙන උද්ඝෝෂන වල ඉදිරියෙන් සිටින සංවිධායක වරයෙක් ලෙස පෙනී සිටින බව ඡායාරූප නිරික්ෂණය කිරීමෙන් සොයා ගත හැකිය. එය තවත් නාටකයක්ද විය හැකිය. 

සේදර මහතා විසින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක උප කුලපති තනතුර දරන පුද්ගලයෙකුට  රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ භාර දීම නරියාට කුකුල් කොටුව භාර දීමක් වන්නේය. 

2. ආචාර්ය මදුරා වේහැල්ල  - අතිරේක ලේකම් (සැලසුම්) අධ්‍යාපන අමාත්‍යාංශය

මෙම නිලධාරිණිය වසර 30 කට අධික කාලයක් අධයාපන අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ සේවය කරනු ලබන අතර මේ වන විට ඇය සැලසුම් අංශයේ අතිරේක ලේකම්වරිය වශයෙන් කටයුතු කරන්නීය. සැලසුම් අංශය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන වගකීමක් වන මානව සම්පත් සංවර්ධනය සහ ප්‍රාග්ධන සම්පත් සංවර්ධනයට අවශ්‍ය පුරෝකථනය කිරීම් හා ඒවා සම්පූර්ණ කිරීමට අවශ්‍ය උපදේශකත්වය හා ක්‍රම සකස් කිරීම ප්‍රධාන වගකීම වේ. නමුත් ඒවා පසෙක ලා ඇයගේ පෞද්ගලික උවමනාවන් ඉටුකර ගැනීම ඇයගේ ප්‍රධාන කාර්යභාරය වී ඇත.  

ඒවා අතර 2006 වර්ෂයේ සිට අද මේ වනතුරු ද අධයාපන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ගුරුභවතුන්, විදුහල්පතිවරුන් පිළිබඳ පැහැදිලි සංඛ්‍යා ලේඛණයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අංශය සතුව නැත. ඇයගේ ප්‍රධාන කාර්ය වී ඇත්තේ ලෝක බැංකුව ප්‍රමුඛ ආධාර ලබා දෙන නියෝජිත ආයතන සමගින් සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ශිෂ්‍යත්ව මුල්‍ය ප්‍රධාන ආදී වරදාන ලබා ගනිමින් එම ආයතන වල න්‍යාය පත්‍රය ඉටු කිරීම ප්‍රධාන කාර්යභාරය කොට ගැනීමය. ඊට අමතරව ඇයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට නොහැකි වූ විට මාෆියා කල්ලිය සාදා අමාත්‍යාංශ කටයුතු වලට බාධා කිරීම සහ ඇමතිතුමාට කේලාම් කීම අලුත්ම රාජකාරිය වී ඇත.

3. හේමන්ත යූ. ප්‍රේමතිලක -අතිරේක ලේකම් (අධ්‍යාපන  ගුණාත්මක සංවර්ධන)

මොහු 2013 ආයතන සංග්‍රහයේ වගන්ති කීපයක් උල්ලංඝනය කරමින් 2010 අමාත්‍ය මණ්ඩල නිර්දේශයක් මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තමන්ට හිතවත් නිලධාරීන් හරහා දැනට අවුරුදු 10 කට කලින් ගත් අමාත්‍ය මණ්ඩල තීරණයක් අවභාවිතා කරමින් විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් සිටියදී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩකරමින් තනතුරේ රැඳී සිටින නිලධාරියෙකි. ඊට අමතරව පසුගිය කොරෝනා වසංගතය හමුවේ සිසු දරුවන්ගේ Online අධ්‍යාපන කටයුතු සම්බන්ධව මොහුගේ රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු නොකරන ලද නිලධාරියෙක් ද වේ. 

4. කොළඹ ආනන්ද විද්‍යාලයේ සිට දකුණු පළාතට මාරුවී ගොස් නැවත ජාතික පාසල් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබන කේ. එල්. ජී. කිත්සිරි ලියනගමගේ 

2016 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් ඇතුළත් කිරීමේ මහා පරිමාන දූෂණය හා වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර  දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු කාර්යාලයට මාරු කර  යවන  ලදී.  ඊට පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් පත්කර පවත්වන ලද පරීක්ෂණ වලදී ද මොහුට ඉදිරිපත් වූ සියළු චෝදනා වලට වරද පිළිගැනීම නිසා විනය ක්‍රියා මාර්ග ගැනීමට නිර්දේශ කර ඇත. ඒ අතර මොහු විසින් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් ලෙස නීති විරෝධි තනතුරක් ඇති කර එහි වරප්‍රසාද භුක්ති විඳින ගමන් නීති විරෝධී ආකාරයෙන් සිසුන් ඇතුළත් කර සදා ගත් දේශපාලන සම්බන්ධතාව උපයෝගි කර ගනිමින්, (සාමාන්‍ය නීතිය අනුව වරද පිළිගත් අයෙකුට අභියාචනය කිරිමේ අයිතිය අහෝසි වන නමුත්, ) වර්තමාන ආණ්ඩුකාරවරයාගේ දේශපාලන බලය පාවිච්චි කර  සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් වී එවකට අධ්‍යාපන ඇමතිව සිටි ඩලස් අලහප්පෙරුම හරහා  අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂ ලෙස පත් වීමක් ලබා දී දැනට ජාතික පාසල් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් පාසල් අධ්‍යාපනය තුළ මුදල් හම්බ කරමින්  රටේ ජාතික අධ්‍යාපනය කඩාකප්පල් කරමින් සිටී. 

මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් තමන් යටතේ ඇති ජාතික පාසල් වලට පළමු වසර සිසුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල වලට තමන්ට හිතවත් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පත්කර මුදලට සිසුන් ඇතුළත් කිරීමේ මහා ජාවාරමේ නිතරව සිටී. මේ සඳහා අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කටයුතු කරනු ලබන සමිත කවිරත්න ගේ උදව් ඇතිව ඇමති ද නොමග යවා ඇත. 

මොහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර එහිදි වරද පිළිගෙන නිකුත් වී ඇති චෝදනා සම්බන්ධ තොරතුරු සවිස්තරව පහත ඉදිරිපත් කරමි. 

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ - කේ. එල්. ජී. කිත්සිරි මහතාට විරුද්ධ විධිමත් විනය පරික්ෂණ වාර්තා

අංක ESC/DIS /020/2017 විධිමත් විනය පරීක්ෂණ වාර්තාව 

අංක ESC/DIS /142/2016 විධිමත් විනය පරීක්ෂණ වාර්තාව 

අංක ESC/DIS /024/2017 විධිමත් විනය පරීක්ෂණ වාර්තාව

මෙම විධිමත් විනය පරීක්ෂණ වාර්තා අනුව චෝදනා පත්‍රවලට ඔහු විසින්ම වරද පිළිගෙන වැරදිකරු බව පිළිගෙන තිබියදී සේවයෙන් පහකිරීමට කටයුතු කරනවා වෙනුවට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා හරහා සියළු දඬුවම්වලින් නිදහස් කර නැවත අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂ ලෙස කටයුතු භාර දීම නරියාට කුකුල් කූඩුව භාර දීමක් වැනිය.

5. හිටපු විභාග කොමසාරිස්වරයෙකු සහ අධ්‍යාපන සේවා අතිරේක ලේකම්වරයා වන පුෂ්පකුමාර  

විභාග දෙපාර්තමේන්තුවේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පසුගිය රජය කාලයේ ඉවත් කරන ලද මොහු මේ රජය නොමඟ යවා වර්ථමාන අධ්‍යාපන සේවා අතිරේක ලේකම් තනතුර ලබා ගනිමින් යටින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපනය වල පල්ලට ගෙන යමින් සිටින මාෆියා කල්ලියට යටින් සහයෝගය ලබා දෙමින් නොයෙකුත් දූෂණ චෝදනා වලට සම්බන්ධ වෙමින් සිටි. 

6. අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණය භාරව කටයුතු කරන ප්‍රධාන නිලධාරියා වන නීල් ගුණදාස

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණය භාරව කටයුතු කරන මෙම නිලධාරියා පසුගිය කොරෝනා වසංගතය කාලයේ සිසුන්ට කිසිම දෙයක් කිරීමට අසමත් පුද්ගලයෙක් වූ අතර සිසුන් ට අධ්‍යාපනය ලබා දීමට රජයට අනුබද්ධ SLT-MOBITEL ආයතනය නොමිලේ ලබා දීමට ඉදිරිපත් වූ අවස්ථාවක ඉහත හේමන්ත යූ ප්‍රේමතිලක සහ ආචාර්ය මදුරා වේහැල්ල සමග එක්ව  එය කඩාකප්පල් කර වෙනත් පෞද්ගලික ආයතනයකට එය ලබා දී කොමිස් මුදලක් ලබා ගෙන ඇති අයෙකි. විමර්ෂණයක් මගින් සොයා ගත හැකිය. මොහු ආචාර්ය උපාලි සේදර   ලේකම් වන රාජ්‍ය අමාත්‍යාංශයට රිංගා එහිද ලංකාවට කිසිසේත් නොගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දී මේ වන විට අධ්‍යාපනය මුදලාලිට බද්දට ලබා දී ඇති බව සත්සුදක් සේ දිස්වේ. මොහුගේ තොරතුරු තාක්ෂණ හැකියාව මනාවට ඔප්පු වන තැනක් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිම තොරතුරක් ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ පරිඝනක  පද්ධතියක් නොමැති බව සනාථ වීමෙන් ය.  මොහු විශේෂයෙන් අද රට පත්ව ඇති තත්වයට වගකිව යුතු එක් නිලධාරියෙක් වේ. 

මේ අවස්ථාවේ ඇමති දිනේෂ් ගුණවර්ධන ගේ කාර්යභාරය විය යුත්තේ ජනතාවගේ  අත්‍යවශ්‍ය සේවා සැපයීමට සහය ලබා දී සිසු දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීම වුවත්, ඇමතිවරයා මේ අවස්ථාවේ කරනු ලබන්නේ අමාත්‍යාංශයේ දූෂිත මාෆියා කල්ලිය සමඟ එකතු වී බොර දියේ මාළු බෑමයි.  ඔහුට ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදියට කළ හැකි එකම දේ ගිරිය යැටින් බෙරිහන් දීම පමණක් වේ. මෙවැනි ඇමතිවරයෙකුට අධ්‍යාපනය භාරදීම ද රටේ ප්‍රශ්න උග්‍ර කිරීමක් වන්නේ ය.  

ගරු ජනාධිපතිතුමනි,

රටේ පවතින මෙම අර්බුදවලින් ගොඩ ඒමට ඇති එකම මග වන අධ්‍යාපනය මේ ආකාරයෙන් හොරු මුලක් විසින් ආක්‍රමණය කර ඇති අවස්ථාවක  හා  අර්බුද උස්සන් වී ජාතියේම ප්‍රශ්නයක් වීමට ප්‍රථම මෙම හොර මුළ අයින් කර විසඳුම් ලබා දීම ජාතියේ අවශ්‍යතාවය වන්නේ ය. 

ඕමත්තගේ ශිරාන් දැරනියගල

සභාපති - රාජ්‍ය නිලධාරීන්ට එරෙහි දූෂණ විරෝධී පෙරමුණ

---------------------------
by     (2022-04-14 01:40:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links